Saturday, June 23, 2012

ජංගම උපාංග වලින් සිංහල බ්ලොග් කියවමු - ලියමු.


ඕනෙම දෙයක් එක දිගටම යද්දී එපා වෙනවා. ඉතින් හිට්ලරුයි එයාගේ ලෝක යුද්ධෙයි ගැන ලියන ලිපි පෙළ මැද්දෙන් ඔන්න පොඩි වෙනසකටත් එක්ක මම වෙනස් කතාවක් කියන්න අද හදන්නේ. (එහෙම කිව්වට ලිපි පෙළ නවත්තලා නෑ ඕන්..) 

බ්ලොගේටත් අලුත් පෙනුමක් එහෙම දීල මේ ලැහැස්ති වෙන්නේ එහෙම කරන්නට මාව පෙලඹවූ හේතුව කියන්න තමයි. ඔව්, ටිකක් අලුත් වැඩක් තමයි.


මගේ බ්ලොග් එකේ ස්ටැට්ස් බලද්දී මම දැක්ක විශේෂ දේවල් දෙකක් තිබ්බ. ඒ තමයි දැන් ගොඩක් දෙනෙක් තමන්ගේ ජංගම දුරකථන සහ උපාංග මගින් බ්ලොග් කියවන්න වගේම කමෙන්ට් කරන්නත් පෙළඹෙන බව. අයි ෆෝන් අයි පෑඩ්  වලින් සහ ඇන්ඩ්රොයිඩ් උපාංග මගින් බ්ලොග් වලට ගොඩක් අය ඇවිත් තියනවා කියලා මට පෙනුන නිසා මේ ටිකේ මමත් පොඩි පරීක්ෂණ කීපයක් කළා.

මමත් ඉතින් ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන හින්දා මම ඒකෙන් HSDPA ආධාරයෙන් මගේ බ්ලොග් එක වගේම තව අපේ බ්ලොග් ලියන ගොඩක් දෙනාගේ බ්ලොග් කියවලා බැලුවා. ඇන්ඩ්රොයිඩ් 2.3 ජින්ජබ්‍රෙඩ් තියෙද්දී නම් සිංහල පෙනුනේ නිකං යුද පිටියක වැටුණ බුලට් ෂෙල් වගේ. හැමතැනම.. ඒත් මම පසුගිය අප්‍රේල් මාසේ ඉඳලා SETT බ්‍රවුසරේ දාගෙන බැලුවා ඇන්ඩ්රොයිඩ් 2.3 වලට. මෙන්න.. බ්ලොග් ලස්සනට කියවන්න පුළුවන්...

ඊට පස්සේ මම මගේ ඇන්ඩ්රොයිඩ් ගැජට් එක අලුත් ඇන්ඩ්රොයිඩ්වලට (අයිස්ක්‍රීම් සැන්ඩ්විච්) අප්ඩේට් කරා නේ. එහෙම කරපු ගමන්ම වගේ මොනවත්ම ඉන්ස්ටෝල් කරන්න කලින් මම බැලුවේ බ්ලොග් ටික. අනේ යස අගේට සිංහල පේනවා. හොඳට කියවන්න පුළුවන්.

මේ ඇන්ඩ්රොයිඩ් 4.3 වලදී  (ගිනි නරියා බ්‍රවුසරෙන්)





මේ ලොකු කලාම අකුරු පෙනෙන විදිය

කියෙව්වට පස්සේ කමෙන්ට් කරන්න ගියාම තමයි ඊළඟ ප්‍රශ්නේ මතුවුනේ. කොහොමද සිංහල කොටන්නේ? ඉතින් ඒ සඳහා මම විවිධ මෘදුකාංග භාවිතා කලත් අන්තිමේ පිහිටට ආවේ භාෂා ලංකා ආයතනයේ නිර්මාතෘ, බ්ලොග් රචක,  ධනික සහෝදරගේ සමාගම හදපු හෙළකුරු කියන මෘදුකාංගය. සිංහල ගුගල් ට්‍රාන්ස්ලිටරේට් වල ටයිප් කරනවා වගේම ලේසියට මේ මෘදුකාංගයෙන් අකුරු ගහන්නත් ඒවගේම අවශ්‍ය විටක නොදන්නා අකුරු ටයිප් කරන හැටි හොයාගන්නත් මේ මෘදුකාංගය සහය සලසනවා.


මෙන්න මේ දේවල් ටික දැනගත්තට පස්සේ මම තීරණය කළා මගේ බ්ලොග් එක තවත් ජංගම උපාංග වලට පහසුවෙන් කියවන්න වගේම ඒ දේවල් වලට ඕනේ කරන උපාංග ටිකත් මගේ බ්ලොග් එක හරහා සම්බන්ධ කර දෙන්න. හරි. ඉතින් දැන් කියන්න යන්නේ මේ විදියට ඔබේ සිංහල බ්ලොග් අඩවියත් ජංගම උපාංග මගින් කියවන්න දෙන්න කැමති නම් ඒ දේ කරන්නේ කොහොමද කියන එක.

මේ හෙළකුරු මගින් කමෙන්ට් එකක් කොටන ගමන්

මගේ බ්ලොග් එකේ වගේම ඔයාල ගොඩක් දෙනෙකුගේ බ්ලොග් වලත්  ධනික සහෝදරයා හදපු SETT deco විකේතකය විජට්ටුවක් විදියට දාගෙන ඇති. පරිගණකයේ දී  සිංහල යුනිකේත අකුරු නැතුවත් බ්ලොග් කියවන්න පුළුවන් වෙන්න උදවු කරන අන්න ඒ විජට්ටුව තමයි මේ හපන්කම ජංගම උපාංග වලත් කරන්නේ. බ්ලොග් එක ජංගම උපාංග වලදී ලෝඩ් වෙනකොට අකුරු විවිධ සංකේත විදියට දිස් වුනත් ලෝඩ් වූ වහාම ඒවා අපිට කියවිය හැකි සිංහල අකුරු බවට මේ විජට්ටුව හරහා පත් වෙනවා. මේ විජට්ටුව නැති බ්ලොග් නම් කියවන්න අමාරුයි. අකුරු එහෙ මෙහෙ වෙලයි තියෙන්නේ..

ගොඩාක් බ්ලොග් මේ හරහා පහසුවෙන් කියවන්න පුළුවන්. ඒ වගේම මේ හෙළකුරු මෘදුකාංගය හරහා පහසුවෙන්ම කමෙන්ට් කරන්නත් පුළුවන්. පරිගණකයෙන් ටයිප් කළා වගේමයි කිසිම වෙනසක් නම් නෑ. නමුත් ඇතැම් බ්ලොග් වල ඇති HTML/Javascripts flash plugins මගින් ලෝඩ් වෙන වේගය නම් ඉතා අඩු කරලා ඇති බව කියන්න ඕනේ. 

අන්තිමටම, ඇන්ඩ්රොයිඩ් වලින් බ්ලොග් කියවන අයට තව එක ගැජට් එකක් ගැන කියන්න ඕනේ. ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රවුසරය. මේ බ්‍රවුසරය ගොඩක් වේගවත් වගේම pdf වලින් අවශ්‍ය බ්ලොග් පිටු සේව් කරන්නත් ඔප්ෂන් දීලා තියනවා. කැමති අය මෙතනින් බාගෙන පාවිච්චි කරලම බලන්නකෝ. 

ප.ලි. : SETTdeco විකේතකය වර්ඩ් ප්‍රෙස් බ්ලොග් සඳහා ක්‍රියා කරන්නේ ඒ බ්ලොග් ඔබගේම සර්වරයක පවත්වාගෙන යන්නේ නම් පමණි.




-- මෙහි වන අයිකන සහ නිෂ්පාදන සන්නාම අදාළ ආයතනයේ පුර්ණ අවසරය මත පලකොට ඇත. ඒ අයිකන, සන්නාම සතු පුර්ණ අයිතිය භාෂා ලංකා ආයතනය සතු වේ. --

Sunday, June 17, 2012

දෙවනි ලෝක යුද්ධය - ඉතිහාසයේ සැඟවුණු තැන් II


දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ. කලින් අපි කතා කලේ හිට්ලර් ගැන වූ සැඟවුණු තතු සහ හිට්ලර් පසුපසින් වූ අදිසි හස්තයන් ගැන. ඒ එක්කම හිට්ලර්ගේ මරණය ගැන අපි කතා කළා. ඔහු සිය දිවි නසා ගත්තා ද එසේ නැතිනම් ඔහු පලා ගියාද  කියලයි එහිදී අපි කතා කලේ. මේ පහල තියන ලින්ක් වලින් ඒ ලිපි ටික කියවන්න පුළුවන්.


අතිශය බිහිසුණු හා තාක්ෂණය අතින් විශ්මිත නිමැවුම් බිහිවූ දෙවැනි ලෝක යුද්ධය වර්ථමාන යුධබිමට පවා සෙවනැලි ගෙන එනවා. ඒ යුධ අවි සහ යුධ ක්‍රම අදටත් වලංගුයි.  දෙවැනි ලෝක යුද්ධය හමාර වීම සමගින්ම ඇමරිකාව සහ රුසියාව විසින් හිට්ලර්ගේ යුධ උපක්‍රම, අවි ආයුධ මෙන්ම තාක්ෂණයද භාවිතා කරනවා.

අද අපි කතා කරමු හිට්ලර්ගේ විශ්මිත ආයුධ ගැන වගේම ඒ ආයුධ වලින් වූ බලපෑම, හිට්ලර් ඇතුළු නාසින්ගේ නොසැලකිල්ල සහ නිසි ලෙස භාවිතා නොකිරීම නිසා ඔවුන්ට සිද්ධ වූ පරාජයට ඒ තීන්දු තීරණ හේතු වූ විදිය. එහෙනම් එන්න කියවන්න, Wunderwaffe des Hitler

මොනවාද මේ වුන්ඩර්වෆේ දෙස් හිට්ලර් කියන්නේ?

වුන්ඩර්වෆේ (wundarwaffe) කියන්නේ ඉංග්‍රීසියෙන් වොන්ඩර් වෙපන්ස් (wonder weapons) එහෙමත් විශ්මිත ආයුධ කියන තේරුමයි. ඇත්තෙන්ම මේ හිට්ලර්ගේ ආයුධ ඒ කාලයේ හැටියට සහ තාක්ෂණයේ හැටියට අතිශයින් ඉදිරියෙන් තිබු ආයුධයි. එයින් ඇතැම් ඒවා ඒ වන විටත් යුද්ධය සඳහා සක්‍රිය දායකත්වය ලබා දුන් අතර මුලාකෘතියට පමණක් සීමාවූ ඇතැම් ඒවා හිට්ලර්ගේ සහ යුධ ආයුධ පිළිබඳ අමාත්‍ය ඇල්බර්ට් ස්පියර්  (ජර්මන් උච්චාරණය: ශ්පියර් ) ගේ නියෝග මත නවතා ලු ඒවායි. සමහර අවස්ථා ඊට වෙනස්. මෙසේ සැලසුම් කල ඇතැම් ආයුධ අතිශයින්ම විශාලිත වූ අතර ඒවායින් ජර්මන් ආර්ථිකයට හෝ යුද වියදම් වලට  යහපතක් වුනේ නෑ.

අපි එයින් තෝරාගත් කීපයක් එකිනෙක විමසා බලන්න පටන්ගමු ගුවන් යානාවල ඉඳං.

මෙෂස්මිත් ME 262 (Messerschmitt Me 262)

දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍රපාර්ශවිකයින්ගේ ගුවන් භටයින් බයෙන් මෙන්ම පුදුමයෙන් ත්‍රස්ත කරන්නට සමත්වූ ලොව පළමු ක්‍රියාන්විතයේ යෙදුනු ජෙට් ප්‍රහාරක යානය මෙෂස්මිත් ME 262 ගුවන් යානයයි. 1942 මැද භාගයේදී කරලියට පිවිසි මේ යානාව එකල තිබුණු වේගවත්ම මිත්‍ර පාක්ෂික යානාවට වඩා කිහිප ගුණයක් වේගවත් වූවා. ඒ එකල තිබු සියලු මිත්‍ර පාර්ශවයේ යානා වලට වඩා පැයට සැතපුම් 100 කට එහා වේගයක්. එමන්ම ඉතාමත් සාර්ථක ප්‍රති ප්‍රහාරක යානාවක්. (interceptor)

මෙෂර්ස්මිත් 262 යානාවක්
 
මේ යානාව ලෝක යුද්ධයේ අග භාගයේදී එළිදැක්වූ නිසා එය සාර්ථක නොවුණු බව කීවත් සත්‍ය තත්වය ඊට බොහෝ එහාට විහිදුනක්. මේ යානය ප්‍රති ප්‍රහාරකයක් වීම හිට්ලර්ට එතරම් ඇල්ලුවේ නෑ. ඔහුට උවමනා උනේ ඊට එහා ගිය ප්‍රහාරක යානයක් සහ බෝම්බ හෙලන යානාවක්. ඒ නිසාම මේ යානාව සැහැල්ලු බෝම්බ හෙලන යානාවක් ලෙසද වෙනස් කරනවා. ඒ වුනත් ඒ වනවිටත් ජර්මනිය සතුව විශිෂ්ඨ සැහැල්ලු බෝම්බ හෙලනයක්‌ තිබුනා. ඒ යුන්කර්ස් JU 87 යානාව (Junkers JU 87).(ජුන්කර්ස් ලෙස තිබුණත් ශබ්ද වන්නේ යුන්කර්ස් ලෙසයි,)

හිට්ලර්ගේ මේ තීන්දුව නිසා යානයේ නිෂ්පාදනය සිද්ධ වුනේ ඉතාම සෙමින්. එය මේ යානාවල සංඛ්‍යාව පහල හෙලන්නත් ඒ පහල හෙලීම නිසා ප්‍රහාරක කටයුතු වලදී ඉතා අල්පයක් වූ යානා භාවිතා කිරීමට වීම නිසා ප්‍රථිපල මද වීමත් සිද්ධ වුනා. එමගින් සිද්ධ වුනේ ජර්මනිය තුලට බෝම්බ හෙළු මිත්‍ර පාර්ශවික යානා පැමිණීම දිවා කාලයේදී හෝ නවතාලීමට නොහැකි වීමයි. එය ජර්මන් පරාජය ඉක්මන් කරන්න එක හේතුවක් වුනේ ජර්මානු යුධ නිෂ්පාදන සිද්ධ කිරීමට නොහැකි වීමත් කර්මාන්ත හා ඉන්ධන පිරිපහදු කටයුතු සිදු කිරීම ඉතාමත් අසීරු වීමෙන් යුද්ධයට අවශ්‍ය අනෙකුත් සැපයුම් අඩාල වීමත් සමගින්. ඒ එක්කම අනෙකුත් ගුවන්යානා ගුවන්ගත කිරීම පවා අසීරු වන තැනට ජර්මන් ගුවන් හමුදාව පත්වුණේ අහස මුළුමනින්ම මිත්‍ර පාර්ශවය අත්කර ගැනීමත් සමගයි.

මේ යානය මිත්‍ර පාර්ශවයට කොයිතරම් හිසරදයක්ද කියනවානම් ඔවුන් මේ යානයට පහර දුන්නේ එක්කෝ යානය ඉහලට ඔසවන්න සුදානම් වන විටදී හෝ ගොඩබාන අවස්ථාවේදීයි. අහසේදී මේ යානා බිම දැමු ප්‍රමාණය ඉතා සීමිතයි. 

මේ යානයට පළමුව 1939 දී හෙයින්කල් ආයතනය HE 178 නම් යානාවක් (ලොව පළමු ජෙට් යානාව) ගුවන්ගත කලා. 1939 නොවැම්බර් මස පළවැනිදා  එය ෆීල්ඩ් මාෂල් එහාඩ් මිල්ච් (Erhard Milch) සහ කර්නල් ජෙනරාල් අර්නස්ට් උඩෙට් Ernst Udet ගෙන් සමන්විත රයිච් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත සංදර්ශනයක් ඉදිරිපත් කළා. එහෙත් ඔවුන් එයින් මේ යානයේ වැදගත්කම ගැන කිසිඳු තැකීමක් සිදුකලේ නෑ. ඒ වගේම හර්මන් ගෝරින්ග් (හිට්ලර්ගේ ලුෆ්ට්වෆා :Luftwaffe ප්‍රධානියා) සාම්ප්‍රදායික ගුවන් යානා වලට තැන දීම නිසා මේ යානයේ වැදගත්කම තවත් අඩු වූවා. නමුත් මෙහිදීත් ඔවුන් මදක් දුරදිග බලා එදා ඒ තීන්දු තීරණ ගත්තා නම් බොහෝ කොටම යුද්ධයේදී ඒ තීරණය හැරවුම් ලක්ෂයක් වනවා නොඅනුමානයි.

හෝර්ටන් 229 (Horten 229)


ඉස්සරලාම පින්තුර ටිකක් බලලා ඉමු.

ජර්මානු හෝර්ටන් 229 යානාවක දුර්ලභ ජායාරුපයක්.

හෝර්ටන් 229 යානා ආකෘතියක්. (නියම ආකෘතියක් නොවේ)

ඇමෙරිකන් B2 බෝම්බ හෙලනයක්‌.


පළමුවැනි පින්තුරය සහ දෙවැන්න ජර්මන් හෝර්ටන් 229 යානාවක් (දෙවැනි පින්තුරේ නියමු කුටිය හා එන්ජින් මදක් ඉදිරියට වෙන්නයි තියෙන්නේ. එත් සැබවින්ම ඒවා තටුව මත පිහිටිය යුතුයි. මේ ආකෘතියේ ඒ කොටස නිවැරදි නෑ). තුන්වැන්න ඇමරිකන් බී 2 බෝම්බ හෙලන යානාවක්. මේ දෙකම හදල තියෙන්නේ ස්ටෙල්ත් එහෙමත් නැතිනම් රේඩාර් වලින් නොපෙනී සිටීමේ හැකියාව සහිතව ඉන්න. කොහොමද දෙකේ වෙනස?

හෝර්ටන් 229 යානය විශාල ලෙස නිපදවූ යානාවක් නෙවෙයි. මුලාකෘති දෙකක් පමණක් නිර්මිත මේ යානාවේ එක මුලාකෘතියක් පරීක්ෂණ සැසියකදී (Test Flight) විනාශ වුනා. ඉතිරි මුලාකෘතිය ඔපරේෂන් පේපර්ක්ලිප් (Operation Paperclip) යටතේ ප්‍රංශයේ චියර්බොග්  වරායෙන් ඇමරිකාවට නැව්ගත කළා. ඒ ජර්මනියේ අධිආරක්ෂිතව පැවතුනු කලාපයක රහසිගත ගුවන් පථයකින් සොයාගැනීමෙන් අනතුරුව.එසේ කලේ බර්ලිනය කරා එන රුසියානු දෑත් වලින් මේ අධි තාක්ෂණික උපකරණ රැකගැනීමටයි. රුසියානුවන් දියුණු ජර්මන් තාක්ෂනය අත්පත් කරගන්නවාට ඇමරිකාව සතුටු වුයේ නෑ. 

80% ලී භාවිතා කර නිපදවා තිබුණු මේ යානාවට ගල්වා තිබු මැලියම් සහ සායම් වල අඟුරු අඩංගු වෙලා තියෙනවා. ඒ රේඩාර් තරංග උරාගන්නට. යානයේ හැඩය තනි තටුවක් ලෙස නිමවීමත්, එන්ජින් සහ නියමු කුටිය ඇතුළු සියල්ල යානය තුලම පිහිටීමත් සහ යානයේ ලෝහ කොටස් අවම වීමත් යන කාරණා  නිසා මේ යානාව රේඩාර් මගින් හඳුනා නොගනීවි යන උපකල්පණය යානය සැලසුම් කල හෝර්ටන් සහෝදරයෝ සිතුවා. 1930 දශකයේ සිට ග්ලයිඩර් භාවිතා කරමින් සිටි ඔවුන් මේ යානාවත් ග්ලයිඩර් සැලසුමකට අනුව ඉදිරිපත් කළා.

මේ යානාව වසර 2008 දී B2 යානය නිපදවූ නොර්තොප් කෝපරේෂන් (Northrop Corporation) ආයතනය මගින් නැවත ප්‍රති නිර්මාණය කරනවා. මේ සම්බන්ධව හිස්ටරි චැනලය(The History Channel) මගින් රූපවාහිනී වැඩසටහනක් හිට්ලර්ගේ රේඩාර් මත නොපෙනෙන ප්‍රහාරක යානය (Hitler’s Stealth Fighter) නමින් සිදු කරනවා. මේ ලින්ක් එක දිගේ ගිහින් ඔබට ඒ වැඩසටහන බලන්න පුළුවන්.

මේ යානය නිර්මාණය කලේ බ්‍රිතාන්‍ය වෙරළබඩ රේඩාර් පද්ධතියට අභියෝග කරන්නයි. හිට්ලර්ට බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන්නට නොහැකිවූ එක බාධාවක් වූ මේ රේඩාර් පද්ධතිය විනාශ කරන්නට හිට්ලර් බොහෝ උත්සාහ කළා. මේ රේඩාර් පද්ධතිය ඇසුරින් බ්‍රිතාන්‍ය තම ප්‍රහාරක යානා ඉතා නිරවද්‍ය තොරතුරු වලින් සන්නද්ධ කළා මෙන්ම ප්‍රංශ වෙරළ තීරුව ආසන්නයෙන් එන ජර්මන් යානා කඳවුර පසුකර වෙරළට ඇතුල්වෙත්ම හඳුනාගැනීමට ද ක්‍රියාකාරී වුනා. 

මේ ආකෘතිය යොදාගෙන කල පරීක්ෂණ වලින් තහවුරු වුයේ මේ යානයට එවකට බ්‍රිතාන්‍යය භාවිතා කල රේඩාර් පද්ධති වලින් අනාවරණය වීමට ඇති දුර සාම්ප්‍රදායික යානා වල දුරෙන් 20% බවයි. එනම් අනාවරණය කරගන්නා ලක්ෂයේ සිට විනාඩි නවයකින් ගමන් කල හැකි දුරක්. 

එවකට ලුෆ්ට්වාෆා යානා බ්‍රිතාන්‍ය රේඩාර් පද්ධතියට හසු නොවීමට ඉතා පහලින් පියාසර කළා. (මතකද LTTE ගුවන් යානා? ඒවාත් පහතින් නේ පියාසර කලේ) ඒ පොලවේ සිට අඩි 50 ක පමණ උසකින්. මේ යානාවත් ඒ ක්‍රම අනුගමනය කළා නම් යානය රේඩාර් තිරයේ දිස්වන්නේ රේඩාර් කලාපයට විනාඩි දෙක හමාරක දුරකදී. කොහොමද වැඩේ? 

ජෙට් එන්ජින් යොදාගන්න නිසා යානයේ වේගය ඉතා ඉහල අගයක් ගන්නා අතරම එවකට තිබු පිස්ටන් එන්ජින් වලින් ධාවනය කල මිත්‍ර පාර්ශවයේ වේගවත්ම යානාවට වඩා වේගවත් නිසා ඔවුන්ට කිසිවක් කල කියාගත හැකි වන්නේ නෑ. ඔවුන්ගේ ගුවන් යානා ගුවනට ඔසවන විටත් මේ යානය පහරදී අවසන්ව නැවත හැරී ගොස් තිබෙන්නට බැරි නෑ.

අරාඩෝ AR 234 (Arado Ar 234)

අරාඩෝ AR 234 මුල්ම යානා වලින් එකක්. (මේ යානාවේ රෝද වෙනුවට තිබුනේ ස්කිඩ්ස් )





අරාඩෝ AR 234 යානාව හිට්ලර්ගේ තවත් එක විශ්ම අවියක් වූ  ගුවන් යානාවක්. ජෙට් එන්ජින් දෙකකින් බලගැන්වුණු මේ යානාව මුලිකවම හිට්ලර් යෙදෙව්වේ සතුරු භුමි අධ්‍යයන (reconnaissance) කටයුතු වලටයි. පසුව එය බෝම්බ හෙලන යානාවක් ලෙස ඉතා සුළු අවස්ථා ගණනකදී  භාවිතා කර තියනවා. එබැවින් මේ යානාව ලෝකයේ ප්‍රථම බෝම්බ හෙලන යානාව බවට පත්කර තිබෙනවා.

ජෙට් බලගැන්වූ මේ යානාව 1944 දී බ්‍රිතාන්‍යට ඉහලින් ගමන්කළ අවසාන ජර්මානු යානාවයි. 1944 සැප්තැම්බර් මස දී හඳුන්වාදුන් මේ යානාව බෝම්බ හෙලනයක්‌ ලෙස සීමිත මෙහෙයුම් ගණනක යෙදුනත් එයින් අත්කරගත්තේ නොබිදුණු කීර්තියක්. මිත්‍ර පාර්ශවයේ යානා මගින් ගුවනේදී ප්‍රති ප්‍රහාර එල්ල කිරීම ඉතා අපහසු යානාවක් බවට මේ යානාව එකල පත්වුණේ එහි වූ අධිවේගීබව නිසයි. මේ යානවත් ඒ නිසා මිත්‍ර පාර්ශවයේ ප්‍රහාර වලට ලක්වුයේ බොහෝ කොටම භුමියේ රැඳී සිටින විට හෝ ගොඩබෑම සිදු කරන විටදීයි. මෙවන් වූ සාර්ථකත්වයක් තිබුණු මේ යානය බෝම්බ හෙලන කටයුතු වලට යෙදවීමට අකමැති වුයේ ෆීල්ඩ් මාෂල් එහාඩ් මිල්ච් විසින් ගනු ලැබූ තීරණයක් නිසා බවට කතාවක් තියෙනවා. ඒත් ඒ කතාව තහවුරු කොට නෑ මීට ඉහතදීත් අපි කතා කල මේ ෆීල්ඩ් මාෂල් එහාඩ් මිල්ච් යුදෙව්වෙක් වගේම ජර්මානු ගුවන් හමුදාවේ යානා සහ අවි සැපයුම් පිලිබදව වූ ප්‍රධානියායි.


 
පසු කාලින අරාඩෝ යානාවක් ගුවන් ගත කිරීමට සූදානමින්

යානාව යුද්ධයේ අවසාන භාගයේ නිෂ්පාදනය කිරීම නිසා සම්පත් හිඟ වීම ආදිය මගින් නිෂ්පාදිත ප්‍රමාණය සීමා සහිත වීමත් (යානා 210), බෝම්බ හෙලනයක්‌ ලෙස මුල සිටම භාවිතා නොකිරීමත් මේ යානාව මගින් ගත හැකිව තිබු සේවාව සහ යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වීම වලකාලනු ලැබුණා. එමෙන්ම යුද්ධයේ අවසාන භාගයේදී ලුෆ්ට්වාෆා සතුවූ ගුවන් බලය ඔවුන්ගේම නොසැලකිල්ල සහ නිසි ව්‍යපෘති සඳහා දායකත්වය ලබා නොදීම මගින් කඩා වැටී තිබුනා. මේ හේතුවෙන් මිත්‍ර පාර්ශවය ජර්මනියේ මර්මස්ථාන වෙත දැරිය නොහැකි ගුවන් ප්‍රහාර එල්ල කරමින් ජර්මන් යුධ යාන්ත්‍රණය පරාජයේ කෙළවරටම තල්ලු කළා.

1945 වන විට විවිධ අවි වර්ගයන් ආයුධ විශේෂ කීපයකින් සෑදීමට සැලසුම් කර තිබුනත් ඒ සියලු සැලසුම් පොත් වලට පමණක් සීමා කරන්නට යුද්ධය දැඩි වුවා. සැලසුම් කල යුධ අවි කෙසේ වෙතත් ඒ වන විටත් භාවිතයට යුධ අවි නිෂ්පාදනය මෙන්ම අනෙකුත් නිෂ්පාදනද නිපදවීම ගැටලුවක් ව තිබුනා.ජර්මනියට මේ වනවිට අවශ්‍ය වුයේ රාත්‍රී ප්‍රහාර සඳහා යෙදිය හැකි විශ්වාසවන්ත යානාවක්.

එවන්  යානාවක් ජර්මනියට තිබුනාද? තිබුනා නම් ප්‍රහාර සඳහා යෙදෙව්වේ නැත්තේ ඇයි ? යන කරුණු එක්කම ලෝක ඉතිහාසයේ මුල් වරට දෙවැනි ලෝක යුද්ධයේදී  භාවිතා කිරීමට සුදානම් වූ ජර්මන් න්‍යෂ්ටික ආයුධ ගැනත් අපි ඊළඟ ලිපියෙන් කියවමු.

(ලිපිය ආයෙත් දෙකට කැඩුවා. එපාවෙයි මාගල් කියවන එක කියල හිතලා. ඒකට සමාව භජනය කරන්න.)

Wednesday, June 13, 2012

දෙවැනි ලෝක යුද්ධය - ඉතිහාසයේ සැඟවුණු තැන් I

දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ. මුලින්ම මම ලියුවේ හිට්ලර් මියගියාද  නැත්නම් පලාගියාද කියන ලිපිය. ඒ ලිපිය කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
මෙතැන් සිට අපි කතා කරන්නේ හිට්ලර් යුද්ධය පැරදුනේ ඇයි කියන කරුණ සම්බන්ධව.

කවුද  මේ ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ?

ඇඩොල්ෆ් හිට්ලර්. දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රධාන චරිතය. 1939 සැප්තැම්බර් පළවෙනිදා පෝලන්ත ආක්‍රමණයට පසු හිට්ලර් තමන්ගේ ආක්‍රමණ හා සන්ධාන ඔස්සේ ලෝකයම යුද්ධයකට ඇදගෙන යනවා. ආර්ය ජනතා සංකල්පයෙන් පෙළුණු හිට්ලර් යුදෙව්වන් සමූල ඝාතනය කරන අතරේ ජර්මානු හමුදා පුර්ණ ආර්යන්ගෙන් සමන්විත කරනව.
හිට්ලර්ගේ පියාගේ දුලබ සේයාරුවක්
 
1889 අප්‍රේල් විසිවැනිදා රාන්ස්හොෆාන් හි තානායමක උපන් හිට්ලර් හට පියා වුයේ අලොයිස් හිට්ලර්. මව ක්ලාරා පොල්සී. සහෝදර සහෝදරියන් 8 දෙනෙකුගේ පවුලක උපන්නෙක්. එයින් දෙදෙනෙක් ඔහුගේ පියාගේ පළමු විවාහයේ දරුවන්.

කුඩා හිට්ලර්ගේ දුලබ සේයාරුවක්

හිට්ලර්ගේ  පියා ඇතැමෙක්ට අනුව අර්ධ යුදෙව්වෙක්. ඒ හිට්ලර්ගේ අත්තම්මා එනම් මරියා ඇනා ස්චික්ල්ගෘබර් (Maria Anna Schicklgruber) තමන්ට ලැබුණු දරුවාගේ, එනම් අලොයිස් හිට්ලර්ගේ (මුලින් ස්චික්ල්ගෘබර් පසුව ජොහාන් හිල්ඩර් හා මවගේ විවාහයෙන් පසු හිල්ඩර් නාමය වෙනුවට ඔහු හිට්ලර් නාමය ආරුඩ කරගෙන තිබෙනවා.) පියා ගේ නම හෙළි කරන්නේ නෑ. පල්ලියේ තෝම්බුවේ මේ දරුවාට ඇය ලබාදෙන්නෙත් තමන්ගේ නමයි. එහිදී ඇතමුන් විශ්වාස කරන පරිදි අලොයිස් ගේ පියා ඔහුගේ මව සේවය කල නිවසේ විසු 19 හැවිරිදි යුදෙව් පුත්‍රයා බවයි. (අලොයිස් හිට්ලර් ගේ මව ඔහුගේ පියාගේ නම හෙළි නොකිරීමෙන් පෙනී යන්නේ ඇය එක්කෝ ඔහුව ආරක්ෂා කල බව හෝ ඔහුගේ අනන්‍යතාව හෙළි කිරීමේ අපහසුතාවක් තිබුණු බවයි.)
හිට්ලර් විසින් අඳිනු ලැබූ සිතුවමක්.
 
හිට්ලර්  කුඩා කල බොහෝ උනන්දු සහගත එමෙන්ම දීප්තිමත් සිසුවෙක්. ඔහු පල්ලියේ ගීතිකා කණ්ඩායම නියෝජනය කළා පමණක් නොව පුජකවරය ලැබීමටද සිහින මැව්වා. එමෙන්ම ඔහු ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. සුරාවෙන් සුදුවෙන් මෙන්ම මස් මාංශ අනුභවයෙන් පවා හිට්ලර් තොරවූ බව කීවොත් එය සැබවින්ම ඔබව මවිත කරාවි.පියා සහ මවගේ මරණින් පසු 19 වැනි වියේදී චිත්‍ර ශිල්පියෙක් ලෙසට කටුක ලෙස ජීවිතය ආරම්භ කරන හිට්ලර් 1914 දී බවේරියානු හමුදාවට බැඳෙන්නේ පළමු ලෝක යුද්ධයේ ආරම්භයේදීමයි.
තවත් හිට්ලර්ගේ සිතුවමක්.

හිට්ලර් ලෝක යුද්ධයෙන් පසුව ජර්මන් හමුදාව ලක්ෂයකට අඩු කරද්දීත් තමන්ගේ සම්බන්ධතා මගින් හමුදාවේ රැඳෙනවා. පසුව 1919 සැප්තැම්බර් 12 වැනිදා දී ඔහු නාසි පක්ෂයේ ( එවකට ජර්මන් කම්කරු පක්ෂයේ ) 55 වැනි සාමාජිකයා වෙමින් නාසි පක්ෂයේ ධජය (රතු පසුබිම තුල වන සුදු රවුමක් මැදින් නිර්මිත ස්වස්තිකය) නිර්මාණය කරනවා. සහජයෙන්ම ඔහු තුල වූ දක්ෂ සිසුවා මෙහිදී ඉස්මතු වෙමින් කථිකත්වයෙන් ඔහු ජර්මන් කම්කරු පක්ෂය වසඟයට ගන්නා අතරම එහි ප්‍රබල ක්‍රියාකාරිකයෙක්ද වෙනවා. මෙසේ පක්ෂයේ ස්ථාවර වූ ඔහු 1921 දී පක්ෂයේ අභ්‍යන්තර මතගැටුමකට පසු තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන අතර එහිදී පක්ෂය වටහා ගන්නේ හිට්ලර් යනු පක්ෂයේ ප්‍රධාන බල කණුවක් බවයි. නැවත පක්ෂයට බැඳීමට නම් හිට්ලර් පක්ෂයේ සභාපති ධුරය ඉල්ලන අතර ඔහුට එය හිමි වෙනවා.

හිට්ලර් නාසි රැලියකදී

මෙලෙස නාසි පක්ෂයේ ස්ථාවර වන හිට්ලර්, යුද්ධයෙන් පසුව ජර්මනිය අන්‍ය ජාතීනට වහලුන් වී ඇති බව තරයේ අදහන අතර 1922 මුසෝලිනි සහ කළු කමිසකාරයින් රඟ දැක්වූ පාගමන ගුරු කොට 1923 ඔක්තෝබර් 8 සහ 9 දින බියර් හෝල් පුච් (Beer Hall Putsch) ලෙස හඳුන්වන අසාර්ථක විපල්වය මියුනිච් නගරයේදී අවසාන කරන්නේ ජීවිත 16 විනාශ කරමින්. එයින් පසු අත්අඩංගුවට පත්වන හිට්ලර් මාස නවයක් සිරබත් කනවා.

හිට්ලර් පිටුපසින් අදිසි හස්තයක්?

මේ සිපිරි ගෙයි ජීවිතය විප්ලවයේ තවත් සාමාජිකයන් වූ රුඩොල්ෆ් හෙස් (Rudolf Hess) හර්මන් ගොරින්ග් (Herman Göring) වැනි පසු කාලීනව ජර්මන් රජයේ දැවැන්තයන් බවට පත්වන පුද්ගලයින් සමගින් හිට්ලර් ගෙවනවා. මේ කාලයේ ඔහු මයින් කාම්ෆ් (Mein Kampf) හෙවත් මගේ සටන කෘතිය රචනා කරන අතර හිට්ලර්ගේ ලේකම් ලෙස කටයුතු කරන්නේ රුඩොල්ෆ් හෙස්. මේ රුඩොල්ෆ් හෙස් පසුකාලීනව ජර්මනියේ හිට්ලර්ගේ දෙවනියා (Deputy Führer) බවට පත් වෙනවා.

රුඩොල්ෆ්  හෙස් හිරගෙදර සිටියදී ඔහුව බැලීමට නිතර පැමිණියෙක් තමයි මහාචාර්ය කාල් හවුස්හොෆර් (Karl Haushofer)

මහාචාර්ය මේජර් ජෙනරාල් කාල් හවුස්හොෆර්

 රුඩොල්ෆ් හෙස්, මහාචාර්ය කාල් හවුස්හොෆර් ගේ ශිෂ්‍යයෙක්. භූ විද්‍යා විශාරදයෙක්, ලෝක දේශපාලනික ප්‍රවණතා සම්බන්ධ විශාරදයෙක් වූ මහාචාර්ය කාල් හවුස්හොෆර් ජර්මන් හමුදාවේ සේවය කල කෙනෙක්. 1909 දී ජර්මන් හමුදාව මගින් ඔහුව ජපානය වෙත යවන්නේ කාලතුවක්කු උපදේශකයෙක් ලෙසින් හා ජපාන හමුදාව අධ්‍යයනය කිරීමේ කටයුතු සඳහායි. එහිදී ජපන් අධිරාජ්‍යයා හා ජපන් රජයේ බොහෝ ප්‍රභලයින් සමගින් ඔහුට ඉතා කිට්ටු ඇසුරක් කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ එක්කම ඔහු ජපන් බස හා සිරිත් විරිත් ගැනත් ඉතාම විශිෂ්ඨ දැණුමක් අත් කරගන්නවා. එමෙන්ම ඔහු රුසියානු භාෂාවේද නිපුනතා දක්වන්නෙක් මෙන්ම සෝවියට් රුසියාව සම්බන්ධව සංචාර හරහාද දැණුමක් ඔහු සතු වෙනවා.

පළමු ලෝක යුද්ධයේදී බටහිර පෙරමුණේ සේනා ජෙනරාල් වරයෙකු ලෙසින් මෙහෙයවූ හවුස්හොෆර්, යුධ පරාජයත් සමගින් දැඩි කනස්සලට පත්වූවෙක්. එමෙනම් ඔහු විශ්වාස කරන්නේ භූ විෂමතා හා සබැඳි කරුණු යුද්ධයට ඉතා වැදගත් බවයි. එමෙන්ම ලෝක දේශපාලනික ප්‍රවණතා පිළිබද ජර්මන් අධිරාජ්‍ය සතුවූ අල්ප දැනුම පළමු ලෝක යුද්ධයේ පරිහානිය සනිටුහන් කල බව ඔහුගේ පිළිගැනීම වුනා. 1919 දී ජර්මන් හමුදාවෙන් මේජර් ජෙනරාල් වරයෙක් ලෙසින් විශ්‍රාම යන හවුස්හොෆර් තම පර්යේෂණ සඳහා පැමිණි සහයකයින් අතුරින් රුඩොල්ෆ් හෙස් සමගින් දැඩි මිතුදමක් ආරම්භ කරනවා.

බොහෝ අය විශ්වාස කරන්නේ ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ බොහෝ අදහස් සහ ක්‍රියා සඳහා මේ මහාචාර්ය කාල් හවුස්හොෆර් වක්‍රාකාරව හෝ ඇතැම් විට කෙලින්ම බලපෑ බවයි. ඒ සඳහා ඇති උදාහරණද බොහොමයි. 1933 හිට්ලර් බලයට පත්වූ පසු සිදුවූ ජපානය හා ජර්මනියේ වූ සන්ධානය සහ රුසියාව සමගින් වූ සන්ධානය මෙයින් ඉතා ප්‍රබල උදාහරණ දෙකක්. තව දුරටත් කිවහොත්, කාල් හවුස්හොෆර් තමන්ගේ පුත්‍ර ඇල්බට් හවුස්හොෆර් ද හවුල් කරගෙන තම මතයන් ගෙන යන්නේ ඔහුව තානාපති සේවයට යොමු කරමින්. 1935 නිව්රම්බර්ග් නීතින් තුලින් අර්ධ යුදෙව්වන් ලෙස හැඳින්වූ හවුස්හොෆර් පවුල රුඩොල්ෆ් හෙස් ගේ උපකාර සහිතව ජර්මානු රුධිර සහතිකයක් ලබාගන්නවා. මේ කාලයේ එවැන්නක් හිට්ලගේ අනු දැනුම මත හැරුණු විට ලබා දෙන්නේ නෑ.

හවුස්හොෆර් පවුලේ දුලබ ජායාරූපයක්

යුද්ධයෙන් පසු මිත්‍ර පාර්ශවයේ අත්අඩංගුවට පත්වුවත් මහාචාර්ය කාල් හවුසන්හොෆර් පුන පුනා කියන්නේ හිට්ලර් හා තමන්ගේ කිසිඳු සම්බන්ධතාවක් නැති බවයි. එනමුත් 1946 මැයි මාසේ 10 හෝ 11 දින මියගොස් සිටින කාල් හවුසන්හොෆර් සහ ඔහුගේ බිරියගේ මල සිරුරු හමු වන්නේ මේ අතරයි. ඔවුන් ආසනික් විෂ ශරීරගතවීම නිසා මියගොස් තිබුනා.

අද ලිපිය ටිකක් දිග වැඩිදෝ මගේ හිත අහනවා.. එහෙමනම් අපි නැවත හමුවෙමු හිට්ලර්ගේ විශ්මිත ආයුධ (Wonder Weapons of Hitler : Wunder Waffe des Hitler) සමගින්.

 සියලු ජායාරුප ගූගල් වෙතිනි. හිමිකම් අදාළ ජායාරුප ශිල්පීන් සතුය.

Wednesday, June 6, 2012

ඔන්න අදට හරියටම අවුරුද්දයි..




වර්ෂයක් පිරෙන දින,
පුරුදු ලෙසම
ගියෙමි
මාලිගාවට,
තේවාව අසන්නට..
බුදුන් වඳින්නට..
බුදු හිමි පා මුල
හිඳ හිඳින්නට..
තෙල් සුගන්ධයෙන් දැල්වෙන
පහනක් සේ
ජීවිතය
නිමක් නැති සුළියකින්
වෙලී ඇත
නිරතුරුව.
එවන් වූ දිවි මගේ
එක්ව පියවර තබන
නුඹට මා කියන්නම්..
තුති නුඹට
වසරක්ම හිටියාට
තුටින්
මා එක්ක
අදට..
අපි බැඳලා අවුරුද්දක්!


 

ප.ලි:
ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල මාලිගාවේ ගියේ.. කොමෙන්ට් වලට ඇවිත් උත්තර බඳින්නම්..


පින්තුරය ගත්තේ:
http://www.motooutlet.ee/admin520/single-diwali-diya-images&page=3