Saturday, July 14, 2012

පැය 3 ක් සිරගත වුයෙමි.


මේකත් සත්‍ය සිදුවීමක්. වෙලා දැනට දවස් 3 යි.




ඔන්න ඉතින් ආයෙමත් නමෝ විත්තියෙන් කටාර් රටට පැය ගැහුවේ පහුගිය 11 වෙනිදා දවල් වෙලා.  ආපහු ආවට පස්සේ ඔෆිසියටත් ගිහින් එහෙම හවස් අතේ අපි නැවතිලා හිටිය විලා එකට ගිහින් කට්ටිය එක්ක පොඩි කදයක් හෙම දාල ඉඳලා මම නින්දක් ගැහුවේ කලින් දවසේ ටිකට් එක ඇවිත් බඩුත් අහුරන් එනකොටම රෑ වෙලා තිබිලා පහුවෙනිදා උදේ පාන්දර ගුවන්ගත වෙන්න එන්න තිබුණු එකේ මහන්සියත් එක්ක.


රෑ 10 විතර වෙද්දී නැගිටපු මම ආපහු කට්ටිය එක්ක කදයක් දාලා තේ එකක් බොන්න ලැහැස්ති උනා. තේ එකත් හදලා ටිකක් බොන අතරේ මොකක්දෝ මන්දා හේතුවකට "උදේ ගාගන්න හෙයා ජෙල් එකක් ගන්න බකාලෙට (කඩේට) යන්න ඕනේ" කියලා අපේ එකෙක් කිව්වා. මමත් හෙයා ක්‍රීම් එක දාලා ඇවිත් නිසා මටත් එකක් ගන්න හිතාගෙන එක පයින්ම " හරි මචන් යමු " කියලා නැගිටලා සල්ලිත් අරගෙන බාගෙට බීපු තේ එකත් තියලා කඩේට යන්න පිටත් වුනා.


අපි  ඉන්න විලා එක ඉස්සරහ ම කාපට් පාර, පාරට පස්සේ විශාල කාන්තාරයක්. කිලෝමීටර් බාගෙක විතර. ඊට‍ පස්සේ තමයි ඔය කඩවල් එහෙම තියන කොටස තියෙන්නේ. කඩවල් කරන්නේ කේරල කාරයෝ. අපි ඉන්න හරියේ තියෙන්නේ ගෙවල් විතරයි. ඒ ටිකේම කඩවල් නෑ. මොකද අජ්නබී විදියට (පිටදේශ වලින් ආපු) අය විදියට ඉන්නේ අපි විතරක් නිසා. කටාරියෝ සුද්දෝ එහෙම කඩේ යන්නේ නෑ නේ අපි වගේ.


ඉතින් කඩේ යන්න පිටත් වෙලා ටිකක් දුර කාන්තාරේ දිගේ යද්දී  මට මතක්වුනා "ඈ.. වීසා කොපිය ගෙනාවේ නෑ නේද" කියලා. ඒ මතක් වෙලා මම මගේ යාලුවට කිව්වා "මචෝ, පොලිසියෙන් නිකම් හරි ආවා නම් සොරි තමා, වීසා කොපිය ගෙනත් නෑ බං "කියලා.  මේ රටේ නීතියේ හැටියට වීසා කොපිය හරි පතාකා එක හරි නැතුව පාරේ හිටගෙන හරි ඉන්නවා කියන්නේ කොයි මොහොතේ හරි පොලිසියෙන්ම ටොපි ලැබෙන වැඩක්. නීතිය දැනගෙන උනත් ඒ වෙලාවේ නිදිමතේ ම ඉඳල මමත් පුරුද්දට වගේ පර්ස් ඒකත් අරගෙන ඇවිත් මොකද ඉස්සර පතාකා එක තියෙන්නේ පර්ස් එක ඇතුලේ නේ.


මේ ටික කියලා ඉවර කරගන්න හම්බවුනේ නෑ එකපාරම "සලාම් අලෙයිකුම්" කියලා වාහනයක් නවත්තලා සලාම් දුන්නා. "හුටා!!!" ඒ අල්ෆසා පොලිසියෙන්. අල්ෆසා කියන්නේ කටාර් වල තියන බේරෙන්න අමාරුම පොලිසියක්. මේ නමේ තේරුම බය කරන්නෝ කියන එක. (The Scaries). ජීප් එකේම ඉඳගෙන පොලිස්කාරයෝ දෙන්නෙක් අපි දෙන්නාගෙන් ෆී පතාකා? කියලා ඇහුවා. ඒ කියන්නේ පතාකා තියනවා ද කියලා. මම කිව්වා මම බිස්නස් වීසා වලින් අද ආවේ, වීසා කොපිය විලා එකේ. ගිහින් ගෙනත් දෙන්නම් කියලා. (මේ විලා එකට පාර පනින දුර) මොන, එකපාරම වාහනෙන් බැහැපු පොලිස්කාරයෙක් අපි දෙන්නව වාහනේට දමාගත්තා. දමාගෙන දැන් ඉතින් යනවා. ඒ යන අතරේ අපි කිව්වා උන්ට කතාව. උන් අහන්නෙම නැතුව. ජීප් එකේ තව එකෙක් ඉන්නවා. ඒත් අයිඩී නැතුව ඉඳල.


මෙහෙම යනගමන් ජීප් එකට තව 3 දෙනෙක් නංගා ගත්තා. ඒත් අයි ඩී කාඩ් නැතුව ඉඳලා. ඒ අතරට කේරල ජාතිකයින් දෙදෙනෙක්, නේපාල ජාතිකයින් දෙදෙනෙක් ඇතුලත් උනා. පස්සේ මේ ජීප් එක හයාත් ප්ලාසා කියන ෂොපින් ක්ම්ප්ලෙක්ස් එක ලඟට ගිහින් නතර කළා. ඊට පස්සේ තවත් ජීප් එකක් ගෙන්නාගෙන අපි 6 දෙනා තුන්දෙනා බැගින් වෙන් කරලා පොලිසියට අරගෙන ගියා. පොලිසියේදී අපිව ටිකක් වෙලා එළියෙන් තියාගෙන හිටියා. ඔය අතරේ අපෙන් ප්‍රශ්න කළා ඇයි මේ අරගෙන ආවේ සහ හැඳුනුම්පත් කොහෙද කියලා. ඔතනදි මම ඒ පොලිස් නිලධාරියාට පැහැදිලි කළා මම ආවේ බිස්නස් වීසා වලින් බවත් ඇවිත් තවමත් පැය විසිහතරක් නැති බවත්. ඔහු මාව පසෙකට කැඳවා මගේ පාස්පෝට් අංකය ඔස්සේ පරික්ෂා කර මාව නිදොස් කර නිදහස් කල අතර මාව වෙනම රඳවා තිබ්බා. ඒත් ටිකකින් අපිව අත්අඩංගුවට ගත්තු නිලධාරියා ඇවිත් අපිව රිමාන්ඩ් කළා. වෙනම රඳවා හිටිය මමත් ඒ අතරටම ගෙනියන්න ඔහු කටයුතු කළා. දුරකථන ඇමතුමක් ගන්න ඉල්ලුවත් අපිට ඒ අවස්තාව ලබාදෙන්නත් ඔවුන් අකමැති උනා. කොහොම හරි අතේ මොබයිල් එකවත් නැතුව අපි දැන් හිරගත වෙලා.


හිර කූඩුවේ දී අපි නේපාලියා ගේ මොබයිල් එක ඉල්ලුවත් ඌ ඒක දෙන්න බෑ කිව්වා. ඒත් එතන කුඩු කේස් එකකට ගෙනාව ඉන්දියන් කාරයෙක් උගේ මොබයිල් එක දුන්නේ දෙවියෙක් වගේ. මොකද අපි අත්අඩංගුවට ගත්තු බව කවුරුත් දන්නේ නෑ. එතැනින් අපේ ආයතනයට කතා කරලා අපේ වීසා සහ පතාකා ගෙන්වා ගත්තා. එතනදිත් අපිට පැය 3 රැඳී ඉන්න උනේ පොලිසිය දුර නිසා නෙවෙයි. පොලිසිය අලුතෙන් ම හදා  විවෘත කර තුබූ නිසා ඒ ගැන කිසිවෙක් දැනගෙන නොසිටීම තමයි ප්‍රශ්නය වෙලා තිබුනේ. ඒත් තත්වය නරකම අතට යන්නට තිබුනේ පාන්දර 3 වෙනකොට කිසි කෙනෙක් අපිව බේරාගන්න ආවේ නැති නම් ඔවුන් අපිව හිරගෙදරට මාරු කර දින කීපයකින් නඩු ඇසීමට යවන්නට සුදානම් වූ නිසයි.


නොදන්නා විදෙස් රටක මේවගේ දෙයක් උනාම මොකක්ද වෙන්නේ කියලා කියන්නවත් නොදන්නා කෙනෙක්ට මොනතරම් පීඩනයක් ඇති වෙයිද? රටට පයගපු මුල්ම දවස උනා නම්?  ඔන්න අරාබියේ නීතිය. පහුගිය දින වල හඬ නැගුවා සවුදියේ කෙනෙකු බුදුන් වැන්දාට දඬුවම් කළා කියා. ඒත් මේ තමයි ඒ රටවල තත්වය. සල්ලි හොයන්න එන අය මේ ගැන දැනුවත් වී එනවා නම් ගොඩක් කරදර අඩු කරගන්න පුළුවනි. ඒ වගේම මතක තබාගන්න. ඔබ කටාරයට පය තැබූ මොහොතේ සිටම ඔබේ අනන්‍යතාව සහතික කරන්න පුළුවන් ලියවිල්ලක් රැගෙන යන්න. ඒ එක්කම ඔබේ වීසා හෝ හැඳුනුම්පත (කටාර් රාජ්‍යයෙන් නිකුත් කරන) ඔබ සතුව නැතිනම් පළමුව වහාම ඔබේ අනුග්‍රාහක ආයතනය දැනුවත් කරන්න.


මුලින් දැනුවත් වී පසුව හඬ නගමු.




බ්ලොග් සතිය වෙනුවෙන් ලියන ලද්දකි.
syndi.buzzradio.lk

Monday, July 9, 2012

දෙවැනි ලෝක යුද්ධය - හිට්ලර්ගේ පරාජය සහ ඊට හේතු.


දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක තෙවැන්නයි මේ. ජර්මානු අක්ෂයේ වූ සිදුවීම් වල සැඟවුණු කතා බහ එක්ක කලින් ලිපි වලින් අපි හිට්ලර්ගේ මරණය , ඔහු පසුපසින් සිටි අදිසි හස්තයන් වගේම ජර්මානුවන් අත තිබුණු එහෙත් නිසි ඵල නෙලාගන්නට නොහැකි වූ ආයුධ ගැන එහෙම කතා කළා. මේ තියෙන්නේ ඒ ගැන කතා කල ලිපි පෙළ.


1946 අගෝස්තු මාසේ 6 වැනිදා. දෙවැනි ලෝක යුද්ධය යුරෝපා මහාද්වීපයේ දී නිමා වී මාස කීපයකට පසු ඇමරිකානුවන් ඔවුන්ගේ රහස්‍ය අවිය ජපානයේ හිරෝෂිමා ආසන්නයේ දී ක්‍රියාත්මක කරනවා. ලෝකය මුල්ම වරට (දන්නා ඉතිහාසය තුල) න්‍යෂ්ටික අවියක සැබෑ ස්වරුපය මෙහිදී දකින්නේ ඇමරිකාව නොනිල ලෝක බලවතා කරමින්.

ඇත්තටම ඇමරිකාවද මේ න්‍යෂ්ටික ආයුධ මුලින්ම දෙවැනි ලෝක යුද්දේ පාවිච්චි කලේ? ඒ ප්‍රශ්නයට උත්තරේ "ඔව්" උනත් ඇමරිකානුවන්ට පෙර සිටම ජර්මානුවන් මේ ගැන උනන්දු වුනා. ඔබ දන්නවාද හිට්ලර් සතුවත් න්‍යෂ්ටික වැඩපිළිවලක් තිබු වග? ඔව්. නට්සීන් සතුව තිබුණු සැලසුම් වලට අනුව ඔවුන් ඒ අවිය 1946 අගෝස්තු මාසයේ දී පමණ ක්‍රියාකාරී තත්වයට ගන්න බලාපොරොත්තු වුනා. ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම සඵල වුවා නම් සහ ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය නිසි ලෙස තිබුනා නම් බොහෝ දුරට ඔවුන් අපි මින් පෙර ලිපියකින් කතා කල හෝර්ටන් වර්ගයේම  ජෙට් එන්ජින් හයකින් යුත් යානාවකින් (Horten H.XVIII) හෝ ME 264 යානාවකින් (Messerschmitt Me 264) මේ න්‍යෂ්ටික් බෝම්බය ඇමරිකාවට හෙලන්න ඉඩක් තිබුනා. ඒ නිව්යෝර්ක් නගරයට.

Messerschmitt Me 264 - Amerika Bomber යානාව


මේ කාරණා එක්කම එහෙනම් එන්න පිවිසෙන්න ඉතිහාසයේ වෙනස්වූ තැන් සොයා යන්න..

Amerika Bomber ව්‍යාපෘතිය හා ජර්මන් පරමාණුක ශක්ති ව්‍යාපෘතිය.

හිට්ලර් හට ඇමරිකාව සමගින් යුද්ධයේ මුල සිටම වුයේ පැහැදිලිවම පටලැවිල්ලක්. ඊට හේතුව වුයේ ඇමරිකාව යුද්ධයට සාභාගී වීම ම නොව ( ඇමරිකාව යුද්ධයට නිල ලෙසින්ම සම්බන්ධ වන්නේ 1941 දෙසැම්බර් මස 8 වැනි දිනය පර්ල් වරායේ ප්‍රහාරයට පසුයි.) බ්‍රිතාන්‍ය වෙත යුධ සැපයුම් ලබා දීම නිසා ඇතිවන සංග්‍රාම උපක්‍රමයක් ලෙස ඇමරිකාව අඩපණ කිරීමේ අවශ්‍යතාවයයි. මේ නිසා ඇමරිකාවට පහර දීමට හිට්ලර් 1938 සිටම පිඹුරුපත් සකසනවා. ඒ අනුව බිහිවූ ව්‍යාපෘතියක් වන්නේ මේ Amerika Bomber ව්‍යාපෘතියයි, මේ යටතේ ඇමරිකාවට පහර දීමට අවි සැලසුම් සහ ඒ අවි දියත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරනවා. මේ සලසුම් වලදී ඔවුන්ට අවශ්‍ය වන්නේ දිගු දුරක් යා හැකි බෝම්බ හෙලන යානාවක්. ඒ සමගාමිව තමයි නට්සින් සිය න්‍යෂ්ටික ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. ඒ මේ යානා ඔස්සේ ගෙනගොස් ඇමරිකාව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා යි.
 
ඉංග්‍රීසි බසින් යුරේනියම් සංගමය (Ureniam Club) ලෙස හඳුන්වන ලද ජර්මන් භාෂාවෙන් Uranprojekt ලෙසත් හඳුන්වන  1939 දී ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතිය බොහෝ කොටම න්‍යෂ්ටික ශක්ති උත්පාදනය උපදවන්නට කරන ව්‍යාපෘතියක් සේ මුලින්ම පෙනුනක් වුවත් එහි අභයන්තර අරමුණ වුයේ න්‍යෂ්ටික ශක්තිය යුද්ධයට් අවැසි ලෙස භාවිතා කරන ක්‍රමවේදයන් සොයා ගැනීමයි. මේ ව්‍යාපෘතිය 1946 වනතුරු එනම් යුද්ධය අවසාන වන තුරු තිබුණු අතර ඔවුන් යුරේනියම් බලගැන්වීම සිදු කරමින් පසු වුවා. එහෙත් විද්‍යාඥයින් ගේ හිඟයත් ඔවුන් වෙනත් යුධ කටයුතු වල දීමත් නිසා මේ ව්‍යාපෘතිය සිදු නොවුන බවට පිළිගත් මතය වුවත් මා නම් දකින්නේ ඊට වෙනස්ම මතයක්. ඒ ජර්මානු පර්යේෂණ ව්‍යුහය සහ කාර්මික ව්‍යුහය වෙනවෙනම තිබීම නිසා අන්තර් සන්නිවේදන කටයුතු වලදී වන පසුබෑම සහ එකිනෙක ව්‍යුහයන් කෙරේ වන ආකල්පමය වෙනස (උදා: විද්‍යාඥයින් කාර්මික කටයුතු කිරීමට නොපෙළඹීම නිසා සුළු කොටසක් වුවත් කාර්මිකයින් විසින්ම සිද්ධ කලයුතු වීම සහ එසේ කරන සුළු දේ වුව විද්‍යාඥයින්ට දැනුම ලබා දීමට කාර්මිකයින් අකමැති වීම) වැනි සංසිද්ධීන් නිසා ප්‍රමාද වූ බවයි. 


පිස්ටන් එන්ජින් ගුවන් යානා වල අග්‍ර ඵලය ලෙස මේ යානය හඳුන්වා දුන්නොත් මම හිතන්නේ ඒක වැරදි නැතිව ඇති. ලෝක යුද්ධයේ යෙදුනු මිත්‍ර පාර්ශවය සතු වූ මොස්කිටෝ යානා වලට වඩා වේගවත් එමෙන්ම සියලු මිත්‍ර පාර්ශවික යානා අභිබවන වේගයකින් පියාසර කල හැකි පිස්ටන් එන්ජින් සහිත මේ යානාවට තියෙන්නේ අපුරු පෙනුමක්. එන්ජින් දෙකකින් යුතුව නිමවා තිබෙන මේ යානාව එක එන්ජිමක් මගින් ඉදිරියට ඇදීමටත් අනිකෙන් යානය තල්ලු කිරීමටත් කියන මුලධර්ම දෙක මගින් ක්‍රියාත්මක වුනා. 

Donner Do 335 ගුවන් යානාවක්.

යුද්ධයේ අවසාන භාගයේ දී එලි දුටු මේ යානය සිය වේගය නිසාවෙන්ම යුද්ධයේදී තීරණාත්මක සාධකයක් වන්නට තිබූවක්. එහෙත් මිත්‍ර පාර්ශවික බෝම්බ හෙලීම නිසා කර්මාන්ත ශාලා අහිමි වීම, අමුද්‍රව්‍ය ප්‍රවාහනය ඇනහිටීම වගේ සාධක මතින් නිපදවාගත හැකිවූ යානා සංඛ්‍යාව 37 සේ සටහන් වුනා.



මේ තමයි යුගයේ හොඳම ගිනි අවි මොඩලය විදියට මම තෝරන අවිය. Maschinenpistole 44/ Sturmgewehr 44 නමින් හඳුන්වපු මේ මොඩලය තමයි පහත දැක්වෙන්නේ.
STG 44 ගිනි අවියක්.


දැකල පුරුදුයි නේද? ඔව් මේ අපි නිතර දකිනා T56 (Type 56) නමැති චීන ගිනි අවියේ මුත්තා. රුසියානුවන් මේ STG44 (මේ අවියේ නම අග ඇති අංකය නිෂ්පාදිත වසර පිළිබිඹු කරනවා) නම් වූ ගිනි අවිය දැක ඒ අනුසාරයෙන් නිපදවූ AK47හෙවත් ක්ලිෂ්නිකොව් තුවක්කුව තමයි ඒ T56 මුල් පුරුක වන්නේ.

AK 47 ගිනි අවියක්.

මේ ගිනි අවිය ඉතාම කාර්යක්ෂම ප්‍රහාරක අවියක් වුනා වගේම ඒ වන විට තිබුණු MP 40 ගිනි අවියේ කාර්යක්‍ෂම බවත් රයිෆලයක මෙන්වූ ඈතින් ඇති ඉලක්කයක් කරා වෙඩි තැබීමට වන හැකියාවත් එකසේ කැටි කරගෙන තිබුණා. ඒත් මේ අවියට අකමැති වූ ඉහලම පෙලේ ජ්ර්මානුවෙක් හිටියා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඇඩොල්ෆ් හිට්ලර්. ඔහු මේ අවියේ ස්වරුපයට කැමැත්තක් දැක්වුයේ නෑ. ඔහුගේ අවසාන තීරණය වුනේ මේ අවිය ඉවත් කරන්නයි. ඔහු විසින් දෙවරක්ම මේ අවියේ නිෂ්පාදනය නතර කලත් හිට්ලර් ගේ ජෙනරාල් වරුන් විසින්  මුලින් Sturmgewehr 43/44 ලෙස හැඳින්වූ මේ අවිය 1943 දී හා 1944 දී යුධ පෙරමුණ වෙත නිකුත් කරනවා. ඒ Maschinenpistole 43/44 නාමයෙන් (එනම් යාන්ත්‍රික පිස්තෝලයක් ලෙසින් අර්ථ දක්වමින්.) 1943 දී මේ අවි යොදාගෙන සටන් වැදුණු භට පිරිස් වල සාර්ථකත්වය නිසාම හිට්ලර් 1944 දී සිය තීරණය වෙනස් කරමින් අවිය අනුමත කරනවා.


දෙවැනි යුද්ධයේදී මම නම් පුද්ගලිකව දෙවැනි ලෝක යුද්ධ භුමියේ දකින හොඳම යුධ ටැංකිය වන්නේ මේ යුධ ටැංකියයි. එකල මේ ටැංකියේ නම සඳහන් කල විටදී පවා ප්‍රතිවාදීන් බිය වුයේ එය සතුවූ ප්‍රහාරක බලය සහ සන්නාහය නිසයි. 

Tiger I ටැංකියක් (ඇන්ටි මැග්නටික් ආලේපය සමගින්.)
 
1941 දී රුසියානු T34 ටැංකි වලට මුහුණ දීමට සාදන ලද මේ ටැංකියේ සැලසුම නම් 1937 දක්වා දිව යන්නක්. එසේම මිලිමීටර් 88 ගුවන් යානා නාශක තුවක්කුව (මුලින්ම මිලිමීටර් 88 තුවක්කු යෙදෙව්වේ ගුවන් යානා බිම දැමීමට වුවද අර්වින් රොමෙල් විසින් කාන්තාර සටන් වලදී මේ මි.මි. 88 තුවක්කුව භූමියට සමාන්තරව හරවා  ප්‍රහාර එල්ල කරන්න යොදා ගෙන විශාල සාර්ථකත්වයක් ලැබුවා.)  ප්‍රධාන අවිය කොටගෙන නිපදවූ මේ යුධ ටැංකියේ සුවිශේෂී භාවය වූයේ එය තනිවම යුධපිටියට යෙදවීමට හැකි වීමයි. එලෙස සාමාන්‍යයෙන් තනි ටැංකි යුධ පිටියේ භාවිතා නොකරන්නේ ඒවායේ ආරක්ෂාව ප්‍රධාන කරුණු කීපයක් නිසයි. නමුත් මේ ටැංකිය සතු වූ විශේෂිත හැකියාව ඒ තත්වයෙන් මේ ටැංකිය මුදවනු ලැබුවා.

ඉතා ඝනකම් ලෝහ තහඩු වලින් සාදන ලද ටැංකියක් වූ මෙහි ඉදිරිපස කොටසේ ලෝහ ඝනකම මිලිමීටර් 120 – 80 දක්වා වූ අතර දෙපස මිලිමීටර් 80 දක්වා ලෝහ ඝනත්වයක් තිබුනා. මේ ලෝහමය යුධ සන්නාහය ඇතැම් අවස්ථා වලදී තව දුරටත් ශක්තිමත් කරනු ලැබූයේ ඒ වටා යෙදු අතිරේක ආවරණ මගින්. ඒ ආවරණ මිලිමීටර් 60 දක්වා ඝනකම වූවා. එමෙන්ම මැෂින් තුවක්කු දෙකකින් සන්නද්ධ මේ රථයට ස්වයං ආරක්ෂාව සලස්වා ගැනීමට ද හැකිවුණා.

තනි ටැංකියක් සටනට පිවිසුන ද මේ ටැංකියේ ඇති විශිෂ්ඨ බව සටහන් කරන සාධක ද ඉතිහාසය පුරාවටම දකින්න ලැබුනා ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ දක්ෂතම ටැංකි කොමදොරුවකු වූ මයිකල් විට්මාන් (Michael Wittmann) 1944 ජුනි 13 වෙනි දින දී විලාස් බොකාජ් සටනේ දී  (Battle of Villers-Bocage) තනි ටැංකියක් යොදාගෙන බ්‍රිතාන්‍ය ක්‍රොම්වෙල් ටැංකි ඇතුළු වාහන 24 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කිරීමයි.

මෙවන් තත්වයක් යටතේ ඒ වන විට මිත්‍ර පාර්ශවයේ (රුසියානු හමුදා හැර) භාවිතා කල ෂර්මන් යුධ ටැංකි වලට ඉතාම දරුණු ප්‍රතිවාදියෙක් එක්වුණා. යුද්ධයේදී එක් ටයිගර් ටැංකියකට පහර දී අඩපණ කිරීමට අඩුම ගණනේ ෂර්මන් ටැංකි 5 ක ප්‍රමාණයක් හෝ ඇවසි වුනා. ඒත් එය සාර්ථක වූයේ ඉතා අඩු ප්‍රමාණ වලින්. ඒ ටයිගර් ටැංකියේ ශක්තිමත් යුධ සන්නාහ වලට අමතරින් වූ මිලිමීටර් 88 තුවක්කුවේ ප්‍රහාරක ප්‍රදේශය විශාල වීම (කිලෝමීටර් 1.2 සිට කිලෝමීටර් 4 දක්වා ප්‍රමාණයකට පහර දීමට හැකි වීම) නිසා මෙන්ම එහිදී භාවිතා කල උණ්ඩය ජර්මන් ටැංකි හා සංසන්දනය කරන විට ඉතා තුනී යුධ සන්නාහ තිබු ෂර්මන් ටැංකි වලට විශාල අලාභ ගෙනදීම නිසා එක පහරකින් වුව විනාශ කල හැකි වීම නිසයි.

එනමුත් යුද්ධයේදී මේ ටැංකි නිපදවාගන්නට හැකි වූයේ 1347 -1350 අතර ප්‍රමාණයක් වීමත් (ඉහල නිෂ්පාදන පිරිවැය නිසාත් සම්පත් අවම වීම නිසාත්) ප්‍රවාහනයේ වූ දුෂ්කරතාවනුත් වගේම ඉන්ධන හිඟය මත අවසාන කාලයේ අතහරින ලද යුධ ටැංකිත් ජ්ර්මානුවන්ගේ විශිෂ්ඨ නිර්මාණයක් ඵල රහිත කළා. එසේම මේ ටැංකි වල නඩත්තුව ද වියදම් අධික කටයුත්තක් වූවා.

එහෙනම් අපි බලමු මෙතෙක් ආ මග දිගේ අපිට මතු වූ පැනය ගැන, “ඉතිං මේ වගේ තාක්ෂණයක් තිබුණ ජර්මනිය යුද්ධයෙන් පරාජය වුයේ ඇයි”

නාවික ශක්තියේ වූ වෙනස්කම් 

ජර්මනිය සංග්‍රාම උපක්‍රමිකව අත්ලාන්තික් සාගරයේ බලය තහවුරු කරගැනීමට මානා බැලුවේ 1930 දශකයේ අග භාගයේ සිටමයි. එයින් ඔවුන්ට එංගලන්තය සහ යුරෝපයේ පාලනය පහසුවෙන් ගෙනයාමට හැකිවෙතැයි ඔවුන් සිතුවා. මේ නිසා ඔවුන්ට අත්ලාන්තික් සයුරේ නාවික ශක්තිය ප්‍රධානකොටම අවැසි වුවා. එහිදී හිට්ලර්ගේ නාවික හමුදා ප්‍රධානින් හිට්ලර් හට යෝජනා කලේ විශාල නැව් තැනිය යුතු බවයි. එහෙත් හිට්ලර් ගේ යු බෝට් අංගන ප්‍රධානියා වූ Karl Dönitz කල ඉල්ලීම වුයේ යු බෝට් 300 ක බලඝනයකින් ඔහුව ශක්තිමත් කරන ලෙසයි. 

1939 දී යුද්ධය ඇවිලෙද්දී ඔහු සතුවූ යුබෝට්‌ ගණන 79 පමණයි. එයිනුත් 57 කෙටිදුර සහ පුහුණු සබ්මැරීන වූ අතර එයින් වෙරළාසන්න ප්‍රහාර පමණක් එල්ලකළ හැකි වුවා. ඉතින් යුද්ධය ආරම්භයේදීම සතුරා අඩපණ කිරීමට ඔහුට අසීරු වුනත් ඔහු තමන් සතුවූ යුබෝට්‌ උපයෝගී කරගෙන කණ්ඩායම් ලෙස (Wolfpack) පහර දී විශාල වෙළඳ නැව් ප්‍රමාණයක් මුහුදුබත් කලේ සෑහෙන සාර්ථකත්වයක් පෙන්වමින්. 

කෙසේ වුවද මේ මතභේදාත්මක සැලසුම යුධ වියදම් අතින් ගත්තද වාසිසහගත එකක් වූයේ එක් නැවකට යන වියදමෙන් යුබෝට්‌ 4 පමණ සාදා ගතහැකි වූ නිසයි. එහෙත් ඉහල නිලධාරින් වෙතින් සැලසුමට නිසි අවධානයක් යොමු නොවීම නිසා යුද්ධයේ මුල්ම කාලයේ විශාල ලෙස ප්‍රතිවාදීන් මර්ධනය කිරීමට ජර්මනියට නොහැකි වුවා. යුද්ධයේ මැද කොටසේදී එනම් 1943 පමණ ජර්මනිය සතුව යු බෝට් සබ්මැරීන 400 පමණ තිබුණත්, අත්ලාන්තික් සාගරයේ දරුණු සටන් ඇවිලී ගියත්, ඒ සටන් වලදී ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඩිස්ට්‍රොයර් යාත්‍රා මගින් වන ප්‍රති ප්‍රහාර නිසා මෙන්ම යුද්ධයේ අවසාන කොටසේ එනිග්මා කේත සතුරන් අතට පත්වීම නිසා ජර්මනිය විශාල පරාජයන් ලැබුවා.

බ්‍රිතාන්‍ය සමඟින් ඇතිවූ ගැටුම.

ජර්මානුවන්ට බ්‍රිතාන්‍ය හමුදාව මුල්වරට මුණගැසෙන්නේ 1940 දී ප්‍රංශ ආක්‍රමණය කරන විටදීයි. එහිදී 338,000 පමණ වන මිත්‍ර පාර්ශවයේ  සෙබළුන් සංඛ්‍යාවක් 1940 මැයි මස දී ප්‍රංශයේ ඩන්ක්‍රීක් හිදී සිදුවූ සටනේ දී ජර්මානුවන් වෙතින් පලා යනවා. එතැන බ්‍රිතාන්‍ය හමුදාවේ 215,000 වූ සෙබල පිරිසකට සහ 123000 වූ ප්‍රංශ සෙබල පිරිසකට අයත් සොල්දාදුවන් සිටින අතර එහි වන සංග්‍රාමික වටිනාකම ඉතා ඉහලයි. ඒත් හිට්ලර් ඔවුන් හට නිරුපද්‍රිතව බ්‍රිතාන්‍ය නැව් 11 මගින් පලා යාමට ඉඩ හරිනවා. ඒ ඔහුගේ එවකට සිටි ඉහලම උපදේශකයෙක් වූ හර්මන් ගෝරිං ගේ උපදෙස් මත. හිට්ලර් සිය සේනාංක සහ භට පිරිස් කොටුවී සිටි මිත්‍ර පාර්ශවික හමුදා වෙතින් ඉවත් කිරීම යුද්ධයේ එක හැරවුමක් සටහන් කළා. එසේ කරන ලද්දේ ඩන්ක්‍රීක් හි පොළව සන්නද්ධ රථ සඳහා උචින නොවන බව ප්‍රකාශ කරමින්.

හර්මන් ගෝරිං හට උවමනා වූයේ ජර්මානු Luftwaffe ගුවන් හමුදාව මගින් මේ කාර්යය ඉටු කරගැනීමට වුවත් එය කල නොහැකි වනවා. නමුත් එහිදී සන්නද්ධ රථ, යුබෝට්,‌ නැව් සහ ගොඩබිමින් සටන් වදින භට පිරිස් යොදවා මේ පිරිස කොටු කර ගත්තා නම් එයින් බ්‍රිතාන්‍ය යුධ ශක්තිය අඩපණ වනවා පමණක් නොව ඔවුනගේ එඩි බල ද බිඳී යාහැකිව තිබුනා. මීට‍ අමතරව තවත් 220,000 වූ මිත්‍ර පාර්ශවික සෙබල පිරිසක් ප්‍රංශ වරායන් හි සිට ද බ්‍රිතාන්‍ය විසින් නිදහස් කරගන්නවා. එයින් සිදුවන්නේ බ්‍රිතාන්‍ය යුධ ශක්තියට එකවර පහරක් එල්ල කර හානි කිරීමට වූ අවස්තාව නැති වීමයි.

බ්‍රිතාන්‍ය සතුව 1940 අප්‍රේල් අග වනවිට සිටියේ 394,615 ක පුහුණු භට පිරිසක් පමණයි. ඔවුන් සතු වූ Home Guard නම් ඒකකයේ නුපුහුණු ස්වෙච්ජා සෙබළුන් 250,000 ට අමතරින් සිටි ප්‍රමාණය තමයි ඒ. ඉතින් එවන් වූ සංඛ්‍යා ඇතිව තිබුණු විට ඔබට තේරෙනවා නේද තත්වයේ බරපතල කම?

ඒ වගේම බ්‍රිතාන්‍ය සතු වූ වෙරළබඩ රේඩාර් පද්ධතියට අභියෝග කිරීමට‍ ජර්මානු ගුවන් හමුදාව වූ Luftwaffe අපොහොසත් වීමත් ජර්මානු පරාජයට මුල්වෙන තවත් හේතුවක් වනවා. ඒ නිසා  එවකට පැවති තත්වය යටතේ එංගලන්තයට සුවසේ සිය කර්තව්‍යය කරගෙන යාමට හැකි වීමත් V2 රොකට් මගින් එල්ලකළ බලපෑම ඉතා කුඩා වීමත් නිසා බ්‍රිතාන්‍යට සිය යුධ නාවික සහ ගුවන් හමුදා ශක්තිමත් කල හැකි වනවා. ජර්මානුවන් පීනමුන්ඩේ හි සිට v2 රොකට් ගැන උනන්දු වෙමින් සිටීම අවසානයේ ඉතා කුඩා යානා සංඛ්‍යාවක් තිබු බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට ශක්තිමත් වීමට ඉඩක් වනවා වගේම බ්‍රිතාන්‍යයේ සිට ආක්‍රමණ මෙහෙයවීමට ද හැකියාවක් ලැබෙනවා.

1942 සෝවියට් ආක්‍රමණය.

ඔපරේෂන් බාබරෝසා නමින් එලි දකින ජර්මානුවන් ගේ මේ සෝවියට් ආක්‍රමණය එතෙක් මෙතෙක් හමුදාවක් සිදු කල විශාලතම ආක්‍රමණය සේ සටහන් වෙනවා. ඉතාම අමනෝඥ වූ ක්‍රියාවලියක් බවට පත්වන මේ මෙහෙයුම් එසේ වන්නේ කාරණා කීපයකිනි. එනම්

1.      රුසියානු ජනතා සහය නොලැබීම නිසා ප්‍රතිරෝධයක් ඇති වීම
2.  ජපාන හමුදා මගින් රුසියාවේ නැගෙනහිර කෙළවර ආක්‍රමණය කරවා යුධපිටිය තුනී කරගත නොහැකි වීම
3.      නිසි ඉලක්කගත සැලසුමක් නොවීම

යන කාරණා නිසා. අපි ඒවා පිළිවලින් ගෙන විග්‍රහ කර බලමු,

  •  රුසියානු ජනතා සහය නොලැබීම
ජෝසෆ් ස්ටාලින් ගේ යකඩ සපත්තුවට මිරිකී සිටි රුසියානුවන්ට හිට්ලර්ගේ ආක්‍රමණ සිසිලස ගෙන දීමක් වූයේ ඉතාමත් කෙටි දින ගණනකට පමණයි. ඔවුන් හිට්ලර් හට කොන්දේසි විරහිතව සහාය දුන්නත් ඉතා කෙටි කලක දී වටහා ගන්නේ හිට්ලර් යනු ද ස්ටාලින් තරම්ම උමතු ආඥාදායකයෙක් බවයි. එතැනදී ඔවුන් සිය ජාතිකාභිමානය පෙරදැරි කරගෙන රුසියානු රතු හමුදාවේ සටන් වැදීමට එක්වනවා. ඇත්තෙන්ම හිට්ලර් ඔහුගේ මර්ධනකාරී ක්‍රියාවලිය යුද්ධයේ දිනුම තෙක් පසු කළානම් ඔහුට ඉතා විශිෂ්ඨ ජයක් ලැබෙන්නට ඉඩ තිබුණා. එහෙත් රුසියානු ජාතින් බලාපොරොත්තු නොවූ මර්ධනය ඔවුන් ජර්මානුවන් සතුරන් කරගන්නා තෙක්ම පැවතුනා.
  • ජපාන හමුදා මගින් නැගෙනහිර ආක්‍රමණය කරවීම.
එකවර යුධ පෙරමුණු දෙකක් සඳහා රුසියාව යොමු කිරීම මගින් නට්සීන් හට තමන්ට එල්ල වන පීඩනය අවම කරගැනීමට හැකියාවක් තිබුණා. එමෙන්ම රුසියාවේ පුහුණු සෙබළුන් සහ අතිරේක භට පිරිස් අවම කිරීමටද ඔවුන් මහාද්වීපය පුරාම කුඩා කුඩා යුධ පෙරමුණු වල තුනී වන ලෙස පැතිරවීම සිදු කිරීමටත් එයි රුසියානුවන් පීඩනයට පත් කිරීමටත් ඔවුන්ට එයින් හැකියාවක් තිබුණා. එහෙත් ඒ සම්බන්ධව නිසි උත්සාහයක් නොගැනීම නිසා මේ කාර්යය වඩා අපහසු තත්වයට පත්වුයේ පසුකාලිනවයි. ජපානය නොසිතු ඉලක්කයක් ලෙස පර්ල් වරායට පහර දීමත් සමගින් යුද්ධයට ඇමරිකාව සම්බන්ධ වීමත් මේ හරහා සිද්ධ වුනා.
  •  ඉලක්ක ගත නිසි සැලසුමක් නොවීම.
නිසි ලෙස ශීත කාලයට සුදානම් නොවූ භට හා උපාංග වලින් සමන්විත හමුදාවක් රුසියාවේ ආක්‍රමණයට යෙදවීමත් ඔවුන් හට නිසි ඉලක්කයක් ලබා නොදීමත් නිසා හිට්ලර් හට ජීවිත හානි පමණක් නොව භුමියෙන්ද අවසානයේ තම ලෙයින් ද [?] වන්දි ගෙවීමට සිද්ධ වූයේ රුසියානු ප්‍රතිප්‍රහාර දරුණු බැවිනි.

ඇත්තෙන්ම එහි වුයේ ප්‍රති ප්‍රහාර වල දරුණු බවට වඩා රුසියානු ආක්ටික් ශීත කාලය සඳහා ජර්මානු භට පිරිස් සහ උපාංග සුදානම් නොවීම නිසා සැපයුම් ඇනහිටීම/ ප්‍රමාද වීම, ඉන්ධන සහ උපකරණ ශීතලේ දී මිදීමට ලක්වීම නිසා අඩපන වීම වැනි ප්‍රායෝගික ගැටළු මගින් යුධ පිටියේ ආහාර වල සිට පතුරොම්, ඉන්ධන ඇතුළු සියලු දෑ හිඟ වීමයි. එයට වක්‍රාකාරව බලපෑ හේතුව වුයේ ජර්මානු ආක්‍රමණය විවිධ දිශා වලට යොමු වීම නිසා පුළුල්ව පැතිරුණු යුධ පිටියක් නිර්මාණය වීමත් එයට සැපයුම් සිදු කිරීමට වූ ප්‍රායෝගික අපහසුවත් නිසයි. භට පිරිස් ස්ටාලින්ග්‍රඩ් දෙසට ආක්‍රමණයේ මුල සිටම මෙහෙයවා එය අත්පත් කරගත්තා නම් බොහෝවිට ඔවුන්ට දුම්රිය මාර්ග ආශ්‍රිතව සැපයුම් මාර්ග පවත්වාගැනීමටත් ශක්තිමත් පදනමකින් රුසියානු ප්‍රතිප්‍රහාර මර්ධනය කිරීමටත් හැකියාවක් තිබුණා. ඒ සමගින්ම පීඩනයට පත්ව සිටි රුසියානු ජනතාව දිනාගැනීමට නිසි සැලසුමක් තිබුණා නම් යුද්ධයේ රුසියානු ආක්‍රමණය මීට වඩා වෙනස්ම මුහුණුවරක් ගන්න තිබු එකක්.

ගුවන් ආක්‍රමණ වලක්වා නොගැනීම

හිට්ලර් 1944 සිට ජර්මනියට මිත්‍ර පාර්ශවයෙන් එල්ලවන ගුවන් ප්‍රහාර නවතාගැනීමට අපොහොසත් වීම ඉතාම භයානක ප්‍රතිපල ගෙන දුන්නා. ඒ සඳහා හිට්ලර් සිය ගුවන් හමුදාව ශක්තිමත් කල යුතු වුවත් ඔහුගේ උනන්දුව V2 රොකට් ව්‍යාපෘතියට යොමු වීම ඔහුට අවැසි ප්‍රහාරක යානා නිපදවීම අඩු වීමට තවත් එක හේතුවක්. එමෙන්ම ඔහු විසින් අපි ඉහත ලිපි වලින් කතා කළා වගේ නිවැරදි තීරණ ගෙන නිවැරදි යානා/උපාංග තෝරා ගත්තානම් යුද්ධයේ හැසිරීම තීරණාත්මක වීමට බොහෝ දුරට ඉඩ තිබුනා.

මේ හේතු නිසා යුධ සැපයුම් අඩපණ වුනා පමණක් නොව කර්මාන්ත ඇතුළු දේ ද  අවසානයේ ජර්මානු ආක්‍රමණයේදී ද මිත්‍ර පාර්ශවයට ජර්මනිය මැදින් ඉතා ඉක්මන් ගමනක් ලබා දීමට ද අවස්ථාව උදා උනා. ජර්මානු අභිමානය බින්දුවටම බැස යන්නටද බර්ලින් නගරය බිමටම සමතලා වීමටද මේ තීන්දු තීරණ උර දුන්නා 

කෙසේ හෝ හිට්ලර් අවසානයේ පරාජය ලබන්නේ පස්දෙනෙකු ගෙන් එක අයෙකු සතුව රයිෆලයක් තිබුණු උණ්ඩ 100 පස්දෙනෙකු අතර බෙදුණු හමුදාවකින් වීම අතිශයින් දෛවෝපගත සිදුවීමක් වනවා.

---- බොහෝ දෙනා බලාපොරොත්තු වූ මේ ලිපිය ප්‍රමාද වීම ගැන මගේ බලවත් කණගාටුව. ----

ක්සැන්ඩරගේ කොළම ලියන්න අරං පසුගිය 7 වෙනිදා වෙත්දී වසරක් පිරුණා. ඒ වසර  පුරා ලිපි 56 ඔස්සේ රැඳී සිට ලිවීමට දිරි දුන් ඔබ සැමට ස්තුතියි.


මේ පොස්ටුව බස් රේඩියෝවේ බ්ලොග් සතිය නියෝජනය කරයි.
syndi.buzzradio.lk