Tuesday, September 27, 2016

හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය.



සුගිය සතියේ 5 වැනි දින එංගලන්තයේ දී පැවැත්වීමට යෙදුනු මහා යුධ ජයග්‍රහණ පෙළපාලිය සමගින් බ්‍රිතාන්‍යය මහා ජර්මානු අධිරාජ්‍යයට යටත්වීමට කටයුතු යෙදුනු අතර ඊට සමගාමීව යටත්විජිත භාර ලේකම් තුමා මගින් යටත් විජිත සඳහා අවි බිම තබා ජර්මානු රයික් ආණ්ඩුවට යටත් වීමට ලිපි රේඩියෝ පණිවිඩ මගින් එවා ඇත.

ලංකාණ්ඩුවේ යටත්වීමත් සමගින් අප ජර්මානු රයික් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ බව දැනුම් දීමට සතුටු අතර මේ සමගින් අපේ නව පාලනය ඇල්බර්ට් බර්ග්මාන් මහතා භාර ගනු ඇත.."

මේ 2014 දී මම ඔබට හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය ගැන කියන්නට පටන්ගත් මොහොතේ ගෙන ආ ඇරඹුම් වැකි පෙළයි. එදා කිසිදා නොලියු ලියවිලි අතරට එක්වූ ඒ ලියවිල්ල පුරා වසර දෙකකට පසුව සංස්කරණ කීපයක් සමගින් ලඟදි ම ඔබ වෙත තිලිණ කරන්නටයි මේ සුදානම.

එහෙනම් රැඳී ඉන්න, හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය ගෙන එනතුරු.



Saturday, September 24, 2016

කොළඹ වාහන තදබදය සහ විසඳුම්

පාඨක ජනතාවට පළමුව මාගේ ස්තුතිය. බ්ලොගේ ලියපු කාලෙට වඩා නොලියපු කාලේ කියවපු ප්‍රමාණය වැඩියි. ලංකාවේ සිංහල කියවීම් වැඩිවෙලාදෝ මට හිතෙනවා. කොහොම වුනත් ස්තුතියි සහ සතුටුයි.

කොළඹ, යන්න ගියත් ට්‍රැෆික් තියන ගියාම ඊට වඩා ට්‍රැෆික් තියන ලංකාවේ තියන අංක එකේ නගරය තමා කොළඹ. කොළඹ ට්‍රැෆික් ඇයි? මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුර ඇතුලේ තදබදයට පිළිතුරකුත් තියනවා. 

පොඩ්ඩක් හිතන්න කොළඹ නගරයට රැකිරක්ෂා සඳහා දිනකට විශාල ප්‍රමාණයක් මිනිසුන් පැමිණිය යුතු ය. පාසල් සිසුන්, සහ වෙනත් විවිධ අධ්‍යාපනයන් ලබන සිසුන් පැමිණිය යුතු ය. කාර්යාල කටයුතු බොහොමයක් ඉටු කරගැනුම සඳහා මිනිසුන් විශාල සංඛ්‍යා කොළඹ පැමිණිය යුතු ය. වරායන් සහ ගුවන්තොටුපල කටයුතු කොළඹට ආසන්න වීම නිසා බොහොමයක් භාණ්ඩ ප්‍රවාහන වාහන ද කොළඹ අවට විශාල ලෙස පොදී කෑමත් , බොහොමයක් ප්‍රධාන කාර්යාල, (ප්‍රධාන නගරයේ පිහිටීම අනවශ්‍ය ආයතන පවා) කොළඹ පිහිටීම නිසා දෛනිකව නගරයට පැමිණීම ගන්නේ ඉතාම විශාල අගයක්. ඒ එක්කම මේ පිරිස නගරයෙන් පිටවන්නේත් විවිධ වේලාවන් වල. ඒ අතරේ පාසල් සහ කාර්යාල වේලාවන් කියන්නේ තදබදය වැඩිම වේලාවන්. එයට මුලිකවම හේතුන් ලෙස පාසල් වේලාවන් තුල පාසල් අසල පොදී කන සෙනග මෙන්ම පාසල් වෑන්, බස්රථ වැනි වාහන වල පැමිණීම, මාර්ග අවහිර වන සේ නවතා සිටීම, සෙනග පැටවීම බෑම වැනි ක්‍රියාකාරම් පෙන්වා දිය හැක. මෙයට සමාන ක්‍රියාවලියක් කාර්යාල වෙලාවේදී සිදුවන අතර එහිදී තවත් යමක් සිද්ධ වේ. එනම් පෞද්ගලික වාහන මගින් නිවෙස් වෙත / කාර්යාල වෙත යන ජන කොට්ඨාශයක් මාර්ගයට අවතීර්ණ වීමත් එමගින් මාර්ගයේ ඉඩ අනවශ්‍ය ලෙස නාස්තිවීමත් ය. වෙසෙසින්ම ජීප් රථ මෝටර් කාර් රථ වැනි වාහන මාර්ගයේ තමන්ගේ රථයේ මුළු පැටවුම් ප්‍රමාණයවත් නැතිව ධාවනය වීම තුලින් අනවශ්‍ය ලෙස සහ ඉතාම කෑදර ලෙස මාර්ග ධාරිතාවය භාවිතාකිරීම මෙම කාලය තුල සිද්ධ වේ. 


මිනිසුන් 60ක ප්‍රවාහනය සඳහා මාර්ග ඉඩ වැයවීම



ඉඳින් මෙයට විකල්ප නැතිද?

බහුලවම කතාබහට ලක්වන විකල්පය නම් නගරය තුල බස් ධාවනය කිරීමේ සංකල්පයයි. ප්‍රායෝගිකව මෙය ඉතාම හොඳ විසඳුමක් ලෙස දක්වාලිය හැකි අතර එහි දුර්වලතා ද පෙන්වා දිය හැක. මේ ක්‍රමය යටතේ නගරයට පිවිසෙන ද්වාර අසල ඇති විශාල මෝටර් රථ නැවතුම් මගින් නගරයට පැමිණෙන සියලුම / හෝ ආසන සංඛ්‍යාවක් නොපිරුණු, බස් නොවන රථවාහන උරාගෙන (නවත්වා) ඒ වාහන වල සිටින සෙනග පොදු බස් සේවා මගින් නගරයේ ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමත් නැවත රථගාල් වෙත රැගෙන ඒමත් සිද්ධ කරයි. මෙහි වන සාධනීය ලක්ෂණය නම් නගරය තුල අනවශ්‍ය ලෙස වාහන ගමන්කිරීමක් සිද්ධ නොවීම නිසා මාර්ගයේ ඉඩ සාධනීය මට්ටමකින් ඉතිරිවීමයි. මේ ගැන වටහා ගන්න ඉහල උදාහරණය බලන්න, මිනිසුන් හැටක් වෙනුවෙන් වන ප්‍රවාහන ධාරිතාව බස් රථයක් සමගින් කොතරම් කුඩා ද?

තවත් විකල්පයක් වන්නේ බයිසිකල් ධාවනය සඳහා ඉඩ හසර වෙන්කිරීමත් බයිසිකල් ප්‍රවාහනය නගරයේ දිරිමත් කිරීමත් ය. මේ ඔස්සේ ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ ප්‍රවාහන ඉඩ පමණක් නොව හරිත නගර සංකල්පය ක්‍රියාවට නැංවීම ද වාතය යම් පමණකට හෝ පිරිසිඳු ලෙස තැබීම ද මෙම සංකල්පයේ අරමුණු වේ. යුරෝපයේ බොහොමයක් රටවල් මේ ක්‍රමය ක්‍රියාවට නංවමින් සිටීම වර්තමානයේ දකින්නට හැකිය.

බයිසිකල් ධාවන ඉඩ පෙන්වන අවස්තාවක්.


තව දුරටත් සලකා බැලීමේ දී පොදු ප්‍රවාහන ක්‍රම වන දුම්රිය සේවා දියුණු කිරීම, උමං දුම්රිය ඇති කිරීම, කාර්යාලිය අනුග්‍රාහක ප්‍රවාහන සේවා (office sponsored transports) ලෙස බස් රථ ප්‍රවාහනය සැපයීම දක්වාලිය හැක.

ශ්‍රී ලංකාවේ තත්වය.

ශ්‍රී ලංකාවේ තදබදය පිරි ඉතිරී ගිය නගර ලෙස කොළඹ නගරය ද එතරම් නොවුව ද තදබදය පවතින නගර ලෙස අවශේෂ ගාල්ල මහනුවර වැනි නගර ද පෙන්වා දිය හැකි වේ. මෙයිනුත් කොළඹ නගරය වාණිජ කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රධාන තැනක් ගනියි. කොළඹ නගරය තුල ඇති අනවශ්‍ය ආයතන නගරයෙන් පිට වෙනත් ස්ථාන වල ස්ථාපිත කිරීම මෙම ගැටලුව දිර්ඝකාලින ලෙස සුව කල හැකි එකක් බවට පත් කරගත හැකිය. මෙම කුලකයට බැංකු ප්‍රධාන කාර්යාල, නුතන ආයතන (call centers, outsourcing offices) වැනි දෑ මෙන්ම රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යංශ ද අයත් වේ. මේවා එක්කෝ නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේ ස්ථාපිත කල යුතු ය, නොඑසේ නම් මහනුවර පොල්ගොල්ල හෝ ගන්නොරුව ප්‍රදේශයේ හෝ ස්ථාපිත කල යුතු ය. ඒවා වෙත දුම්රිය සහ බස් මාර්ග යන දෙකොටසම පැවතීම මගින් පොදු ප්‍රවාහන සේවා වලින් එම ස්ථාන වෙත පිවිසීම දිරිමත් කල යුතු ය. පැමිණෙන ජනයාට අවශ්‍ය සියලු දෑ එම ස්ථානයේ ම පවත්වාගෙන යාම මගින් ජනතාව නැවත ප්‍රධාන නගරය සමග එක්වීම වැළැක්වීමත් මෙහි සැලසුමේ ම පැවතිය යුතු ය.

අද දින වන විට ලංකාවේ යටිතල පහසුකම් ඉතාම හොඳින් පැවතෙන නිසා මෙය සිදුකිරීම ද  අපහසු නොවනු ඇත. එසේම මෙවැන්නක් ස්ථාපනය කිරීම මගින් රජයට ද වාසි අත්වනු ඇත්තේ කෙටිකාලීනව නොවනු ඇත. පෞද්ගලික අංශයට තමන්ගේ ආයතන මෙවන්වූ ප්‍රදේශවල පිහිටුවීමට බලපෑම් කිරීම රජයක් ලෙස සිද්ධ කිරීම මගින් අනවශ්‍ය තදබදය මගහැරවීම මෙන්ම සියළු ප්‍රදේශ සංවර්ධනය කිරීම ද සිද්ධ කල හැකිවනු ඇත.ජනඝනත්වය අනවශ්‍ය ලෙස නැති නිසා ව්‍යවසන තත්වයන්ගේ දී ද, සංවර්ධන කටයුතු වල දී ද මෙන්ම රෝග පාලන සහ පහසුකම් සැලසීම ආදී සියලු අවස්ථා වල දී පහසුවක් වනු ඇත.

ඔබේ අදහස් මොනවාද? අපි සංවාදයක් ගොඩ නගමු.