Wednesday, March 18, 2015

ජායාරුපකරණය 6 :: පසු සැකසුම් කළාව.


ගොඩක් දවසකින්. කොළමේ නම මාරු කරන්න හිතිලා තියෙන්නේ මටත් දැන්. ක්සැන්ඩරයාගේ යල මහ කොලම කියල දැම්මනං හොඳයි නේද? මොනවා කරන්නද, රාජකාරි බහුල නිසා වැඩිම කාලයක් යොදවන්නේ ඒ වැඩට.

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසු සැකසුම් ශිල්පය ගැන පොඩි දේවල් ටිකක්. ඉතිං මොකද්ද මේ පසු සැකසුම කියන්නේ? පසු සැකසුම එහෙමත් නැතිනම් පොස්ට් ප්‍රොසෙසින් විදියට හඳුන්වන කළාව ජායාරුපකරණයට ගසට පොත්තක් සේ බැඳී තිබෙන කලාවක් නැතිනම් කාර්යයන් ගණනාවක එකතුවක්. මේ කළාව ජායාරුපයකට කැමරාවෙන් පමණක් කල නොහැකි එනමුත් එයට අවශ්‍ය, තවත් අගයක් එකතුවන, යම් වෙනස්කම්, අඩුපාඩු මගහැරවීම් වැනි බොහෝ දෑ සිදු කරන පරාසයක ගමන් කරනවා.


මුල්ම කාලයේ දී සේයා පටල මගින් ජායාරුප ගන්නා කාලයේ දී අඳුරු කාමරයක සිට සිදු කල මේ පසු සැකසුම් කළාව  අද වන විට ඩිජිටල් තාක්ෂණය හරහා  ඩිජිටල් සේයාරූ ගැනීමත් සමගින්ම පරිඝණකය වෙත ලඟා විට තිබෙනවා. ඒ අනුව පරිඝණක උපාංග මෙන්ම මෘදුකාංග ද මේ කළාව වෙනුවෙන් අද වන විට සැකසී තියනවා.


ඇඩෝබි සමාගම තමයි වෙළඳපල දැනට සිටින ඩිජිටල් ඩාක් රූම් හෙවත් ඩිජිටල් අඳුරු කාමර නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා වන්නේ. ඩිජිටල් අඳුරු කාමරයක් යනු තවත් එක (හෝ කිහිපයක් වූ) පරිඝණක මෘදුකාංගයක් (හෝ කීපයක්) වන අතර ඒ මෘදුකාංගයන් හරහා ඔබට සැබෑ ලොවේ දී අඳුරු කාමරයක පටල සේදීමේ සිට සේයාරූ මුද්‍රණය දක්වා සිදු කල සියලු කාර්යයන් සහ තවත් බොහෝ දෑ සිදුකීරීමට අවස්ථාව සලසා දෙනවා. ඔවුන් විසින් නිර්මිත ඇඩෝබි ෆොටෝෂොප් සහ ඇඩෝබ් ලයිට්රුම් මේ මෘදුකාංග අතරින් ලොව ප්‍රධාන වෙනවා. මේ මෘදුකාංග දෙක හරහා ම සේයාරූ වල පසු සැකසුම් කල හැකි අතර ඇඩෝබි සමාගමේ කැමරා රෝ නම් මෘදුකාංගය (ෆොටෝෂොප් සමගින් භාවිතා කල හැකි) මගින් බොහොමයක් ලයිට්රුම් සෙටින්ග්ස් භාවිතා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා. මේ මෘදුකාංග දෙක දෙකක් ලෙසටත් (වෙන වෙනමමත්) එකක් ලෙසටත් (එක මෘදුකාංගයක සිට අනිකට මාරු වෙමින්) භාවිතා කල හැකි ලෙස නිමවා ඇති අතර බොහෝමයක් දෙනා ඒ මෘදුකාංග දෙක වෙන වෙනම භාවිතා කරනවා. මෙම මෘදුකාංග හරහා සේයාරූ වල තීව්‍රතාව, දෝෂ නිරාකරණය, වර්ණ ගැලපුම්, ආලෝක පාලනය, රාමු සැකසීම වෙබ් ගත කිරීමේ පහසුකම් වැනි සැකසුම් රාශියක් භාවිතා කිරීමට ඒවා කරන්නා වෙත ලබා දී තිබෙනවා.

Adobe Lightroom මෘදුකාංගය

Adobe Photoshop මෘදුකාංගය


ඊට අමතරව බොහොමයක් වෘත්තිමය ජායාරුප ශිල්පීන් මේ මෘදුකාංග සමගින් ප්ලගින්ස්, එහෙමත් නැතිනම් මේ මෘදුකාංග සමගින් එක්ව භාවිතා කල යුතු/හැකි වෙනත් මෘදුකාංග ද සේයාරූ පසු සැකසුම් සඳහා භාවිතා කරනවා. ඒ අතරින් ගූගල් සමාගම විසින් නිර්මිත නික් ටුල්ස් නම් මෘදුකාංග කට්ටලය ප්‍රධාන තැනක් ගන්නවා. තවද ටොපෑස් මෘදුකාංග කට්ටලය, මැක්ෆුන් කට්ටලය යනාදී මෘදුකාංග මේ කර්තව්‍යය සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. මේවා බොහෝවිට විශේෂිත යෙදවුම් සඳහා භාවිතා කරනු ලබනවා.


ඩිජිටල් ඩාර්ක් රූම් එකක් බොහෝවිටම එක පරිඝණකයක් ප්‍රින්ටරයක් සමගින් සෑදී ඇති අතර මේ සඳහා ද විශේෂිත උපකරණ සහිත තිර කීපයක් ඇති වැනි විශේෂිත පරිඝණක භාවිතා කරන අවස්ථා ද දකින්නට පුළුවන්. මේ පරිඝණක සඳහා වෘත්තිමය ජායාරුප ශිල්පීන් ඇපල් පරිඝණක වෙත ඉතා කැමැත්තක් දක්වන අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අය ද මේ අතර නැතිවා ම නොවේ.


හොඳයි, එහෙනම් දැනට තවත් පින්තුර ටිකක් ගන්නකම් මම අදට සමුගන්නවා. නැවතත් ලයිට්රුම් ගැන ලිපි පෙළක් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුව. එහෙනම් ආයුබෝවන්.

මෙන්න ඔබට දෝහා නගරය සැන්දෑ කලට දිස්වන අයුරු පෙන්වන මගේ තවත් සේයාරුවක්. මේ සේයාරුව ගත්තේ දෝහා වල තුන්වන උසම කුළුනේ නැගෙනහිර අන්තයේ සිට. මේ සඳහා විශේෂ ස්තුතිය මගේ පාසල් මිත්‍රයා ඉම්රාන් ඛාන් වෙත තිලිණ කරන්න කැමතියි,.


කැමති අය මෙතනින් එකතුවෙන්න මගේ සේයාරූ පිටුව එක්ක.

දෝහා නගරය, 2014 දෙසැම්බර් 20 වැනි දින සවස දිස්වූ අයුරු.