Wednesday, November 19, 2014

දෙවොල් කවි.

Picture by Google Search. All rights are on original photographer/website.


පුරා තෙවසර වෙහෙසිලා මා

තැනුවෙමි දෙවොලක්

තනා මලසුන් පුදන්නට එහි

තැබුවෙමි එක පුදසුනක්

තනා එ දෙවොල තබන්නට එහි

වෙහෙසවුවෙමි දෙව් රුවක්

තබා දෙව්රුව පුදන්නට එහි

පැමිණි විට මා එක දිනක්

දෙවිඳු පැනගොස්

දෙවොල පාළුය

මලසුනේ ඇත


මල් ටිකක්...

Friday, August 1, 2014

ජායාරුපකරණය සිංහලෙන් - 4 - ලෙන්සයක් මිලදී ගනිමු.



මොකක් හරි හේතුවක් හින්ද මට පේන්නේ මේ පෝස්ට් එක කොහෙවත් අප්ඩේට් වෙන්නේ නෑ වගේ. ඒ නිසා රී පෝස්ට් කරන්නත් බැරි එකේ, ඔන්න මම ආයෙම ලින්ක් එකක් විදියට දානවා.. 

ජායාරුපකරණය සිංහලෙන් - 4 - ලෙන්සයක් මිලදී ගනිමු.



Monday, July 28, 2014

ජායාරුපකරණය - 4 ලෙන්සයක් මිලදී ගනිමු.

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෙන්ස් එකක් මිලදී ගන්න විදිය..

කලින් කොටසේ දී අපි කැමරා බොඩි එකක් ගන්නේ කොහොමද කියල කතා කළා ඔබට මතක ඇති. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කැමරාවට කොහොමද හරියන ලෙන්ස් එකක් ගන්නේ කියලා..

ලෙන්ස් ගැන කතා කරනකොට අපිට ලෙන්ස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩා වෙන් කරන්න පුළුවන්. එකක් ක්‍රොප් මෝඩ් ලෙන්ස් එහෙමත් නැතිනම් DX (නිකොන්) හෝ EF-S (කැනොන්) ලෙන්ස් සහ ෆුල්ෆ්‍රේම් FX නිකොන් සහ EF (කැනොන්) ලෙන්ස් විදියට මේ වර්ග හඳුන්වන්න පුළුවන්. 
මීට අමතරින් තවත් ලෙන්ස් වර්ග තිබෙනවා. ලෙන්ස් මම මේ ආකාරයට බෙදා වෙන් කලද ඔබ තවදුරටත් හදාරන විට දී මීට වඩා වෙනත් වර්ගීකරණයන් දකින්නට ලැබේවි.

මිල අනුව ගත්විට සාමාන්‍ය EF හෝ FX ලෙන්ස් මිලෙන් ඉතා අධික බව නම් කියන්නම ඕනේ. හේතුව මේ ලෙන්ස් වෘත්තිමය අවශ්‍යතා සඳහා ඉතාම සීරුවෙන් නිපදවූ ඒවා වීමත් ඒ සදහා භාවිතා කරන වීදුරු සහ අනිකුත් දෑ ඉතාම උසස් ඒවා වීමත් කියන කරුණු.

ඉතිං මේ ලෙන්ස් ගැන කියද්දී ලෙන්ස් මවුන්ට් එක එහෙමත් නැතිනම් කැමරාවට ලේන්සය සවි වන කොටස ගැන පොඩි සඳහනක් කරන්න අවශ්‍යයි. ලෙන්ස් මවුන්ට් එක සෑදීම සඳහා කිසිදු අන්තර්ජාතික මිනුම් දඬු භාවිතා වන්නේ නෑ. මේ නිසා ඔබට කැනොන් හි දී EF-S ලෙන්සයක් කැනොන් ෆුල් ෆ්‍රේම් බොඩි එකක දී භාවිතා කරන්න බැහැ. එසේ සවි කල හැකි වීම වළකාලන්න ෆුල් ෆ්‍රේම් කැමරා සකස්කරන්න කැනොන් සමාගම කටයුතු කරනවා. ඒ EF-S ලේන්සයක් ක්‍රොප් බොඩි එකක සවි කල විට ලෙන්ස් මවුන්ට් එක කැමරා බොඩි එක ඇතුලට යන ප්‍රමාණය වැඩි නිසා කැමරාවට හානි සිද්ධ වීම වළකාලීම පිණිසයි. නමුත් කැනොන් ක්‍රොප් බොඩි කැමරාවකට කැනොන් ෆුල්ෆ්‍රේම් ලෙන්ස් (EF-S ) ලෙන්ස් සවි කිරීමට හැකියාව තියනවා.
නිකොන් වලදී මේ ගැටළුව නෑ. ඔවුන් සතුව තියෙන්නේ නිකොන් F මවුන්ට් නම් එකම ලෙන්ස් මවුන්ට් එකක්. මේ නිසාම නිකොන් වලදී ඔබට ඔබ සතු DX ලෙන්ස් භාවිතා කල හැකිවාක් වගේම ඒ සඳහා ෆුල් ෆ්‍රේම් බොඩි සහය දැක්වීමක් ලෙස ලෙන්ස් ඉබේම අඳුනාගෙන ඒ සඳහා කැමරාව සකස්කර දෙන්න DX මෝඩ් එකකුත් ඇතුලත් කරන්නට නිකොන් සමාගම පියවර ගෙන තියනවා. හැබැයි DX මෝඩ් එක සහය දක්වන්නේ කුඩා මෙගා පික්සෙල් ප්‍රමාණයක් සඳහා පමණයි. (D610 ෆුල් ෆ්‍රේම් කැමරාවේ මෙය මෙගාපික්සල 10ක අගයක්.)

නිකොන් කැනොන් වර්ග දෙකට අමතරව ඔබට ටොකිනා (Tokina), සම්යන්ග් (Samyang), සිග්මා (Sigma) ටැම්රෝන් (Tamron) යන වර්ග වලින් ලෙන්ස මිලදී ගන්නට පුළුවන්. මේ ලෙන්ස ඇතැම්විට නිකොන් හෝ කැනොන් සමාගම් වල ලෙන්සයන් අභිබවා යන මට්ටමේ හෝ ඊට සමාන මට්ටමේ දක්ෂතා පෙන්වනවා.

හොඳයි, ඉතිං අපි බලමු මොනවාද ලෙන්ස් එකක් ගන්නා විට සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු කාරනා කියල.

මුලින්ම බ්‍රෑන්ඩ් නිව් එහෙමත් අලුත් ම අලුත් ලෙන්ස් එකක් ගන්නා විට, ඔබ සතුව ඇති කැමරාව කුමක්ද යන්නත් ඔබේ අවශ්‍යතාව කුමක්ද යන්නත් තෝරා බේරා ගතයුතු වෙනවා. ඒ කියන්නේ ඔබ සතු කැනොන් හෝ නිකොන් කැමරාවක් නම් ඉහත සඳහන් කල විස්තරය ඔබට ප්‍රමාණවත්. ඉන් අමතරව වගකීම් කාලය සහ වගකියන්නේ කුමන අවස්ථා වලද කියා පැහැදිලිව විමසන්න. ඊට එහායින් නම් ඔබට බලන්නට ඇත්තේ මිල ගැන පමණයි. ඇතැම් ලෙන්සයන් ද ඔන්ලයින් මාර්ගයෙන් අඩු මිලට මිලදී ගත හැකියි (භාණ්ඩ ගෙන්වාගැනීමේ ගාස්තු සමගින්ම) ඒ නිසා වෙළඳපල රවුමක් ගිහින් ගන්නවා නම් හොඳයි.

ඔබේ අවශ්‍යතාව වන්නේ පවුලේ සේයාරූ ගැනීම සඳහා නම් ඔබට මිලෙන් අඩු DX ලේන්සයක් තෝරාගත හැකියි. එසේ නොවී ඔබට වෘත්තිමය සේයාරූ සඳහා (උදා: මංගල සේයාරූ වැනි) කටයුත්තක් සඳහා නම් FX ලේන්සයක් මිලදී ගැනීම සුදුසුයි කියා මම යෝජනා කරනවා. නමුත් මෙවැන්නක් අත්‍යාවශ්‍ය නෑ. DX ලෙන්ස් වලින් මෙන්ම සමහර පොයින්ට් ඇන්ඩ් ෂුට් වලිනුත් දක්ෂයා වැඩ ගන්නවා මම දැකල තිබෙනවා.
ලෙන්ස් එකක් සෙකන්ඩ් හෑන්ඩ් එහෙමත් නැතිනම් නැවත මිලදී ගන්නවා නම් ඔබේ සැලකිල්ල ඉතාම අවශ්‍ය වන කරුණු පහත දක්වා තිබෙනවා.

දුවිලි සහ පුස් බැඳුනු ලෙන්ස.

ලෙන්ස් නිසිපරිදි ගබඩා කොට නොතිබීම නිසා පුස් බැඳීමට හැකියාව තිබෙනවා. ඒ ලෙන්ස් නිරතුරුවම තෙත් පරිසරයකට ආවරණය වී තිබීම මගින්. මේ පුස් ඔබේ පින්තුරු මත රටා ලෙස දිස්වන අතර ඒවා සුද්ධ කිරීම ඉතා අසීරු කටයුත්තක් වෙනවා. මේ තියෙන්නේ ලෙන්ස් එකක් මත වන පුස්. ඔබ මිලදී ගන්නා ලෙන්සය ඉතා පරිස්සමට පිරික්සා බලන්න එහි ඇහැට පෙනෙන පුස් තිබේ ද කියා.

ලෙන්සයේ ඇති පුස් ආලෝකයේ දී දිස්වන අයුර

 වැටීම් සහ පලුදු වීම ඇති ලෙන්ස 

මේවා පියවි ඇසට නොපෙනෙන නමුත් විපරම් කල විට දැකගත හැකි දෝෂ සහිත ලෙන්සයන් වේ. ලෙන්සය ගෙන එහි සූම් කරන්නට පහසුකම ඇතිනම් සූම් කර බලන්න. ඒකාකාරී ලෙස ලෙන්සය එහිදී හැසිරිය යුතුයි. එහි යම් ගැප් එකක් එහෙමත් නැතිනම් හිරවීමක් දැනුනොත් ලේන්සය සියුම් ව පිරික්සා බලන්න එහි යම් තැලීමක් දකින්නට හැකිද කියා. බොහෝවිට මෙවැනි ලෙන්සයන් වැටීම් නිසා වන හානි සහිත ඒවායි. මේ දෝෂ සමනය කල හැකි සහ නොහැකි ලෙස තිබෙන නිසා පරිස්සම් වීම වඩා හොඳයි නේද? මොකද මෙවන් ලෙන්සයන්ගේ අභ්‍යන්තර දෝෂ පවතිනවා.

මෙන්න මේවටයි හානි වෙන්නේ. ඒවා පිටට පේන්නේ නෑ.


ලෙන්සය මත වන හීරීම් සහ තුවාල වීම

ඔබේ පින්තුරු සඳහා කෙලින්ම බලපෑම් කල හැක්කේ ලේන්සයේ වීදුරු මත වන සීරීම් සහ පලුදු වීම් වලටයි. ඒ නිසා ඒවා විපරමින් බලන්න.

පේනවාද පොඩි සීරුම? පොඩි වුනත් පින්තුරේ හරි මැදින් ඉරක්??


අද වෙළඳපොලේ භාවිතා කල ලෙන්ස මිල අඩුවෙන් සොයාගන්න හැකියාව තියනවා. මමත් එවැනි ලෙන්සයන් දෙකක හිමිකරුවෙක්. ඒ කිසිවක දෝෂ නෑ. ඔබ කලින් දුටු සේයාරූ සහ අද ඔබට තිලිණ කරන සේයාරුව ඒ ලෙන්ස භාවිතා කර ගත්තු ඒවායි. භාවිතා කල ලෙන්සයක් මිලට ගන්නට යන සෑම විටකම ඔබේ කැමරාව රැගෙන යන්න. ඉර එලිය හොඳින් පවතින විටක යන්න. ඔබට බොහෝ දෑ එවිට පෙනේවි. හැකි නම් ලැප්ටොප් පරිඝනකයක් රැගෙන යන්න. එය ඔබට විශාල උදව්වක් වේවි පින්තුරු සියුම්ව නිරීක්ෂණය කරන්න.

මීට වඩා තවත් බොහෝ කරුණු ඇතත්, ඔබේ ඉල්ලීම මත ලියන්නට ඉඩ තබානැවත හමුවන තෙක් දෝහා නගරයට හිරු බසින දර්ශයනක් ඔබට තිලිණ කරමින් අදට සමුගන්නවා....

දෝහා නගරයේ සැන්දෑ හිරු රැස් පතිතවන ආකාරය MIA පාක් හි සිට - සේයාරුව මගෙන් :)
ලෙන්ස් සඳහා සේයාරූ ගූගල් වෙතින්..


Wednesday, July 9, 2014

ජායාරූපකරණය ගැන සිංහලෙන් - 3

 

හොඳ කැමරාවක් ගමු ද එහෙනං?

පින්තුරය : ගූගල් වෙතින්..


අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ කැමරාවක් ගන්නේ කොහොමද සහ ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ දේවල් සමුහයක් ගැන. හොඳ කැමරාවක් විදියට මම මෙතන හඳුන්වා දෙන්න යන්නේ අපි කතාකරපු DSLR වර්ගයේ කැමරාවන්.


මොකද මේ DSLR එකක්ම?
මේ වර්ගයේ කැමරා වලදී කැමරාවේ ද්වාර වේගය, කාච විවරය සහ පටල වේගය (Shutter Speed, Aperture and ISO) පාලනය කරන්න වෙන වෙනම හැකියාව තියනවා. ඒ එක්කම තවත් අතිරේකව කැමරාවේ නිරාවරණ මීටරය මගින් සහ ආලෝක මීටර මගින් කැමරාවෙන් හොඳ තත්වයේ රූපරාමු ලබාගන්න අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරන්න හැකියාව මේ සමගින් ලැබෙනවා.

තව දුරටත් කතා කරද්දී මේ වර්ගයේ කැමරා වල අපිට පෙර සැකසුම් කර නැති, ගොනුව හකුළුවා නැති දල රූප (lossless uncompressed RAW) විදියට පින්තුරු ලබාගන්න පුළුවන්. මේ පින්තුරු වලින් අපිට ඇඩෝබි ලයිට්රූම්, ඇඩෝබි කැමරා රෝ සහ ඇඩෝබි ෆොටෝෂොප් වලදී අවශ්‍ය පරිදි සංස්කරණය කරන්න, සැකසුම් සිද්ධ කරන්න ඉතාම ඉහල හැකියාවක් ලැබෙනවා.


මිල පරාසයන් ගත්තොත්?
ලංකාවේදී නම් මිල රුපියල් 30000 සිට ඉහළට දකින්න පුළුවන්. ඉතාම ඉහල මට්ටමේ වෘත්තීය කැමරා නම් රුපියල් ලක්ෂ හතකට (Nikon D4s | Canon 1Dx) වඩා වැඩි මුදලක් වෙනවා. එත් අපිට අවශ්‍ය සරල කැමරා. ඔබට පසුව ඔබේ අවශ්‍යතා මත වෙනත් කැමරාවකට මාරු වෙන්න පුළුවන්.

ඔබට අවශ්‍ය නම් ඔන්ලයින් ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ද ඇනවුම් සිදු කරන්න පුළුවන්. මිල නම් ටිකක් අඩුයි එත් වගකීම් සහතික ගැන නම් බොහෝ තැන්වලදී කියන්න බෑ. එත් වැදගත් තැනකින් මිලට ගත්තොත් වගකීමක් ද සහිතයි. වැඩේ තියෙන්නේ


මොනවාද ඉතිං හොඳ කැමරා ජාති?
වඩා ප්‍රසිද්ධ නං ඉතිං කැනොන් හෝ නිකොන් කියන වර්ග දෙක. එත් ඒ දෙකෙනුත් වඩාත්ම හොඳ එක තෝරනවා කියන්නේ නං සංකීර්ණ ප්‍රශ්නයක්. බොහෝ වේලාවට අපි දකින දෙයක් තමයි කැනොන් කැමරා මෙන්ම නිකොන් කැමරා ද එක හා සමාන ලෙස වෘත්තීය මට්ටමේ දී භාවිතා වෙනවා කියන දේ. ඇත්තෙන්ම කැනොන් කැමරා මිලෙන් ටිකක් අධිකයි. ඒ වගේම ලෙන්ස් වල ද මිල ටිකක් නිකොන් වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ එක්කම බොහොමයක් කැමරා ඉහල පටල වේගවලදී වඩා හොඳ සංවේදීතාවයක් දක්වනවා. තව දෙයක්, කැනොන් කැමරා තමන්ගේ ෆුල්ෆ්‍රේම් කැමරා බොඩි වලට ක්‍රොප් මෝඩ් ලෙන්ස් භාවිතාව සඳහා සහය දක්වන්නේ නෑ.

නිකොන් කැමරා ද මීට දෙවැනි වන්නේ නෑ. එහෙම නැතිනම් ඉතිං ඔවුන්ට ද පැවැත්මක් නෑ නේ? ඔවුන්ගේ මිල මට්ටම ටිකක් පහලින් තියන අතර ලෙන්ස් ද සාපේක්ෂව මිල අතින් පහලින් තියනවා. නිකොන් වර්ගයේ කැමරා තමන්ගේ ෆුල්ෆ්‍රේම් කැමරා බොඩි සඳහා ක්‍රොප් මෝඩ් ලෙන්ස් භාවිතය අනුමත කරන අතර ඒ ලෙන්ස් කැමරාව විසින්ම හඳුනාගෙන ඊට අනුකූලව කැමරා බොඩිය සකස් කරනවා.

මේ සියල්ලටම පසුව ඒ ඒ නිෂ්පාදකයා තමන්ගේ එක් එක් කැමරා මොඩලයන් සඳහා විවිධ පහසුකම් සලසා දෙන අතර ඒවා ද අවශ්‍යතා මත එකිනෙකාගේ තෝරාගැනීම් වෙනස් කරන්න සමත් වෙනවා., උදාහරණයක් ලෙස, නිකොන් D610 කැමරාවේ ක්ෂනිකාලෝකයක් (ෆ්ලෑෂ්) එකක් අඩංගු අතර කැනොන් 6D හි ඒ පහසුකම ලබා දි නෑ. එසේම නිකොන් D610 කැමරාවේ ක්ෂනිකාලෝක පද්ධතිය දුරස්ථ ක්ෂනිකාලෝක පද්ධති (Off camera Flash commander) මෙහෙයවීම සඳහා සහය ලබා දෙනවා. කැනොන් හි දී ඒ පහසුකම ද ලබා දී නෑ.


පාවිච්චි කල එකක් ගන්න බැරිද?
මොකද බැරි? ඒත් ඒ සඳහා ඔබ දැනුවත් වී සිටිය යුතුයි. ඒ කියන්නේ ඇතැම් කැමරා වල නිෂ්පාදන දෝෂ මත වන දොස් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා වෙළඳපලට අඩු මිලට එනවා වෙන්න පුළුවන්. මීට හොඳම උදාහරණය නිකොන් සමාගමේ D600 කැමරාව. මේ කැමරාවේ ෂටරයේ තෙල් / දුවිලි අංශු බැඳීමක් සිද්ධ වෙනවා. ඒ නිෂ්පාදන දෝෂයක් විදියට. ඉතිං අද මේ කැමරා ගන්න කෙනෙක් නෑ. නිෂ්පාදකයා මේ මොඩලය තවදුරටත් විකුනන්නෙත් නෑ. ඒ හේතුවෙන් භාවිතා කල, දෝෂ සහිත කැමරා අද බොහෝ දෙනා විකිණීමට උත්සාහ කරන කාලයක්.

නමුත් ඇතැම් දෙනා මේ දෝෂය සලකන්නේ නෑ. මේ දෝෂය ෆොටෝෂොප් මගින් ඉවත් කරන්න හැකිය කියන තැන ඔවුන් ඉන්නවා. එත් ඉතිං දෝෂ තියන කැමරාවක් මොකට ගන්නවද නේද?


ඉතිං ඔය දේවල් පේනවද?
ඔව්. මේ දුවිලි / තෙල් අංශු නම් පේන්නට තියෙනවා. එත් ඒ සඳහා සේයාරුවක් ගෙන පරික්ෂා කරන්න ඕනේ. ඒකත් පරිඝනකයෙන්. මොකද කැමරාවේ ඩිස්ප්ලේ එකේ දී දැක්කට අපිට මේ දෝෂ හරියටම පේන්නේ නෑ. නමුත් සෙන්සරය මත ඇති දුවිලි බැඳීම්, කැමරාවේ වැටීම් තැලීම් නම් බලන්න පුළුවන්.
සෙන්සරයේ දුවිලි පරික්ෂා කරන්න නම් කැමරාවේ සෙන්සරය තිබෙන කුටිය විවර කර පරික්ෂා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සෙන්සරය තියෙන්නේ කැමරාවේ ටිකක් ඇතුලේ, ඒ කියන්නේ ෂටර් කර්ටන් එක සහ දර්පණ කොටසකට පසු. ඉතිං ඒ නිසා කැමරාවේ සෙන්සරය ක්ලීනිග් මෝඩ් එකට දාල තමයි බලන්න වෙන්නේ.

දෙවනුව කැමරාවේ පවසන ආයු කාලය හා සාපේක්ෂ ගෙවීම් සීරීම්. ඒ ගැන නම් ඉතිං බලන්න ඕනේ කැමරාවේ පිටත පෙනුම. විශේෂයෙන්ම කැමරාවේ පටිය හා ඒ ආසන්න කොටස්. මේවා ක්ෂය වෙලා නම් කැමරාව භාවිතයේ හොඳින්ම තිබුණු එකක්. බොහෝ විට පටිය අලුත් මෙන් පෙනුනද ඒ ආසන්නයේ ගෙවීම් දකින්න පුළුවනි.

තව එකක්, කැමරාවේ ෂටරයේ සටහන් වෙනවා එයින් ලබාගත් පින්තුරු ගණන. මේ තුලින් කැමරාවේ ෂටරයේ ආයුකාලය සහ භාවිතයේ දී (නිෂ්පාදකයා කියා තිබෙන පරිදි ෂටරයේ ආයු කාලයට සාපේක්ෂව ) කොතරම් පින්තුරු ගණනක් ලබාගෙන ඇතිද යන වග සොයාගන්න පුළුවන්.මේක බලන්න ඕනේ නං කැමරාවෙන් ගත් පින්තුරයක් මේ පහල සටහන් කර ඇති වෙබ් අඩවි වෙත ගොස් ඒ ඇති මෘදුකාංග භාවිතා කරලා ලබාගන්න පුළුවන්. නමුත් මේ කාලයන් සාපේක්ෂයි. ඔබ වාසනාවන්ත නම් මේ කාලයට වඩා කාලයක් ඔබට ඔය කැමරාව භාවිතා කරන්න පුළුවනි. අවාසනාවකට හෝ මේ කාලය තුලදීම ෂටරය දෝෂ සහිත වුවොත් කරන්න තියෙන්නේ ෂටරය මාරු කරන එක. හරිම සිම්පල් ප්ලෑන් එකක් නේ?


වැදගත් දේවල් ටිකක්...
කැමරාවක් ගන්න වෙලාවක ටිකක් ඒ ගැන දන්නා කෙනෙක් ඒ වගේම විශ්වාසවන්ත කෙනෙක් එක්ක යන්න. විශේෂයෙන් භාවිතා කල එකක් ගන්නවා නම්. ඒ එක්කම මතක තියාගන්න, ලෝකේ තියන හොඳම කැමරාවට බෑ හොඳම ජායාරුප ශිල්පීන් බිහි කරන්න. නමුත් ලෝකේ තියන නරකම කැමරාව වුනත් හොඳ ඇහැක් තියන ශිල්පියෙක් ගත්තොත් ඒ කැමරාව භාවිතා කරලා හොඳ මට්ටමේ සේයාරූ නම් ලබා ගනීවි. ඒ කියන්නේ ඔබ අතේ තියන කැමරාව තමා හොඳම කැමරාව..

මෙතනදී කැමරා කියා අප හඳුන්වා දී ඇත්තේ කැමරා බොඩිය පමණක් වන බව සලකත්වා. හේතුව කැමරාව තරමක් වෘත්තිමය පැත්තට බර වූ විට කැමරාව සමග බොහෝවිට ලේන්සයක් නොලැබේ. ඔබට ඒ සඳහා අවශ්‍ය ලෙන්ස් මිලදීගත යුතු වේ. ලේන්සයන් සමගින් කැමරා පැකේජ ඇතත් ඒ මුදල බොහෝ විට වෙනත් දෙයක් සඳහා යොදාගත හැකිය.



එහෙම නම් ඊලග කොටසෙන් හමුවෙමු ලෙන්ස් ගැන කතා කරන්න.... එතෙක් ආයුබෝවන්.

කැමරාවේ ෂටරයේ ආයුකාලය දැනගන්න මෙතනට යන්න..

Monday, June 30, 2014

ජායාරූපකරණය ගැන සිංහලෙන් 2

ජායාරුපකරණය ගැන සටහන් මාලාවක් ලෙසින් ඔබ වෙත එන ලිපි පෙළක දෙවැන්න මේ.

මුලින්ම අපි බලමු කොහොමද කැමරාවකින් ගන්නා පින්තුරයක් කැමරාවේ සටහන් වෙන්නේ කියල.

කැමරාවේ ෂටර් බොත්තම එබූ සැනින් අපිට ඇහෙන්නේ ක්ලික් ශබ්දයක් නේ. ඩිජිටල් කැමරාවක දී නම් වෙන්නේ කැමරාවේ කාචය මත වන ප්‍රතිබිම්බය ආලෝක සංවේදී පරිපථයක් මතට පතිතවී එතනින් එය සැකසුම් වලට ලක්වී මතක ගබඩාවට සේයාරුවක් විදියට යවන එක. නමුත් ඇනලොග් කමරාවකදී මේ දේ සේයා පටලයක් මතට ප්‍රතිබිම්බය වැටීමෙන් සේයා පටලයේ රසායනික වෙනස්කමක් මගින් ආලෝක සංවේදී භාවය ලැබීම වෙන්නේ,.

ඉතිං මෙහෙම ගන්න සේයා රූ ගන්න අද වෙද්දී ගොඩක් අය භාවිතා කරන්නේ ඩිජිටල් කැමරා. ඇනලොග් කැමරා භාවිතා කරන සේයාරූ ගන්නා අයත් නැතුවාම නෙවෙයි. නමුත් එයාල මේ දේ කරන්නේ වෘත්තිමය අවශ්‍යතා වලට හෝ විනෝදාංශයක් විදියට.

ඇනලොග් සහ ඩිජිටල් කැමරා වලදී ඇති ප්‍රධාන වෙනස තමයි ඇනලොග් කැමරාවෙන් ගන්න පින්තුරයක පෙර දැක්මක්, එහෙම නැතිනම් ප්‍රීවිව් එකක් බලාගන්න බෑ. ඒ වගේම ආලෝකය රඳවා ගන්න ඒ ඒ ආලෝකයට අවශ්‍ය තීව්‍රතාවට සරිලන පටල අවශ්‍ය වෙනවා. ඉතිං ඇනලොග් කැමරාවක පින්තුර ගත්තට පස්සේ අවසාන අදියරේ දී පටල මුද්‍රණය කරන්න ගියාම තමයි බලාගන්න වෙන්නේ මොකක්ද ෆොටෝ ටිකට වුනේ කියලා. ඩිජිටල් කැමරාවකින් ගන්න පින්තුරයක ඒ මොහොතේම සජීවී දර්ශනය බලන්නත් ඒ ඇසුරෙන් අවශ්‍ය සුදානම සිද්ධ කරන්නත් අවසානයේ ගන්න පින්තුරය කොහොම එකක් ද කියල බලන්නත් ඒ මොහොතේම අවශ්‍යනම් පින්තුරය මකා දමා නැවත ගන්නත් හැකියාව තියනවා. ඒ වගේම පටල සංවේදීතාවය පාලනය කරන්න ඒ මොහොතේම හැකියාව තියනවා.

ඉතිං ඇනලොග් කැමරා භාවිතය අසීරුයි. ඊට වඩා ඩිජිටල් කැමරා භාවිතාව පහසුයි. මේ පහසුකම නිසා අද වෙද්දී ඇනලොග් කැමරා භාවිතයට නොගන්න තරම්,. ඇනලොග් කැමරාවක රාමුව සාමාන්‍ය විදියට 36×24 mm පමණ වෙනවා. මේ ප්‍රමාණයට ඩිජිටල් කැමරා වලදී කියන්නේ Full Frame (Nikon : FX) එහෙමත් නැතිනම් සාමාන්‍ය ඇනලොග් කැමරා රාමුවේ ප්‍රමාණය කියල.

මෙතනට ආවාම ඔයාල අහයි එහෙනම් අනිත් ඒවා මොනවාද කියල. ෆුල්ෆ්‍රේම් DSLR වලට පස්සේ ගොඩක් තියෙන්නේ Nikon: DX mode එහෙමත් නැතිනං Crop Mode කියන රාමු ගන්න පුළුවන් කැමරා. මේවත් DSLR විශේෂයක් වුනත් මේ කැමරා මිලෙන් සාපේක්ෂව ෆුල් ෆ්‍රේම් කැමරාවකට වඩා අඩුයි. ඊට පස්සේ එන්නේ බ්‍රිජ් කැමරා සහ පොයින්ට් ඇන්ඩ් ෂුට් වර්ගයේ කැමරා. මේ අවසාන එකට ජංගම දුරකථන කැමරා ඇතුලත් කරන්නත් පුළුවන්

ක්‍රොප් මෝඩ් එක ගැන කියද්දී ලාබයි කිව්වනේ..දැන් ඉතිං හිතන්න එපා "ඈ.. ලාබයි නං හිලක් ඇති" කියල.. "හිලක් නැති පුනීලෙන් වැඩක් නෑ නේ මුදලාලි" කිව්වා වගේ මේ කැමරා වලිනුත් ගන්න වැඩ එමටයි. මේ කැමරා බෝහොකොටම වනසතුන් ගේ සේයාරූ ගන්න අය වගේම ක්‍රීඩා වල සේයාරූ ගන්න අය භාවිතා කරනවා. හේතුව මේ කැමරා ලෙන්ස් බොහෝ කොටම FX කැමරාවකදී ඒ සමාන කාච ඇති ලෙන්ස් එකක  නාභි දුර මෙන් 1.6 ගුණයකින් (මේ අගය විවිධ කැමරා වලදී වෙනස්වීමකට ලක්වන බව සලකන්න) වැඩි දුරක් ආවරණය කරන නිසා. ඉතිං වැඩි විස්තර පසුවට කතාකරන්න තියල අපි යමු ඊළඟ කොටසට.

බ්‍රිජ් සහ පොයින්ට් ඇන්ඩ් ෂූට් වර්ගයේ කැමරා වලදී අපිට අවශ්‍ය විදියට ලෙන්ස් මාරු කරන්න හැකියාවක් බෝහොකොටම නෑ. ඒ එක්කම අපිට ජායාරුපකරණයේ දී අවශ්‍ය වන අනිකුත් සීරුමාරු කිරීමේ හැකියාවන් ද බොහෝ දුර්වලයි. ඒ නිසා මම මේ දෙක ගැන කතා කරන්නේ නෑ.

මෙතැනදී අපි කැමරා ගැන කතා කරන්න අදහස් කරන්නේ ෆුල් ෆ්‍රේම් එහෙමත් නැතිනම් ක්‍රොප් මෝඩ් කියන දෙවර්ගයේ සැකසුම්, පහසුකම් සහ භාවිතයන් ගැන විතරක් කියල සටහන් කරන්න කැමතියි.

ඉතිං, දැනටම ඔයාල දන්නවා ඇති කැමරා නිෂ්පාදකයින් ගොඩක් දෙනෙක් ගැන. කැනොන්, නිකොන්, සෝනි වගේ සමාගම් මේ අතරේ ඉන්නවා. ඊට අමතරව තවත් කැමරා මෝස්‌තර නිෂ්පාදනය කරන්න සමාගම් කීපයක් ම ඉන්නවා. ඒ අතරේ සැම්සුන්ග්, ෆුජි වගේ ආයතනත් Hassleblad, Leica වගේ ආයතනත් Pentax කැමරා හදන Ricoh සමගමත් අපිට ගන්න පුළුවනි. (මේ සමහර නම් ඔබට හා මට හුරු නිසා සිංහලෙනුත් අනිත් නම් ඇතැම්විට කියවන විදියේ වෙනසක් වේ දෝ කියා ඉංග්‍රීසියෙනුත් සටහන් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

මේ එක එක කැමරා වල පොඩි පොඩි වෙනස්කම් තිබුණද ඒවා සියල්ල තුල අඩංගු වන පොදු කාරණා කීපයක් තිබෙනවා,.

ඒ ආලෝක පටල සංවේදීතාව හෙවත් නුතන ISO (පෙර ASA), ෂටරයේ ද්වාර වේගය (Shutter Speed) සහ Aperture (මේ වචනයට කියන සිංහල තේරුම මම ඇත්තෙන්ම දන්නේ නෑ. දන්නා කෙනෙක් සිටි නම් පවසන්නයි ඉල්ලා සිටිනවා.) කියන සැකසුම් තුන. මේ තුන හරියටම පාද තුනක් වගේ. මේ පාද තුන සමබරව තියේ නම් අපිට මුලික මට්ටමේ හොඳ සේයාරුවක් ගන්න හැකියාව තියනවා. ඒ සේයාරුව තවත් එක ස්නැප් ෂොට් එකක් නොවෙන්න මෙතනින් එහාට දේවල් ටිකක් දැනගන්න අවශ්‍ය වෙනවා.

එහෙනං ඒ කොටස එක්ක ඊළඟට හමුවෙමු. එතකං බලන්න රෑ අහසේ මැවුණු සිත්තමක් දිහා..




ක්ෂීරපථය දෝහා වෙත ජුනි 26 වෙනිදා මැදියම් රෑ ඉකුත්වෙද්දී පෙනුණු හැටි
ජායාරුප අයිතිය: මගේ සහ තරිඳු රොඩ්රිගෝ ගේ.


(මගේ අලුත් ලැප් එක නිසා මට සිංහල ලියන්න විදියක් නෑ. ඒ නිසා මගේ ලිවීම ටිකක් ප්‍රමාද වෙනවා. ඇපල් වල සිංහලෙන් ලියන්න දන්නා කෙනෙක් ඉන්නවානං (මට යතුරු පුවරුව සිංහලෙන් හුරු නෑ. ගූගල් පාවිච්චි කරන්නේ මේකේ.) පොඩ්ඩක් කියල දෙන්න. ලොකු උදව්වක් වේවි.)


Wednesday, May 28, 2014

ජායාරූපකරණය ගැන සිංහලෙන්


The '7', යකඩින් නිර්මිත මූර්තිය - දෝහා ඉස්ලාම් කළා කෞතුකාගාර ජැටිය මත

අලුත් වැඩකට අතගැහුවා මේ ටිකේ. ඒ තමා සිංහලෙන් කියන ෆොටෝග්‍රැෆි නැත්තං ඉංග්‍රීසියෙන් කියන ජායාරූපකරණය කියන විෂයය.

මේක ටිකක් වියදම් යන ඒ වගේම මුදල් හොයන්න පුළුවන් විෂයක්. මම මේකට විෂයයක් කියල කියන්නේ, මේ කලාව පොටෝ එකක් ගැහුවා ඉවරයි කියන තැනින් ඔබ්බට විහිදෙන පුළුල් පථයක් තියන ගැඹුරක් තියන දෙයක් නිසාවෙන්.

මේ ගැන හදාරන්න වෙනමම කාලයක් ගතවෙන දෙයක්. මමත් ඉතිං පහුගිය කාලේ කලේ මේ විෂය ටිකක් ගැඹුරින් හදාරපු එක. තවමත් මම ඒ ගැන හදාරනවා. ඉතිං  ඒ අතරේ මම කල්පනා කළා මම හදාරන දේවල් ටිකක් සිංහලෙන් ලියන්න කියල.

කොහොමද හරි විදියට ෆොටෝ එකක් ගන්නේ කියන තැන ඉඳල ෆොටෝ වල ෆයිනල් ප්‍රොසෙසින් එහෙම නැත්තං පොස්ට් ප්‍රොසෙසින් කියන කොටසත් කැමරා වල සෙටින්ග්ස් ටිකක් කරගන්නේ කොහොමද වගේ දේවලුත් මම ලියන්න බලාපොරොත්තු වෙනවා.


ඒ අනුව ලියවෙන ලිපි මාලාවක් ඉදිරියේදී බලාපොරොත්තුවන්න කියන ගමන්ම මම ඔබට මතක් කරන්න කැමතියි, මේ ලියවෙන්නේ ආධුනිකයෙක් අතින් වන ලියවිල්ලක් බව.

Thursday, May 22, 2014

හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය..

" සුගිය සතියේ 5 වැනි දින එංගලන්තයේ දී පැවැත්වීමට යෙදුනු මහා යුධ ජයග්‍රහණ පෙළපාලිය සමගින් බ්‍රිතාන්‍යය මහා ජර්මානු අධිරාජ්‍යයට යටත්වීමට කටයුතු යෙදුනු අතර ඊට සමගාමීව යටත්විජිත භාර ලේකම් තුමා මගින් යටත් විජිත සඳහා අවි බිම තබා ජර්මානු රයික් ආණ්ඩුවට යටත් වීමට ලිපි රේඩියෝ පණිවිඩ මගින් එවා ඇත.

ලංකාණ්ඩුවේ යටත්වීමත් සමගින් අප ජර්මානු රයික් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ බව දැනුම් දීමට සතුටු අතර මේ සමගින් අපේ නව පාලනය ඇල්බර්ට් බර්ග්මාන් මහතා භාර ගනු ඇත.."

කාලෙකින් පස්සේ ලියන්න හිතුනා. ඒ හිතුන එකේ අලුතෙන්ම දෙයක් ලියන්න ඕනේ කියලත් හිත කිව්ව නිසා නතර කරපු කතාව පස්සේ කියන්න හිතාගෙන මම අලුත් තැනකින් ම පටන් ගන්න හදන්නේ.

හිට්ලර් කියන්නේ මගේ බ්ලොග් එකේ ගොඩක් ජනප්‍රිය වෙලා හිටපු කෙනෙක් නෙව. ඒ හින්දා අද මම එතැනින්ම පටන්ගන්න හිතාගත්තා.

හිට්ලර් බ්‍රිතාන්‍ය අත්පත් කරගන්න සැලසුම් කලේ ප්‍රංශය අල්ලන්න පටන්ගන්නත් ඉස්සර වෙලා කියල ඇතැම් තැන්වල කතා බහ වෙනවා. ඒ කොහොම වෙතත් හිට්ලර් බ්‍රිතාන්‍යය අත්පත් කරගන්න විතරක් නෙවෙයි බ්‍රිතාන්‍යය පාලනය කරන්න පාලන සැලසුම් පවා සකස් කර තිබුණා.

මේ පාලන සැලසුම් අතරේ හිට්ලර් සතුව ඔහුට පක්ෂපාත වීමට කැමතිඒ කියන්නේ ඔහුගේ මතය පිළිගන්නා අයඑසේ පිළිගනීවි යයි විශ්වාස කල අයඔවුන් සතු කාර්යභාරයන් වගේම ඔවුන්ගේ ලිපිනයන් පවා තිබුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඔව් ඇත්තෙන්ම ඔහු සතුව මේවා තිබුණා. ඒ වගේම ඔහු සතුව ගිනිතබා විනාශ කල යුතු පොත් පත් පවත්නා පුස්තකාල වල ලයිස්තුත් තිබුණා. සංවිධාන වගේම ඒ සංවිධාන වල සාමාජිකයන් හා ඔවුන්ගේ කාර්යයන් පිළිඹඳ ඔහු මැනවින් දැන සිටියා. ඉනුත් ඔහු මුලින්ම මරාදැමීමට හෝ අඩපන කිරීමට අවශ්‍ය අය වෙන්කර හඳුනාගෙන තිබුණා.

හිට්ලර් තමන්ගේ බ්‍රිතාන්‍ය පාලනය තමන් වෙනුවෙන් පවරන්නත් සිවිල් පරිපාලනය බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරින් ලවා කරවාගැනීමට ඔහුට පක්ෂපාත වන කොටස් පවා වෙන්කරගෙන හිටියා කිව්වොත් ඒක මං හිතන්නේ අලුත්ම ආරංචියක් වේවි.

ඉතින්වැඩ ගොඩක් මැද්දේ හිරවෙලා වසරක් නිහඬ වෙලා ඉඳල මේ පටන්ගන්න දෙවැනි වාරයට හැකි හැමෝම ඇවිත් යාවි කියල හිතනවා. වැඩ රාජකාරි බහුල වෙලා බ්ලොග් ගැන කලකිරිලා ලියන්නත් එපා වෙලා හිටියට මේක අබිං කෑවා වගේ වැඩක් කියල තේරෙන්නේ ලියන්න ගත්තම තමා..

එහෙනම් විස්තර සහිත ලිපි මාලාවක ඇරඹුමක් එක්ක එකතුවෙන්න ක්සැන්ඩරගේ කොළම එක්ක..