Tuesday, September 27, 2011

ඉස්කෝලෙන් පැනීම සහ අතුරු කතා.. - II


මේ පොස්ට් එක කලින් පොස්ට් එකේ දෙවැනි කොටස.. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් කියවල එන්න. ඉතින් කලින් පොස්ට් එකේ කිව්වනේ කොහොමද අපි පන්තියෙන් පැනල කොරිඩෝර් දිගේ ගිය හැටි කියල. ඔන්න ඉතින් වැඩිය අතුරු අන්තරා නැතිව අපි 8 සෙක්ෂන් එකෙන් එලියට යන දොරට කිට්ටු උනා. දොරක් කිව්වට මේකේ තියෙන්නේ අර ස්ටේෂන් වල තියන දැල් දැල් යකඩ දොරක්.. මේ දොරෙන් එළියේ දකුණු පැත්තට වෙන්න ප්‍රයිමරි සෙක්ෂන් එක. ඉස්සරහ නැටුම් කාමරේ. ඒ අතරේ  එලියට පැනල දකුණු අත පැත්තට දුවගෙන ගිහින් කන්ද නගින්න තියෙන්නේ. මේ දොරෙන් එලියට යන්න තියෙන්නේ අර කිව්ව මහා කානුව උඩින් තියන පාලමකින් එගොඩ වෙලා.

හරි.. එකෙක්වත් නෑ කියල සිග්නල් එක අවා. කට්ටියම ඉස්සරහ තිබ්බ දොරෙන් පැනල එතන තිබ්බ පොඩි පිට්ටනිය හරහා දුවගෙන ගිහින් උඩට යන පාරේ දුවන්න ගත්ත.. ඒ එක්කම පිටිපස්සෙන් සද්දයක් අවා දුවපන් දුවපන්.. ඔන්න පොලිසියෙන් එලවනවා කියල. ශිෂ්‍ය නායකයෝ සෙට් එක අපිව දැකල ටීම් එකක් ඩිප්ලෝයි කරලා අපිව අල්ලන් එන්න. උන් ටික ඒ හරියට එද්දී අපි කන්දේ බාගයක් නැගල. අපි ඒ ආව ගැම්මෙන්ම වැටෙන් රිංගලා කැලේට පැනගත්ත. වැට කිව්වට කටු කම්බි වැටක් තම තිබුනේ. එකේ එක තැනක කම්බි ටික කපල ගිනිසීරියා කණුවක ගැටගහල පොඩි ගේට්ටුවක් හදල තිබ්බේ. ඔන්න හිතාගන්න එක කොච්චර ප්‍රසිද්ධ පාරක්ද කියල. ඉතින් එතන කලේ වැවෙන්න දෙන එක අපි නිතරම කරපු දෙයක්. මොකා කිව්වත් සුද්ද කරන්නේ නෑ එතන නම්. ඔන්න ඉතින් එතනින් පැනල මාන කැලේ මැදට රින්ගගත්ත. මාන පඳුරු අඩි 4 ක් විතර උසයි ඔය හරියේ. අපි ඉතින් ඕක මැදින් යනවා.. අයෙමත් අර මිෂන් එකක ආමි එකේ සෙට් එකක් යනවා වගේ.. ඔලුව හරිය විතරයි පෙන්නේ.ඔතනින් ගියාම හරි විදියට වැටෙන්න ඕනේ අඩවි වන එක ලගට. 

යනවා යනවා අඩවි වන ඔෆිස් එක පෙන්න නෑ. එත් දැන් දකුණු අත පැත්තේ ගෙයක් පේනවා පල්ලමට වෙන්න.  දැන් ඉතින් පාරට යන්න නේ ඕනේ. ඉතින් ඔන්න ඔහේ ඕනේ එකක් කියල ගියා ඒ පැත්තට. ඒ වෙද්දී මාන කැලේ ඉවරයි. දැන් තියෙන්නේ තණකොළ නැති පයිනස් ගස් කැලේ. අප්පට සිරි.. පොලිසියේ දෙන්නෙක් පේනවා.. ටිකක් දුරට වෙන්න. ලස්සනම වැඩේ කියන්නේ උන්ටත් අපිව පේනවා. එත් ගස් අස්සෙන් දුවන හින්ද හිතාගන්න බැරිවෙන්න ඇති මොකද්ද වෙන්නේ කියල. ඉතින් අපි සෙට් එකේ උන් ගස් වලට මුවා වේවි කොහොම හරි එතනින් මාරු උනා. යනගමන් අර ගෙදර දිහත් බලන්න අමතක කරේ නෑ. අප්පා.. එකේ ගහල තියනවා දිස්ත්‍රික් මහාධිකරණ නිල නිවස කියල,.. මදැයි කොලා.. පොඩ්ඩෙන් නම් කේස් එක උසාවි..

ඔයින් මෙයින් අපි ඉතින් පාරට අවා. හරියටම කඳුරට සේවේ ඉස්සරහට කට්ටිය කඩන් වැටුනේ.. දැන් ඉතින් කලිසම් වල තිබ්බ මඩ වල් කොළ, ආදී නොයෙකුත් එව්වා ගසා බසා දාල ඉතින් පල්ලහට බහින්නයි සුදානම. කොහොමද මචන් බේරුනා බේරිල්ල නේද? කියා කියා කස්ටිය පුරසාරම කියව කියව දැන් එනවා, ලඟම කෙල්ලන්ගේ ඉස්කෝලේ පුෂ්පදානේ.. කොල්ලනේ කලිසම් වල මඩ එහෙම සුද්ද කරගනිල්ල.. ඔන්න එකෙක් කෑගහනවා.. ඉතින් අපි පුෂ්පදනේ ඉස්සරහින් ජයග්‍රාහීව යනවා ගේට්ටු කණු ඇතුලේ ඉඳන් හුල්ලන කෙල්ලන්ගේ ඉරිෂියාවට ගොදුරු වේවි.. 


එතනින් පල්ලහට එද්දිම වගේ මම දැක්ක තව සෙට් එකක් එනවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක පැත්තේ පාරෙන්. උන් එන විදියටනම් පැන්න වෙන්න බෑ. එහෙන් පැන්නොත් අනිවා යන්නේ රේල් පාරේ.. රේල් පාර තරං අධි ආරක්ෂක කලාපයක් මුළු නුවරම නැතුව ඇති පනින එවුන්ට.. කෙලින්ම කාටත් නොපෙනී ගුඩ්ෂෙඩ් හරි ටවර් එකට හරි යන්න පුළුවන් ඊසිම පාර ඒක. ඉතින් මම ඇහුව මල්ලි කොහෙද ඔයගොල්ලෝ මෙහෙ කරන්නේ? 


ඇයි අය්යා දන්නේ නැද්ද? ඉස්කෝලේ ඇරියනේ කලින්? අපි ගෙදර යනවා... අය්යෝ........ මට එතන ඉඳගෙන වහ කන්න හිතුනා........ අපි පැය එක හමාරක් විතර කට්ට කාල පැන්නේ මේකටද බොලවූ?


Sunday, September 25, 2011

ඉස්කෝලෙන් පැනීම සහ අතුරු කතා.. - I

මගේ පරණ අතීතේ අයෙමත් අවුස්සපු කතාවක් පිණිබිඳු මෙන්න මේ පොස්ට් එකේ දාල තිබ්බා. ඉතින් ඔය කතාව කියෙවනකොට මට මතක් උනේ මගේ පරණ ඉස්කෝලෙන් පනින කතා වස්තුව.

මේ මම 10 පන්තියේ ඉන්න දවස්වල. අපේ ඉස්කෝලේ තියෙන්නේ නුවර ටවුමේ තියන උසම තැනක. සුමංගල කිව්වම දන්නා අය දන්නවා ඇති නේ? අපේ ඉස්කෝලේ පිටිපස්සේ තියෙන්නේ බහිරව කන්ද. එක පැත්තකට වෙන්න ඉස්සරහ වට ගාව ඉඳල වගේ තියෙන්නේ පොලිස් නිල සුනඛ අංශය. අනිත් පැත්තෙන් බුදු පිළිමය එක්ක අඩවි වන කාර්යාලය. හැබැයි මේක තියෙන්නේ ඉස්කෝලේ පැත්තකින් පිටිපස්සට වෙන්න. පොලිස් නිල සුනඛ අංශේ ඉවර වෙනවත් එක්කම ලොකු උස කන්ද. හරියටම ඉස්සරහින් සිල්වෙස්ටර් විද්‍යාලයේ ප්‍රථමික අංශයේ පිට්ටනිය. ඔන්න ඔහොමයි පිහිටීම තිබ්බේ.

දන්නවනේ 10 වසරේ ඉන්නකොට ඉතින් ආයේ ඔය වගේ වැඩක් කියන්නේ එක මාරම පොර සීන් එකක්. පනින්න දන්නා එවුනුයි නොදන්නා එවුනුයි කියන්නේ නිකම් අර හඳට ගිහින් ඇවිත් ඉන්න උන් එක්ක නිකම් උන් ඉන්නවා වගේ ආතල් වීර ක්‍රියාවක් කරපු උන් අවා වගේ, නැත්තන් අද වගේ සුපර් ස්ටාර්ල අවා වගේ තමා. ඉතින් අපිත් ඔන්න ඉස්සරලාම පනින්න සෙට් උනා. දැන් ඉතින් අර පොත් බෑග් එක අරන් යන්නත් ඕනේ. පනින්නත් ඕනේ. මාට්ටු නොවී ගෙදර යන්නත් ඕනේ. ඔන්න තත්වේ. අපි ඉතින් නිකම් ඉන්නගමන් පනින්න පුළුවන් තැන් ගැන පොඩ්ඩක් ඇහැ ගහල බලන එක පුරුද්දක් කරගත්තේ පනින්න තියන ඕනේ කමට වඩා පොර වෙන්න තියන ඕනේ කමට. ඉතින් එදා අපි තෝරාගත්තේ බහිරව කන්දෙන් පනින මහා මෙහෙයුම.

ඉතින් දැන් තැන් තෝරලා කට්ටිය 3 දෙනෙක් ලැස්ති උනා මේ මහා වීර ක්‍රියාව කරන්න. අපේ හෝල් එක තිබ්බේ ඉස්කෝලේ දකුණු පැත්තට වෙන්න. එහෙට කිට්ටුව පනින්න තැන් දෙකයි තිබ්බේ, එකක් සිල්වෙස්ටර් එකේ පිට්ටනිය මැදින්. අනික බහිරව කන්දේ කැලේ මැදින්. අපිට වැඩිම කිට්ටු බෝඩර් එක උනේ බුදුපිලිමේ පැත්ත. ඒකට යන්නත් නැටුම් හෝල් එක ඒ අතර තියන හිස් බිම් තීරුව පනින්න ඕනේ. ඒ පැන්නත් කන්ද දිගේ නගින එක හෙනම අමාරුයි, වෙන මොනවත් නෙවෙයි පාර තිබ්බට උඩට යනකම් යන්නේ මොකාද කියල අපේ බිල්ඩින් එකේ තුන් වෙනි තට්ටුවට යනකම් පේනවා. ඉතින් එකත් පන්නන්න ඕනේ. එතන 6 පන්තියේ හෝල් එක. ඊට පල්ලෙහා 7 අන්තිමට 8. 8 උන්ට නම් පෙන්නේ හිස් ඉඩ ටික පනින එක විතරයි. එත් ඉතින් සර් කෙනෙක් දැක්කොත් ජල ගුටි සමග පරිප්පු නේ..

කොහොම හරි මේ සීන් එක අමි එකේ මිෂන් එකක් තරමටම අමාරුයි. ඉතින් ඔන්න අපි ඇහැ දාගෙන ඉන්නවා පනින්න දවසක් එනකම්. අනේ එක දවසක ඔන්න ඉස්කෝලේ ගුරු රැස්වීමක්. එදාට ඉතින් 12.30 ඔක්කොම සර්ල ටීචල යනවා ඒකට. ආයේ ඉවර වෙන්නේ 1.30 ට ඒ කියන්නේ ඉස්කෝලේ අරිනකොට. ඉතින් ශිෂ්‍ය නායකයෝ තමා පන්ති බලාගන්නේ. අප්පා එදාට උන්ගේ ගණන්..

එදා හවස 11 වෙද්දීම අපි නිව්ස් එක දන්නවා අද රැස්වීම කියල. ඉතින් බඩුම තමා..කට්ටිය සෙට් වෙලා යන්න. මල කෙලියයි.. කොල්ලෝ 10 පනින්න සෙට් වෙලා. කට්ටියක් සිල්වෙස්ටර් එකේ පිට්ටනියට යන ලොකු කානුවෙන් පනින්න යනවා. කානුව කිව්වට හිතන්න එපා මේක මහා ජරා කුණු කානුවක් කියල. හොඳට සුද්ද කරලා තියන අඩි 6 විතර ගැඹුර අඩි 3 විතර පළල කොන්ක්‍රීට් කරලා බිත්ති මැදපු අගලක් එක. එකේ තමයි ඉස්කෝලේ ඔක්කොම වැහි වතුර ගලාගන යන්නේ. ඒකට පනින එකත් වෙනමම ගේමක් තමයි. අපි සෙට් වෙලා හිටියේ බහිරව කන්දෙන් පනින්න. අපේ පාරේ තියෙන්නේ කැලේ මැදින් ගිහින් කඳුරට සේවේ අයිනෙන් ඇවිත් පාරට එන්න. එන පාරේම බාලිකා පාසල තියන හින්ද එක තව ආතල්. ඉතින් දැන් ඔන්න අපි සෙට් දෙකම සෙට් වෙනවා හරියට හඳට යන උන් වැඩේට සෙට් වෙනවා වගේ. පොත් වැඩි උන් ඒවා පන්තියේ හංගනවා. සමහරු යාලුවන්ගේ මලු වල ඔබනවා. සමහරු කබඩ් ඩෙස්ක් අස්සේ දානවා. එක විකාරයයි. ඔක්කොම සෙල්ලම් ඉන්ටර්වල් එකේ කරන්නත් වෙනවනේ. නැත්තන් පනින්න වෙන්නේ නා. මොකද ශිෂ්‍ය නායකයෝ 12.10 විතර වෙද්දී එනවා. උන්ටත් ආතල් එකක් තියෙන්න එපැයි.

ඔන්න වෙලාව අවා, 12.20 එනවුන්ස්මන්ට් එක දුන්න ඔක්කොම ගුරුවරුන්ට. අපේ හිටිය සරුත් පැවරුමක් එහෙම දීල යන්න ගියා. ගීය ගමන්ම අපේ ඔත්තු බලන එකාගේ හස්ත සන්යාවෙන් අපි සෙට් එක බිල්ඩිමේ කොරිඩෝර් එකට පැනගත්ත..දැන් ඉතින් පොත් මලු අතේ අරගෙන පොඩි කොට බිත්ති වලට මුවා වෙවී අපි දැන් ඉදිරියටම යනවා.. හරියට අර කිලිනොච්චි අල්ලන්න හමුදාවෙන් යනවා වගේ. එකම දේ අපි වෙපන් අරන් යන්නේ නෑ .. නමුත් ගමන එකයි. හැංගි හැංගි. සෙට් එක දෙකට කැඩිලා එක සෙට් එකක් පස්සෙන් එන තර්ජන බලන ගමන් ඉස්සරහින් යන උන්ගේ හස්ත සන්යා වලට ඉස්සරහට යනවා. අනිත් උන් ඉස්සරහ තත්වේ අනුව පාරවල් හදාගෙන ඉස්සරහට යනවා.

කතාව තව දුර යනවා.. හිතුවට වඩා පොස්ට් එක දිග වෙන්න යන්නේ.. එක හින්ද ඉතුරු ටික ඊලග පොස්ට් එකේ දාන්නම්.

Wednesday, September 14, 2011

ඇත්තද?



රියාලේ කොළ
කොට්ටම්බා කොළ ගානට
ඉතිරිච්ච..
සල්ලි පිරිච්ච ජීවිත..
මහපාරේ
දැක්ක
මහා පත බෙන්ස් එකක්
පුරාම යනවා..
අපේ උන් ඒ බලන්
හීල්ලුව ..
දුකට වෙන්න ඇති..
එත්,
උන්ට නැති සන්තෝසේ..
අපිට තියනවා බං..
ඇහුන මට
එකෙක් කියනවා..
එත්..
ඇත්ත
ඒකමද?
අනේ මන්ද....

Monday, September 12, 2011

අතීත මතකයක්,..


මේ ඇවිත් 2006 අවුරුද්දේදී වෙච්ච කතාවක්. මම ලංකාවේ නම් දරාපු එක පරිගණක ආයතනයක උගන්නනවා මේ කියන කාලේ වෙනකොට. 2005 ඉඳල 2006 අන්තිම ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ වෙනකම් මම මේ ආයතනයේ ඉගැන්නුවා. මෙතන මට කවදාවත් අමතක නොවෙන තැනක්. ඒ වගේම කතා ගොඩක්...

ඔන්න ඔය කියන දවස්වල මට වයස 21 විතර ඇති. මම එහෙ පන්ති කීපයක්ම කරා.. පොඩිම පොඩ්ඩන්ට උගන්නන එක ඉඳලම ඉහ නිකට පැහිච්ච මගේ ගුරුවරුන්ගේ වයසේම තවත් ගුරුවරුන්ට මම උගැන්නුව එහෙදි. ඔයාල ගුරුවරු නම් දන්නවා ඇති පරිගණක ආශ්‍රිත ඉගෙනුම (CAL) කියල එකක් අධ්‍යාපන අමත්‍යන්සයෙන් කරා. ද්විතික අධ්‍යාපනය නව්‍යකරණ ව්‍යාපෘතිය (සෙම්ප්) කියල එකක් යටතේ. ඕකෙදි දිස්ත්‍රික්කයේ තියන ඉස්කෝල වල ඉන්න ගුරුවරු ලගම තියන පුහුණු මධ්‍යස්ථාන වලට යවනවා දවස් 18 ක් පුහුණුවෙන්න. මේකේ විෂයන්ට තියෙන්නේ වර්ඩ්, එක්සෙල්, පවර් පොයින්ට්, ඇක්සෙස්, හාඩ්වෙයාර් සොෆ්ට්වෙයා, නෙට්ව්ර්කින්ග් ඉන්ටෙර්නෙට් ඊමේල් එක්ක තව පොඩි පොඩි දේවල් ටිකක්. පොත්ම 7 ක් තියනවා උගන්නන්න. දවස්  18 න්  උගන්නන්න හම්බවෙන්නේ දවස් 16. ඉතුරු දෙකේදී එයාල තමන් ඉගනගත්ත දෙයින් මොනාහරි විෂයානුබද්ධ ක්‍රියාකාරකමක් කරලා පෙන්නන්න ඕනේ. ඕක ඉතින් පවර් පොයින්ට් තමා..
ඔන්න ඉතින් කතාවේ පසුබිම විස්තර කරානේ.. ඉතින් අපි කතාවට බහිමුකො.. ඔන්න ඉතින් 2006 අවුරුද්දේ මම මගේ දෙවැනි කැල් බැච් එකත් ඔන්න අවා. බොහොම වයසක් තියන ගුරුවරු වගේම තරුණ ගුරුවරු ගුරුවරියොත් ඒ අතරේ හිටියා. ඕනෙම පන්තියක් මට එකයි. එකට අපේ ආයතනේ ලොක්ක ආවත් ඒ මට එක ස්ටුඩන්ට් කෙනෙක් විතරයි. මම ඉතින් පලවෙනි දවසෙම කිව්වා කට්ටියටම ඔයාල අපේ ආයතනයට සාදරයෙන් පිලිගන්නවා. ඒවගේම මගේ පන්තියට. මෙතන ඉඳන් දවස් 18 අපිට එකට වැඩ කරන්න වෙනවා. මම දන්නා දේ උපරිමෙන්ම ඔයාලට කියල දෙන්නත්,  එකේදී ඔයාලට තියන ඕනෙම විෂය ප්‍රශ්නයක් මම විසදන්න උදව් කරන්නත් බැඳිලා ඉන්නවා. ඒවගේම මතක ඇතුව ඔයාලගේ ඔය ජංගම දුරකථන එක්කෝ ඔෆ් කරන්න නැතිනම් සයිලන්ස් දාන්න ඊට පස්සේ අවශ්‍යමනම් පන්තියෙන් එලියට ගිහින් එක පාවිච්චි කරන්න, මොකද මේ පන්තියේ මොබයිල් පාවිච්චි කරන්න බෑ." ඔන්න මගේ ආරම්භක කතාව. සරලයි නේද?
ඉතින් මම පන්තිය පටන්ගන්නවා. කිසිම දවසක මම ඒ ගුරුවරුන්ට මට සර් කියන්න නම් දෙන්නේ නෑ. යි දෙය්යනේ මොන හිතකින් එහෙම කියන්නද? එයාල සමහරු මගේ ගුරුවරු වයසේ. සමහරු අපේ අම්මලාගේ අප්පච්චිලගේ වයසේ. ඒ නැතත් එයාල ගුරුවරු නේද? ඉතින් පන්තිය කරගෙන යන අතර වාරේ මම කවදාවත් බනින්නේ නෑ එයාලට. හිත රිද්දන්නේ නෑ. කොහොමත් වයසක ගුරුවරුන්ට මේක මහාම අමුතු ගැජට් එකක්නේ. මව්ස් එක අල්ලන්න පොඩි ෂෝර්ට් කට් කියන්න එහෙම ඉතින් මුල දවස් දෙක වියදම් වෙනවා එයාල එක්ක.
දෙවැනි දවසේ ඉඳල ඉතින් අර කියපු සබ්ජෙක්ට් තම උගන්නන්නේ. එකේදී ඉතින් ගොඩක් ගුරුවරු පොඩි ළමයි වගේ වෙනවා. ඇත්තනේ. එයාලගෙන් සමහරු (මම වැඩකරපු දිස්ත්‍රික්කේ හා ඒ අව ගුරුවරු ඉන්න පළාත් වල) පරිගණක කියන එක දැකල දන්නවා උනාට වඩා කරලා නෑ කවදාවත්ම. සමහරු මේ මැෂිමට අස කරලා එක උනන්දුවෙන් ඉගෙනගන්නවා. සමහරු ඔන්න ඔහේ ඕනේ එකක් කියල නිකම් ඉන්නවා. සමහර අයට පුදුම අදහස් එන්නේ. දවසක් එක විදුහල්පති කෙනෙක් එයාගේ මුළු ඉස්කෝලෙම දත්ත ඇක්සෙස් ඩේටබේස් එකකට දාගන්න ප්ලෑන් හැදුව. තව දවසක් ඉතින් මමයි මගේ සහයට හිටිය ක්‍රිෂාන්ත් (ඔව් ක්‍රිෂාන්ත් ටැමිල්) එකතුවෙලා පන්තිය කොහොම හරි ඇදගෙන යනවා. කිසි කෙනෙක් මිස් කරන්නේ නැතුව. එකේදී අපි කවදාවත් එකම දේ සියපාරක් ඇහුවත් ළඟටම ගිහින් කියල දුන්න.

ඔන්න ඉතින් අන්තිම දවස උදා උනා පන්තියේ, එදා ඉතින් අර ගුරුවරු කරපු වඩා බලන්න අධ්‍යාපනේ අධ්‍යක්ෂක කෙනෙක් එනවා. ඉතින් එයටයි අපේ ආයතනේ අයටයි ගුරුවරු පොඩි සංග්‍රහයක් සූදානං කරනවා අන්තිමට පෙන්නන එකේ අඩු පාඩු හදනවා.. දාහක් වැඩ. ඉතින් අපිත් සැහෙන්න උදව් කරනවා එයාලට ඒවා හදාගන්න. ඉන්ටෙර්නෙට් එකෙන් ඩේට ගන්නවා ඒවා හදල ස්ලයිඩ් හදනවා.. එයාල කරපු වැඩ ඔක්කොම සීඩී කරනවා.. වැඩනං කොතෙකුත්.

ඔහොම ගිහින් ඉතින් එදා හවස එක එක ගුරුවරුන්ගේ ප්‍රසන්ටේෂන් දෙන වෙලාවත් ආවා. එක එක්කනා තමන්ට පුළුවන් උපරිම වැඩ ටික දාල අපි කියල දුන්න ඒවත් එකතු කරගෙන එක කරනවා දකින එකනම් ඇත්තටම හිතට හරි සන්තෝසයක් එන වෙලාවක්. එක ඉවර උනාම ඔන්න තේ පැන් සංග්‍රහය පටන් ගත්ත. එකේදී ඔන්න ඉතින් ආයතනයටයි උගන්නපු මටයි එයාල ස්තුති කර. එකේදී මම අර කියපු එක ගුරුවරයෙක් කියනවා "අපිට නම් ළමයෙක් කියල දුන්න එක අහන්නේ නැතිව පිස්සු නටනකොට ඌට දෙකක් දෙන්නම තමයි හිතෙන්නේ. නැතිනම් බනින්නම හිතෙන්නේ. එත් අපිටත් පුදුමයි අපි කරපු වැඩ වලදී මෙච්චර ආවේගශීලී තරුණ වයසේ ඉන්න මේ අපේ ගුරුතුමා අපිට කවදාවත් බැන්නේ නෑ හැමදාම හිනාවෙලා ඇවිත් අපි එකපාරට සියපාරක් ඇහුවත් අපිට ඒක කියල දුන්නේ කිසිම කහටක් නැතුව.. අද ඉඳල මමත් මම උගන්නන ඉතුරු කාලේදී ඒ දේ ඒ විදියට කරන්න හිතාගත්ත. මොකද මම අද දකිනවා එකේ ප්‍රයෝගික සත්‍යතාව මේ ගුරුවරුන්ගේ දියුණුව දැක්කම" කියල. ඊටපස්සේ එයාල යනවේලාව අවා. ඉතින් ඒවෙලාවේ එයාල කරපු ආශිර්වාද මට හිතෙන්නේ අදටත් මගේ එක්ක තියනවා.

මට මගේ ජීවිතේ එකත් හොඳ අත්දැකීමක්. පුංචි උංගේ ඉඳල උපාධියට යන අයට උගන්නන්න වගේම තවත් විවිධාකාර දේවල් කරන්න මට එතන තෝතැන්නක් උනා. අදනම් එතන ඒ ආයතනය නෑ. නමුත් අපි හිටපු ඒ කාලේ අපේ ස්ටාෆ් හිටිය ඔක්කොමලගේම ජීවිතවල ලස්සන කාලයක් උනා..

  මේ කතාව මතක් උනේ මට සංජුගේ සයිබර් සමාගමට ගොඩ වැදුනට පස්සේ තිබ්බ මෙන්න මේ පොස්ට් එක දැකල. http://sanjuishere.blogspot.com/2011/08/blog-post.html  

Sunday, September 11, 2011

ලංකාව හා බංකොලොත් ටෙලි නාට්‍ය කලාව සහ සබැඳි අතුරු කතා..


ලංකාවේ තියන ටෙලිනාට්‍ය වල ගොඩක් යන්නේ වල්පල්. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. මොකද අද සතියේ විකාශය වෙන ටෙලිනාට්‍ය 10 ක් ගත්තොත් එයින් 8 වත් කතා තේමාව වෙන්නේ එක්කෝ කිසිම හරයක් නැති දිගටම ගලාගෙන යන කෙහෙම්මලක්, එහෙමත් නැත්තන් හරයක් නැති පවුලක් ෆුල්ම අවුලෙන් ඉන්න කතාවක්. ඔය කතා වල සාමාන්‍ය සිද්දි වෙන්නේ එක්කෝ මංකොල්ලකෑම්, පැහැරගෙන යාම්, තර්ජන වගේ ඒවා තමා. ඔක්කොම ටෙලිවලින් බාගයක් රබර් නැත්තන් ඉලාස්ටික් කතා... දැන් ඒවාට කියන්නේ මෙගා. පිස්සු හැදෙනවා. ඉතින් මෙව්වා ඉලාස්ටික් රබර් වෙන්න කතාව ඇතුලට අර කියන එව්වා දානවා ප්‍රධාන චරිතේ උස්සන්න කප්පම් ඉල්ලන්න වගේ සීන් එක්ක..

සමහර ටෙලිනාට්‍ය උපරිම ඉන්දියානු කොපි කියන එක බැලු බැල්මටම පෙන්න තියන කාරණයක්. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේ කියනවා වගේ කාලකන්නි ගෑනු හත්දෙනෙක් සතියට ඉන්නවා.. ඒ කතාව නම් සහතිකයි. ඇයි ඉතින් හැමදාම යන්නේ ජීවිතේ තියන හැම කරදරයක්ම විඳින ගෑනියක්ගේ කතාවක් නේ. මෙව්වගේ පෙන්නන දේවල් අපේ දරුවෝ ග්‍රහණය කරනවා ඉතාමත් ඉක්මනට. ඒවගේම තමයි සමහර ගෙවල්වල ඔන්න කට්ටිය දුවනවා ප්‍රවීණ බලන්න, ඊටපස්සේ තව කෙහෙම්මලක් ඊටත් පස්සේ තව එකක් විදියට.. මේකේ ලීඩ් එක ගන්නේ ගෙදර අම්මා. මම දන්නා ගෙදරක් තියනව, එයාලට ඔය ටෙලිනාට්‍ය යන වෙලාවට ට්ව් එකයි සලේ ඉඳන් ඉන්න පුටුයි තියල මුළු ගෙදරම අරන්ගියත් ගානක් නෑ.

ට්ව් එකේ තව සීන් එකක් තමයි ඔය වැඩියෙන් හිට්ස් තියන ටෙලියක් යන වෙලාවට ඔන්න ඇඩ් දානවා හිටු කියල මැදට. අනේ දෙය්යනේ කතාව බලන්න වෙන්නේ කොලේකුත් තියාගෙන. ඇයි අර මගින් නවත්තල ඇඩ් එහෙම දාල අයෙ පටන්ගත්තාම නවත්තපු තැන මතක්වෙන්න සීන් එක ලියල තියාගන්න.

මේකේ තියන කනගාටුම දේ එක නෙවෙයි. දැන් රූපවහිනි වල යන්නේ මෙගා ස්ටාර් සිඟින් ස්ටාර් වගේ රියලිටි. අර ඉස්සර වගේ කාලෙයි අරන්ගම් පොන්මාලෙයි පොලොන්දු, මනෝහාරී චාර්ට් ෂෝ වගේ ඒවා අද නෑ. ඒවගේම රූපවාහිනියෙ කාලයක් විකාශය උන ඩිස්කවරි චැනල් එක වගේ දේවල් වලින් වෙච්ච මෙහෙය ඉතාම අපුරුයි. ඒවගේ දේවල් අද සිද්ද වෙන්නේ නැත්තේ ඇයි කියන එක මටනම් මහා ම මහා ප්‍රහේලිකාවක්. ඔයාලට මතකනම් ආර්ථික විද්‍යාව ලස්සනට කාටුන් වලින් උගන්නපු ගණු දෙනු කියන වැඩසටහන කොයිතරම් ලස්සනට ආකර්ශනීය විදියට ඒ දේ කරාද? අටපට්ටම විතරයි අද දරුවන්ට බලන්න තියන එකම දේ. ඉස්සර පොඩ්ඩන්ට රසාර, දොස්තර හොඳ හිත, පිස්සු පුසා වගේ කාටුන් ගියා. ඒවා රසාස්වාදනය මොට කරන දේවල් නෙවෙයි. පුංචි ඇත්පැටවා වගේ සිනමා, සුරඟන කතා කරලිය වගේ වැඩසටහන් දරුවන්ට තිබ්බ දේවල්.  අද දරුවන්ට රූපවාහිනිය කියන්නේ බාල කඩචෝරු විකුණන පිස්සන් කොටුවක් වෙලා හමාරයි.. ඉගනගන්න දරුවන්ට දෙයක් දෙන්න සල්ලි වියදම් කරනවට වඩා මිනිස්සුන්ව විකුනන්න මාර්කට් හදන තැනක් බවට මේ නාලිකා අද පත්වෙලා. දේශපාලන වට්ටෝරුවේ තවත් එක උපාංගයක් බවට පත්වෙලා.

මට අන්තිමට හිතෙන්නේ මෙහෙමයි. මමනම් මගේ එකෙක්ව ට්ව් එකට හුරු කරන්නේ නැතුව ඊටවඩා අන්තර්ජාලයට යන්න යොමු කරනවා. ඒක දාහෙන් සම්පතයි. දැන් ඔයාල හිතාවි මේ  මොන පිස්සු කතාවක්ද කියල... නෑ...... ටෙලි නිලියෝ ගණිකාවෝ වෙච්ච රටක ළමය ඉන්ටර්නෙට් එකට යද්දී එච්චර කලබල වෙන්න ඕනේ නෑ. ඕනේ කරන එකම දේ කොම්පියුටරේ සාලෙන් හරි නිතර පේන තැනකින් හරි තියන ඒක විතරයි. අනික මම ඇත්තම කිව්වොත් කව්රු කොහොම වැට බැන්දත් නියම වයසට ආවම ළමයි කුතුහලේට කොහොමත් ඔය නිල් දේවල් බලන එක කාටවත් නවත්තන්න වෙන්නේ නෑ. 

Thursday, September 8, 2011

සිංහල බ්ලොග් වල අලුත්ම පිස්සෝ



මම හිතාගෙන හිටියේ මගේ බ්ලොග් එක එච්චර කට්ටිය එන්නේ නැති පාලු තැනක් කියල. එහෙව් තැනකත් අද(08) අන්න කුණුහරප ලියපු කොමෙන්ට් එකක් දාල. ඇනො කෙනෙක්. අනේ මන් දන්නේ නෑ මේ පිස්සන්ට මොනවාද කරන්න ඕනේ කියන එක. මගේ බ්ලොග් එක බලන්නේ ටික දෙනෙක් උනාට ඒකට සහෝදරියන් කීපදෙනෙක් එනවා. බොහෝ වැදගත් මහත්වරු එනවා. තව ෆලෝ නොකර බලන අය ගැන මම දන්නේ නෑ. ඒ අයගේ වයස තරාතිරම මම දන්නෙත් නෑ. ඉතින් මේ පාක ප්‍රජාව වෙනුවෙන් මගේ බ්ලොග් ඒක පිළිවෙලට පිරිසිදුව තියාගන්න ඒක මගේ වගකීමක්.

කොහෙවත් යන පිස්සෙක් අද මගේ බ්ලොග් එකට රිංගල මගේ පොස්ට් එකක් කියවල මට බැනල ගිහින්. මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මට හිතෙන දේවල්. ඒක හරි නැතිනම් සභ්‍ය විදියට කියන්න තිබ්බ නේද? සිංහල බ්ලොග් වලට මම අලුත් උනාට මම බ්ලොග් ලියන්නේ 2009 විතර ඉඳල. ඒ කාලේ ඉඳල අද වෙනකම් මට ආව පලවෙනි කුණුහරුප කොමෙන්ට් එක තම අද මේ ආවේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන්න මම දන්නේ නා එත් මම ඔහොම ඒවාට සැලෙන්නේත් නා. අනෝ ඔයාට මම කියන්නේ ප්‍රවේසම් වෙන්න, මොකද කොට්ටෝරුව කොටුවෙන්නේ කෙහෙල්ගහට කොටපු දාට..



Tuesday, September 6, 2011

සුදු පුසී...


හීනියට..
පොද වැටෙන
සිරිපොදක තනිවන්න..
මීදුමෙන්,...
පටසේල දැමු මාවතේ ඇවිදින්න..
එන්න අසයි මට..
එත්..
ඉන්න වෙනවා..
අමාරුවෙන්
තවත් මාස පහක්....
දැකගන්න ඔය මුහුණ
සිපගන්න ඔය දෙතොල
මං ආදරේ
කරපු
හැමදාම

Friday, September 2, 2011

බෝම්බ කතාවක්..


මම මේ කියන්නේ 2008 අවුරුද්දේ එක සඳුදා දවසක් ගැන. එදා මම උදේ 5.30 නුවර ඉදල එන ඔෆිස් කෝච්චියේ කොළඹ එනවා වැඩට යන්න. ඔන්න ඉතින් එදත් මම සුපුරුදු පෙට්ටියේ මගේ සුපුරුදු ආසනේට ගියා. අපේ පෙට්ටියේ හිටිය තැපැල් දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරක් දරන අය්ය කෙනෙක්. අපි මෙයාට ජගත් කියමුකෝ. මෙයා ටිකක් සද්දේ දාගන ඇහැ ගහගන ඉන්න කෙනෙක් වටපිටාවට. ඔය නුපුරුදු අය නුපුරුදු මලු එහෙම දැක්කම ටිකක් සද්දේ උස් කරලා අපේ කොම්පාර්ට්මන්ට් එකෙන් අහන්න මේ අය්ය පසුබට වෙන්නේ නෑ. කොහොමත් කෝච්චියේ යද්දී කට්ටිය ටික දවසකින් අඳුරගන්න හින්ද ඒක එච්චර දෙයක් නෙවෙයි.

ඉතින් ඔය කියන දවසේ සඳුදා කෝච්චිය රඹුක්කන පහු කරලා ටිකක් දුර ගියා විතරයි ඔන්න මහා සද්දයක් අවා කාගෙද මේ බෑග් එක.. කෝ අයිතිකාරයා ඉන්නවද?.. කියල ජගත් අය්යාගෙන්. ඔන්න එකපාරම සෙනග අස්සෙන් මීයෙක් වගේ පොරක් කෑගහන්න ගත්ත මගේ මගේ කියල.. හා හා හරි හරි කියල ජගත් අය්ය පොරව නෝට් කරගත්ත. ඔන්න ඉතින් දැන් කෝච්චිය වේයන්ගොඩ එහෙම පහු කරගෙන යනවා.. දෙපැත්තේ තියෙන්නේ වෙල් යායවල් ගුරු පාරවල් එහෙම. ඔය අස්සේ ජගත් අය්ය හොයනවා අර මල්ලේ අය්තිකාරයව. "කෝ දැන් මේ මල්ල ගේනවා මනුස්සයා?".. "ඉන්නවනම් පොඩ්ඩක් කියන්න." "දන්නවනේ අද රට?"... " කෝ දැන්?".." සිරිල් මල්ලි ඔයපැත්තේ ඉන්නවද බලන්න මේ මනුස්සයා?" "සුරංග. කොහේද බන් මේ යකා ගියේ?" ජගත් අය්ය දැන් මේ මනුස්සයව හොයන්නේ හරියට මු වැටිච්ච ඉදිකට්ටක් කියල හිතාගෙන වගේ. සාක්කු වල විතරයි බලන්නේ නැත්තේ. 

කොහොමින් හරි විනාඩි 10 විතර ඔය ජවනිකාව යනවා. දැන් මේක ගෙනාව මනුස්සයා නෑ. රිදී පාට බ්‍රීෆ් කේස් එකක් මේක. කට්ටිය දැන් බයවෙලා මේක බෝම්බයක්ද දන්නේ නෑ. මොකද කොටි එන්නේ ලේබල් ගහගෙන යෑ කියා කියා වැඩේ නියමෙට බවලත් අය අතර නැඟල යනවා. පිරිමි සෙට් එකම අරුට දෙකක් දෙන හැටියි බෑග් එක විසි කරන හැටියි කතා වෙනවා. අපේ ජගත් අය්යට ඔය අස්සේ අම්බ මල. "මේ පරය අපිව වල කජ්ජ ගස්සන්න මෙතන මේ මගුලක් ගෙනත්" කියල පොර මෙන්න එකපාරම බ්‍රීෆ් කේස් එක ජනෙලෙකින් එලියට විසි කරා.  හරි දැන් බඩුම තම කට්ටිය කතා නෑ සද්ද වහල කටවල් අරන් ජගත් අය්ය දිහා බලාගෙන ඉන්නවා. හරියට පොර මේ දැන් පුපුරන්න හදන බෝම්බයක් දතින් අල්ලලා විසිකරා වගේ.

ඔය මගුල් ඔක්කොම අස්සේ කෝච්චිය ඇවිත් ගම්පහ හරියෙන් නවත්තව්වා. මෙන්න අර මීය වගේ එකා කොහෙන්ද ඇවිත් අහනවා "මගේ බෑග් එක කෝ?".. "කෝ මෙතන තිබ්බ සිල්ව බ්‍රීෆ් කේස් එක?" කියකියා. කට්ටිය මුනෙන් මුණ බලාගන්නවා මිසක් උත්තර නෑ. ඔන්න ජගත් අය්ය නැගිට්ට.. "දන්නේ නැද්ද කාලේ හැටි?..කොහේද ඔලුවක් නැති වැඩ කරනවා. තැන් තැන් වල බෑග් දාල යන කාලයක්ද මේ? මේ තමුන්නාන්සේ ඔය මල්ල යනතැනක අරන්ගියනම් නේද හොඳ ? කව්ද දන්නේ ඕක මොකද්ද කියල? 
මී පුරවැසියා : මොකද්ද කියන්නේ? ඒක මගේ ඔෆිස් බෑග් එක. දැන් කොහේද මෙතන තිබ්බ ඒක?
ජගත් අය්ය: කොහේද කාටවත් නොකිය ගියේ? මම ඒක විසි කරා මොකද අහල අහල එකෙක්වත් එන්නේ නැතුවම කව්ද දන්නේ ඔහේ කොටියෙක්ද මේක බෝම්බයක්ද කියල? අපිට කියන්නේ ඔහේලවගේ මිනිස්සු මලු දාල ගියාම ඒවා පරිස්සම් කරගෙන ඉන්න කියලද ඒවා බෝම්බ උනත්?
මී පුරවැසියා : විසිකරා? තමුසේ මොන හයියකටද ඕක විසිකරේ? පිස්සු හරකෙක්. මගේ ඔක්කොම ඔෆිස් ඩොකියුමන්ට් ඒක ඇතුලේ. අනික මගේ ලැප්ටොප් ඒක?? බූරුව.. 
ජගත් අය්යට උපරිම මල දැන්.. බූරුව? මමද ඕයි බූරුව? පිස්සෙක් වගේ තැන්තැන්වල බෑග් දාල යනවා මදිවට කියවන්නත් එනවා. ඕක තමුසේ කොටියෙක් වෙලා මේක බෝම්බයක් උනා නම්? මොකද එතකොට කියන්නේ? මහත්තය ඕකේ ඔච්චර වටින දේවල් තිබ්බනම් ඔහේ දැනගන්න ඕනේ නේද ඕක පරිස්සමට තියාගන්න?
මී පුරවැසියා : කෙහෙම්මලක් කියවනවා. මම වතුර එකක් ගන්න කලින් ස්ටේෂමෙන් බැස්සම කෝච්චිය අද්දන්න ගත්ත. පස්සේ පෙට්ටියක යන්තම් එල්ලිලා එන්න හදනකොට මැද දොරක් වහල. එන්න බැරුව මම දැන් මේ එනගමන්. අපිත් මේ ආසාවට යනවා නෙවෙයි. මනුස්සයෙක්ට හදිස්සියක් උනාමවත් බලන්න දන්නේ නෑ.
ඔය කතාව අහගෙන හිටිය අපේ සෙට් එකට හොදට තදවෙලා අපේ උන්ටික අර මිනිහව කන්න පටන්ගත්තේ බවලත් සෙට් එකේ පුර්ණ අනුග්‍රහය යටතේ. පිස්සෙක් වගේ බෑග් තැන්තැන් වල තියල එනව මෙතන නීති කතා කරන්න. එක්ක එනවා තමුසෙගෙ ලෝයර්. අපිත් හොද ලොයර්ල තමයි හරිද? වගේ කතා කියකියා..

අන්තිමේ කොහොමහරි අර මනුස්සයා ඉස්සරහ ස්ටේෂන් එකෙන් බැහැල ගියා බෑග් එක හොයන්න. අපි ගියා වැඩට. හැබැයි එදත් එදයි ආයේ නෙවෙයි මම අර මීයා වගේ මනුස්සයා දැක්කේ කෝච්චියේ. දෙපැත්තම සාධාරණයි. නමුත් මට හිතෙන්නෙම අපේ ජගත් අය්ය හරි කියල. මොකද කව්ද දන්නේ එක බෝම්බයක් උනා නම්?