Saturday, January 24, 2015

ජායාරුපකරණය - 5 :: කොහොමද හොඳ පින්තූර ගන්නේ?

දැන් ඉතිං සෑහෙන දවසක් වුණා නේද මම ෆොටෝග්‍රැෆි ගැන කතා කරන්න අරගෙන. කී දෙනෙක් කැමරා එහෙම අරගෙන ඉන්නවද?? ඈ.. කවුරුත්ම නොගත්තු කෙනෙක් නැද්ද?? අන්න හොඳයි.. එහෙනං අද බලමු කොහොමද හරියටම ෆොටෝ එකක් ගන්නේ, මොනවාද මුලිකාංග වන්නේ කියල.

ඇතැම් ජායාරුප දැක්කම අපේ නෙත් පිනා යනවා නේද? ඇතැම් ඒවා ඇත්තෙන්ම සේයාරුවක් විතරක් වෙනවා නේද? මේ වෙනස වෙන්නේ කොහොමද? අන්න ඒ ගැන ටිකක් කතා කරන්න තමා මම අද හදන්නේ. සේයාරුවක් හොඳ එකක් වන්නට බලපාන්නේ මිනිසාගේ ඇස කියන දේ කොහොමද පිනවන්නේ කියන කාරණය. එතැනදී වර්ණ හැඩතල සහ රූප කියන දේ ප්‍රධාන වෙනවා.

මුලින්ම, මානව රූප සහ සත්ව රූප ගැන බලමු. මානව සහ සත්ව රූප කියන දේ වෙත මිනිස් ඇස ඉතා ඉක්මනින්ම ඇදිල යනවා. ඒ කියන්නේ මිනිස් ඇස හරිම සංවේදී මේ සේයාරූ වලට. එතැනදී මානව රූපයක් හෝ සත්ව රූපයක් ගත්තම අපි පුළුවන් හැමවෙලාවකම (බොහෝවිටම සමීප රූප වලදී.) ඒ රුපයේ ඇස්වෙත අපේ ෆෝකස් එක එහෙම නැතිනම් අපේ අවධානය යොමුවෙන විදියට ගන්න ඕනේ. එතැනදී අපි ඒ ඇස්වල ඇති ශාප්නස් එහෙමත් නැතිනම් තීව්ර බව ගැන ගොඩක් අවධානය යොමු කරන්න ඕනේ. ඇතැම් වෘත්තිමය ශිල්පීන් ඇස පසු සැකසුම් මගින් තීව්ර බව වෙනස් කරනවා වගේම වර්ණ පවා එකතු කරනවා මේ ඇසේ තීව්ර බව ලබාගන්න.

දෙවනුව භුමි දර්ශන වලදී අපි මොකද කරන්න ඕනේ? අපේ ඇස්දෙක රුපය වෙත හෝ අපිට අවශ්‍ය දිසාව වෙත රැගෙන යන්න නම් අපි භාවිතා කරන්න ඕනේ දේවල් තියනවා. ඒවා අතුරින් රේඛා සහ හැඩතල කියන්නේ ඉතාම වටිනා දේවල්. රේඛාවන් විදියට අපිට ගන්න පුළුවන් බොහෝ දේ ස්වභාවිකව හෝ මිනිසා විසින් නිර්මිත දේ තුල තියනවා. උදාහරණයක් ලෙස නුවර දළදා මාලිගාවේ වලාකුළු බැම්ම එක්තරා ආකාරයක රේඛාවක්. මේ රේඛාව දිගේ ගමන්ගන්නා ඇස අපිට අවශ්‍ය ස්ථානයක ඇති දෙයක් වෙත යොමු කරන්න පුළුවන්.උදාහරණයකට මාර්ගයක් ගන්න. මාර්ගය කෙළවර වන ස්ථානයේ ඇති ගොඩනැගිල්ල අපි සේයාරුවට නගන්නේ නම් අපිට මාර්ගය සමගින් එය කරන්න පුළුවන්. එවිට මාර්ගය රේඛාවක් වී ඇස වෙත ගොඩනැගිල්ලට පාර කියනවා. මේ දේට අපි ජායාරුපකරණයේදී ලීඩ් ලයින් එකක් එහෙමත් නැතිනම් ඇස ගෙනයන මාර්ගයක් විදියට හඳුන්වනවා. හැඩතල කියන්නෙත් ඒ වගේම දෙයක්. හැඩතල වලදී ඇස බොහෝවිටම සමමිතිය කියන දේ ඔස්සේ ගමන් කරනවා. මේ ඇසුරෙන් තමයි ඔරලෝසු වල 10:10 ලෙස වෙලාව සටහන් කර සේයාරූ තියෙන්නේ. එතැනදී අපිට ඔරලෝසු මුහුණතේ සමමිතික හැඩතල මගින් බෝහොකොටම නිෂ්පාදනයේ වර්ගය ඔසවා පෙන්වනවා.

දැන් බලමු තවත් දෙයක් ගැන. ඒ තමයි පසුබිම සහ පෙර බිම කියන සංකල්ප දෙක. අපිට සේයාරුවට නගන්න අවශ්‍ය දේ අපි ගත්තොත් ඒ හැම එකකම පසු හා පෙර බිමක් දකින්නට තියනවා. මානව රුපයක් ගත්තොත් එතැනදී පසුබිම විදියට ඒ පුද්ගලයා ඉන්න භුමිය දකින්න පුළුවන්. පෙර බිම විදියට පුද්ගලයා හෝ වෙනත් වස්තුවක් හෝ තිබෙන්න පුළුවන්. මේ සංකල්පයේ දී අපි හැමවිටම වාගේ පසුබිමේ සහ පෙරබිමේ දී ඇති වස්තුන් වෙත අවධානය යොමුවන විදිය ගැන සලකා බලනවා. උදාහරණයකට මානව රුපයක් මල් වත්තකදී ගන්නේ ය සිතන්න. මල් ගොමුවක් පසුපස සිටිනා කෙනෙක් සහ ඒ පසුපසින් වන ගස් වැනි දෑ ඔබට සිතන්න මම යෝජනා කරනවා. දැන් ඔබ ගන්නා සේයාරුවේ මල් වෙත ඔබේ කැමරාවේ තීව්‍රතාව යොමු කොට පුද්ගලයා මදක් හෝ බොඳවූ ස්වභාවයෙන් යුතුවත් පසුබිම තවත් බොඳ වූ ස්වභාවයෙනුත් දිස්වන්නේ නම් ඔබ ඒ සේයාරුව ගැන නැවත සිතනවා නේද?

වර්ණ. වර්ණ සහ හැඩතල යනු ජායාරුප වලදී නිතරම දකින්න තියන දෙයක්. එතැනදී වර්ණයන් තද හෝ වඩා තීව්ර වන විට දී ඇස  හැඩතල වලින් වර්ණ වෙත ද වර්ණයක් වඩා ලා පැහැයන් හෝ අඩු වශයෙන් තීව්ර වන විට දී වඩාත් ඇස වර්ණ වලින් හැඩතල වෙත ද ගමන් ගනු ලබයි.

ඉතිං මේ කතා කලේ සේයාරුවක් තැනෙන මුලිකාංග ටිකක් ගැන. පුංචි ඇඩ් එකකුත් දාන්නං කෝ මේ ගමන් ම. ඔන්න මගේ ම සේයාරූ පිටුවක් තියනවා මුණුපොතේ. කැමති කෙනෙක් ඉන්නවා නං එතනට ඇවිත් මගේ එක්ක එකතුවෙලා සේයාරූ රසවිඳින්න පුළුවනි. එහෙනම් නැවත හමුවෙමු. එතකං ඔබට මෙන්න දෝහා නගරයෙන් මතක සටහනක්.



Sleeping in Peace - Doha from the Parcel one - The Pearl.