Monday, July 28, 2014

ජායාරුපකරණය - 4 ලෙන්සයක් මිලදී ගනිමු.

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෙන්ස් එකක් මිලදී ගන්න විදිය..

කලින් කොටසේ දී අපි කැමරා බොඩි එකක් ගන්නේ කොහොමද කියල කතා කළා ඔබට මතක ඇති. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කැමරාවට කොහොමද හරියන ලෙන්ස් එකක් ගන්නේ කියලා..

ලෙන්ස් ගැන කතා කරනකොට අපිට ලෙන්ස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩා වෙන් කරන්න පුළුවන්. එකක් ක්‍රොප් මෝඩ් ලෙන්ස් එහෙමත් නැතිනම් DX (නිකොන්) හෝ EF-S (කැනොන්) ලෙන්ස් සහ ෆුල්ෆ්‍රේම් FX නිකොන් සහ EF (කැනොන්) ලෙන්ස් විදියට මේ වර්ග හඳුන්වන්න පුළුවන්. 
මීට අමතරින් තවත් ලෙන්ස් වර්ග තිබෙනවා. ලෙන්ස් මම මේ ආකාරයට බෙදා වෙන් කලද ඔබ තවදුරටත් හදාරන විට දී මීට වඩා වෙනත් වර්ගීකරණයන් දකින්නට ලැබේවි.

මිල අනුව ගත්විට සාමාන්‍ය EF හෝ FX ලෙන්ස් මිලෙන් ඉතා අධික බව නම් කියන්නම ඕනේ. හේතුව මේ ලෙන්ස් වෘත්තිමය අවශ්‍යතා සඳහා ඉතාම සීරුවෙන් නිපදවූ ඒවා වීමත් ඒ සදහා භාවිතා කරන වීදුරු සහ අනිකුත් දෑ ඉතාම උසස් ඒවා වීමත් කියන කරුණු.

ඉතිං මේ ලෙන්ස් ගැන කියද්දී ලෙන්ස් මවුන්ට් එක එහෙමත් නැතිනම් කැමරාවට ලේන්සය සවි වන කොටස ගැන පොඩි සඳහනක් කරන්න අවශ්‍යයි. ලෙන්ස් මවුන්ට් එක සෑදීම සඳහා කිසිදු අන්තර්ජාතික මිනුම් දඬු භාවිතා වන්නේ නෑ. මේ නිසා ඔබට කැනොන් හි දී EF-S ලෙන්සයක් කැනොන් ෆුල් ෆ්‍රේම් බොඩි එකක දී භාවිතා කරන්න බැහැ. එසේ සවි කල හැකි වීම වළකාලන්න ෆුල් ෆ්‍රේම් කැමරා සකස්කරන්න කැනොන් සමාගම කටයුතු කරනවා. ඒ EF-S ලේන්සයක් ක්‍රොප් බොඩි එකක සවි කල විට ලෙන්ස් මවුන්ට් එක කැමරා බොඩි එක ඇතුලට යන ප්‍රමාණය වැඩි නිසා කැමරාවට හානි සිද්ධ වීම වළකාලීම පිණිසයි. නමුත් කැනොන් ක්‍රොප් බොඩි කැමරාවකට කැනොන් ෆුල්ෆ්‍රේම් ලෙන්ස් (EF-S ) ලෙන්ස් සවි කිරීමට හැකියාව තියනවා.
නිකොන් වලදී මේ ගැටළුව නෑ. ඔවුන් සතුව තියෙන්නේ නිකොන් F මවුන්ට් නම් එකම ලෙන්ස් මවුන්ට් එකක්. මේ නිසාම නිකොන් වලදී ඔබට ඔබ සතු DX ලෙන්ස් භාවිතා කල හැකිවාක් වගේම ඒ සඳහා ෆුල් ෆ්‍රේම් බොඩි සහය දැක්වීමක් ලෙස ලෙන්ස් ඉබේම අඳුනාගෙන ඒ සඳහා කැමරාව සකස්කර දෙන්න DX මෝඩ් එකකුත් ඇතුලත් කරන්නට නිකොන් සමාගම පියවර ගෙන තියනවා. හැබැයි DX මෝඩ් එක සහය දක්වන්නේ කුඩා මෙගා පික්සෙල් ප්‍රමාණයක් සඳහා පමණයි. (D610 ෆුල් ෆ්‍රේම් කැමරාවේ මෙය මෙගාපික්සල 10ක අගයක්.)

නිකොන් කැනොන් වර්ග දෙකට අමතරව ඔබට ටොකිනා (Tokina), සම්යන්ග් (Samyang), සිග්මා (Sigma) ටැම්රෝන් (Tamron) යන වර්ග වලින් ලෙන්ස මිලදී ගන්නට පුළුවන්. මේ ලෙන්ස ඇතැම්විට නිකොන් හෝ කැනොන් සමාගම් වල ලෙන්සයන් අභිබවා යන මට්ටමේ හෝ ඊට සමාන මට්ටමේ දක්ෂතා පෙන්වනවා.

හොඳයි, ඉතිං අපි බලමු මොනවාද ලෙන්ස් එකක් ගන්නා විට සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු කාරනා කියල.

මුලින්ම බ්‍රෑන්ඩ් නිව් එහෙමත් අලුත් ම අලුත් ලෙන්ස් එකක් ගන්නා විට, ඔබ සතුව ඇති කැමරාව කුමක්ද යන්නත් ඔබේ අවශ්‍යතාව කුමක්ද යන්නත් තෝරා බේරා ගතයුතු වෙනවා. ඒ කියන්නේ ඔබ සතු කැනොන් හෝ නිකොන් කැමරාවක් නම් ඉහත සඳහන් කල විස්තරය ඔබට ප්‍රමාණවත්. ඉන් අමතරව වගකීම් කාලය සහ වගකියන්නේ කුමන අවස්ථා වලද කියා පැහැදිලිව විමසන්න. ඊට එහායින් නම් ඔබට බලන්නට ඇත්තේ මිල ගැන පමණයි. ඇතැම් ලෙන්සයන් ද ඔන්ලයින් මාර්ගයෙන් අඩු මිලට මිලදී ගත හැකියි (භාණ්ඩ ගෙන්වාගැනීමේ ගාස්තු සමගින්ම) ඒ නිසා වෙළඳපල රවුමක් ගිහින් ගන්නවා නම් හොඳයි.

ඔබේ අවශ්‍යතාව වන්නේ පවුලේ සේයාරූ ගැනීම සඳහා නම් ඔබට මිලෙන් අඩු DX ලේන්සයක් තෝරාගත හැකියි. එසේ නොවී ඔබට වෘත්තිමය සේයාරූ සඳහා (උදා: මංගල සේයාරූ වැනි) කටයුත්තක් සඳහා නම් FX ලේන්සයක් මිලදී ගැනීම සුදුසුයි කියා මම යෝජනා කරනවා. නමුත් මෙවැන්නක් අත්‍යාවශ්‍ය නෑ. DX ලෙන්ස් වලින් මෙන්ම සමහර පොයින්ට් ඇන්ඩ් ෂුට් වලිනුත් දක්ෂයා වැඩ ගන්නවා මම දැකල තිබෙනවා.
ලෙන්ස් එකක් සෙකන්ඩ් හෑන්ඩ් එහෙමත් නැතිනම් නැවත මිලදී ගන්නවා නම් ඔබේ සැලකිල්ල ඉතාම අවශ්‍ය වන කරුණු පහත දක්වා තිබෙනවා.

දුවිලි සහ පුස් බැඳුනු ලෙන්ස.

ලෙන්ස් නිසිපරිදි ගබඩා කොට නොතිබීම නිසා පුස් බැඳීමට හැකියාව තිබෙනවා. ඒ ලෙන්ස් නිරතුරුවම තෙත් පරිසරයකට ආවරණය වී තිබීම මගින්. මේ පුස් ඔබේ පින්තුරු මත රටා ලෙස දිස්වන අතර ඒවා සුද්ධ කිරීම ඉතා අසීරු කටයුත්තක් වෙනවා. මේ තියෙන්නේ ලෙන්ස් එකක් මත වන පුස්. ඔබ මිලදී ගන්නා ලෙන්සය ඉතා පරිස්සමට පිරික්සා බලන්න එහි ඇහැට පෙනෙන පුස් තිබේ ද කියා.

ලෙන්සයේ ඇති පුස් ආලෝකයේ දී දිස්වන අයුර

 වැටීම් සහ පලුදු වීම ඇති ලෙන්ස 

මේවා පියවි ඇසට නොපෙනෙන නමුත් විපරම් කල විට දැකගත හැකි දෝෂ සහිත ලෙන්සයන් වේ. ලෙන්සය ගෙන එහි සූම් කරන්නට පහසුකම ඇතිනම් සූම් කර බලන්න. ඒකාකාරී ලෙස ලෙන්සය එහිදී හැසිරිය යුතුයි. එහි යම් ගැප් එකක් එහෙමත් නැතිනම් හිරවීමක් දැනුනොත් ලේන්සය සියුම් ව පිරික්සා බලන්න එහි යම් තැලීමක් දකින්නට හැකිද කියා. බොහෝවිට මෙවැනි ලෙන්සයන් වැටීම් නිසා වන හානි සහිත ඒවායි. මේ දෝෂ සමනය කල හැකි සහ නොහැකි ලෙස තිබෙන නිසා පරිස්සම් වීම වඩා හොඳයි නේද? මොකද මෙවන් ලෙන්සයන්ගේ අභ්‍යන්තර දෝෂ පවතිනවා.

මෙන්න මේවටයි හානි වෙන්නේ. ඒවා පිටට පේන්නේ නෑ.


ලෙන්සය මත වන හීරීම් සහ තුවාල වීම

ඔබේ පින්තුරු සඳහා කෙලින්ම බලපෑම් කල හැක්කේ ලේන්සයේ වීදුරු මත වන සීරීම් සහ පලුදු වීම් වලටයි. ඒ නිසා ඒවා විපරමින් බලන්න.

පේනවාද පොඩි සීරුම? පොඩි වුනත් පින්තුරේ හරි මැදින් ඉරක්??


අද වෙළඳපොලේ භාවිතා කල ලෙන්ස මිල අඩුවෙන් සොයාගන්න හැකියාව තියනවා. මමත් එවැනි ලෙන්සයන් දෙකක හිමිකරුවෙක්. ඒ කිසිවක දෝෂ නෑ. ඔබ කලින් දුටු සේයාරූ සහ අද ඔබට තිලිණ කරන සේයාරුව ඒ ලෙන්ස භාවිතා කර ගත්තු ඒවායි. භාවිතා කල ලෙන්සයක් මිලට ගන්නට යන සෑම විටකම ඔබේ කැමරාව රැගෙන යන්න. ඉර එලිය හොඳින් පවතින විටක යන්න. ඔබට බොහෝ දෑ එවිට පෙනේවි. හැකි නම් ලැප්ටොප් පරිඝනකයක් රැගෙන යන්න. එය ඔබට විශාල උදව්වක් වේවි පින්තුරු සියුම්ව නිරීක්ෂණය කරන්න.

මීට වඩා තවත් බොහෝ කරුණු ඇතත්, ඔබේ ඉල්ලීම මත ලියන්නට ඉඩ තබානැවත හමුවන තෙක් දෝහා නගරයට හිරු බසින දර්ශයනක් ඔබට තිලිණ කරමින් අදට සමුගන්නවා....

දෝහා නගරයේ සැන්දෑ හිරු රැස් පතිතවන ආකාරය MIA පාක් හි සිට - සේයාරුව මගෙන් :)
ලෙන්ස් සඳහා සේයාරූ ගූගල් වෙතින්..


Wednesday, July 9, 2014

ජායාරූපකරණය ගැන සිංහලෙන් - 3

 

හොඳ කැමරාවක් ගමු ද එහෙනං?

පින්තුරය : ගූගල් වෙතින්..


අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ කැමරාවක් ගන්නේ කොහොමද සහ ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ දේවල් සමුහයක් ගැන. හොඳ කැමරාවක් විදියට මම මෙතන හඳුන්වා දෙන්න යන්නේ අපි කතාකරපු DSLR වර්ගයේ කැමරාවන්.


මොකද මේ DSLR එකක්ම?
මේ වර්ගයේ කැමරා වලදී කැමරාවේ ද්වාර වේගය, කාච විවරය සහ පටල වේගය (Shutter Speed, Aperture and ISO) පාලනය කරන්න වෙන වෙනම හැකියාව තියනවා. ඒ එක්කම තවත් අතිරේකව කැමරාවේ නිරාවරණ මීටරය මගින් සහ ආලෝක මීටර මගින් කැමරාවෙන් හොඳ තත්වයේ රූපරාමු ලබාගන්න අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරන්න හැකියාව මේ සමගින් ලැබෙනවා.

තව දුරටත් කතා කරද්දී මේ වර්ගයේ කැමරා වල අපිට පෙර සැකසුම් කර නැති, ගොනුව හකුළුවා නැති දල රූප (lossless uncompressed RAW) විදියට පින්තුරු ලබාගන්න පුළුවන්. මේ පින්තුරු වලින් අපිට ඇඩෝබි ලයිට්රූම්, ඇඩෝබි කැමරා රෝ සහ ඇඩෝබි ෆොටෝෂොප් වලදී අවශ්‍ය පරිදි සංස්කරණය කරන්න, සැකසුම් සිද්ධ කරන්න ඉතාම ඉහල හැකියාවක් ලැබෙනවා.


මිල පරාසයන් ගත්තොත්?
ලංකාවේදී නම් මිල රුපියල් 30000 සිට ඉහළට දකින්න පුළුවන්. ඉතාම ඉහල මට්ටමේ වෘත්තීය කැමරා නම් රුපියල් ලක්ෂ හතකට (Nikon D4s | Canon 1Dx) වඩා වැඩි මුදලක් වෙනවා. එත් අපිට අවශ්‍ය සරල කැමරා. ඔබට පසුව ඔබේ අවශ්‍යතා මත වෙනත් කැමරාවකට මාරු වෙන්න පුළුවන්.

ඔබට අවශ්‍ය නම් ඔන්ලයින් ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ද ඇනවුම් සිදු කරන්න පුළුවන්. මිල නම් ටිකක් අඩුයි එත් වගකීම් සහතික ගැන නම් බොහෝ තැන්වලදී කියන්න බෑ. එත් වැදගත් තැනකින් මිලට ගත්තොත් වගකීමක් ද සහිතයි. වැඩේ තියෙන්නේ


මොනවාද ඉතිං හොඳ කැමරා ජාති?
වඩා ප්‍රසිද්ධ නං ඉතිං කැනොන් හෝ නිකොන් කියන වර්ග දෙක. එත් ඒ දෙකෙනුත් වඩාත්ම හොඳ එක තෝරනවා කියන්නේ නං සංකීර්ණ ප්‍රශ්නයක්. බොහෝ වේලාවට අපි දකින දෙයක් තමයි කැනොන් කැමරා මෙන්ම නිකොන් කැමරා ද එක හා සමාන ලෙස වෘත්තීය මට්ටමේ දී භාවිතා වෙනවා කියන දේ. ඇත්තෙන්ම කැනොන් කැමරා මිලෙන් ටිකක් අධිකයි. ඒ වගේම ලෙන්ස් වල ද මිල ටිකක් නිකොන් වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ එක්කම බොහොමයක් කැමරා ඉහල පටල වේගවලදී වඩා හොඳ සංවේදීතාවයක් දක්වනවා. තව දෙයක්, කැනොන් කැමරා තමන්ගේ ෆුල්ෆ්‍රේම් කැමරා බොඩි වලට ක්‍රොප් මෝඩ් ලෙන්ස් භාවිතාව සඳහා සහය දක්වන්නේ නෑ.

නිකොන් කැමරා ද මීට දෙවැනි වන්නේ නෑ. එහෙම නැතිනම් ඉතිං ඔවුන්ට ද පැවැත්මක් නෑ නේ? ඔවුන්ගේ මිල මට්ටම ටිකක් පහලින් තියන අතර ලෙන්ස් ද සාපේක්ෂව මිල අතින් පහලින් තියනවා. නිකොන් වර්ගයේ කැමරා තමන්ගේ ෆුල්ෆ්‍රේම් කැමරා බොඩි සඳහා ක්‍රොප් මෝඩ් ලෙන්ස් භාවිතය අනුමත කරන අතර ඒ ලෙන්ස් කැමරාව විසින්ම හඳුනාගෙන ඊට අනුකූලව කැමරා බොඩිය සකස් කරනවා.

මේ සියල්ලටම පසුව ඒ ඒ නිෂ්පාදකයා තමන්ගේ එක් එක් කැමරා මොඩලයන් සඳහා විවිධ පහසුකම් සලසා දෙන අතර ඒවා ද අවශ්‍යතා මත එකිනෙකාගේ තෝරාගැනීම් වෙනස් කරන්න සමත් වෙනවා., උදාහරණයක් ලෙස, නිකොන් D610 කැමරාවේ ක්ෂනිකාලෝකයක් (ෆ්ලෑෂ්) එකක් අඩංගු අතර කැනොන් 6D හි ඒ පහසුකම ලබා දි නෑ. එසේම නිකොන් D610 කැමරාවේ ක්ෂනිකාලෝක පද්ධතිය දුරස්ථ ක්ෂනිකාලෝක පද්ධති (Off camera Flash commander) මෙහෙයවීම සඳහා සහය ලබා දෙනවා. කැනොන් හි දී ඒ පහසුකම ද ලබා දී නෑ.


පාවිච්චි කල එකක් ගන්න බැරිද?
මොකද බැරි? ඒත් ඒ සඳහා ඔබ දැනුවත් වී සිටිය යුතුයි. ඒ කියන්නේ ඇතැම් කැමරා වල නිෂ්පාදන දෝෂ මත වන දොස් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා වෙළඳපලට අඩු මිලට එනවා වෙන්න පුළුවන්. මීට හොඳම උදාහරණය නිකොන් සමාගමේ D600 කැමරාව. මේ කැමරාවේ ෂටරයේ තෙල් / දුවිලි අංශු බැඳීමක් සිද්ධ වෙනවා. ඒ නිෂ්පාදන දෝෂයක් විදියට. ඉතිං අද මේ කැමරා ගන්න කෙනෙක් නෑ. නිෂ්පාදකයා මේ මොඩලය තවදුරටත් විකුනන්නෙත් නෑ. ඒ හේතුවෙන් භාවිතා කල, දෝෂ සහිත කැමරා අද බොහෝ දෙනා විකිණීමට උත්සාහ කරන කාලයක්.

නමුත් ඇතැම් දෙනා මේ දෝෂය සලකන්නේ නෑ. මේ දෝෂය ෆොටෝෂොප් මගින් ඉවත් කරන්න හැකිය කියන තැන ඔවුන් ඉන්නවා. එත් ඉතිං දෝෂ තියන කැමරාවක් මොකට ගන්නවද නේද?


ඉතිං ඔය දේවල් පේනවද?
ඔව්. මේ දුවිලි / තෙල් අංශු නම් පේන්නට තියෙනවා. එත් ඒ සඳහා සේයාරුවක් ගෙන පරික්ෂා කරන්න ඕනේ. ඒකත් පරිඝනකයෙන්. මොකද කැමරාවේ ඩිස්ප්ලේ එකේ දී දැක්කට අපිට මේ දෝෂ හරියටම පේන්නේ නෑ. නමුත් සෙන්සරය මත ඇති දුවිලි බැඳීම්, කැමරාවේ වැටීම් තැලීම් නම් බලන්න පුළුවන්.
සෙන්සරයේ දුවිලි පරික්ෂා කරන්න නම් කැමරාවේ සෙන්සරය තිබෙන කුටිය විවර කර පරික්ෂා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සෙන්සරය තියෙන්නේ කැමරාවේ ටිකක් ඇතුලේ, ඒ කියන්නේ ෂටර් කර්ටන් එක සහ දර්පණ කොටසකට පසු. ඉතිං ඒ නිසා කැමරාවේ සෙන්සරය ක්ලීනිග් මෝඩ් එකට දාල තමයි බලන්න වෙන්නේ.

දෙවනුව කැමරාවේ පවසන ආයු කාලය හා සාපේක්ෂ ගෙවීම් සීරීම්. ඒ ගැන නම් ඉතිං බලන්න ඕනේ කැමරාවේ පිටත පෙනුම. විශේෂයෙන්ම කැමරාවේ පටිය හා ඒ ආසන්න කොටස්. මේවා ක්ෂය වෙලා නම් කැමරාව භාවිතයේ හොඳින්ම තිබුණු එකක්. බොහෝ විට පටිය අලුත් මෙන් පෙනුනද ඒ ආසන්නයේ ගෙවීම් දකින්න පුළුවනි.

තව එකක්, කැමරාවේ ෂටරයේ සටහන් වෙනවා එයින් ලබාගත් පින්තුරු ගණන. මේ තුලින් කැමරාවේ ෂටරයේ ආයුකාලය සහ භාවිතයේ දී (නිෂ්පාදකයා කියා තිබෙන පරිදි ෂටරයේ ආයු කාලයට සාපේක්ෂව ) කොතරම් පින්තුරු ගණනක් ලබාගෙන ඇතිද යන වග සොයාගන්න පුළුවන්.මේක බලන්න ඕනේ නං කැමරාවෙන් ගත් පින්තුරයක් මේ පහල සටහන් කර ඇති වෙබ් අඩවි වෙත ගොස් ඒ ඇති මෘදුකාංග භාවිතා කරලා ලබාගන්න පුළුවන්. නමුත් මේ කාලයන් සාපේක්ෂයි. ඔබ වාසනාවන්ත නම් මේ කාලයට වඩා කාලයක් ඔබට ඔය කැමරාව භාවිතා කරන්න පුළුවනි. අවාසනාවකට හෝ මේ කාලය තුලදීම ෂටරය දෝෂ සහිත වුවොත් කරන්න තියෙන්නේ ෂටරය මාරු කරන එක. හරිම සිම්පල් ප්ලෑන් එකක් නේ?


වැදගත් දේවල් ටිකක්...
කැමරාවක් ගන්න වෙලාවක ටිකක් ඒ ගැන දන්නා කෙනෙක් ඒ වගේම විශ්වාසවන්ත කෙනෙක් එක්ක යන්න. විශේෂයෙන් භාවිතා කල එකක් ගන්නවා නම්. ඒ එක්කම මතක තියාගන්න, ලෝකේ තියන හොඳම කැමරාවට බෑ හොඳම ජායාරුප ශිල්පීන් බිහි කරන්න. නමුත් ලෝකේ තියන නරකම කැමරාව වුනත් හොඳ ඇහැක් තියන ශිල්පියෙක් ගත්තොත් ඒ කැමරාව භාවිතා කරලා හොඳ මට්ටමේ සේයාරූ නම් ලබා ගනීවි. ඒ කියන්නේ ඔබ අතේ තියන කැමරාව තමා හොඳම කැමරාව..

මෙතනදී කැමරා කියා අප හඳුන්වා දී ඇත්තේ කැමරා බොඩිය පමණක් වන බව සලකත්වා. හේතුව කැමරාව තරමක් වෘත්තිමය පැත්තට බර වූ විට කැමරාව සමග බොහෝවිට ලේන්සයක් නොලැබේ. ඔබට ඒ සඳහා අවශ්‍ය ලෙන්ස් මිලදීගත යුතු වේ. ලේන්සයන් සමගින් කැමරා පැකේජ ඇතත් ඒ මුදල බොහෝ විට වෙනත් දෙයක් සඳහා යොදාගත හැකිය.



එහෙම නම් ඊලග කොටසෙන් හමුවෙමු ලෙන්ස් ගැන කතා කරන්න.... එතෙක් ආයුබෝවන්.

කැමරාවේ ෂටරයේ ආයුකාලය දැනගන්න මෙතනට යන්න..