Wednesday, April 1, 2015

අධ්‍යාපනයේ කෙටි කතාවක්..

අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රතිඵල නිකුත් වී තිබේ.. පොඩ්ඩන් කීප දෙනෙකු දිස්ත්‍රික් පදනමින්, පාසල් පදනමින්, සහ ජාතික පදනමින් ඇගයීම් ලබනු පෙනේ. ඔවුන්ට මගේ හදපිරි සුභාශිංසන පිරිනමමින් කතාව වෙනතක ගෙන යමි.

ඊයේ දින මා දුටු දෙයක් වූයේ සාමාන්‍යපෙළ ගණිතය අසමත් සිසුවියක් ගෙළ වැළලාගෙන ඇති බවය. මෙවන් සිද්ධීන් අද වන විට ඇසීමට ඇතත් මීට දශකයකට පෙර දී නම් අප අත්දුටුවේ නැති බව කීමට අවැසි වේ. ඒ එදා සිසු පරපුර අතර ද තරඟයක් නොවී නොව, වැඩිහිටියන් එදා තරමක් දුරට ළමා සමාජය සමගින් ඇති ගැවසීම වැඩිවීමත් ළමයින් හට මෙවන් දෙයක් ලෝක විනාශය ලෙස දකින්නට අවකාශ නොදීමත් යන කාරණා ගෙනහැර දැක්වීමට මට සිතේ. නමුදු සත්‍යය එය ම දැයි කීමට මා පරීක්ෂණ නොකළ නිසා මෙතැනින් නවතිමි.

අද වන විට දී සිසුන් විෂය ධාරාව අසමත් වීම ලෝක විනාශයක් ලෙස දකින්නේ දෛවයේ සරදමකින් දෝ මට සිතේ. ඒ අද අධ්‍යාපනය සකස්වී ඇති අයුරෙනුත් විවිධ විෂයන් හදාරා පිටව යන සිසුන් වෙනුවෙන් ඉහල අධ්‍යාපනය හැදෑරීමට ද මෙවන් දෑ බාදාවන් ලෙස තිබීමත් මම දකින්නේ දෛවයේ සරදමක් සින් නිසාය. මන්ද යත් උසස් අධ්‍යාපන පාඨමාලාවට යන්නවුන්ගෙන් අසන්නේ ද සාමාන්‍යපෙළ හෝ උසස්පෙළ සමත් ද යන්න ය, නමුත් උසස් අධ්‍යාපන පාඨමාලාව ඇත්තෙන්ම ගිරාපෝතකයින්ට නොව බුද්ධිමතුන් හට වන දෙයක් බව මගේ මනස කියා පායි. ඒ නයින් බලන කල අද දිනයේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන අයට මෙන්ම සුදුසුකම් නොලත් අය සතුව ද බුද්ධිය එක ලෙස තිබිය හැකි බැව් මම කියමි.

නමුත් අද අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරන්නේ නම් එහි දී සිද්ධ වන්නේ ළමයාගේ තාර්කික බුද්ධිය මෙහෙයවා පිළිතුරු සැපයීම කල යුතු හෝ පිළිතුරු ගොඩනැගිය යුතු ප්‍රශ්න සමුහයකින් ළමා මනස කෙතරම් තාර්කිකද විචාර බුද්ධිමත් ද යන්න මැනීම නොව, ළමයා කෙතරම් ප්‍රමාණයක් දරාගන්නේ ද නො එසේ නම් මතකය මගින් කිව හැකිද යන්න පිලිඹද කරන මතක පරීක්ෂණයක් බවයි, මම මේ ගැන කියන්නේ අද දිනයේ දකින බොහොමයක් අධ්‍යාපන ප්‍රශ්න සකස්වී ඇති රටාවෙන් ඔබට පරණ ප්‍රශ්න පත්‍ර සියයක් හෝ දහසක් ගෙන බැලුවොත් ඒ ප්‍රශ්න පත්‍ර වල ගැබ්වී ඇති ප්‍රශ්න ම පෙරලා ඇසීමත්, පිළිතුරු පොතේ පරිදි ම නොවුනහොත් අසමත් කිරීමත් යන පදනමිනි.


ඉතිං මෙසේ වූ අධ්‍යාපනයක් ඇසුරින් බිහිවන ළමුන් තර්කානුකුලව වැඩ කරාවිද යන්න සිතීම ද මේ ක්‍රමය වෙනස්වීමට කාලය මේ ද යන්න සිතීම ද මම ඔබට භාර කරමි. ඔබ දකිනා දරුවන් හෙට දිනයේ රට මෙහෙයවන්නේ ද මේ ක්‍රමයට ම නොවන්නේ ය කියා කෙසේ නම් සිතිය හැකිවේද?

8 comments:

  1. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ අරලේඛ මේ ලේඛ අරන් බැලුවොත්, අපේ අධ්‍යාපනයෙන් මහාචාර්යවරු බිහිවෙන්න ඕනේ එකසිය ගානට. හැම තප්පරයකම. වාර්ෂික සැළැස්ම කියලා ප්‍රින්සිපල්ගේ කාර්යාලයේ ගහලා තියන සැළැස්ම දැක්කම කෝ උගන්නන්න වෙලාවක් කියලා හිතෙනවා. අද ඉස්කෝලවල, විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් පවත්වනවා. අපි ඒ කාලේ එච්චර වාසනාවන්ත වුනේ නැහැ. එවැනි දේ කරන්න.

    ඉස්කෝලවල නොකරන්නේ මොනවද? නොකරන්නේ හරියට ඉගැන්වීමයි. දෙපාර්තමේන්තු නීතිවලින් ගැලවෙන්න මවාපෑම් කරනවා. උගන්වනවා කියන්නේ යාන්ත්‍රීකරණය වූ දෙයක්. ගුරුවරු ළමයි ඔක්කොම යන්ත්‍ර වගේ. රෝබෝ වරු වගේ. ලැබෙන උපදෙස් අනුව පමණයි ක්‍රියාකරන්නේ. හිතන්න පුළුවන්කම තිබුණත් හිතන්නේ නැහැ. ළමයින්ට උපදේශන සේවා තියනවා කියලා කරන්නෙත් ඩ්‍රිල් එකක් විතරයි. පහල පන්තියක ළමයෙකුව සහ ඉහල පන්තියක ළමයෙකුව පාසලෙන් ටිකක් ඈත නොදන්නා තැනකට ගිහින් දාලා දැන් කොහොමද ගෙදර යන්නේ කියලා ඇහුවොත් ඒ දෙන්නම දෙන පිළිතුරු බොහෝදුරට එක සමානයි.

    දැනුම තියනවා බුද්ධිය නැහැ. දැනුම තියනවා අභියෝග ජයගන්න බැහැ. දැනුම තියනවා ජය පරාජය උහුලාගන්න බැහැ. දිනපතා තම අවට සමාජයේ දකිනදේ තමයි ළමයා පරමාදර්ශ ලෙස ගන්නේ.

    ReplyDelete
  2. දරුවන් මේ විදිහේ දේ වලට පෙලඹීමෙ වරදින් සීයට පණහක් දෙමාපියන් ගතයුතුයි.. තරඟය තියෙන්නෙ දරුවන් අතරේ නෙවෙයි. පරාජය අසමත්වීම දරාගන්න දරුවන් පුරුදු නොකර පරාජය බිඳවැටීමක් දක්වා ගෙනියන්නෙ දෙමාපියෝ. දරුවෝ ගෙනියන්නෙ දෙමාපියන්ගේ බර එයාලගෙ හිස මත.

    ReplyDelete
  3. දැනං තියෙන්නෙ පොතේ අධ්‍යාපනයක් විතරයි. ළමයින්ගෙ මනස දියුණු වීමක් ඒකෙන් වෙන්නෙ නෑ. ඒ හින්ද තමයි පොඩි දේකට උනත් ජීවිතේ නැතිකර ගැනීමට පෙළඹෙන්නෙ. මේ තත්වය නැතිකරන්න දෙමාපියො තේරුංගන්න ඕන.

    ReplyDelete
  4. මේ ළගදී අපි පර්යේෂණයකට මාතෘකාවක් ගැන කතා කර කර ඉද්දි අාපු අදහසක් තමයි පහ වසර ශිෂ්‍යත්වය... ප්‍රාථමික අධ්‍යාපනය කියන ඒක අපි සම්පූර්ණයෙන් ම ඉවත දාලා... දරුවන්ගේ වර්ධනය ගැන හෝ ළමා මානසිකත්වය ගැන නොසිතා 5 වසර ශිෂ්‍යත්වයට ලැහැස්ති කරනවා.... 1 වසරේ ඉදලා ම ඒකට ක්ලාස් යවනවා.. අන්තිමට ළමයා විකාර වූ අධ්‍යාපනයක් ලැබූවෙක් වෙනවා.... ඒ නිසා ම ශිෂ්‍යත්වය සමත් වූ පිරිස සහ ඉහළ විභාග සමත් වූ පිරිස අතර සම්බන්ධයක් නැහැ... විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන බහුතරය ශිෂ්‍යත්වය සමත් වූවන් නොවේ... මේ නිසා මේ විභාගයේ ගැටලුවක් තියෙනවා කියන ඒක.... මේ විදිහට අපි අධ්‍යාපනය පටලාගෙන ඉන්නේ...

    ReplyDelete
  5. ගොඩක් ලමයින් මේ වගේ දේවල් කර ගන්නේ දෙමවුපියන්ගෙන් තියෙන පීඩනය හන්දා ඒකට බයේ කියන එකයි මගේ විශ්වාසය නම්.. අපේ කාලවල ඒවා එහම නොවුන හන්දයි විභාගයක් ෆේල් උනා කියලා කවුරුවත් සියදිවි හානිකර ගත්තේ නැත්තේ..

    ReplyDelete
  6. ඕකේ සම්පුර්ණ වගකීම තියෙන්නේ දෙමව්පියෝ අතේ. ගුරුවරු අතේ තියෙන කොටස ඒ තරම් වැදගත් නැහැ.
    ළමයින්ට ඔතනදී ලොකුම බලපෑම කරන්නේ අම්මලා.
    ඒගොල්ලෝ තමන්ට බැරි වෙච්ච දේවල් ළමයි ලව්වා කරවන්න හදනවා.
    තාත්තල ඕවා පස්සේ යනවා අඩුයි...
    මුන් ඔක්කොටම පිස්සු...

    ReplyDelete
  7. දෙමාපියො අනවශ්‍ය පීඩනයක් දරුවා මත පටවනවා. කුටුම්භ වල තියෙන දරිද්‍රතාවයෙන් සහනයක් ලබාගන්න නම් දරුවන් හොඳ අධ්‍යාපනයක් ලබා හොඳ රැකියාවන් කලයුතු බව ඔවුන් සිතන නිසාම බොහෝ තැන් වල මේ පීඩනය අඩු වැඩි වශයෙන් එල්ලවෙනවා දැකිය හැකියි.

    ReplyDelete