Saturday, September 29, 2012

බස් රේඩියෝව සහ බ්ලොග් සම්මාන උළෙල.



බස් රේඩියෝව බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වුයේ මේ මම දන්නා මුල්ම වරය. ඇත්තෙන්ම බ්ලොග් සම්මාන උළෙලක් දියත් කරන එක නම් ඇත්තෙන්ම හොඳ දෙයක් ය. ඒ එමගින් ඇගයීමක් සමග බ්ලොග් කරුවන් දිරිමත් වීමක් සිද්ධ වන නිසා ය.

එහෙත් බස් රේඩියෝ බ්ලොග් සම්මානයේ මුල සිටම අවුල් තිබුණි. ඔවුන් සම්මාන උළෙල සැලසුම් කලේ පසුගිය ජුලි මාසයේ දිනයක් යොදාගෙන ය. එහෙත් සංවිධාන කටයුතු වල වූ අසංවිධානය මැනවින් පෙන්වමින් එය සැප්තැම්බර් මස තෙක්ම දිග ඇදෙමින් ඇවිත් අද දින සම්පුර්ණ වන්නේය.

බ්ලොග් සඳහා කැටගරි කීපයක් ඔවුන් නම් කල අතර එහිදී ලියාපදිංච් වුවන් සඳහා රේඩියෝ වැඩසටහන් පවත්වන ලදී. එය හොඳ දෙයක් වුවත් ඔවුන් ඉතා ඉක්මනින් කලේ කැටගරි වෙනස් කිරීමක් සිද්ධ කිරීමයි. සංවිධානය නිසි සේ වුවා නම් කැටගරි වෙනස් කරන්න සිද්ධ වෙන්නේ නැත.

බ්ලොග් ඇගයීම සඳහා වන විනිසුරු මඩුල්ල නම් කරන්නට ඔවුන්ට මසකට වඩා කල් ගියේ ඇයිදැයි ඔවුන් නිසි හේතුවක් දැක්වුයේ නැත. එය රහසක් ව තබා ගන්නට උවමනා කරුණක් බව මට නොපෙනෙතත් ඔවුන් එය රහසක් ලෙස අවසන් මොහොත තෙක්ම තබා ගත්තේ තමන්ගේ සංවිධානයේ අසංවිධානය වසාගන්න ගසනා තුරුම්පුවක් ලෙස බව මට සිතුනි.

මේ අතරම ඔවුන් පාඨක ජන්දය ගැනීමට ෆේස්බුක් ජන්ද පෝරමයක් දියත් කලත් තාක්ෂණික දෝෂ මත පැය කීපයකින් හකුලා ගන්නා ලදී. එයද මා දකින්නේ අසංවිධානයේ තවත් ඉමක් ලෙසය. ඉන් අනතුරුව ඔවුන් තමන්ගේ ඇගයීම් සඳහා වූ බ්ලොග් ලැයිස්තුවත් එහි ලියාපදිංචි වී සිටි බ්ලොග් වල සටහනකුත් ඉදිරිපත් කරන ලදී. ඒත් එතනත් දෝෂ සහිත බව ඔප්පු වුයේ ඒ සඳහා මගේ බ්ලොග් අඩවිය පෙනෙන්න නොමැති වීම නිසා ය. (මා දන්නේ මගේ අඩවිය ගැන පමණි. ඒ නිසා මා පාදක කරගත් මිනුම එයයි.)

දැන් කෙනෙකුට පෙනෙනු ඇත්තේ මේ සටහන හුදෙක් හිත අමනාපයෙන් ලියුවක් බවයි. නැත. හිතේ අමනාපයක් නැත. එහෙත් මට සිතුන විවේචනය මා සටහන් කලෙමි. එපමණකි.