Friday, August 10, 2012

ඇමරිකානු වවුල් බෝම්බය



වවුලන් යොදාගෙන තනන ලද අපුරු සමුල ඝාතක අවියක් ගැන ඔබ අසා තියනවාද? ඇමරිකානු නිෂ්පාදනයක් වූ මෙය ඔවුන් තැනුවේ ජපානයට එරෙහිවයි.

එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ තවත් එක හැරවුම් ලක්ෂයක් වීමට තිබුණු තැනක් ගැනයි.එහෙනම් එන්න, කියවන්න, ඉතිහාසයේ සැඟවුණු තැන් අතරේ ඇති ඇමරිකානු වවුල් බෝම්බය ගැන.

පැසිෆික් යුද්ධය (Pacific War) , දෙවැනි ලෝක යුද්ධයේ තවත් එක කඩඉමක් සටහන් කරන සුවිශේෂී යුද්ධයක්.

ජපානය, 1941 දෙසැම්බර් මාසයේ 8 වැනිදා (ජපාන වේලාවෙන් ) ජපාන නාවික හමුදා ප්‍රහාරයක් ඇමරිකානු පර්ල් වරායට එල්ල වෙනවා. විශ්මය දනවන ලෙස සිදුවන මේ ප්‍රහාරය සමගින්ම ඇමරිකාව සක්‍රීයව ජපානයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ දෙවැනි ලෝක යුද්ධයේ තවත් හැරවුමක් සටහන් කරමින්.
ඇමරිකාව මුල්ම වතාවට ජපානය සමග මුහුණට මුහුණ ගැටෙද්දී ජපාන සොල්දාදුවන් නිර්භීතව එහෙත් ඇතැම්විටක මරු පෙනී පෙනී සටන් වදිනවා. ගරිල්ලා උපක්‍රම හා සතුරා විශ්මයට පත් කිරීමේ උපක්‍රම (Elimant of Surprise) යොදා පහර දෙන ජපාන හමුදා ප්‍රහාර ඇමරිකානු මරණ සංඛ්‍යාව ජර්මානු පෙරමුණේ දී සිදුවූ ස්ථානීය මරණ ප්‍රමාණය අභිබවා යන්නට සලස්වනවා.

ඒ වගේ සටන් සිදුවූ ප්‍රදේශ දෙකක් තමයි ඔකිනාවා දුපත (Battleof Okinava) සහ ග්වන්දල් කනාල් දුපතේ සටන (Guandalcanal Campaign). මේ හේතුව නිසා ඇමරිකාවට ජපානයේ ප්‍රධාන දුපත් ආක්‍රමණය කිරීමට යාමේදී විශාල මිලක් ගෙවන්නට සිද්ධ වෙන බව පැහැදිලිවම පෙනුණු කරුණක්.

ප්‍රහාරයට පෙර ජපාන භුමිය (Japanese Main Land) තුල විශාල විනාශයක් කිරීම මතින් එක්කෝ ජපාන ශක්තිය අඩපණ කරගන්නට හෝ ජපානය යටත්වීමටක පෙළඹ වීමට යන දෙකෙන් එකකට එළඹෙන්න අවශ්‍ය කරන සාධක ඇති කිරීම ඇමරිකාවට අවශ්‍ය වුවා.

1941 දෙසැම්බර් 7 වෙනිදා: ලිට්ල් ඇඩම්ස් (Lytle Adams)නමැති දන්ත වෛද්‍යවරයා සිය නිවාඩුව ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ හි කාල්ස්බෑඩ් හි ගතකර තම නිවස බලා ගමන් කරනවා. ඔහුට ඒ රථ ධාවනයේ යෙදෙන අතරතුර සිහිවන්නේ තමන් පෙරදිනවල දුටු විශාල වවුලන් සමුහය ගැනයි. එසේ සිතමින් යන විට ඔහුට රථයේ රේඩියෝව හරහා අහන්නට ලැබෙන්නේ පර්ල් වරායට ජපානය පහරදුන් පුවතයි. එයින් කම්පාවට පත්වන මේ හැට හැවිරිදි වෛද්‍යවරයා සැලසුම් කරන්නේ ඇමරිකාව වෙනුවෙන් අවියක් තනා එයින් ජපානයට පහරදීමටයි.

කිසිම හමුදාමය පසුබිමක් නැති සාමාන්‍ය දන්ත වෛද්‍යවරයෙක් වූ වෛද්‍ය ලිට්ල් මේ සඳහා සැලසුම් කරන්නේ තමන් දුටු ලක්ෂ සංඛ්‍යාත වවුලන් යොදාගෙන ඉන්සින්ඩ්යරි වර්ගයේ බෝම්බයක් ජපානය වෙත මුදා හැරීමටයි. ඔහුගේ න්‍යාය සරලයි.

වවුලන් පරිසරයෙන් අවශ්‍ය තරම් නොමිලේ සොයාගන්නට පුළුවන්.
වවුලන් සිය පැටවුන් රැගෙන යන අයුරින් කුඩා බෝම්බයක් රැගෙන යනු ඇති,
ඒ බෝම්බය රැගෙන යන වවුලන් දිවා කාලයේ නිදහස් කළහොත් ඔවුන් වහලවල් තුරු මුදුන් සහ පාලම් වැනි ස්ථාන වල සැඟවී අඳුරට එක්ව සිටිනු ඇති.
මේ වවුලන් ගෙනයන බෝම්බය කාල බෝම්බයක් ලෙසින් සකස් කළහොත් එයින් ඉතා කෙටි කලක් තුල ලී වලින් සාදන ලද ජපන් නිවාස හා බොහොමයක් ගොඩනැගිලි ගිනි ජාලා වලට පත්කළ හැකිය.

තනි පුද්ගලයෙක් ලෙස ඔහු වෙත මුදල් සහ උපකරණ ඇතුළු සම්පත් නොමැති වීම හරහා මෙය කල නොහැක්කක් වුවත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම සිදු කල හැකිව තිබුනා. එහෙත් සාමාන්‍ය දන්ත වෛද්‍යවරයෙක් හට ඒ උදෙසා ද ඉතා ඉහල සම්බන්ධතා අවශ්‍ය වෙනවා. ඒ සඳහා ද ඔහු අපුරු ක්‍රමයක් භාවිතා කරනවා. ඒ ඉහලම පෙලේ සම්බන්ධතාවක්. ඒ සම්බන්ධතාව වෙන කිසිවකුත් නොව එලිනෝර් රුසවෙල්ට්, ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රුසවෙල්ට් (Franklin Roosevelt) ගේ බිරිඳ. ඇගේ සහයෝගයද ඇතිව ඔහු මේ සැලසුම 1942 ජනවාරි 12 වෙනිදා ධවල මන්දිරයට ඉදිරිපත් කරනවා.

ධවල මන්දිරයේ දී මේ සැලසුම් කියවා බලන ජනාධිපති රුසවෙල්ට් ඒ සැලසුම සිය ලේකම්වරයා මගින් විලියම් ඩොනවන් (William “Wild Bill” Donovan) හට යවන්නේ මේ සටහනත් එක්කයි.

 “ Have a look in to this Bill, this man is not a nut case.”

මේ සටහනත් සමගින් ඇරඹෙන මේ කතාව ඇමරිකානු යුධ සැලසුම් සේවා කාර්යාලය මගින් අනුමත වෙනවා. ඉන් පසු එය එවකට එක්සත් ජනපද යුද හමුදාවේ සිටි ජෙනරාල් හෙන්රි ආර්නල්ඩ් (Gen. Henry Harley “Hap” Arnold) යටතේ ක්‍රියාත්මක වෙන්නට පටන්ගන්නවා.

එලෙස ඇරඹුණු මේ ව්‍යාපෘතිය වෙත කාර්යමණ්ඩල සහ පර්යේෂකයින් බඳවා ගන්නා අතර ඔවුන් නිව් මෙක්සිකෝ හා ටෙක්සාස් ජනපද වල වවුල් ගුහා පීරමින් සුදුසු වවුලන් වර්ග සොයනවා. 1943 මාර්තු මාසය වන විට වවුලන් ගණනාවක් නිරීක්ෂණය කර ඒ අතුරින් ඔවුන් තෝරාගන්නේ මෙක්සිකන් ෆ්‍රී ටේල් (Mexican Free Tail)නමැති වවුල් වර්ගයයි. මේ වවුලා අවුන්ස භාගයක් පමණ වන අතර අවුන්සයක බරක් දරාගෙන පියාසැලීමට සමත් වනවා.

වවුලන් රැඳවූ කුටියක්‌
මෙහිදී ඔවුන් මුහුණ දෙන ලොකුම අභියෝගය වන්නේ අවුන්සයක බරට ඉන්සින්ඩ්යරි වර්ගයේ බෝම්බයක් නිපදවා ගැනීමයි. ඒ එවකට තුබූ කුඩාම ඉන්සින්ඩ්යරි බෝම්බයත් අවුන්ස දෙකකට එහා ප්‍රමාණයේ වීමයි. මේ ගැටලුවේදී ඔවුන්ගේ පිහිටට එන්නේ සුප්‍රකට මිලිටරි නාපාම් බෝම්බයේ නිෂ්පාදකයා වන ලුවිස් ෆයිසර් (Louis Fieser). ඔහු ග්රෑම් 17  (අවුන්ස 0.6) බර නාපාම් බෝම්බයක් සහ අවුන්සයක් බර නාපාම් බෝම්බයක් මේ සඳහා ම සාදන්නේ මේ ව්‍යාපෘතිය කොතරම් වැදගත් එකක්ද යන කියාපාමින්.

එසේ සාදන ලද බෝම්බය සැත්කමක් මගින් වවුලන්ගේ පපුවට තබා සවි කරනු ලබන අතර වවුලන්ව ඉන් අනතුරුව උෂ්ණත්ව පාලනය මගින් නිදිගන්වනු ලබනවා.

බෝම්බ බැඳී වවුලෙක්.

දැන් තිබුනේ වවුලන් බෝම්බයක් ලෙස පොලවට පතිත කිරීමේ ක්‍රියාවයි. එහිදී සාමන්‍ය බෝම්බයකට වඩා වෙනස් ලෙස වවුලන් රැගෙන යාමට සහ බෝම්බය  තුල වන නිදිගැන්වූ වවුලන් හට පොලවට පතිතවීමට පෙර පියාසලා යාමට හැකි වන ලෙස බෝම්බයක් සෑදීමේ අවශ්‍යතාව මතුවූ අතර එයට පිලියමක් ලෙස විශේෂිතව සකස්කළ බෝම්බ සැලසුමක් වෛද්‍ය ලිට්ල් විසින්ම ඉදිරිපත් කළා.
එසේ සැලසුම් කල බෝම්බය තමයි ඔය පහත පින්තුරේ පෙනෙන්නේ.



මේ බෝම්බයේ තට්ටු විසි හයක එකක වවුලන් 40 බැගින් වවුලන් 1040 රැගෙන යා හැකි ලෙස නිමවා තිබෙනවා. එහි වන සිදුරු වලින් උෂ්ණත්ව පාලනය සිදු කරන අතර එය පොලවේ සිට අඩි 5000 උසක සිට අතහරින්නට සැලසුම් කර තිබෙනවා.  ඉන්පසු අඩි 1000 ක උසක දී මේ බෝම්බය ස්වයංක්‍රීයව එහි ආවරණය ඉවත් කරගෙන  පැරෂුටයක ආධාරයෙන් පොලව බලා ගමන් කරත්දී ස්වභාවික පරිසර උෂ්ණත්වය ලැබී නිද්‍රාවෙන් අවදිවන වවුලන් මුදා හැරීමට තට්ටු වෙන් වෙන් වශයෙන් දිග හැරී වවුලන්ට පියාසැරීමට වේදිකාවක් ලෙස සකස්වනවා. මේ වේදිකා එකිනෙකට රැහැන් මගින් සම්බන්ධ වෙනවා. බලන්න පහත පින්තුරය.

දිගහැරුණු තට්ටු සහිත වවුල් බෝම්බය.

මෙසේ මුදා හරින වවුලන් රැගෙන යන නාපාම් බෝම්බය කාල බෝම්බයක් ලෙස සකස් කර තිබෙන අතර මුදා හැර පැය භාගයක කාලයක් තුල දී බෝම්බ ක්‍රියාත්මක වී එකවිටම ගිනි ජාලා මැවෙන්නට පටන් ගන්නවා.

1. වවුල් බෝම්බය සකසමින්. (ජායාරුපයේ මැද සිටින්නේ වෛද්‍ය ලිට්ල් ඇඩම්ස් ය.)
2. වවුල් බෝම්බය බිම හෙලන අවස්තාවක්.
3. කාල්ස්බෑඩ් කඳවුර ගින්නේ වෙළෙමින්. 


මේ බෝම්බය විවිධ පරීක්ෂණ වලට බඳුන් කරමින් සිටියදී කාල්ස්බෑඩ් හි හමුදා අතිරේක ගුවන් කඳවුරු මුලස්ථානය මිනිත්තු කීපයක් තුලදී ගින්නෙන් වැසී යනවා. ඒ අත්වැරදීමකින් බෝම්බ සවිකරන ලද වවුලන් කිහිපදෙනෙකු පලායාම නිසා. ඒ සිද්ධිය සමගින් මදක් පසුබාන මේ ව්‍යාපෘතිය එතැනින් පසු 1943 අගෝස්තු මාසයේ දී ඇමරිකානු නාවික හමුදාව යටතට ගැනෙනවා. ඒ සමගින්ම ඔවුන් එය එක්ස් රේ  ව්‍යාපෘතිය (Project X-Ray) ලෙස නම්කරන අතර  එම වසරේම දෙසැම්බර් මාසයේ දී ව්‍යාපෘතිය ඇමරිකානු මැරීන් හමුදාව වෙත පවරනවා.

ඔවුන් මේ සමගම මේ ව්‍යාපෘතිය කැලිෆෝනියාවට ගෙන යනු ලබන අතර ඩග්වේ අත්හදා බැලීමේ මධ්‍යස්ථානයේදී ජපාන පන්නයේ ගම්මානයක ආකෘතියක් වෙත මුල් වරට මේ අවිය යොදා පහර දෙනවා. එහිදී අති සාර්ථකව ප්‍රතිඵල පෙන්වන මේ අවිය ගැන ජාතික ආරක්ෂක පර්යේෂණ කමිටුව සතු වාර්තා වල මෙසේ සඳහන් වනවා.

“It was concluded that X-Ray is an effective weapon.” “Expressed in another way, the regular bombs would give probably 167 to 400 fires per bomb load where X-Ray would give 3,625 to 4,748 fires”.

කරුණු මෙසේ වුවත් මේ ව්‍යාපෘතිය 1944 පෙබරවාරි 16 වැනිදා නාවුක අද්මිරාල් අර්නස්ට් ජේ කිංග් (Fleet Admiral Ernest J King) ගේ අණින් නැවතීම සිදුවන්නේ ඒ ව්‍යාපෘතිය 1945 මැද වනතුරුම යුද්ධය සඳහා සුදානම් කල නොහැකි බව පැවසුණු නිසාවෙනි. නමුත් ඒ වන විට ද ඇමරිකාව තමන්ගේ ජපාන සතුරා වෙත පහර දීමට දැවැන්ත අවියක් තනා අවසන්ව තිබුණු අතර එය ද මේ ව්‍යාපෘතිය උපන්ගෙයිම නවතාලන්නට එක හේතුවක් වුනා. ඒ වෙන කිසිවක් නොව න්‍යෂ්ටික බෝම්බයයි.

අවසානයේ න්‍යෂ්ටික බෝම්බය හෙළු පසු වෛද්‍ය ඇඩම්ස් මෙවැන්නක් පවසා තිබුනා.

Think of thousands of fires breaking out simultaneously over a circle of forty miles in diameter for every bomb dropped.
Japan could have been devastated, yet with small loss of life
(හිතන්න බිම හෙලන සෑම බෝම්බයකටම හැතැප්ම හතලිහක ප්‍රදේශයක් තුළ දහස්ගණන් ගිනි ජාලා එකවිටම පැනනගින හැටි. මේ තරම්ම ජීවිත විනාශ නොකරම ජපානය භීතියට පත්කරන්නට තිබුණා.)


 ලිපියේ මුලාශ්‍ර : 

අන්තර් ජාලය | විකීපීඩියා අඩවිය | හිස්ටරි චැනලය විකාශය කල වවුල් බෝම්බය ගැන වැඩසටහන.