Thursday, January 26, 2012

කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...

කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...


අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්.

පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ කොහොමහරි පාස් වෙලා කැම්පස් යනවා කියල. ලෙවල් කරනකොට අපි හිතුවේ කවදාහරි ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යනවා කියල. ඊටත් කලින් අපි හිතුවේ මං දොස්තර මහත්තයෙක් වෙනවා.. ඉංජිනේරුවෙක් වෙනවා කියල. ඉතින් එහෙම හිතාන අපි රෑ එළිවෙනකම් කකුල් වතුරේ ඔබාන පාඩම් කලා.. බනිස් ගෙඩියක් බත් මුලක් අරන් ගිහින් කාල පන්ති ගියා.. මහා අව්වේ කර වේවි.. මහා වැස්සේ තෙමි තෙමි.. අපි ඉගනගත්තේ අපේ හීනේ හැබෑ කරගන්න..අපේ අම්මල අප්පච්චිලා දහ දුක් විඳලා හම්බ කරලා උගැන්නුවාට ඒ අයට පස්සේ කාලෙක සලකන්න..

ඉතින් එහෙම ඉගනගෙන කැම්පස් ආපු ඔයාල මේ දවස්වල කරන අරගල ගැන දැක්කම මට හිතෙන්නේ ඔයාල ලංකාවේ බෙලහීන දේශපාලනේ තවත් එක ගොදුරක් වෙලා කියල. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හැටියට කොන්ද කෙලින් තියාගන්න ඕනේ ඔයාල මේ ලංකාවේ වැදගම්මක් නැති දේශපාලන බලවේග වල තවත් එක අතකොලුවක් වෙලා. ඉගනගන්න ආව ගමන පැත්තක තියල රූකඩ ශිෂ්‍ය ව්‍යාපාර ගෙනියන බොළඳ රැල්ලට අහුවෙලා ගහගන ගිහින් ඉන්නවා දැක්කම මටනම් හිතට වේදනාවක් දැනුන..

මමත් ඔයාල වගේම පන්ති ගිහින් ඉගනගෙන විභාග ලිව්වත් කැම්පස් යන්න හම්බවෙන 20000 වන ශිෂ්‍ය ප්‍රජාවට අයත් නොවුණු කුලකයේ එකෙක්. එත් මගේ පූරුවෙ වාසනාවට මගේ අම්මලාට පින් සිද්ධ වෙන්න මම පුද්ගලිකව ඉගෙනගෙන අද ගොඩක් හොඳ තැනක ඉන්නවා. එත් මගේ එක්ක එක පන්තියේ ඉගනගෙන කැම්පස් ගියපු සමහර යාලුවෝ අද මං ඉන්න තැනට කිට්ටුවට එන්නත් බැරිව ඉන්නවා. එහෙම උනේ එයාල ඉගනගන්න අදක්ෂ නිසාවත් වෙන දෙයක් නිසාවත් නෙවෙයි. ඒ අයත් ඉගනගත්ත. එත් කැම්පස් වහද්දි ගෙවල් වලට ගිහින් ආයේ අරිද්දි ඇවිත් ඉගෙනගෙන අපහු වහද්දි ගෙදර ගිය එකේ කාලය එයාලට නොලැබුන හින්දයි එහෙම උනේ.. එයාල කාලය එක්ක තිබ්බ රේස් එකෙන් පැරදුණා.. ඉතින් එයාලට උනෙත් කැම්පස් වල දේශපාලන අතකොලු වෙන්න. පිකට් කරන්න කඳුළු ගෑස් කන්න පොලිසි උසාවි වල රස්තියාදු වෙන්න කාලය වැය කරන්න. ඒ කරපු දේවල් වලින් රටට වෙච්ච යමක් නෑ. තමන්ගේ කාලය නැති උනා මිසක්..



අරගල කරන්න ඕනේ. ඒකත් එක සොඳුරු අත්දැකීමක්.. ඒත් සීමාවක් ඇතුව. අද දකින අරගල සීමා මායිම් නැති හුදෙක් චන්ඩිකම් කරන අරගල වෙලා.. මිනිස්සුන්ට ගහන්න ගෙවල් වාහන කුඩු කරන්න මිනිස්සුන්ගේ ගමනාගමන නිදහසට බාදා කරන්න අද අරගල වෙසින් ශිෂ්‍යයින් මෙහෙයවනවා. ඇත්තටම රටේ බුද්ධිමතුන් කියාගන්න ඔයාලට තරම් වැඩ නෙවෙයි නේද මේ? 

ඔය අතරේ කැම්පස් වල තියන වර්ගවාදී පටු භේද ආදිය මටනම් හිතෙන්නේ කුහක කමින් කරන කෙනහිලි කියල. මේ කැන්ටිම තියෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ඒකට තොපි එන්න ලජ්ජා නැද්ද? ඔය හොඳ හෝටල් තියෙන්නේ ගිහින් කාපියව් කියල බඩගින්නට කන්නට එන තමන්ගේම ෆැකල්ටියේ තවත් එක ශිෂ්‍යෙක්ට ශිෂ්‍යාවකට කියන්නේ පටු පන්ති භේදය මුල් කරගත් කුහක කමෙන් නෙවෙයිද? ඇත්ත සමහරුන්ට හොඳට සල්ලිය බාගේ තියෙන්න පුළුවන් ඒත් ඒ දරුවත් එන්නේ ඉගනගන්න. සමහරුන්ට පේන තරමට සල්ලි නොතියෙන්නත් පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කුල් වලට ගියපු උන් එන්නේ නෑ කවදාවත් ඔය කැම්පස් වලට. උන් එංගලන්තේ ඇමරිකාවේ යයි. එහෙනම් මේ කාටද මෙහෙම කියන්නේ?

තව දෙයක් තම කැම්පස් රැග. පොඩි විහිළුවක් දෙකක් කරන අහිංසක රැග නම් ඕනේ කෙනෙක් එපා නොකියාවී. ඒත් දැන්? ලිංගික අසහනකාරයෝ අසහනකාරියෝ රෑනක් ම කැම්පස් එකේ ඉන්නවා කියන්න පහුගිය ටිකේ පුවත්පත් වල ගිය පුවත් ප්‍රමාණවත්. කෙල්ලන්ගේ කොල්ලන්ගේ කියල වෙනසක් නැතිවම මේ එන්නෙත් අර තියන කුහකත්වයේ තවත් එක පැතිකඩක්.

ඉතින් ඉස්කෝලෙන් හොඳට ගිය එකා කැම්පස් ගියගමන් මේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නය ඔබට බාරයි.. හිතන්න.. රටේ හෙට දවස ඔබ අතේ නම් අද ඔබ හොඳ පුරවැසියෙක් විය යුතුයි. ඔබේ කාලය නාස්ති නොකර ඉගනගන්න.. තරඟකාරී ලෝකයේ තරගයට ඉක්මනින් පා නගන්න.. අපි බලන් ඉන්නම්..

එසේනම් කඩතුරා ඉරා සත්‍ය දකින්න කාලයි මේ....

Tuesday, January 3, 2012

පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? III විදුලිය හා ආලෝකය


මේ දෙදහස් දොළහ වසරේ ක්සැන්ඩරයාගේ කොළමේ පලවෙන පලවෙනි ලිපිය. ඉතින් ඔය කියවන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වගේම සියලු සුබ සිහින ඉටුවන නව වසරක් වේවා කියල ක්සැන්ඩර් ඉස් ඉස්සරලාම ඉතසිතින් ප්‍රර්ථනා කරනවා.

ඉතින් අවුරුද්දේ මුලදීම මම මේ හදන්නේ මගේ පිටසක්වල ජීවයක් ගැන කියවෙන කතා මාලාවේ 3 වැනි කොටස විදුලි භාවිතය ගැන කතා කරන්න. ඉතින් ඔයාල අද මේ අඩවියට ආවානම් මෙන්න මේ සබැඳි දිගේ ගිහින් මේ කතාවේ මුල් කොටස් කියවන්න පුළුවන්.

අද ලෝකේ විදුලිය කියන දේ නැතුවම බැරි දෙයක් වෙලා. කොච්චර නැතුවම බැරිද කියනවනම් සමහර රටවල විදුලිය නැති උනාම මිනිස්සු අවුල් වෙන තත්වෙට පත්වෙනවා. විදුලි සෝපාන කාර්යාල සාප්පු ආදී මෙකී නොකී හැම දෙයක්ම උඩුයටිකුරු කරන්න මේ විදුලියට පුළුවන්. ඉතින් මේ අපුරු බලය අතීත මුතුන් මිත්තන් දැකල තිබ්බේ අකුණු හරහා විතරක් කියන එක තමා අද බොහෝ දෙන පිළිගන්න මතය වෙලා තියෙන්නේ. ඉතින් මේ ශක්තිය විදුලි කෝෂ හැටියට ගබඩා කරගන්න පටන්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 1800 ඉතාලියානු ජාතික ඇලෙක්සැන්ඩර් වෝල්ටා හොයාගත්ත බැටරියත් එක්කයි. ඒක 1836 දී ඩැනියෙල් සෙල් විසින් තවත් දියුණු කරලා තියනවා. ඔය විදුලියෙන් එලිය නිපදවාගන්න පටන්ගත්තේත්  ඊට සමගාමීවයි. මේ විදුලි බල්බ නිපදවන්න ගොඩක් අය උත්සාහ කරත් මුලින්ම අපේ මතකයට එන්නේ තෝමස් අල්වා එඩිසන් මහත්මයාවයි. එත් මේ යට කලින් කවුරුත් ඔය විදුලිය ගැන දැනන් හිටියෙවත් පාවිච්චි කලේ වත් නැද්ද?

මේක කියවන ඔයාලගෙන් ගොඩක් දෙනෙක් බැග්ඩෑඩ් බැටරිය ගැන අහල නැතුව ඇති. 1936 බැග්ඩෑයේ  කුජුට් රබු කියන ගමෙන් හමුවුනු මේ පහත තියන මැටි භාජනය හා ලෝහ පතුරු ක්‍රිස්තු පූර්ව යුගයේ පාවිච්චි කරන ලද බැටරියක කොටස්. මේවා අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 250 ක් වත් පැරණි කොටස් බවට විද්‍යාඥයන් මත පල කරනවා. 




අම්ලමය දියරයකට ලෝහ එනම් තඹ කූරක් වටා වූ යකඩ ආවරණයක් දැමීමෙන් නිපදවාගන්න කුඩා ප්‍රමාණයේ විදුලියක් මේ බැටරි වලින් ලැබිල තියනවා. ඉතින් මේ වගේ බැටරි වල බලය නිපදවන්න ඒ කාලේ විනාකිරි, මිදී යුෂ වගේ අම්ල භාවිතා කරන්න ඇති කියල විද්‍යාඥයන් විශ්වාසය පල කරනවා. මේ පහලින් තියෙන්නේ ඒ සරල ඇටවුම.




එහෙමනම් ඇලෙක්සැන්ඩර් වෝල්ටා කරේ නැවත සොයාගැනීමක් ද? බැටරියේ මුලාරම්භය වසර 2000 කටත් එහා අතීතේ සිදුවූවක්ද?

ඉතින් මෙයාකාර බැටරි ගණනාවක් සරල අටවුමක් මගින් එකතු කරගෙන මොනවාද කරන්න පුළුවන් කියන එක ගැන අදත් හරියාකාර මතයක් ප්‍රකාශ වෙලා නෑ. ඒ කොහොම වුනත් අපේ මුතුන් මිත්තෝ ජනප්‍රිය මතයට අනුව කියන විදියට ගිනි දල්වන්න ගිනිගල් හොයමින් දර අතුල්ලමින් ඉඳල නෑ නේද?

ඔයගොල්ලන් කවුරුහරි ඊජිප්තුවේ සංචාරය කරලා තියනවද? පිරමීඩ වලට? එහෙමනම් ඔයාල අනිවාර්යෙන් ඒවා ඇතුලේ තියන පටු බිංග දිගේ යන්න ඇති. ඉතින් ඒ යනකොට විස්තර කරන්නන් කියන්නේ ඒ පිරමීඩ මුල්ම කාලේ එලිය කරේ පන්දම් එළියෙන් කියල. ඒ කතා අහන ඔබ යන්තම් වත් ඔලුව උස්සල බලල නැතිද ඒ පිරමීඩ බිංග වල කොට වහලවල් දිහාවේ? එහෙම බලල බලාපොරොත්තු වෙන්නේ ඒ වහල වල බැඳුනු කළු පාට දැලි තට්ටුව දකින්න නම් ඒ බලාපොරොත්තුව හරි යන්නේ නෑ. ඒ මොකද ඒවාගේ දැලි පොදක්වත් නෑ. ඉතින් එහෙනම් කොහොමද පිරමීඩ එලිය කරේ? හදන කාලේ උනත් මේවා එලිය කරන්න පන්දම් යොදවපු බවක් පෙනෙන්න නැත්තේ කිසිම චිත්‍රයකවත් දැලි හෝ දැලි මිශ්‍ර තෙල් අංශු දකින්න නැති හින්දයි. හොඳයි ඉතින් දැන් ඔයාල හිතනවා ඇති එහෙනම් පස්සේ කාලෙක මේ පිරමීඩ වල චිත්‍ර, සීලිම් එහෙම පිහදාන්න ඇති කියල. එත් ඒ තරම් පිරිසිදුව තියෙන්න පිහිදාන්න? එත් ඒ පුරාතනයේ විදුලි බල්බ තිබුනානම්?

ඉතින් ලයිට් බල්බයක් ගැන ඉතිහාසේ තියන සාක්ෂි හොයන්න අපි ඊළඟට යන්නේ ඊජිප්තුවට. ඊජිප්තුවේ පිරමීඩ වල තියන චිත්‍ර අතර කොහොමත් අපුරු චිත්‍ර තියනවා. ගුවන් යාන හෙලිකොප්ටර වගේම මේ පහත තියන චිත්‍රෙත් ගොඩක් දෙනාගේ ඇසට අසුවුන එකක්. ඊජිප්තුවේ දෙන්ද්‍රා හි හාතෝර් දේවාලයේ තියන මේ පහලින් ඇති චිත්‍රෙ ගැන පිටසක්වල ජීවය ගැන මත පළකරපු, ඒ වගේම චැරියට්ස් ඔෆ් ගොඩ්ස් පොත ලියපු එරිච් වොන් ඩැනිකන් කියන්නේ මේ චිත්‍රෙ පෙන්වන්නේ විදුලි බල්බයන් දෙකක් කියලයි. එත් මේ චිත්‍රෙ ගැන අරුත් දක්වන විද්වතුන් නම් කියන්නේ මේ චිත්‍රයේ නෙළුම් මල් දෙකකින් එන නාග රූප දෙකක් දැක්වෙනවා කියලයි. 






ඉතින් ඒ කොහොම වෙතත් ඔයාල පරිස්සමෙන් බැලුවොත් බල්බයේ අග ඉඳල මේ හැම එකක්ම යම්කිසි බෝතලයක් වැනි දේකට සම්බන්ධ කරලා තියනවා දකින්න පුළුවන්. එහෙනම් ඒ සම්බන්ධය යා වෙන්නේ අර මුලින් දැක්ක වැනිම වූ ප්‍රමාණයෙන් විශාල බැග්ඩෑඩ් බැටරි සමුහයකටද ? එරිච් වොන් ඩනිකන් කියන පරිදි ඔහු මේ ඇත හදාබැලීම කරලා තියනවා. එත් ඔහු කියන්නේ නෑ ඔහු බල්බය දල්වන්න කොයිතරම් විදුලියක් භාවිතා කරාද කියල. ඒ ගැන නම් මට ඇති වන්නේ සැකයක්. එත් අපි ගල් යුගයේ යයි කියන, ලීවරයේ ප්‍රාථමික මට්ටම විතරක් දන්නා බව කියන ආදී මානවය විදුලිය ගැන මේ තරම් දනුමතිව මේ තරම් දෙයක් කළා නම් ඔවුන්ට විදුලිය ස්ථාවර කරන එක ඒ තරම් දෙයක් නොවෙන්න ඇති නේද?

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ එරිච් වොන් ඩනිකන් අත්හදා බැලීම කරන විදිය..

හිතන්න... අද ලෝකය මොනතරම් දියුණුද? ඒත් ඒක එහෙමමද?