Monday, June 30, 2014

ජායාරූපකරණය ගැන සිංහලෙන් 2

ජායාරුපකරණය ගැන සටහන් මාලාවක් ලෙසින් ඔබ වෙත එන ලිපි පෙළක දෙවැන්න මේ.

මුලින්ම අපි බලමු කොහොමද කැමරාවකින් ගන්නා පින්තුරයක් කැමරාවේ සටහන් වෙන්නේ කියල.

කැමරාවේ ෂටර් බොත්තම එබූ සැනින් අපිට ඇහෙන්නේ ක්ලික් ශබ්දයක් නේ. ඩිජිටල් කැමරාවක දී නම් වෙන්නේ කැමරාවේ කාචය මත වන ප්‍රතිබිම්බය ආලෝක සංවේදී පරිපථයක් මතට පතිතවී එතනින් එය සැකසුම් වලට ලක්වී මතක ගබඩාවට සේයාරුවක් විදියට යවන එක. නමුත් ඇනලොග් කමරාවකදී මේ දේ සේයා පටලයක් මතට ප්‍රතිබිම්බය වැටීමෙන් සේයා පටලයේ රසායනික වෙනස්කමක් මගින් ආලෝක සංවේදී භාවය ලැබීම වෙන්නේ,.

ඉතිං මෙහෙම ගන්න සේයා රූ ගන්න අද වෙද්දී ගොඩක් අය භාවිතා කරන්නේ ඩිජිටල් කැමරා. ඇනලොග් කැමරා භාවිතා කරන සේයාරූ ගන්නා අයත් නැතුවාම නෙවෙයි. නමුත් එයාල මේ දේ කරන්නේ වෘත්තිමය අවශ්‍යතා වලට හෝ විනෝදාංශයක් විදියට.

ඇනලොග් සහ ඩිජිටල් කැමරා වලදී ඇති ප්‍රධාන වෙනස තමයි ඇනලොග් කැමරාවෙන් ගන්න පින්තුරයක පෙර දැක්මක්, එහෙම නැතිනම් ප්‍රීවිව් එකක් බලාගන්න බෑ. ඒ වගේම ආලෝකය රඳවා ගන්න ඒ ඒ ආලෝකයට අවශ්‍ය තීව්‍රතාවට සරිලන පටල අවශ්‍ය වෙනවා. ඉතිං ඇනලොග් කැමරාවක පින්තුර ගත්තට පස්සේ අවසාන අදියරේ දී පටල මුද්‍රණය කරන්න ගියාම තමයි බලාගන්න වෙන්නේ මොකක්ද ෆොටෝ ටිකට වුනේ කියලා. ඩිජිටල් කැමරාවකින් ගන්න පින්තුරයක ඒ මොහොතේම සජීවී දර්ශනය බලන්නත් ඒ ඇසුරෙන් අවශ්‍ය සුදානම සිද්ධ කරන්නත් අවසානයේ ගන්න පින්තුරය කොහොම එකක් ද කියල බලන්නත් ඒ මොහොතේම අවශ්‍යනම් පින්තුරය මකා දමා නැවත ගන්නත් හැකියාව තියනවා. ඒ වගේම පටල සංවේදීතාවය පාලනය කරන්න ඒ මොහොතේම හැකියාව තියනවා.

ඉතිං ඇනලොග් කැමරා භාවිතය අසීරුයි. ඊට වඩා ඩිජිටල් කැමරා භාවිතාව පහසුයි. මේ පහසුකම නිසා අද වෙද්දී ඇනලොග් කැමරා භාවිතයට නොගන්න තරම්,. ඇනලොග් කැමරාවක රාමුව සාමාන්‍ය විදියට 36×24 mm පමණ වෙනවා. මේ ප්‍රමාණයට ඩිජිටල් කැමරා වලදී කියන්නේ Full Frame (Nikon : FX) එහෙමත් නැතිනම් සාමාන්‍ය ඇනලොග් කැමරා රාමුවේ ප්‍රමාණය කියල.

මෙතනට ආවාම ඔයාල අහයි එහෙනම් අනිත් ඒවා මොනවාද කියල. ෆුල්ෆ්‍රේම් DSLR වලට පස්සේ ගොඩක් තියෙන්නේ Nikon: DX mode එහෙමත් නැතිනං Crop Mode කියන රාමු ගන්න පුළුවන් කැමරා. මේවත් DSLR විශේෂයක් වුනත් මේ කැමරා මිලෙන් සාපේක්ෂව ෆුල් ෆ්‍රේම් කැමරාවකට වඩා අඩුයි. ඊට පස්සේ එන්නේ බ්‍රිජ් කැමරා සහ පොයින්ට් ඇන්ඩ් ෂුට් වර්ගයේ කැමරා. මේ අවසාන එකට ජංගම දුරකථන කැමරා ඇතුලත් කරන්නත් පුළුවන්

ක්‍රොප් මෝඩ් එක ගැන කියද්දී ලාබයි කිව්වනේ..දැන් ඉතිං හිතන්න එපා "ඈ.. ලාබයි නං හිලක් ඇති" කියල.. "හිලක් නැති පුනීලෙන් වැඩක් නෑ නේ මුදලාලි" කිව්වා වගේ මේ කැමරා වලිනුත් ගන්න වැඩ එමටයි. මේ කැමරා බෝහොකොටම වනසතුන් ගේ සේයාරූ ගන්න අය වගේම ක්‍රීඩා වල සේයාරූ ගන්න අය භාවිතා කරනවා. හේතුව මේ කැමරා ලෙන්ස් බොහෝ කොටම FX කැමරාවකදී ඒ සමාන කාච ඇති ලෙන්ස් එකක  නාභි දුර මෙන් 1.6 ගුණයකින් (මේ අගය විවිධ කැමරා වලදී වෙනස්වීමකට ලක්වන බව සලකන්න) වැඩි දුරක් ආවරණය කරන නිසා. ඉතිං වැඩි විස්තර පසුවට කතාකරන්න තියල අපි යමු ඊළඟ කොටසට.

බ්‍රිජ් සහ පොයින්ට් ඇන්ඩ් ෂූට් වර්ගයේ කැමරා වලදී අපිට අවශ්‍ය විදියට ලෙන්ස් මාරු කරන්න හැකියාවක් බෝහොකොටම නෑ. ඒ එක්කම අපිට ජායාරුපකරණයේ දී අවශ්‍ය වන අනිකුත් සීරුමාරු කිරීමේ හැකියාවන් ද බොහෝ දුර්වලයි. ඒ නිසා මම මේ දෙක ගැන කතා කරන්නේ නෑ.

මෙතැනදී අපි කැමරා ගැන කතා කරන්න අදහස් කරන්නේ ෆුල් ෆ්‍රේම් එහෙමත් නැතිනම් ක්‍රොප් මෝඩ් කියන දෙවර්ගයේ සැකසුම්, පහසුකම් සහ භාවිතයන් ගැන විතරක් කියල සටහන් කරන්න කැමතියි.

ඉතිං, දැනටම ඔයාල දන්නවා ඇති කැමරා නිෂ්පාදකයින් ගොඩක් දෙනෙක් ගැන. කැනොන්, නිකොන්, සෝනි වගේ සමාගම් මේ අතරේ ඉන්නවා. ඊට අමතරව තවත් කැමරා මෝස්‌තර නිෂ්පාදනය කරන්න සමාගම් කීපයක් ම ඉන්නවා. ඒ අතරේ සැම්සුන්ග්, ෆුජි වගේ ආයතනත් Hassleblad, Leica වගේ ආයතනත් Pentax කැමරා හදන Ricoh සමගමත් අපිට ගන්න පුළුවනි. (මේ සමහර නම් ඔබට හා මට හුරු නිසා සිංහලෙනුත් අනිත් නම් ඇතැම්විට කියවන විදියේ වෙනසක් වේ දෝ කියා ඉංග්‍රීසියෙනුත් සටහන් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

මේ එක එක කැමරා වල පොඩි පොඩි වෙනස්කම් තිබුණද ඒවා සියල්ල තුල අඩංගු වන පොදු කාරණා කීපයක් තිබෙනවා,.

ඒ ආලෝක පටල සංවේදීතාව හෙවත් නුතන ISO (පෙර ASA), ෂටරයේ ද්වාර වේගය (Shutter Speed) සහ Aperture (මේ වචනයට කියන සිංහල තේරුම මම ඇත්තෙන්ම දන්නේ නෑ. දන්නා කෙනෙක් සිටි නම් පවසන්නයි ඉල්ලා සිටිනවා.) කියන සැකසුම් තුන. මේ තුන හරියටම පාද තුනක් වගේ. මේ පාද තුන සමබරව තියේ නම් අපිට මුලික මට්ටමේ හොඳ සේයාරුවක් ගන්න හැකියාව තියනවා. ඒ සේයාරුව තවත් එක ස්නැප් ෂොට් එකක් නොවෙන්න මෙතනින් එහාට දේවල් ටිකක් දැනගන්න අවශ්‍ය වෙනවා.

එහෙනං ඒ කොටස එක්ක ඊළඟට හමුවෙමු. එතකං බලන්න රෑ අහසේ මැවුණු සිත්තමක් දිහා..




ක්ෂීරපථය දෝහා වෙත ජුනි 26 වෙනිදා මැදියම් රෑ ඉකුත්වෙද්දී පෙනුණු හැටි
ජායාරුප අයිතිය: මගේ සහ තරිඳු රොඩ්රිගෝ ගේ.


(මගේ අලුත් ලැප් එක නිසා මට සිංහල ලියන්න විදියක් නෑ. ඒ නිසා මගේ ලිවීම ටිකක් ප්‍රමාද වෙනවා. ඇපල් වල සිංහලෙන් ලියන්න දන්නා කෙනෙක් ඉන්නවානං (මට යතුරු පුවරුව සිංහලෙන් හුරු නෑ. ගූගල් පාවිච්චි කරන්නේ මේකේ.) පොඩ්ඩක් කියල දෙන්න. ලොකු උදව්වක් වේවි.)