Wednesday, April 1, 2015

අධ්‍යාපනයේ කෙටි කතාවක්..

අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රතිඵල නිකුත් වී තිබේ.. පොඩ්ඩන් කීප දෙනෙකු දිස්ත්‍රික් පදනමින්, පාසල් පදනමින්, සහ ජාතික පදනමින් ඇගයීම් ලබනු පෙනේ. ඔවුන්ට මගේ හදපිරි සුභාශිංසන පිරිනමමින් කතාව වෙනතක ගෙන යමි.

ඊයේ දින මා දුටු දෙයක් වූයේ සාමාන්‍යපෙළ ගණිතය අසමත් සිසුවියක් ගෙළ වැළලාගෙන ඇති බවය. මෙවන් සිද්ධීන් අද වන විට ඇසීමට ඇතත් මීට දශකයකට පෙර දී නම් අප අත්දුටුවේ නැති බව කීමට අවැසි වේ. ඒ එදා සිසු පරපුර අතර ද තරඟයක් නොවී නොව, වැඩිහිටියන් එදා තරමක් දුරට ළමා සමාජය සමගින් ඇති ගැවසීම වැඩිවීමත් ළමයින් හට මෙවන් දෙයක් ලෝක විනාශය ලෙස දකින්නට අවකාශ නොදීමත් යන කාරණා ගෙනහැර දැක්වීමට මට සිතේ. නමුදු සත්‍යය එය ම දැයි කීමට මා පරීක්ෂණ නොකළ නිසා මෙතැනින් නවතිමි.

අද වන විට දී සිසුන් විෂය ධාරාව අසමත් වීම ලෝක විනාශයක් ලෙස දකින්නේ දෛවයේ සරදමකින් දෝ මට සිතේ. ඒ අද අධ්‍යාපනය සකස්වී ඇති අයුරෙනුත් විවිධ විෂයන් හදාරා පිටව යන සිසුන් වෙනුවෙන් ඉහල අධ්‍යාපනය හැදෑරීමට ද මෙවන් දෑ බාදාවන් ලෙස තිබීමත් මම දකින්නේ දෛවයේ සරදමක් සින් නිසාය. මන්ද යත් උසස් අධ්‍යාපන පාඨමාලාවට යන්නවුන්ගෙන් අසන්නේ ද සාමාන්‍යපෙළ හෝ උසස්පෙළ සමත් ද යන්න ය, නමුත් උසස් අධ්‍යාපන පාඨමාලාව ඇත්තෙන්ම ගිරාපෝතකයින්ට නොව බුද්ධිමතුන් හට වන දෙයක් බව මගේ මනස කියා පායි. ඒ නයින් බලන කල අද දිනයේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන අයට මෙන්ම සුදුසුකම් නොලත් අය සතුව ද බුද්ධිය එක ලෙස තිබිය හැකි බැව් මම කියමි.

නමුත් අද අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරන්නේ නම් එහි දී සිද්ධ වන්නේ ළමයාගේ තාර්කික බුද්ධිය මෙහෙයවා පිළිතුරු සැපයීම කල යුතු හෝ පිළිතුරු ගොඩනැගිය යුතු ප්‍රශ්න සමුහයකින් ළමා මනස කෙතරම් තාර්කිකද විචාර බුද්ධිමත් ද යන්න මැනීම නොව, ළමයා කෙතරම් ප්‍රමාණයක් දරාගන්නේ ද නො එසේ නම් මතකය මගින් කිව හැකිද යන්න පිලිඹද කරන මතක පරීක්ෂණයක් බවයි, මම මේ ගැන කියන්නේ අද දිනයේ දකින බොහොමයක් අධ්‍යාපන ප්‍රශ්න සකස්වී ඇති රටාවෙන් ඔබට පරණ ප්‍රශ්න පත්‍ර සියයක් හෝ දහසක් ගෙන බැලුවොත් ඒ ප්‍රශ්න පත්‍ර වල ගැබ්වී ඇති ප්‍රශ්න ම පෙරලා ඇසීමත්, පිළිතුරු පොතේ පරිදි ම නොවුනහොත් අසමත් කිරීමත් යන පදනමිනි.


ඉතිං මෙසේ වූ අධ්‍යාපනයක් ඇසුරින් බිහිවන ළමුන් තර්කානුකුලව වැඩ කරාවිද යන්න සිතීම ද මේ ක්‍රමය වෙනස්වීමට කාලය මේ ද යන්න සිතීම ද මම ඔබට භාර කරමි. ඔබ දකිනා දරුවන් හෙට දිනයේ රට මෙහෙයවන්නේ ද මේ ක්‍රමයට ම නොවන්නේ ය කියා කෙසේ නම් සිතිය හැකිවේද?