Wednesday, August 24, 2016

රැකියා නොමැති ඉන්දීය තොරතුරු තාක්ෂණ වෙළඳපල.

රස්සාවක් සොයා.. බොහෝවිටම මේ පුද්ගලයින් දෙතුන්දෙනෙකු සඳහා වන හිඟයක් විය හැක.

න්දියානු තොරතුරු තාක්ෂණ වෙළඳපල තුල මෘදුකාංග ඉන්ජිනේරුවෙකුට නම් රැකියාවක් සෙවීම අතිශය අපහසු සහ දුෂ්කර කාර්යයක් ලෙස මා සඳහන් කලොත් ඔබ ඇතැම්විට මවිත වනු ඇත. එය එසේ ය.  ඉන්දියානු විශ්ව විද්‍යාල සහ තාක්ෂණ විද්‍යාල පද්ධතිය මගින් වසරකට බිහි කරන උපාධිධාරීන් ගණන මිලියන 1.5ක් වන අතර ඔවුන්ගේ බහුතරය තාක්ෂණ උපාධිධාරීන් වේ. ඒ අතුරෙන් රැකියා සඳහා වසරකට සුදුසුකම් ලබනුයේ මිලියන භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් බව ඉන්දියානු සංඛ්‍යාලේඛන පෙන්වා දේ.වසර 2015 වන විට වූ 3345ක් පමණ ඉන්දියානු තාක්ෂණ ආයතන (විශ්ව විද්‍යාල සහ අනුබද්ධ තාක්ෂණ විදුහල්) වලින් බහුතරයක් වූ ආයතන 700 කට එහා පිහිටා තිබුනේ අන්ද්‍රා ප්‍රදේශය තුලය.

ඉන්දියානු බහුතරය අද දින රැකියා වෙළඳපල තුල අතරමං වී සිටින අතර ඔවුන්ට තිබු පහසුම පිහිට වුයේ ඉන්දීය බහුතරයක් වෙසෙන මැදපෙරදිග කලාපයයි. බහුතර ඉන්දියානුවන් පෙර දී ඇමරිකානු සිහිනයේ ජිවත් වූ නමුදු ඇමරිකාවේ 2008 ආර්ථික අවපාතයත් සමගින් එම සිලිකන් වැලි සිහිනය බොඳවී යාම ඇරඹිණි. මැදපෙරදිග ද විසා කෝටා අහිමිවීමත්  (රටක් විසින් වෙනත් රටක පුරවැසියන් හට පැමිණ නවාතැන් ගැනීමට දී ඇති ප්‍රමාණය) සමග ඔවුන්ගේ බහුතරයට දැන් රැකියා විරහිතව සිටීමට හෝ ඉතා සුළු වැටුප් සඳහා රැකියා කිරීමට සිදුව ඇත.

මේ ගැටළුව තවත් ඔඩු දුවන්නේ ඉන්දීය තොරතුරු තාක්ෂණ ශිල්පින් රජයට විශාල බරක් වීමත් ඔවුන් ගේ ප්‍රතිශතය එන්න එන්නම වැඩි වීමත් නිසා මධ්‍යම ආණ්ඩු වෙත එල්ල වන පීඩනය වැඩිවීමත් නිසාවෙනි. රැකියා උත්පාදනය කිරීම සඳහා ඉන්දියාව සිදු කල විශාලතම කාර්ය භාරය වූ කෝල් සෙන්ටර් (විදේශ ව්‍යාපාර වල දුරකථන ඇමතුම් පිළිතුරු දීමේ සිට පාරිභෝගික සේවා ඇමතුම් කටයුතු දක්වා සිදු කිරීම). තම රට තුලට විශාල ලෙස ගෙන්වා ගැනීමේ සිට විශාල ලෝ ප්‍රකට සමාගම් සඳහා ඉතා ඉහල පහසුකම් සහිතව භුමිය බදු දීම (මයික්‍රොසොෆ්ට්, ඩෙල් වැනි ආයතන) දැක්විය හැකි වුවද පවත්නා තත්වය සමනය කිරීමට එය ප්‍රමාණවත් නොවීම ඉතාම ඛේදනීය තත්වයක් සේ පෙනේ.

ඉන්දියානු කෝල් සෙන්ටර් ව්‍යාපාර.
මෙම තත්වය තුල ලංකාව ඉන්දියාවේ ඉතාම ආසන්න පහසුතම ගොදුර බවට පත්වන්නේ අපේ රටේ සීග්‍ර තොරතුරු තාක්ෂණ වර්ධනය සමගින් ඉහල වටුප්තල වෙත අතවනනා රැකියා විවර වීම සහ ඉතාම උගත්, එමෙන්ම බුද්ධිමත් තොරතුරු තාක්ෂණ ශිල්පින් අප රටේ බිහිවීම තුලින් බොහෝ ලෝක ව්‍යාප්ත ආයතන ලංකාවේ තම ආයතන ස්ථාපිත කරමින් ඉන්දීය රැකියා වෙළඳපල අකුලාගෙන අප රටට පැමිණීම මත වන තත්වයේ ප්‍රතිපල ලෙසය. එවන් වූ තත්වයක් මත ඉන්දීය රජය රාජ්‍ය මැදිහත්වීමක් සිද්ධ කරමින් එක්ටා වැනි ගිවිසුම් හරහා මේ පිඹුරුපත් සකසන්නේ ඔවුන්ගේ ශ්‍රමිකයන් හට ගිලිහෙන වෙළඳපල බලහත්කාරයෙන් හෝ රඳවා තබා ගැනීමට ය.

ඉහත ඔබට විස්තර කල ලෙස මේ ගිවිසුම් සාර්ථක වුව හොත් මිලියන ගණනක විරකියාවකින් පෙලෙන ඉන්දීය තොරතුරු තාක්ෂණ ශිල්පින් නුදුරේම ලංකාවේ දී ඉතා අඩු මුදලට ඔවුන්ගේ සේවා සැපයීම වෙනුවෙන් පැමිණෙනු ඇත. ව්‍යාපාරික දෘෂ්ඨි කෝණයෙන් බලන විට එය මහත් වූ ලාභ සඳහා අත වනන කාරණයක් නිසා බොහෝ ආයතන ඔවුන්ගේ සේවා සපයා ගනු ඇත. එමෙන් ම ලාංකීය විදේශ විනිමය ඉතාම මහත් සේ විදේශයකට ඇදී යාම වේගයෙන් සිද්ධ වනු ඇත.

පේනවා නේ තත්වේ? සෝචනීයයි..
එමෙන්ම ලාංකීය තොරතුරැ තාක්ෂණ ශිල්පින් හට මේ ගැටලුවේ දී නිසි පිළියම් නොලැබී යාම නිසා ශ්‍රම අතිරික්තයක් කෘතිමව ඇතිවන අතර ඔවුන්ගේ වැටුප් ලෙස ලංකාවට ලැබූ යම් මුදලක් වේ ද, එය නොලැබී යාම තුලින් ලාංකීය ආර්ථිකය ද කෘතීම තත්වයක් යටතේ අඩපණ වනු ඇත. අපේ රටේ දැනටමත් ශ්‍රම අතිරික්තයක් ඇති බව මැදපෙරදිග වැනි රටවල් වෙත තොරතුරු තාක්ෂණ ශිල්පින්, ගණකාධිකාරීවරු, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් ගේ පිවිසීම වැඩිවීම මත හඳුනාගත හැක. එයට හේතුන් වන්නේ එම වෘත්තීන් වෙත නිසි පරිදි ගෙවීම් නොලැබීම සහ අඩු වැටුප් මත වැඩ කිරීමට සිදුවීම නිසාවෙනි. බොහෝ විටම අඩු වැටුප් ලැබෙනුයේ ඉල්ලුමට වඩා සැපයුම ඇති අවස්ථාවල ය.

එසේ නම් ඉන්දීය ප්‍රවේශය මත සිද්ධ වන තත්වය කෙබඳු වේ ද?

19 comments:

  1. දැනටමත් ඔන්න ටික ටික වැඩේ වෙන්න පටන් අරං තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඔව්. දැනටමත් වැඩේ වෙන බව නම් ආරංචියි.

      Delete
  2. අප්පොච්චියේ.කොහොමද කාලෙකට පස්සේ ක්සැන්ඩර් තුමෝ?

    සංවාදයට භාජනය වියයුතු වැදගත් ලිපියක්. මටත් හිතෙන්නේ, අපි අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගන්න හදනවා කියලා.

    ReplyDelete
    Replies
    1. කාර්යය බහුල වුණා විචාරක තුමා.

      ඇත්ත විචාරකතුමා අපි මේ කරන්න හදන්නේ අහක යන නයෙක් නෙවෙයි නයි පවුලක්ම රෙද්ද අස්සේ ඔබාගන්න වැඩක්.

      Delete
  3. අර මොකක්ද ගිවිසුමෙන් පස්සේ මෙහේ රස්සාවල කරන්න බැරියැයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් නම් අපේ ශ්‍රම අතිරික්තය කොහේ කියල යවන්නද කියල දැන් තියන තත්වය මතින් නම් හිතාගන්න බෑ නිරන්ජන්

      Delete
  4. චපාතිලා දැනටමට මෙහෙට එන්න පටන් අරන්... අපේ බිල්ඩින් එකේ තියන මොබිටෙල් ඔ‍ෆිස් එකේ කිහිප දෙනෙක්ම ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා.. මමත් එකෙක් දෙන්නෙක් දැක්කා. ඉන්දියන් එවුන් මේ ඉන්නේ නම් ඔය ප්‍රොජෙක්ට් වලට ටෙම්පරි ආපු එවුන් ලු. උන්මයි කිව්වේ. ඒත් ඉතිං කොහොම විශ්වාස කරන්නද..

      Delete
  5. මම නම් කියන්නෙ අපි මෙතනදි අන්තවාදී නොවී මධ්‍යස්ථ වෙමු කියලයි. ඉන්දියාවෙන් අඩු මිලට ගුණාත්මක ශ්‍රමිකයන් ගෙනවන්න පුලුවන් නම් එහෙම කරමු. අද ගමක පොල් කඩාගන්නවත් කෙනෙක් නෑ නේද.
    ශිල්පීන් ගැන වුනත් අපේ අය කිය කියා වැඩි මුදලක් ගෙවන්න අපට බෑ.
    ආර්ථික ජාතිවාදය අවශ්‍ය නෑ.

    ReplyDelete
    Replies
    1. පළමුව ඔබේ ආගමනය පිලිඹද ස්තුතිය පිරිනමින් අපි කතාවට යමු. ඉන්දීය ආගමනය හරහා පැමිණෙන්නේ පොල් කඩන්නන් හෝ කුලියට ගොයම් කපන්නන් නොවන බව ඉතාම ඉහලින් අවධාරණය කිරීමට මම කැමතියි. දැනට ද මේ වෘත්තින් සඳහා ඉන්දියානුවන් මෙන්ම නේපාල බුරුම ජාතිකයන් පැමිණෙන හා පැමිණ සිටින බව ඔබ දන්නේ ය මම සිතමි. විශේෂයෙන් ඇතැම් නේපාල සහ බුරුම ජාතිකයන් සරම ඇඳ බුලත් විටක් හපමින් සිටින නිසා එකවර හඳුනා ගත නොහැකි වුවද ඔවුන් මෙහි රැඳී සිටින බව ඉතා වගකීමෙන් පවසා සිටිමි.

      දෙවනුව, පැමිණෙන තත්වය තොරතුරු තාක්ෂණ ශිල්පින් පමණක් මුහුණ දිය යුත්තක් නොවන අතර පහලින් ඩුඩ් දක්වා ඇති ලෙස කඩදාසියට සිමා වූ උපාධිධාරී වෛද්‍යවරු, ඉංජිනේරුවන් මෙන්ම ගණකාධිකාරී වරුන් ද ඔවුන් ගේ ශ්‍රම සංචිත හරහා මෙරටට පැමිණීමට සුදානම් ය. මෙහි එන ඉන්දියානු වෛද්‍යවරුන් වෙතින් බෙහෙත් ගන්නවාට වඩා සයිටම් වෛද්‍යවරයෙකු හමුවී බෙහෙත් ගැනීම ඉතා යහපත් බව අත්දැකීමෙන් ම පැවසීමට හැකිය.

      ඒ නිසා මෙතැනදී නම් මධ්‍යස්තව සිටීම කරුණු බොහෝ සේ දික්ගැස්සීමට හේතුව විය හැක.

      Delete
  6. අනික බොහොමයක් උපධිධාරීන්ට උපාඩ්ධි කඩදාසිය මිසක වැඩ බැරි බව අපි දවසගානෙ අත් දකිනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. ඔය එන්න ඉන්න එවුන්ගේ දොස්තර කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්නවට වඩා හොඳයි සයිටම් එකේ දොස්තර කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගන්න එක, අම්මපා..

      Delete
  7. i totally agree with u.filed eke inne aya thamai thathwe danne.nodanna aya boruwata sadarana wenna kiyala kagahanawa.indiyawe rakiya prashna wisadanna api yanna ona na.ape rate rakiya prashna wisada ganne nathuwa.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාව හරි. අපි අපේ ප්‍රශ්න විසඳගමු. කොහොමත් 2012-2013 වකවානුව වන විට රැකියා සුලභ වෙළඳපලක් වූ ලංකාව 2014-2015 වන විට ක්‍රමානුකුලව රැකියා වෙළඳපල සීමා වෙමින් පැමිණියා. හේතුව දරාගත නොහැකි උපාධිධාරීන් පිටවීම බව මම කිවොත් බොහෝ දෙනා මට එරෙහි වේවි. නමුත් සත්‍යය එයයි. බොහෝ උපාධි කඩ මගින් ප්‍රමිතියක් නැති පිරිස් බිහි කරන විට තත්වය වෙනස්වීම පුදුමයක් නොවන බව ඉඳුරා කිමට මම කැමතියි.

      කොහොම වුනත් ඉන්දියාවේ උපාධිධාරීන්ට දීමට රැකියා නැති විට අපේ රටේ මිනිසුන්ට රස්සා දෙන්නේ කවර පදනමකින් ද යන්න ඉස්මොළ ඇති සැවොම සොයා බැලිය යුතු කාරණයක් බව නම් මෙහි ලා කියා සිටිමි.

      Delete
  8. කියන තරම් යකා "කළු" වේවිද?

    මම කොහේදී හරි දුටුවා ඉන්දියානුවන්ට උපාධි කොච්චර තිබ්බත් එව්වායේ ගුණාත්මක භාවය අඩුයි කියලා.අඩු ගුණාත්මකභාවයක් ඇති ශ්‍රමිකයින්ගෙන් වැඩි එලදයිතාවක් බලාපොරොත්තු වෙන්නත් බැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව කොහේ තිබ්බත් ඇත්ත. මම මගේ ජිවිතේ අවුරුදු හතක මැදපෙරදිග රැකියාවක් කළා. ඒ අවුරුදු හතේ ම දැක්ක ඉන්දියන්කාරයන්ගේ බහුතරය ඔය වගේ. එත් හොඳ දක්ෂ ඉන්දියානුවෝ හිටියා. නැතුව නෙවෙයි. රැකියා විරහිත ගොඩ ඇතුලේ වැඩිම නම් ඉතින් ඔය ඔබ කියන කොටස. නමුත් එකක්. ඉන්දියානුවෙක් විශේෂයෙන් කෙරලෙක් හෝ දකුණු ඉන්දීය දෙමල එකෙක් රිංගාගත්තා කියන්නේ ඉතින් පවුල් පිටින් එනවා කියන එක තමා, ඒ අතින් නම් අපේ අය වගේ නෙවේ උන්.

      දෙවැනි කාරණේ, යකා කළු ද නැද්ද කියා බැලීම කෙසේ වෙතුදු අපේ එවුන්ගේ රැකියා ටිකට තට්ටු වෙනකොට යකා දුම්මල ගසා හෝ එලවීම නම් අමාරු වේවි.

      Delete
  9. මේ වගේ කාරණා ගැන රටේ මිනිස්සු අවදියෙන් ඉන්න එකත් ඒ සම්බන්ධයෙන් යම් සමාජ කතිකාවතක් ඇරඹෙන එකත් හොඳයි කොහොමටත්.
    මම විවේක වේලාවලදි බොහෝ විට පාර්ලිමේන්තු රැස්වීම් අන්තර්ජාලයෙන් නරඹනවා. කාලයක් තිස්සෙ මේ ගැන විටින් විට මන්ත්‍රීවරු රජයෙන් ප්‍රශ්න කරන වේලාවලදි අගමැතිවරයා කියන්නෙ නම් එහෙම දෙයක් වෙන්නෙ නෑ කියල. පේනහැටියට නම් එයාල තවම ස්ථිර ඍජු පිළිතුරක් දෙන්නෙ නෑ. කොහොම උනත් හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලිපිටළු නේ. අපි බලමු මොකද වෙන්නෙ කියල.

    ඔය කෝල් සෙන්ටර් එකක් ගැන කතාවක් තියෙන චේතන් භගත්ගෙ පොතක් තියෙනව. එහෙම එකක් ගැන ඒවයෙ වැඩකරන මිනිස්සු ගැන යම් විදියක අත්දැකීමක්වත් මට ලැබුනෙ ඒක කියෙව්වට පස්සෙ, නැත්නම් ඒක අපිට එතරම් හුරුපුරුදු ව්‍යාපාරයක් නෙවි. (භගත්ගෙ අනිත් හුඟක් කතා වගේම ඒකෙනුත් හින්දි ෆිල්ම් එකකුත් ආවා මම හිතන්නෙ)

    ReplyDelete
    Replies
    1. අම්මෝ DDT තාම ඉන්නවද මචං.. දැකීමත් සතුටක්..

      පාර්ලිමේන්තු රැස්වීම වලදී අහන ප්‍රශ්නයට නෙවෙයි නේ උත්තර දෙන්නේ කොහොමත්, වෙලාවකට දුක හිතෙනවා මෙච්චර උගත් ය කියන මිනිස්සුන්ට ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන්න බෑ, හරියට කතාවක් කරගන්න බෑ කියල දැක්කම. අන්තිමේ උන් නේ අපිව පාලනය කරන්නේ නේද හිතුනම ඉතින්....!

      ඔය චේතන් භගත් ගේ පොතෙන් වෙන්න ඕනේ ද කෝල් සෙන්ටර් කියන ටීවී සීරීස් එක හදල තියෙන්නේ. ෆිල්ම් එකත් මම බැලුවා. ඒත් ටීවී සීරිස් එක ඒකට වඩා ගොඩක් හොඳයි.

      Delete