Tuesday, February 28, 2012

ඉන්ධන මිල බස්ගාස්තු හා සංවර්ධනය අද විමසුමට..


අද රටේ තෙල් මිල වැඩි කරලා ඒ මදිවට බස් ගාස්තු විදුලිය එහෙමත් සැහෙන්න වැඩියි. මමත් මේ රට යන විදියට කැමති නෑ. රටේ සුළු අදායම් ලබන ජනතාවට උන්හිටිතැන් අහිමි වෙන විදියක් තමයි මතුපිටින් නම් පෙනෙන්නේ.ඒ අස්සේ හයිවේ හදනවා... මත්තල ගුවන්තොටුපලක් අලුතෙන් හදනවා. තව නෙලුම් විලක් ලඟදි විවෘත කළා. නෙලුම් කුලුන කියල දකුණු ආසියාවේ විශාලතම කුලුන ඉදිකරගෙන යනවා ඒ එක්කම ගෝල්ෆේස් එක අයිනෙන් මුහුද ගොඩ කරලා නගරයක් හදන්න සැලසුම් කරලා. ඔක්කොටමත් වඩා පානදුර පැත්තෙන්ද කොහෙද ඩිස්නිලන්තෙකුත් හදන්න සැලසුම් කරලා තියනවලු. මේවා යෝධ සංවර්ධන සැලසුම්. ඒත් එකක් කියන්නම ඕනේ. මේ සියලු දේවල් මේ ඉන්න එකදු කෙනෙක්වත් ගෙනියන්න බලාගෙන කරන දේවල් නෙවෙයි. ගෝල්ෆේස් එකේ නගරය ලංකාවට ලැබෙන්න අවුරුදු 99 යනවලු. හයිවේ එකෙත් මුල් අවුරුදු 5 ඇතුලේ ආදායම තනිකරම හදපු සමාගමටලු. ඔන්න ඉතින් මේ දවස්වල විපක්ෂයේ ප්‍රතිචාර.

පින්තුරය විකිපීඩියා හරහා..
http://en.wikipedia.org/wiki/File:Peliyagoda_Tower_Art.jpg
 

විපක්ෂයන් උනාම විරුද්ධ වෙන්න ඕනේ, ඒ වුනාට හැම දේටම නෙවෙයි.එකපාරම දේශපාලන වාසි බලාගෙන අපි මේ දේවල් වලට විරුද්ධව කෑගහන්න ගත්තම ඒ දේවල් වලින් ජනතාවට දෙන්නේ වැරදි චිත්‍රයක්. ඉතින් උද්ඝෝෂණ පිකටින් එන්නේ රැල්ලට. රටේ ජනතාවගේ පැත්තෙන් බැලුවාම එකේ ඇති වරදකුත් නෑ. මොකද ජීවත් වෙන්න, වියදම් කරන්න සල්ලි මදි, බඩු මිල අහස උසට. යුද්ධෙන් පස්සේ ජීවන වියදම අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන් හිටි ජනතාවට මේ වෙන දේ ප්‍රශ්නයක්. ඉතින් බුදු හාමුදුරුවොත් කිව්වනේ කුසගින්නේ ඉන්න කෙනෙකුට බණ කියල වැඩක් නෑ කියල. ඒ වගේ රටේ ජනතාව පීඩා වෙලා ඉන්න මේ වෙලාවේ මේ දේ කියල ඒ අයට එක තේරුම් කරන්න අමාරුයි. ඒ හින්ද එයාලත් දැන් ඔයවගේ කතා වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා.

දැන් රටේ ජනතාව හිතන්නේ යුද්දෙත් ඉවර වෙච්ච එකේ ඒ සල්ලි වලින් ඇයි බඩු මිල අඩු කරන්න බැරි කියල. ඒ අයට දොස් කියන්න බෑ, යුද්දේ වෙනුවෙන් මිනිස්සු සැහෙන කැපකිරීම් කළා. එයාලට එකෙන් ලැබුන එකම සහනය හිත නිදහසේ බෝම්බෙකට බය නොවී යන්න එන්න පුළුවන්කම විතරයි. ඊට අමතරින් හමුදාවේ ඉන්න අපේ විරුවන්ගේ පවුල් වලට රෑ සැනසිල්ලේ නිදාගන්න ලැබුන එක විතරයි. එත් අපේ ජනතාවගේ කුසට දැනෙන යමක් ලැබුනේ නෑ. ඒ විදියටත් දැනෙන යමක් උනානම් උනේ තවත් කුස පොත්ත පිටේ ඇලුන එක විතරයි.

එත් මේ සංවර්ධනේ කරන්නේ අදට නෙවෙයි හෙටටයි. මේ සංවර්ධනෙන් අද අපිට පේනවට වඩා යමක් හෙටට සිදුවන්න නියමිතයි. මේ නගර වලට එන විදේශිකයින් වියදම් කරන සල්ලි යන්නේ අපේ රටේ ජනතාව අතට මොකද අලුතෙන් හදන නගරේ අයිතිය 99 අවුරුද්දක් කාට තිබුනත් ඒ අයිතීන් කරන්නේ කුලිය ගන්න එක විතරයි. ඒ නගරයේ ඇරෙන ව්‍යාපාර වලට සේවකයෝ ඉම්පෝර්ට් කරන්නේ නෑ. ඒ සේවකයෝ අපේ අය. ඉතින් ඔය නගරේදී වියදම් කරන සල්ලි වලින් පඩි ගෙවන සමාගම් වල වැඩ කරන්නේ අපේ මිනිස්සු. අලුතෙන් හැදෙන ඩිස්නිලන්තේ උනත් එහෙමයි. එතනින් එන රැකියා උත්පාදනය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ රැකියා අපිටමයි. අධි වේගී මාර්ගයේ ගමන්කරන අය එහෙම යන්නේ තැනකට ඉක්මනින් යන්න. එකෙන් ඉතුරු වෙන්නේ රටේ කාලය. ඒ එහෙම යන කෙනාට හෙමින් යන කෙනෙකුට සාපේක්ෂව කාලයක් ඉතුරු කරගෙන වැඩි වැඩ කොටසක් කරන්න හැකියාවක් ලැබෙනවා. ඒවගේම රටේ නිෂ්පාදන ඇලවිය වෙත ගෙනියන්න රටක මාර්ග පද්ධතිය හා නාවික / ගුවන් තොටුපොළවල් වල සංවර්ධනය අවශ්‍ය වෙනවා. යටිතල පහසුකම් වල විශාල වැඩි දියුණුවකින් මේ දේවල් වලට ආයෝජකයෝ ගෙන්නගන්න පුළුවන් වෙනවා. ඒ ඔස්සේ ලැබෙන රැකියා හා ආශ්‍රිත රැකියා වලින් දහස් ගණනක් දෙනා තමන්ගේ ජීවිත ගැටගහගන්න පටන්ගන්නවා.

අනිත් දේ තමයි දැන් ගොඩක් රටවල් මේ සංචාරක ප්‍රවර්ධනය කියන දේ තුලින් ලාබ ලබනවා. ඒ කියන්නේ සංචාරකයින් තමන්ගේ රටට ආකර්ෂණය කරගෙන එයාලට පහසුකම් සලස්වල ඒ මගින් විදේශ විනිමය රටට ගෙන්වාගන්න එක. ඒ හින්ද තමයි අද රටේ සී ප්ලේන් ව්‍යපෘති හරහා, ඒ වගේම බැලුන් සංචාර, ඩිස්නිලන්ත, ආසියාවේ උසම කුලුන වගේ ලෑන්ඩ් මාර්ක් හරහා කරන්න යන්නේ. කොහොමත් යමක් ගන්න නම් යමක් දෙන්න වෙනවා. නිකම් කිසිවක් ලැබෙන්නේ නෑ. 

එත් ජනතාවට කෙටිකාලින ව්‍යපෘති හරහා සහන දෙන්න ඕනේ. එහෙම නැතුව දීර්ඝ කාලින ව්‍යපෘති වලින් සහන සලසන්න ගියොත් සහන දෙන්න තියා ගන්න කෙනෙක් ඉඳීවිද කියන සැකය නිරායාසයෙන්ම මතුවෙන්න පුළුවන් හින්ද. ජනතාවගේ පැත්තෙන් ඒ අය‍ට පටි තද කරගන්න කියන්න පෙර රජය පැත්තෙන් ඒ කාර්ය්‍ය ඉටු කරලා පෙන්වන්න ඕනේ. අනවශ්‍ය වියදම් රජය අඩු කරා කියල පෙන්නන්න ඕනේ. ඇමතිලා දුසිම් ගණන් ඉන්න කැබිනට් තියන රටක ආණ්ඩුවට විවේචන එල්ල වෙන එක අරුමයක් නෙවෙයි. ඇමති මැතිවරුන්ටත් පටි තදකරගන්න වෙනවා. තමන්ගේ වියදම 50% වත් කපා හරින්න වෙනවා. ඒ එක්කම ඇමති මැති වරුන්ට වාහන පාවිච්චිය ගැනත් හිතල බලන්න වෙනවා. මොකද එයාල අපේ චන්දෙන් පත්වෙලා අපේ වියදමින් අපට සේවය කරන්න බැදී ඉන්න කොටසක් හින්ද. එහෙම වුනාම ඒ ඉන්දන බිල් ජනතාවට තවත් බරක්.  ඒ කොහොම උනත් සමහර ඇමතිලා කරන නාට්ටි දිහා බැලුවම මෙහෙමත් හිතෙනවා...මේ වගේ විලි සන්ගේ නැති එවුන් පාර්ලිමේන්තු යවපු අපිට මෙහෙම වෙන එකත් හොඳ පාඩම්...

Sunday, February 26, 2012

සිතිවිල්ල..



තිහක් දින තියනවා
එන්න මට
දකින්නට
ඔබ....
එදා,
සයවසක් එපිට
පන්තියේ බෙල් එකට
කලින්
හමුවුණ විදිය
මතකද?
මටනම්
අදත්
ඔයා
එදා වගේමයි..

Wednesday, February 15, 2012

කටාර්... රට තොට විත්ති.

කටාර් ගැන කලින් පින්තුර එක්ක දාපු විස්තරේට එකතු කලේ ඒ පින්තුර ආශ්‍රිත කරුණු විතරයි, ඒ පොස්ට් ආව කොමෙන්ට් ටිකකට උත්තර දෙන්නත්  ඒ එක්කම රට ගැන මම දන්නා කරුණු කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතල මම මේ පොස්ට් එක ලියන්න තීරණය කළා.

කටාර් කියන්නේ මැදපෙරදිග මුස්ලිම් රටක්. භූගෝලීය පිහිටීම අතින් කුඩා අර්ධද්වීපයක් විදියට කටාර් රාජ්‍ය සවුදි දේශසීමාවෙන් වෙන් වෙනවා. කටරයට යාබදව සවුදියත් දෙපසින් එක්සත් එමරාති රාජධානියත් බහරේනයත් පිහිටා තියනවා. මේ රටේ ප්‍රධානම කර්මාන්තය ගෑස්. ලෝකේ ගෑස් අවශ්‍යතාවෙන් සීයට 77 සපයන්න 2010 ඔවුන් සමත් වෙලා තියනවා. ඊට අමතරව තෙල් ආශ්‍රිත අනිකුත් කර්මාන්ත මේ රටේ ජීවනාලිය වෙනවා. ශ්‍රී ලාංකිකයින් සීයට 5% වෙසෙන මෙහි කටාර් ජාතිකයන් ලක්ෂ තුනක් පමණ සිටිනවා.

රාජකීය පවුලක් කේන්ද්‍ර කරගෙන පිහිටා ඇති රජයේ වත්මන් රජතුමා එහෙමත් නැතිනම් එමීර් වරයා වන්නේ ෂෙයික් හමාඩ් බින් කලීෆා අලි තානි එමීර් වරයා. කටාරය දියුණු කිරීමේ බොහෝ පියවර මේ එමීර් වරයා යටතේ සිදු කර තියනවා. ඒ එක්කම කටාරය ලොවට ඔසවා තබන්නට මේ එමීර් වරයා ගත් උත්සාහය සාර්ථකම පියවර පසුගිය වසරේදී 2022 වසර සඳහා ෆීෆා කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දිනාගැනීම තුලින් දිස්වුණා. අරාබි ලෝකයේ පළමුවෙනි වතාවට පවත්වන මේ පාපන්දු උළෙල එතුමා ලද අති විශාල ජයක්. මෙවන් දේවල් එක්කම රටේ මහාමාර්ග සන්නිවේදන, ප්‍රවාහන වගේ පහසුකම් දියුණු කරන්නත් කටාර් ජාතිකයන්ට අධ්‍යාපන, සෞඛ්‍ය ආදී පහසුකම් වගේම තවත් සහන නොමිලේ හෝ සහන මිලට ලබාදෙමින් කරන සේවාව නිසා මේ එමීර් වරයා රටේ ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට ලක්වූවෙක්.
ෂෙයික් හමාඩ් බින් ඛාලිඩ් හා ෂේයිකා මූසා, 2022පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වයට පත්වී..

නීති රීති බහුල ඉස්ලාමීය ආගම අදහන රටවල් අතරින් කටාර් රාජ්‍ය සුවිශේෂයි. ඒ මේ රට සවුදි අරාබිය තරම් දරදඬු නීති වලින් ගහන නොවීම නිසයි. ඒ එක්කම සවුදියට සාපේක්ෂව මේ රටේ හැම පුරවසියෙක්ටම සාධාරණව ( කටාර් ජාතිකයන් ඇතුළුව) නීති ක්‍රියාත්මක වෙනවා. මත්පැන් භාවිතය අර්ධ ලෙස වලංගු මෙහි මත්පැන් පානය කිරීම සඳහා අවසරපත් නැතිනම් පර්මිට් ක්‍රමයක් ක්‍රියාත්මකයි. රියල් 6000 කට වැඩි වැටුපක් ලබන ඉස්ලාම් ආගමේ නොවන අයෙකුට තමන්ගේ සමාගමේ හෝ අනුග්‍රාහකයාගේ අවසරය මත මේ බලපත්‍රයක් ලබාගන්න හැකියාවක් පවතිනවා. මේ බලපත්‍රය මිලට ගැනීම් සීමාවකට යටත්. ඒ වගේම බලපත්‍ර ලාභියාට මත්පැන් වෙනකෙක්ට විකිණීමට හෝ වෙනකෙක් සමග පානය කිරීම තහනම් වනවා. ඊට අමතරව ලියාපදිංචි ඩිස්කෝ වලදී මත්පැන් ලබාගන්නත් මෙහි පුළුවන්. ඒ වගේ තැනක් තමයි රමාඩා හෝටලයේ ඇති කියුබ් ඩිස්කෝ එක. මේ ස්ථානයේ සාමාජිකත්වය රියාල් 80 ක් ගෙවා ලබාගන්න පුළුවන් අතරම ඒ තුලදී මත්පැන් ලබා ගන්නටත් ( පානයට පමණක්) හැකියාව පවතිනවා. නමුත් මෙහි ඇති එකම දේ ඒවා මිලෙන් අධික වීමයි. මත්පැන් ගැන සටහන් නිමා කරන්නට මත්තෙන් මේ ගැනත් කිව යුතුමයි, මෙහි ඕනෑම මත්පැන් වර්ගයක් නීති විරෝධිව ලබාගැනීමටත් හැකියාව තියන අතරම එවැන්නක් වැටලීමකදී හසුවුවහොත් ඔබට දැඩි දඬුවම් විඳීමටත් සිදුවන බව දත යුතු වෙනවා. වැටලීම් වලදී මත්පැන් පානය කළවුන් පවා අත්අඩංගුවට ගත හැකියි. කෙසේ වෙතත් ඔබ බලපත්‍ර ලාභියෙක් නම් හෝ කියුබ් හී සාමාජිකයෙකු නම් හා එහිදී මත්පැන් පානය කල බවට ඒ වැටලීම කල දිනට අදාළ රිසිට්පතක් තිබේනම් එයින් නිදහස් වීමේ හැකියාවක් පවතිනවා.

කියුබ් හි ඇතුලත දසුනක්.


ඉස්ලාමීය රටක් වුවත් ඉතාම නම්‍යශීලී ප්‍රතිපත්ති ඇති රටක් විදියට කටාරය හඳුන්වන්න පුළුවන්. ස්ත්‍රීන්ට සවුදි අරාබියේ මෙන් මුළු ඇඟම වැසෙන සේ අබායාව අනිවාර්යයෙන් ඇඳීමට නීතියක් මෙහි දක්නට නෑ. කෙටි ඇඳුම් ඇඳගත් ස්ත්‍රීන් මේ රටේ සුලභ දසුනක්. ඒ වගේම අනිකුත් ආගම් ඇදහීමේ නිදහසත් තියන රටක් තමයි කටාරය කියන්නේ. අබු හමුර් ප්‍රදේශයේ ඇති විශාල කතෝලික පල්ලිය මෙයට නිදසුනක්. එහි සිංහල භාෂාවෙන් පවා මෙහෙයන් පැවැත්වෙනවා. ඊට අමතරව තවත් කුඩා ප්‍රමාණයේ කතෝලික පල්ලි නිවාස කේන්ද්‍ර කරගෙන දැකගන්නට හැකියි. නත්තල් සමයේ රටේ ගොඩාක් ස්ථාන නත්තල සඳහා අලංකාර කරනු ලබනවා. ඒ එක්කම මෙහි රාමදාන් සාමය ගැනත් සඳහන් කරන්න ඕනේ. රාමදාන් සමයේදී ඉස්ලාම් භක්තිකයන් ආහාර ගන්නේ ඉරු නැගෙන්න පෙර හා ඉර බසින්න පෙරයි. සවුදි රටේදී අන්‍යාගමිකයිනුත් මේ නීතියට යටත් අතර මේ කාලය තුල අහාර පිසීමක් වුවත් අසුවුවහොත් දඬුවම් ලබන්නක් බවයි කියන්නේ. නමුත් මේ රටේ එවන් ගැටලුවක් නෑ. එකම දේ ප්‍රසිද්ධියේ ආහාර ගැනීමක් කිරීමට නොහැකි බව විතරයි.

පොදු ප්‍රවාහන මාධ්‍යක් විදියට කටාර් වල තියෙන්නේ බස් සේවාවක්. කටාර් ඇතුලේ සීමිත නගර සහ දෝහා නගරයේ සීමිත ස්ථාන ගණනකට පමණක් සීමාවූ මේ බස් සේවාව කර්වා බස් නමින් තමයි හැඳින්වෙන්නේ. බොහෝ වෙලාවට නියමිත වෙලාවට ධාවනය වන මේ බස් සේවාව ගොඩක් අවස්ථාවල අඩු ආදායම් ලබන ජනයාගේ මිතුරෙක්. වර්තමානයේදී අවම ගාස්තුව මුදලින් රියාල් 10 වන මේ බස් සේවයේ විද්‍යුත් සීසන් ටිකට් එකකින් ගමන් කරනවානම් රියාල් 2 ක මුදලක් තමයි වැය වෙන්නේ. රියදුරන් විතරක් සේවය කරන මේ බස් වල වැඩිපුර වැඩ කරන්නේ ඉන්දියානු හා ලංකික රියදුරන්. කණගාටුවෙන් උනත් කියන්න වෙනවා මොවුන්ගේ දුෂණ නිසා තමයි මේ විද්‍යුත් ටිකට් ක්‍රමය රජය 2011 වසරේදී අඩු මිලටත්, මුදලින් ටිකට් ගැනීමේදී වැඩි මිලටත් නියම කලේ. මේ කර්වා බස් කාලසටහන් මෙන්න මේ ලිපිනයෙන් ලබාගන්න පුළුවන්. ඒ එක්කම එතනින් බස් මාර්ග ගැන විස්තරයකුත් අවශ්‍යනම් ලබාගන්න පුළුවන්.

කර්වා බස් රථයක්.  

රටේ තියන නිල ටැක්සි රථ සේවාව අයත් වන්නේත් මොවසලාත් කර්වා සමගමටමයි. බොහෝවිට සුඛෝපභෝගී කාර් ඇතුලත් මේ සේවාව දෝහා නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑර දැකගන්න පුළුවන්. මීටර් මාර්ගයෙන් ගාස්තු අය කරන මේ ටැක්සි සේවාවත් කලින් කියූ ලෙසටම ඉන්දියානු හා ශ්‍රී ලාංකික බහුතරයකින් සමන්විතයි. කලින් වෙන්කළ හැකි මෙහි අවම ගාස්තුව ලෙස රියල් 10 කුත් දෝහා නගරය තුල හා නගරයෙන් පිට ලෙස ක්‍රමවේද දෙකකිනුත් ඒ ක්‍රමවේදයන් රාත්‍රී හා දහවල් ධාවනයන් ලෙසින් කොටස් දෙකකිනුත් ගාස්තු වෙනස් වීම සිදුවෙනවා. මොවුන්ගේ ඇති විශේෂත්වය වෙන්නේ ඔවුන් කාණ්ඩ 2 කට වෙන් කල හැකි වීමයි. නිල් පැහැ පටියකින් හැඳුනුම්පත ගෙලේ එල්ලගෙන සිටින රියදුරන් සහ මෙරුන් හෝ රතු පාට පටියකින් හැඳුනුම්පත ගෙලේ එල්ලගෙන සිටින රියදුරන් ලෙස එසේ වර්ග කරන්න පුළුවන්. නිල් පැහැ වර්ණයෙන් හැඳුනුම්පත් එල්ලගෙන සිටින්නේ කර්වා සමාගමේ නිත්‍ය සේවකයන්. ඔවුන් සමාගමෙන් වැටුප් ලබන අයයි. අනිකුත් අය දෛනිකව රියාල් 250 ක් ගෙවා වාහන ලබාගන්නා කරවා සමාගමට අනුයුක්ත රියදුරන්. ඔවුන් ඒ රියල් 250 ට අමතරින් මුදලක් සමාගමට ගෙවන්නේ නෑ. ඒ වගේම මොවුන්ට මාසික වැටුප් ලැබෙන්නේත් නෑ. ඉතින් මේ හේතුව නිසා මේ රතු පටි රියදුරන් සමග ගමන් යාමේදී මාර්ග ගැන අවබෝධයක් ඇතුව යාම නුවනට හුරුයි. නැතිනම් ඔවුන් ඉතාමත් කෙටි දුරකින් යා හැකි ස්ථාන පවා වටරවුම් මාර්ග ඔස්සේ ගමන් කරමින් වැඩි මුදලක් අයකර ගැනීමට මොවුන් උත්සහ කරනවා. 

කර්වා කාර් රථයක් හා එහි රියදුරෙක්

නිල නොවන ප්‍රයිවෙට් ටැක්සි මෙහි නිල නොවන අන්දමින් බහුලව තිබෙන අනිකුත් පොදු ප්‍රවාහන මාධ්‍යයයි. බහුතරයක් කේරල ජාතිකයින් ඉන්පසුව පිළිවලින් වැඩිම සුඩානි, ඊජිප්තු, නේපාලි, ඉතියෝපියානු හා පකිස්ථාන ජාතින් විසින් මේ කාර් පදවනවා. ගාස්තුව කලින් එකඟවන තරමින් ශරීරයට ගුණ මේ සේවාව මා දන්නා තරමින් නීති විරෝධී එකක්. ඒ වුනත් බහුලවම මේ සේවය ,මේ රටේ ව්‍යාප්තවී තිබෙනවා. මොවුන් එකම ස්ථානයකට යාමට විවිධ ගණන් අය කරන අතර ඔබට පළපුරුද්දෙන් මොවුන් හා ගනුදෙනු කිරීමට සිදුවේ. නීති විරෝධී මත්පැන් ගනුදෙනු සඳහා මොවුන් බොහෝ දෙනා සම්මාදම් වන බව මම අත්දැකීමෙන් දන්නා දෙයක්.

අදට මම මේ විස්තරෙත් එක්ක සමුගන්නයි හදන්නේ. මාගලක් වගේ පොස්ට් එකක් කියවන්නත් එපා වෙනවනේ නේද?

Tuesday, February 14, 2012

ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?



ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන අය... අපේ අතින් ඉටුවෙන්න තියෙන යුතුකම්.. මේ හැමදේම දාල අපිට යන්න වෙන්න පුලුවන් මේ ලෙඩරෝග නිසා...පිලිකාව කියන්නෙත් ඒවගේ මාරාන්තික ලෙඩක... පිලිකාව නිසා අපි අතරින් අකාලෙ වෙන්වෙලා ගිය එක්කෙනෙක් හෝ ගැන අපි අහල තියෙනවා... ඒ තරමට පිලිකා මාරයා දරුණුයි...ඒත් දැන් වෛද්‍ය තාක්ෂනෙ දිවුණු නිසා මේ රුදුරු ලෙඩ රෝග බොහෝමයක් පරාජ කරන්න පුලුවන්... ඒත් අව‍ශ්‍ය එක දෙයක් තියෙනව ඒ.. මුදල්...හැමෝටම ඒවගේ අවස්තාවකට මුහුණ දෙන්න ප්‍රමානවත් ආර්ථික ශක්තියක නැති වෙන්න පුලුවන්
අන්න ඒවගේ අවස්ථාවකට මුහුණදීල ඉන්න සහෝදරියක් තමයි මදුෂාණි
ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....
අපේ ආදරනීයෙකුගෙ ජීවිතේ වටිනාමකම ඇහුවොතින් ඔබට මුදල් වලින් ඒක මනින්න පුලුවන්ද... ??
ඇයත් ඒ වගේම ආදරණීය හෝදරියක් , යෙහෙලියක් , දියණියක් ......
ඒත් ඇයගෙ ජීවිතය මිල වෙලා තියෙන්නෙ දෙලක්ෂ විසිදාහක් වගේ මුදලකට..රු 100ක් බැගින් පරිත්‍යාග කලත් 2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන්...
අපි පරිත්‍යාග කරන සුළු මුදලට ජීවිතයක් බේරගන්න වගේම ගොඩක් දෙනෙක්ගෙ ඇස්වල කදුළුත් නවත්තන්න පුලුවන්...
ඒවගේම ඒ බේරාගනුපු ජීවිතය හිනාවෙන සැරයක් සැරයක් පාසා අපිටත් හිනාවෙන්න පුලුවන්..
ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...
ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....
නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී
ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..
·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6
· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929 begin_of_the_skype_highlighting +94778166929 end_of_the_skype_highlighting ) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.
වැඩුදුර තොරතුරු
ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති
තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )
Or more details :-
M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook:<http://www.facebook.com/M.M.Nishantha
Blog: http://nursinglanka.blogspot.com/
මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ නැගනියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න.



ගෙඩි පිටින් කොපි කලේ... ලට්ට ලොට්ට වලින්.. 

Sunday, February 12, 2012

කටාර්...

ජීවත් වෙන රට ගැන අයෙමත් පින්තුර ටිකක් දාන්න හිතුනා,. පහුගිය දවස් කීපයක් ඇවිදපු වෙලාවේ මේ පින්තුර ගත්තේ. කටාර් වල ඕල්ඩ් සූක් එකෙන් පටන්ගත්ත චාරිකාව අවසාන කරේ පර්ල් කතාර් වලින්.

මෙහෙ ඕල්ඩ් සූක් කියන්නේ තවමත් පරණ විදියට තියන ගොඩනැගිලි වලින් වගේම පරණ විදියට බඩු විකුණන වෙළෙන්දන්ගෙන් පිරුණු ප්‍රදේශයක්. තවමත් ඔටුවන් විකිණීමේ සිට කුරුල්ලන්, අරාබි කෑම, පාපිසි බුමුතුරුණු වගේ දේවල් එක්ක ශීෂා විකුනන්නත් මේ ඕල්ඩ් සූක් එක ප්‍රසිද්ධියක් උසුලනවා. ශීෂා පානය කරන්න මේ කඩවල් වල පාරේ ඉදිරිපස පුටු මේස දමා අලංකාරව පවත්වාගෙන යනවා. රාත්‍රියට ගෑස් ලාම්පු එලිය ඇතුව මෙහි කරන වෙලදාමත් හරිම චමත්කාර ජනකයි. මෙහි තියන පින්තුරය ඕල්ඩ් සූක් හි ප්‍රධාන වීදියේ ශීෂා කඩවල් ආසන්නයේ ඉඳන් ගත්තු එකක්. 

කටාර් කෞතුකාගරය අසන්න වටරවුමේ පිහිටා තියන  මේ විශාල මුතු බෙල්ලා, කටාරයේ අතීත වෙළදාම සංකේතවත් කරන්නක්. මුතු කිමිදීමට ප්‍රසිද්ධියක් උසුලපු කටාරය 1970 දශකය වන විට කෘතීම මුතු නිසා මුතු වෙළදාම අතහැර පුර්ණකාලිනවම තෙල් හා ගෑස් අලවියට යොමු වුණා. ඊට පෙර ධීවර හා මුතු කිමිදීම රටේ වෙළදාම වී තිබුණා.

කටාර් පාලනය කරන එමීර් වරයා හමාඩ් බින් ඛලීෆා අල් තානි ජීවත් වන මාලිගාව තමයි මේ දැක්වෙන්නේ. මේ රජතුමා රටවැසියන් ගොඩක් ආදරය කරන කෙනෙක්. 2022 පා පන්දු ලෝක කුසලානය අරාබියට හිමිකරගන්න සමත්වූ එතුමාට පාපන්දු පිස්සන් වී සිටින කටාර් වැසියන් සලකන්නේ ඉතාමත් භක්තියෙන්. ඒ වගේම එතුමාගේ සංවර්ධන සැලැස්මවල් යටතේ ඔවුන් අද ඉතාම ධනවත් ජාතියක් බවට පත්වෙලා ඉන්නවා.

වෙස්ට් බේ.. එහෙමත් නැතිනම් කටාර් වල නවතම ඉදිකිරීම් ඇතුළු සියල්ල සිදුවන ඩවුන් ටවුන් ඒරියා එක. මේ කොටසේ සියලුම නැතත් බොහොමයක් රජයේ ආයතන, බැංකු ආදියේ ප්‍රධාන කාර්යාලත් බොහොමයක් රටවල් වල තානාපති කාර්යාලත් පිහිටා තියනවා. ඒ එක්කම මෙහි පිහිටි සිටි සෙන්ටර් ගොඩනැගිල්ල තුල සාප්පු සංකීර්ණ, සිනමාහල්, අවන්හල්  ආදියද වෙනවා. මේ ඒ වෙස්ට් බේ ඒරිය එක කොර්නිච් හි සිට පෙනෙන අයුරු.

පර්ල් කතාර් කියන්නේ කලපු බිමක් ගොඩකරලා ඒ මත ඉදිකරන ලද නගරයක්. මේ නගරය කටාර් රාජධානිය ඇතුලේ තියන කුඩා රටක් වගේ. තවමත් මුළුමනින්ම වැඩ අවසන් නැති මේ නගරයේ දැනට 25000 කට කිට්ටු ප්‍රමාණයක් පදිංචි වී ඉන්නවා. සිනමා ශාලා, සුපිරි වෙළඳ සල්, බැංකු, දුරකථන සමාගම්, ඉතාම වටිනාකමින් වැඩි භාණ්ඩ විකුණන ලොව ප්‍රමුක පෙලේ ආයතන මේ තුල ස්ථාපිතයි.පර්ල් කතාර් කියන නම මේ නගරයට දීල තියෙන්නේ හේතු දෙකක් ඇතිව. එකක් තමයි මේ කලපුව කටාර් රාජ්‍ය මුතු කිමිදීම කරන සමයේ ඉතාම විශිෂ්ට මුතු සපයපු භූමියක්. ඒ හේතුවෙන් එය සිහිවන්නටත් ඒ එක්කම, මේ දිවයින් සියල්ල මුතු වැලක් සේ පෙනෙන නිසාත් මේ නම භාවිතා කරලා තියනවා. ආරක්ෂක විධිවිධාන සඳහා වෙනම ආරක්ෂක බලකායක්, ඇතුළුවීම සඳහා අවසර පත් ක්‍රමයකුත් ක්‍රියාත්මක මෙහි පිවිසීම දැනටනම් ඕනෑම කෙනෙකුට නිදහසේ කිරීමට හැකි වාතාවරණයක් තියනවා.

පහල මම ගූගල් මැප්ස් ආධාරයෙන් පෙන්වා තියෙන්නේ, මම මේ පින්තුර ගත්තු ස්ථානයන්. 




මේ පර්ල් කතාර් වල තිබුණු ස්පීඩ් බෝට් එකක්.. හවසක ඇවිදින්න ගිය වෙලාවක ගත්තේ.

පර්ල් කතාර් පාර්සල් 6-4 අතර තියන මරීනා එකේ කොටසක්.

මරීනා එකට පිටිපස්සෙන් තියන පාලම.  
මේ තියෙන්නේ දෝහා ඕල්ඩ් සූක් එකේ එහෙමත් නැතිනම් සූක් වාකිෆ් හි දර්ශනයක්

මේ යෝධ මුතු බෙල්ලට කියන්නේ ද පර්ල් ඔෆ් කතාර් කියල.
මේ දෝහා වල  රජ මාලිගාව. එමීර් දිවාන් ලෙස හඳුන්වයි. ඒත් එමීර් වරයා මෙහි ජීවත් වන්නේ නැත.
කොර්නීච් එකේ ඉඳල බලනකොට වෙස්ට් බේ ඒරියා එක හවසට පෙන්නේ මේ විදියට. 




Thursday, February 9, 2012

දන්නවද අපි කවුද කියල?

මේ දවස් වල තියන කාර්ය බහුලකම හින්දම වැඩිය බ්ලොග් එක ලියන්න වෙන්නෙත් නෑ. එත් එහෙම උනත් කියවන එක අතාරින්නෙත් නෑ. ඔහොමින් යන ගමන් ඔන්න අද ඉඩක් ආව කතාවක් ලියාගන්න පුළුවන් වෙන සයිස් එකේ.



ඉතින් මේ කියන කතාව සිද්ද උනේ 2004 අවුරුද්දේ දවසක. එදා අපේ කොල්ලෝ කට්ටිය එක්ක මමත් ගියා අපේ පරිඝනක ආයතනයේ මහා ක්‍රිකට් තරගයට. මැච් එක තිබ්බේ ගැටඹේ ග්‍රවුන්ඩ් එකේ. පැත්තක හට් ගහල තව පැත්තක් මැච් ගහනවා. සෙල්ලම් කිරිල්ල කොහොම වෙතත් එදා කට්ටිය සමහරු මල් කඩන මෙහෙයුම් වල එහෙම යෙදිලා මදි නොකියන්න මහන්සි වුන දවසක්. එදා අපිට තිබ්බේ ස්ටාෆ් එකයි අපියි අතරේ තිබ්බ ක්‍රිකට් මැච් එක. කොහොමින් හරි ඉතින් හවස 2- 3 වෙද්දී අපේ බැච් එකයි ස්ටාෆ් එකයි අතරේ තිබ්බ ක්‍රිකට් මැච් එකෙන් අපි දිනුවා. දිනුවා කිව්වට දිනුවම නෙවෙයි ස්ටාෆ් එක හින්ද හොර ලකුණු ගානකින් පැරදුණා..

" ෂී... බං.. මෙහෙම ගහල හරි යන්නේ නෑ. යමන් තෙල් ටිකක් දාගෙන එන්න. දෙන්නම් එතකොට ඇට්ටි හැලෙන්න." ඔන්න එතනට අපේ හර්ෂයා කඩං පාත් උනා. "කොහෙන්ද බං තෙල්? ඒ මදිවට ඊළඟ මැච් එකත් අපි. මචං හතර විතර වෙද්දී එන්නත් ඕනේ." පුබුදුවා බරේ දානවා.  කොහේදෝ හිටපු ඇබා ඒ අස්සේ දුවගෙන ආවා.. " කවුද මේ තෙල් ගහන්න යන්නේ? අඩෝ මේ මමත් එනවා.." "හරි බං, දැන් කොහෙද යන්නේ?" අතුරු පැණය මගෙන්. " මචං මෙතන ඉඳල හරියන්නේ නෑ. ඩොකා ගේ කාර් එක අරන් මෙහෙමම යමු පේරාදෙණියට. ගිහින් වයිට් එකක් අරන් යමල්ල කට්ටියම මල් වත්තට." "එල.." 

ඩොකා කියන්නේ අපේ බැච් එකේ හිටිය එකෙක්. පොරගේ අම්මා ඩොකෙක්. ඒ කිව්වේ දොස්තර නෝනා කෙනෙක්. අම්මා ඩොක්ටර් හින්ද මූට අපි කියන්නේ ඩොකා. ඉතින් ඌ එන්නේ කාර් එකක. ඒ දවස්වල අපිට තිබ්බ එක නිල රථයක් තමයි ඩොකාගේ කාර් එක. ඉතින් ඩොකා චැනල් කරලා ඌගේ කාර් එකේ හයදෙනෙක්ට කිට්ටුවෙන්න පටවල ඔන්න කට්ටිය ඇද්ද පේරාදෙණියට.

" හරි එහෙනම් දාමු කලෙක්ෂන් එක." ඇබා කලෙක්ෂන් එක බාරගත්තා. කට්ටිය සීය පනහ එහෙම දමල දැන් ඉතින් බෝතල් දෙකකුත් ගත්තා. ඔන්න එකපාර මට මීටර් උනා මල්වත්තේ බොන්න දෙන්නේ නෑ නේද කියල. "මචංලා.... මේ.... මල්වත්තේ බොන්න දෙන්නේ නෑ නේ බං." 
"මගුලක් කතා කරනවා. එහෙනම් උඹ කියන්නේ මේක කටේ හලන්නේ කොහේ ඉඳන් කියලද?" ඩොකා මල පැනල ඇහුව විදියට මං හිතන්නේ ගණ දෙය්යොත් නැගිට්ට වෙන්න ඇති.
"හරි  බං ඕක ස්ප්‍රයිට් බෝතලේකට කවලම් කරන් අරන් යං," මම ආයෙම කියල දැම්මේ ගණ දෙය්යෝ දුන්න ටොකු පාරක් වැදිලා වෙන්න ඇති.
"අන්න අයිඩියා එක..." " පොඩි මෑන්, මචං ගෙනෙන් මෙගා බෝතලයක්." පොඩි මෑන් කිව්වට ඌ තම සෙට් එකේම දැවැන්තයා. ඌව ඔබල ඒ කාර් එකට නැග්ගට පොඩ්ඩෙන් අපිට ගිනස් රෙකෝඩ් එකකුත් සෙට් වෙනවා.

කට්ටියම මෙගා ස්ප්‍රයිට් බෝතලයක් අරන් ඒකන් බාගයකට ටිකක් වැඩියෙන් හලලා අර සැර තෙල් ටික ඇබින්දක් අහක යන්නේ නැතුව පිරෙව්වේ ඒ එක බින්දුවක් උනත් සෑහෙන වටින බව අද්දකීමෙන්ම දන්නා හින්ද.
ඔහොම සෑහෙන්න මහන්සි වෙලා පුරවපු මැජික් අරිෂ්ඨ බෝතල් දෙකකුත් තව එතන බේකරියෙන් ගත්ත කට්ලට් ඇතුළු අඩුම කුඩුම මල්ලයි අරගෙන අපි සෙට් එක ආයේ ඇවිත් කෙලින්ම නැවතුනේ මල්වත්තේ ගේට්ටුව අයිනේ.

"හරි මං ටිකට් ගන්නම්." හර්ෂයා දිව්වා.

ඌ ටිකක් වෙලාවකින් ටිකට් ටිකත් අරන් එද්දී අපි ගේට්ටුව ගාවට ඇවිත් ඉවරයි. ඉතින් ටිකට් ටික දීල අපි දැන් මල්වත්ත ඇතුලට අව.
"අඩේ.. මේ.. කොහෙද බං එල පොට් එකක් තියෙන්නේ?" පුබුදුවා කට්ලට් එකක් ඔබන ගමන් අහනවා. " තෝ ඕක තියල හිටු.." ඒ අස්සෙන් ඇහුනු ගෝරනාඩුවට ඌට කට්ලට් එක ඉස්ස්මොල්ලේ ගියාද මන්ද... ඔහොම අපි ඉතින් මල්වත්තේ අහු වුනු පලවෙනි පාරෙන්ම යනවා.. ලොකු පිට්ටනිය අයිනේ තියන තල් ගස් අස්සෙන් ගඟ දිහාට යනගමන් ඔන්න හර්ෂ මල්ලිට සබැ ප්‍රශ්නයක්.  

" තෙල් බෙදන්නේ අහවල් එකකටද? කොයි කෝප්ප?"  

"හරි හරි බං, එක අවුලක් කරගන්න ඕනේ නෑ. ස්ප්‍රයිට් එක එක්කනේ තියෙන්නේ. ඔහොමම අරන් කටේ හලගමු.. "

යෝජනාව ඒකමතිකව සභා සම්මත වෙද්දී අපි ඉතින් ගමනේ යමින් ගමන් හෙමින් හෙමින් එක එකා ස්ප්‍රයිට් බෝතලෙන් ටික ටික කටේ හලාගන්න පටන්ගත්ත. ඉතින් මල්වත්තේ ලොකු පිට්ටනියට එහායින් තියන තණකොළ බිස්සේ අද ගහපු ලොකු පයිනස් ගස් යට කට්ටියම වාඩි වෙලා ස්ප්‍රයිට් වල ගිල්ලපු නැටුම් තෙල් රස බලනගමන් ආගිය කතා කියමින් උන්න. ඒ අතරේ පුබුදුවා බයිට් එක ඩයට් එක කරගෙන.බොනවට වැඩියෙන් කනවා.

ඔහොම ෆන් එකේ ඉන්න අපි දිහාට අපිටත් නොදනී තව ඇස් හතරක් යොමුවෙලා තිබිල.. එකපාරම මෙන්න පොලිසියෙන් පැන්නා වගේ මල්වත්තේ සිකුරුටි කාරයෝ දෙන්නෙක් එතනට කඩං පාත් උනා.
" මේ මේ .. එකෙක්වත් දුවන්න එපා. කන් පලනවා තොපිලගේ." කෝ දෙනවා මෙහාට ඔය බෝතලේ.." එකෙක් බෝතලේ උදුරාගත්ත. අන්තිම පොඩ්ඩ තිබ්බ ඒ බෝතලේ නහයට තියල ඉව කරපු ඒ මිනිහ ඒ ගමන්ම ඒ බෝතලෙන් ටිකක් කටට හලගන්නත් අමතක කරේ නෑ.
"මම කිව්වේ සිල්වා මුන් බොනවා කියල. මේ.. මේකේ අරක්කු.." " තොපි දන්නවද මේක ඇතුලේ බොන්න බෑ කියල? ඇඃ ?" කතා කරපියව්.." ඒ සද්දේ එක්කම ඩොකා වෙනස් වුනු හැටි මට පෙනුන.

" තමුසෙලා දන්නවද අපි කවුද කියල? " ඩොකා සිංහයා වගේ ඇහුව.. ඒ සද්දෙට සික්කෝ දෙන්න ටිකක් විතර පසු බැස්ස. ඩොකා එක දැකල තවත් දිරිමත් උනා.

" අපි අහවල් ඇමතිගේ ප්‍රයිවෙට් සෙකට්‍රිගේ පුතයි යාලුවෝ ටිකයි. " මේ ඉන්නේ ඒ පුතා.." මේකා ඒ ටික කිව්වේ පුබුදුවා පෙන්නන ගමන්. පුබුදුවා දියෙන් ගොඩ දැම්ම එකා වගේ. 

"ඔව් අන්කල්, දන්නේ නැතිනම් එයාගෙන් අහල දැනගන්නෙකයි ඇත්තේ.." හර්ෂයත් දැන් ෆුල් සප් එක.

ඒ අස්සේ පුබුදුවා කියනවා "මචං තාත්තල එහෙම දැනගත්තොත්.." කියල. ඌ ඒ ටික කිව්වේ ඇත්තටම උගේ තාත්ත මෙහෙම කේස් එකක් උන බව දැනගත්තොත් කියල කියන්න අපි සහ සුද්දෙන් දැනන් හිටියත් සිකුරුටි අංකල්ල හිතුවේ වෙනින්ම විදියකින්. පයිනස් ගස් යට ඉඳන් වවුල් කැලේ පිවිසුම කිට්ටුවෙන් ඉඳගෙන බිබී හිටපු අපේ සංග්‍රාමයේ උච්චතම අවස්ථාව ඔය අතරේ එළඹෙමින් පැවතුනා.

"හඃ.. හිතුව මදි හිටපියව් තොපි අරන් ගිහින් දාන්න පේරාදෙණියේ පොලිස් කූඩුවෙ." ඔය අතරේ පහු බැහැපු සික්ක අංකල් කෙනෙක් කිව්වේ මේ ජවනිකාවේ ඊළඟ මොහොතට මුල්ගල් තියමින්.

"මචං නිලංග, ගනිං මචං ඇමති අංකල්ට කෝල් එකක්. අරන් කියපන් මේ සිද්දිය." ඩොකා ඒ බෙරිහන් දුන්නේ පුබුදුවාට. ඌ එකපාර ටියුබ් ලයිට් උනත් ඒ වෙලාවේ කරදරයක් නැතුව පත්තු වුනේ අපේ වෙලාවට. ඔක්කොටොම වැඩියේ ඌට නිලංග කියලත්.. මොකද උගේ නමේ නිලංගයක් ගෑවිලාවත් නෑ.

බුවා සාක්කුවෙන් ඇදල ගත්ත අලුත්ම නොකියා 3220 ෆෝන් එක, ඒ දවස් වල ඒක ලංකාවෙත් නෑ. උගේ කසියා ඌට රට ඉඳන් ගෙනාව භාණ්ඩයක්. සික්ක අන්කලුත් ඒ දැකල හොල්මන් උනේ ෆෝන් එක අඳුරගත්ත හින්දද නැතිනම් වෙන මොකටද කියල අදත් මට මීටර් නෑ, ගත්තු ගමන් ඌ ඩයල් කරලා තියෙන්නේ අපේ වජිරයාට.

පුබුදුවා: "මේ අහවල් ඇමතිතුමාගේ ගෙදරද?"
වජිරයා : "මොන මගුලක් කියවනවද බං"
පුබුදුවා : "අඃ හරි හරි ආන්ටි අංකල් ඉන්නවද? මම මේ නිලංග කතාකරන්නේ." 
වජිරයා: "මෙහෙ ඇති නිලන්ගයෙක් නෑ බං.. පිස්සුද යකෝ? තොට ඩෝප් ද?"
පුබුදුවා: "නැද්ද ආන්ටි? එකනේ මේ බලන්නකෝ අපිට පොඩි කරදරයක්. ආන්ටි ගාව තියනවද පේරාදෙණියේ .අයි.සී ගේ නම්බර් එක?" 
වජිර:  #*$@$!! මු හොද දෙකක් කියල ෆෝන් එක තියල. පුබුදුවා ඒත් ඔහේ කියවනවා.
" නෑ ආන්ටි මේ කට්ටියක් අපිව අල්ලගන ඉන්නේ. නෑ නෑ බයවෙන්න දෙයක් නෑ. ඕකේ ආන්ටි ඩබල් සෙවන් ටු ෆෝ ඩබල් ෆයිව් ඩබල් ෆෝ"
"තැන්කියු ආන්ටි. නෑ නෑ ලොකු දෙයක් නෙවෙයි ආන්ටි."
"ඕකේ ආන්ටි.. බායි."

ෆෝන් එක තිබ්බ ඒකා ආයෙම විනාඩියක් දෙකක් විතර ඒක ඔබ ඔබා ඉඳල කාටදෝ ඩයල් කරනවා. ඇමතුම අපහු වජිරයට. ඔය සීන් එක අපි වගේම සික්කෝ අංකල්ලා දෙන්නත් කටවල් අරන් බලන් ඉන්නවා. අපිට පුදුම මු  මෙහෙම එකපාර වැඩ දාන්නේ කොහොමද කියල. සික්ක අංකල්ල හිතන්නේ මු සිරා බුවෙක් කියල.

"මේ පේරාදෙණියේ  .අයි.සී ද?"
"තොට අමු කැවිලද යකෝ? මොකද තොපි මාවම බයිට් කරන්නේ?"
"අහ් හරි හරි . මම මේ කතාකරන්නේ අහවල් ඇමතිගේ ප්‍රයිවෙට් සෙකට්‍රි ගේ පුතා."
"බූරුවෝ මම මේ කෙල්ල එනකම් ඉන්නේ. තොට මරු විකල්ලෙන්ද?"
"අඃ ඇත්තද? මැඩම් මේ දැන් කතාකලා?" "එකනේ."
"තියාපිය යකෝ ෆෝන් එක. තොගේ බිල තාත්තා ගෙව්වට මගේ බිල මම ගෙවන්න ඕනේ. $#@#%^$" ඌ ආයෙම කට් කළා. ඒ දවස් වල ඉන්කමින් ෆ්‍රී නෑ මට මතක විදියට.
"මේ මේකයි  .අයි.සී මහත්තයා, මේ අපිව මල්වත්තේ සෙකියුරිටි එක අල්ලගත්ත. ඒකයි. නෑ.. නෑ.. බීල කියල. "
"නෑ නෑ එන්න කලබල වෙන්න ඕනේ නෑ. මේ ඉන්න එක්කෙනෙක්ට කතා කරලා කිව්වොත් ඇති."
"හරි හරි මහත්තය කළබල වෙන්න එපා. අපිට කරදරයක් නෑ." ඕනේ නෑ ඕනේ නෑ. එන්න ඕනෙකමක් නෑ. අපිට ආරක්ෂාව තියනවා. නෑ.. නෑ...

ඔය කතාව යන අතරේ සික්ක අංකල් කෙනෙක් හිමීට අපි ලඟට කිට්ටු කරා.
" අනේ මහත්තයෝ.. අපිට සමාවෙන්න අපි අහිංසක මිනිස්සු.. මේ දේවල් ගණන් ගන්න එපා. අපි කාල ඉන්නේ මේ රස්සාවේ ඉන්න හින්ද නේ මහත්තයෝ.. ඕක අල්ලලා දාන්න කියන්න. මහත්තුරු ඒකරලා යන්න. අපි කරදර කරන්නේ නෑ."
"කොහෙද මේ සිල්වාට කිව්වා ඇහුවේ නෑ නේ. මේ බුරුව දාගත්තොත් දාගන්නේ ලෙඩක්මයි, අනේ මහත්තයෝ.. අපි දුප්පත් මිනිස්සු මහත්තයෝ.. සිල්වා... මේ මහත්තුරුන්ට ඉන්න දීල අපි යමු."

අපේ පුබුදුවා ෆෝන් එකත් දික්කරන් ඒ අස්සේ කෑගහනවා  " ඒයි කොහෙද යන්න හදන්නේ, මේ  .අයි.සී මහත්තයාට කතාකරනවා.. "

අනේ සර් ඕනේ නෑ සර්.. සර් කියන්න ප්‍රශ්නේ ඉවරයි කියල.. සර්ලා මෙතන බොන්නකෝ කමක් නෑ. ඕනෙනම් අර පහල කැලේ තියනවා හට් එකක්.. ඒකට යන්න.. අපි නේ ඉන්නේ අපි කාටවත් එන්න දෙන්නැතුව ඉන්නම් ඒ පැත්තට. සිංහනාද කරපු සිල්වා සිකුරුටි අංකල් බින්දුවටම වැටිලා. පවු අහිංසක මනුස්සය. රස්සාව බේරගන්න නේ. 

පුබුදුවා ආයෙම ෆෝන් එක අරන් කනේ ගහගන " .අයි.සී  මහත්තයා එන්න කලබල වෙන්න එපා. අපි යනින් ගමන් ඒ පැත්තේ ඇවිත් යන්නම්කො. අඃ ගෙදර යන්නද? නෑ නෑ කාර් එකේ ආවේ. තැන්ක්යූ.. හරි එහෙමනම් අපි තියන්නම් තැන්ක්යූ වෙරි මච්.

ඌ ෆෝන් එක සාක්කුවේ දාගත්තා. මෙච්චර වෙලා කට පියාගෙන හිටිය ඇබා සික්ක අන්කල්ලට දැහැමින් සෙමින් වදාරනවා.. " පේනවනේ, නිකම් අත පුච්චගන්න එපා. දැන් දන්නවනේ මේගොල්ල කවුද කියල. මෙන්න මේකා තියාගන යනවල යන්න. මේ පැත්තට කවුරුත් එවනවා එහෙම නෙවෙයි." රුපියල් සීයක් සික්ක අන්කල්ගේ මිට මොලවපු ඌ අපහු අපේ දිහාට එද්දී අනික් සික්ක අන්කල්ගේ මුණේ තිබ්බ ඉස්පාසුව කෑදරකම මිශ්‍ර බැල්ම අඳුරගන්න මට ඒ තරම් වෙලාවක් ගියේ නෑ.

කට්ටියම අයෙත් වට වෙලා ඉතුරු බෝතලේට වැඩ දෙන ගමන් මං කරේ වජිරයාට කෝල් කරපු එක. " අඩෝ මොකද තොපි අද මාව බයිට් ඒකට ගත්තද?" වජිරයා මං මොනවත් කියන්නත් කලින්ම දමල ඇරියේ ඌත මේ ප්‍රෙහෙලිකාව තනියෙන් කොහොමටත් තේරුම් ගන්න බැරි හින්දයි. "හරි හරි හෙට ක්ලාස් එකේදී සෙට් වෙයන්කෝ, සිද්දිය කියන්න. පොඩි සීන් එකක් බං. උඹ අවුලක් නෑ නේ?" " පිස්සුද බං? ඒ.. මොකද්ද  බං කියපන්කො මොකද සීන් එක?" "හරි හරි හෙට වරෙන්.." මං ෆෝන් එක කට් කළා..ඌටත් ඕනේ නැති චීත්තයක් නෑ.

කොහොමින් හරි ආගිය කතා ඉවර වෙලා අරිෂ්ඨ බඳුන් දෙකකට වැඩ සලස්සපු අපේ සෙට් එක ලංකා පොකුණ ගාවින් තියන පාර දිගේ මහා උණ පඳුර ගාවින් ඇදුනේ ගෙදරවල් වලට යන බලාපොරොත්තුවෙන්. වටේට හීනි ගොම්මන් අඳුර මැදින් අදුන අපේ සෙට් එක ඉස්සරහට එකපාරම මතුවුනේ සිල්වා සික්ක අංකල්..

" ආ මහත්තුරු යන්නද? හොඳයි මහත්තයෝ ගිහින් එන්න.. ආයේ අවොත් හම්බවෙමුකෝ එහෙනම්.." පුස් පැටියෙක් වගේ කියල දාපු සිල්වා අංකල් හනිකට පාරෙන් ඉඩ දෙන ගමන් පැත්තකට ඇදුනා. අපිත් ඉතින් හෙමින් සැරේ එතනින් ඇදුනේ ආයේ කවදාහරි ආවොත් ඉල්ලන් කෑමක් සෙට් වෙයිදෝ කියන සිතුවිල්ලත් ඇතුව.