Showing posts with label ඇදගෙන නාන කතා..;කාලීන. Show all posts
Showing posts with label ඇදගෙන නාන කතා..;කාලීන. Show all posts

Wednesday, November 21, 2012

සකල සිරින් පිරි සිරි ලංකාවේ හෙට දවස



ලම්බෝගිනි ගලාඩෝ ගන්නට
පෙරුම්පුරයි අපි දැන් රැල්ලට
ඒත් කොස්සකි එහෙම ගන්නට
නැත්තේ පාරකි අපිට යන්නට

ගමට එන අප පාර
කැඩිලා සත් වසකි ඒපාර
හදලා දුන්නොත් පිනකි මාර
පදින්න මගේ ෆෙරාරිය දාර

පුංචි ගානකි යන්නේ
ඕවා මෙහෙ ලාබ නෑ නේ
කියමිනි සුද්දෝ එන්නේ
අනේ මම හීනද දකින්නේ

මරුටියම දහ අටයි 
දැන් නම් ටිකක් වැඩි වෙයි
ඒත් පෝසේ එකම විස්සයි
ඉතිං මොකටද මරුටි? අපි ගයි!!

ටැක්ටර ගත්තේ හාන්නට
රටට බත් ටික දෙන්නට
දැන් ඉතිං ඒ ගානට
ගනිමි රේසිං කාර් හානට

අම්මප යම් දිනක ඉදිරියට
ඉන්දියන් කාර් දකින්නට
යන්න වෙන්නේ කටුගෙට
හොරුත් යන්නෑ එය කඩන්නට

Saturday, September 29, 2012

බස් රේඩියෝව සහ බ්ලොග් සම්මාන උළෙල.



බස් රේඩියෝව බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වුයේ මේ මම දන්නා මුල්ම වරය. ඇත්තෙන්ම බ්ලොග් සම්මාන උළෙලක් දියත් කරන එක නම් ඇත්තෙන්ම හොඳ දෙයක් ය. ඒ එමගින් ඇගයීමක් සමග බ්ලොග් කරුවන් දිරිමත් වීමක් සිද්ධ වන නිසා ය.

එහෙත් බස් රේඩියෝ බ්ලොග් සම්මානයේ මුල සිටම අවුල් තිබුණි. ඔවුන් සම්මාන උළෙල සැලසුම් කලේ පසුගිය ජුලි මාසයේ දිනයක් යොදාගෙන ය. එහෙත් සංවිධාන කටයුතු වල වූ අසංවිධානය මැනවින් පෙන්වමින් එය සැප්තැම්බර් මස තෙක්ම දිග ඇදෙමින් ඇවිත් අද දින සම්පුර්ණ වන්නේය.

බ්ලොග් සඳහා කැටගරි කීපයක් ඔවුන් නම් කල අතර එහිදී ලියාපදිංච් වුවන් සඳහා රේඩියෝ වැඩසටහන් පවත්වන ලදී. එය හොඳ දෙයක් වුවත් ඔවුන් ඉතා ඉක්මනින් කලේ කැටගරි වෙනස් කිරීමක් සිද්ධ කිරීමයි. සංවිධානය නිසි සේ වුවා නම් කැටගරි වෙනස් කරන්න සිද්ධ වෙන්නේ නැත.

බ්ලොග් ඇගයීම සඳහා වන විනිසුරු මඩුල්ල නම් කරන්නට ඔවුන්ට මසකට වඩා කල් ගියේ ඇයිදැයි ඔවුන් නිසි හේතුවක් දැක්වුයේ නැත. එය රහසක් ව තබා ගන්නට උවමනා කරුණක් බව මට නොපෙනෙතත් ඔවුන් එය රහසක් ලෙස අවසන් මොහොත තෙක්ම තබා ගත්තේ තමන්ගේ සංවිධානයේ අසංවිධානය වසාගන්න ගසනා තුරුම්පුවක් ලෙස බව මට සිතුනි.

මේ අතරම ඔවුන් පාඨක ජන්දය ගැනීමට ෆේස්බුක් ජන්ද පෝරමයක් දියත් කලත් තාක්ෂණික දෝෂ මත පැය කීපයකින් හකුලා ගන්නා ලදී. එයද මා දකින්නේ අසංවිධානයේ තවත් ඉමක් ලෙසය. ඉන් අනතුරුව ඔවුන් තමන්ගේ ඇගයීම් සඳහා වූ බ්ලොග් ලැයිස්තුවත් එහි ලියාපදිංචි වී සිටි බ්ලොග් වල සටහනකුත් ඉදිරිපත් කරන ලදී. ඒත් එතනත් දෝෂ සහිත බව ඔප්පු වුයේ ඒ සඳහා මගේ බ්ලොග් අඩවිය පෙනෙන්න නොමැති වීම නිසා ය. (මා දන්නේ මගේ අඩවිය ගැන පමණි. ඒ නිසා මා පාදක කරගත් මිනුම එයයි.)

දැන් කෙනෙකුට පෙනෙනු ඇත්තේ මේ සටහන හුදෙක් හිත අමනාපයෙන් ලියුවක් බවයි. නැත. හිතේ අමනාපයක් නැත. එහෙත් මට සිතුන විවේචනය මා සටහන් කලෙමි. එපමණකි.

Sunday, April 15, 2012

මට පෙනුන ලංකාව....

මාසෙකින් විතර වගේ ඔන්න ආපහු පොස්ට් එකක් ලියන්න   සෙට් වුනා. ඉතින් හැමෝටම මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල මුලින්ම කියන්න ඕනේ. මේ මාසෙට ගොඩක් දේවල් වෙනස් වෙලා. අලුත් අවුරුදු සමරලා ඉවර වුනා. ඒ එක්කම ලංකාවට ආපහු සුනාමි තත්වයක් ඇවිත් ගියා. ඒ දවස නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. කොටසක් රතිඥ්ඥා පත්තු කරලා ප්‍රීති වෙන අතරේ මුහුදුබඩ බොහෝ දෙනා ජීවිතාරක්ෂාවට රට මැදට එකතු වෙච්ච හැටි නම් දකින්නත් දුකක් ගෙනාව.


මම ලංකාවට එනකොට ඇත්තටම හිතාගන හිටියේ ලංකාව ගොඩාක් දියුණු වෙලා ඇති කියල. සමහර පැති වලින් නං ලක් දෙරණ දියුණුවට පත් වුනත් මටනම් මහා වෙනසක් දැනුනේ නං නැති තරම්.

කොටුවේ ඉඳං කොල්ලුපිටියට එනකම් මං මාවත් ලස්සනට පිලිවලට තිබුනා. චෙක් පොයින්ට් නම් දකින්නත් නැති තරම්. අවුරුදු කීපයක් එක දිගට කොටුවේ අධිආරක්ෂක කලාපේ ජීවත් උන මට ඒ නිදහස නම් හොඳටම දැනුනා. ආසාවට ඩියුක් ස්ට්‍රීට් එකේ වට දෙකතුනක් ගහල බ්‍රිස්ටල් ස්ට්‍රීට් එකත් තරණය කරලා ආවේ ඒ කාලේ බ්‍රිස්ටල් ස්ට්‍රීට් එක වහලම තිබ්බ හින්ද. කොටුවේ ඉඳං කාගිල්ස් එක ගාවින් යන ජනාධිපති මන්දිරේ පාරේ කලින් නම් මැස්සෙක්වත් චෙක් නොකර ඇරියේ නෑ. එක දවසක් වෙඩි කන්න ගිහිනුත් බේරුන තැන වෙච්ච කොට ඒ තැන නම් මට අමතක වෙන්නෙම නෑ. ඒ වගේම තමයි ගඳ ගගහ තිබ්බ බේරේ වැව දැන් ලස්සන කරලා.ගෝල්ෆේස් එකත් කලින් තිබ්බට වඩා නිදහස පිරෙන්න තියනවා.

මට මතකයි එක කාලෙක ලංකාවේ බස් වල පිටත්වෙන වෙලාව ගමනාතයට ලඟා වන වෙලාව ගහල ඔරලෝසුවක් පෙන්න තියන්න ඕනේ කියල නීතියක් පැනෙව්වා. ඒ වගේම අනවශ්‍ය ශබ්ද පූජා පවත්වන බස් අජිත්ගේ කැසට් එහෙම හෙණගහන්න දාගෙන යන්න තහනම් කියල නීති පැනවීමක් කරා. අනේ ඉතින් මෙදාපොටේ ලංකාවට මං ආවේ බස් අජියගෙන් කන බේරන් යන්න බලාගෙන. එක බස් එකක අජියා පැත්තක ඉද්දි වෙන කවුදෝ මොරගහන පීස්‌ එකක් කන පැලෙන්නම දාල තිබ්බේ කිසිම හිරිකිතයක් නැතුව. තව දවසක නුවර ඉඳං කොළඹ එන්න කියලා ඉතින් මමත් නුවරින් ඉන්ටර්සිටි බස් එකකට නැග්ගා දවල් 11 ට විතර. නොර්මල් එකේ පැය තුනක් තුනාමරක්‌ යන එකේ මම කල්පනා කලේ ඉක්මනට පැය දෙකකින් දෙකාමරකින් යන්න. අනේ යාන්තං ගාටලා ගාටලා පැය තුනාමාරකට කිට්ටු කරලා බස් එක ආවේ හරියට උන්ගේ උවමනාවට අපි යනවා වගේ,. මග නැගුම අර නැගුම මේ නැගුම කියකියා නැටුවට ලංකාවේ A ශ්‍රේණියේ අංක 1 මාර්ගය වෙච්ච නුවර කොළඹ ප්‍රධාන මහාමාර්ගය තවමත් ලේන් දෙකක් තියන පුංචි පාරක් විතරයි. ඉතින් ඒ වගේ මාර්ගයක යන වාහන කන්දරාව එක්ක බැලුවාම ඒක කොහොමත්ම ගැලපෙන්නේ නෑ.

ලංකාවට ඇවිත් ඊළඟට මට දැනුන දේ තමයි බඩු මිළ. කිලෝවක් රුපියල් හැටකට තිබුණු එළවලු බොහොමයක් අප්‍රේල් 8 වෙනිදා වෙනකොට කිලෝව රුපියල් 180 දක්වා මිළ වෙනස් වීමකට ලක්වෙලා තිබුණා. ඒත් ඊට දවස් කීපයකට පස්සේ උඩුදුම්බර ගොවියෝ තමුන්ගේ එළවලු වලට සාධාරණ මිලක් නෑ කියල කරන ප්‍රකාශ ටීවී එකේ දැක්කාම මටනම් තේරුනේ වෙළඳ අමාත්‍යාංශය ඉතාම තදින් නිදාගන හෝ නිදාගන්නා බව පෙන්වන බවයි.

රජයේ ඇමති මැති කියාගන්නා ගොන් රැලේ ඉන්නා ආර්ථික විද්‍යාව පිලිබඳ මහා උගතා ගෙනා 7500 කතා මාලාවේ එක අංගයක් වූ විවාදය සජීවීව ලංකාවේ සිට බැලීමේ ශාපයටද මටත් හසුවීමට වුනේ මේ අතරවාරයේයි. ඉස්කෝල වල විශ්වවිද්‍යාල වල කැන්ටින් වල ආහාර මේ මිලයි කියන මේ හරකාට පාර්ලිමේන්තුවේ කැන්ටිමේ දෙන කෑම එකත් අඩු මුදලට ජනතාවගේ පොකට්ටුවෙන් දෙන නිසාදෝ බඩු වල ගණන් නොපෙනීම මුන්ව පාර්ලිමේන්තු යැවු අපිටනම් හොඳ කනේ පාරකි. මේ විකාරයටම ඉම්පොර්ටඩ් ගොනෙක් වූ රවී දුන් පිළිතුරු හමුවේ මට ටීවී එක පොලවේ ගැසීමට සිත්වුවත් යාන්තං කේන්තිය අඩු කර ටීවී එක නිවා නිදාගන්නට ගියේ මුන්ට චන්දය දුන්නෙත් අපිම නේද කියා සිතාගෙනයි. කරුණු එසේ වුවත් පසුදින ජනාධිපති තුමා ප්‍රමුඛ පිරිස මේ වයිමා අත්පොලසන් දී පිළිගත්තා යයි කියවූ විටනම් පරම්පරාගත ශ්‍රීලංකා කාරයකු වූ මගේ පාක්ෂිකත්වය මටම එපා වී ගියේය.

Thursday, January 26, 2012

කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...

කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...


අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්.

පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ කොහොමහරි පාස් වෙලා කැම්පස් යනවා කියල. ලෙවල් කරනකොට අපි හිතුවේ කවදාහරි ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යනවා කියල. ඊටත් කලින් අපි හිතුවේ මං දොස්තර මහත්තයෙක් වෙනවා.. ඉංජිනේරුවෙක් වෙනවා කියල. ඉතින් එහෙම හිතාන අපි රෑ එළිවෙනකම් කකුල් වතුරේ ඔබාන පාඩම් කලා.. බනිස් ගෙඩියක් බත් මුලක් අරන් ගිහින් කාල පන්ති ගියා.. මහා අව්වේ කර වේවි.. මහා වැස්සේ තෙමි තෙමි.. අපි ඉගනගත්තේ අපේ හීනේ හැබෑ කරගන්න..අපේ අම්මල අප්පච්චිලා දහ දුක් විඳලා හම්බ කරලා උගැන්නුවාට ඒ අයට පස්සේ කාලෙක සලකන්න..

ඉතින් එහෙම ඉගනගෙන කැම්පස් ආපු ඔයාල මේ දවස්වල කරන අරගල ගැන දැක්කම මට හිතෙන්නේ ඔයාල ලංකාවේ බෙලහීන දේශපාලනේ තවත් එක ගොදුරක් වෙලා කියල. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හැටියට කොන්ද කෙලින් තියාගන්න ඕනේ ඔයාල මේ ලංකාවේ වැදගම්මක් නැති දේශපාලන බලවේග වල තවත් එක අතකොලුවක් වෙලා. ඉගනගන්න ආව ගමන පැත්තක තියල රූකඩ ශිෂ්‍ය ව්‍යාපාර ගෙනියන බොළඳ රැල්ලට අහුවෙලා ගහගන ගිහින් ඉන්නවා දැක්කම මටනම් හිතට වේදනාවක් දැනුන..

මමත් ඔයාල වගේම පන්ති ගිහින් ඉගනගෙන විභාග ලිව්වත් කැම්පස් යන්න හම්බවෙන 20000 වන ශිෂ්‍ය ප්‍රජාවට අයත් නොවුණු කුලකයේ එකෙක්. එත් මගේ පූරුවෙ වාසනාවට මගේ අම්මලාට පින් සිද්ධ වෙන්න මම පුද්ගලිකව ඉගෙනගෙන අද ගොඩක් හොඳ තැනක ඉන්නවා. එත් මගේ එක්ක එක පන්තියේ ඉගනගෙන කැම්පස් ගියපු සමහර යාලුවෝ අද මං ඉන්න තැනට කිට්ටුවට එන්නත් බැරිව ඉන්නවා. එහෙම උනේ එයාල ඉගනගන්න අදක්ෂ නිසාවත් වෙන දෙයක් නිසාවත් නෙවෙයි. ඒ අයත් ඉගනගත්ත. එත් කැම්පස් වහද්දි ගෙවල් වලට ගිහින් ආයේ අරිද්දි ඇවිත් ඉගෙනගෙන අපහු වහද්දි ගෙදර ගිය එකේ කාලය එයාලට නොලැබුන හින්දයි එහෙම උනේ.. එයාල කාලය එක්ක තිබ්බ රේස් එකෙන් පැරදුණා.. ඉතින් එයාලට උනෙත් කැම්පස් වල දේශපාලන අතකොලු වෙන්න. පිකට් කරන්න කඳුළු ගෑස් කන්න පොලිසි උසාවි වල රස්තියාදු වෙන්න කාලය වැය කරන්න. ඒ කරපු දේවල් වලින් රටට වෙච්ච යමක් නෑ. තමන්ගේ කාලය නැති උනා මිසක්..



අරගල කරන්න ඕනේ. ඒකත් එක සොඳුරු අත්දැකීමක්.. ඒත් සීමාවක් ඇතුව. අද දකින අරගල සීමා මායිම් නැති හුදෙක් චන්ඩිකම් කරන අරගල වෙලා.. මිනිස්සුන්ට ගහන්න ගෙවල් වාහන කුඩු කරන්න මිනිස්සුන්ගේ ගමනාගමන නිදහසට බාදා කරන්න අද අරගල වෙසින් ශිෂ්‍යයින් මෙහෙයවනවා. ඇත්තටම රටේ බුද්ධිමතුන් කියාගන්න ඔයාලට තරම් වැඩ නෙවෙයි නේද මේ? 

ඔය අතරේ කැම්පස් වල තියන වර්ගවාදී පටු භේද ආදිය මටනම් හිතෙන්නේ කුහක කමින් කරන කෙනහිලි කියල. මේ කැන්ටිම තියෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ඒකට තොපි එන්න ලජ්ජා නැද්ද? ඔය හොඳ හෝටල් තියෙන්නේ ගිහින් කාපියව් කියල බඩගින්නට කන්නට එන තමන්ගේම ෆැකල්ටියේ තවත් එක ශිෂ්‍යෙක්ට ශිෂ්‍යාවකට කියන්නේ පටු පන්ති භේදය මුල් කරගත් කුහක කමෙන් නෙවෙයිද? ඇත්ත සමහරුන්ට හොඳට සල්ලිය බාගේ තියෙන්න පුළුවන් ඒත් ඒ දරුවත් එන්නේ ඉගනගන්න. සමහරුන්ට පේන තරමට සල්ලි නොතියෙන්නත් පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කුල් වලට ගියපු උන් එන්නේ නෑ කවදාවත් ඔය කැම්පස් වලට. උන් එංගලන්තේ ඇමරිකාවේ යයි. එහෙනම් මේ කාටද මෙහෙම කියන්නේ?

තව දෙයක් තම කැම්පස් රැග. පොඩි විහිළුවක් දෙකක් කරන අහිංසක රැග නම් ඕනේ කෙනෙක් එපා නොකියාවී. ඒත් දැන්? ලිංගික අසහනකාරයෝ අසහනකාරියෝ රෑනක් ම කැම්පස් එකේ ඉන්නවා කියන්න පහුගිය ටිකේ පුවත්පත් වල ගිය පුවත් ප්‍රමාණවත්. කෙල්ලන්ගේ කොල්ලන්ගේ කියල වෙනසක් නැතිවම මේ එන්නෙත් අර තියන කුහකත්වයේ තවත් එක පැතිකඩක්.

ඉතින් ඉස්කෝලෙන් හොඳට ගිය එකා කැම්පස් ගියගමන් මේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නය ඔබට බාරයි.. හිතන්න.. රටේ හෙට දවස ඔබ අතේ නම් අද ඔබ හොඳ පුරවැසියෙක් විය යුතුයි. ඔබේ කාලය නාස්ති නොකර ඉගනගන්න.. තරඟකාරී ලෝකයේ තරගයට ඉක්මනින් පා නගන්න.. අපි බලන් ඉන්නම්..

එසේනම් කඩතුරා ඉරා සත්‍ය දකින්න කාලයි මේ....

Sunday, September 11, 2011

ලංකාව හා බංකොලොත් ටෙලි නාට්‍ය කලාව සහ සබැඳි අතුරු කතා..


ලංකාවේ තියන ටෙලිනාට්‍ය වල ගොඩක් යන්නේ වල්පල්. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. මොකද අද සතියේ විකාශය වෙන ටෙලිනාට්‍ය 10 ක් ගත්තොත් එයින් 8 වත් කතා තේමාව වෙන්නේ එක්කෝ කිසිම හරයක් නැති දිගටම ගලාගෙන යන කෙහෙම්මලක්, එහෙමත් නැත්තන් හරයක් නැති පවුලක් ෆුල්ම අවුලෙන් ඉන්න කතාවක්. ඔය කතා වල සාමාන්‍ය සිද්දි වෙන්නේ එක්කෝ මංකොල්ලකෑම්, පැහැරගෙන යාම්, තර්ජන වගේ ඒවා තමා. ඔක්කොම ටෙලිවලින් බාගයක් රබර් නැත්තන් ඉලාස්ටික් කතා... දැන් ඒවාට කියන්නේ මෙගා. පිස්සු හැදෙනවා. ඉතින් මෙව්වා ඉලාස්ටික් රබර් වෙන්න කතාව ඇතුලට අර කියන එව්වා දානවා ප්‍රධාන චරිතේ උස්සන්න කප්පම් ඉල්ලන්න වගේ සීන් එක්ක..

සමහර ටෙලිනාට්‍ය උපරිම ඉන්දියානු කොපි කියන එක බැලු බැල්මටම පෙන්න තියන කාරණයක්. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේ කියනවා වගේ කාලකන්නි ගෑනු හත්දෙනෙක් සතියට ඉන්නවා.. ඒ කතාව නම් සහතිකයි. ඇයි ඉතින් හැමදාම යන්නේ ජීවිතේ තියන හැම කරදරයක්ම විඳින ගෑනියක්ගේ කතාවක් නේ. මෙව්වගේ පෙන්නන දේවල් අපේ දරුවෝ ග්‍රහණය කරනවා ඉතාමත් ඉක්මනට. ඒවගේම තමයි සමහර ගෙවල්වල ඔන්න කට්ටිය දුවනවා ප්‍රවීණ බලන්න, ඊටපස්සේ තව කෙහෙම්මලක් ඊටත් පස්සේ තව එකක් විදියට.. මේකේ ලීඩ් එක ගන්නේ ගෙදර අම්මා. මම දන්නා ගෙදරක් තියනව, එයාලට ඔය ටෙලිනාට්‍ය යන වෙලාවට ට්ව් එකයි සලේ ඉඳන් ඉන්න පුටුයි තියල මුළු ගෙදරම අරන්ගියත් ගානක් නෑ.

ට්ව් එකේ තව සීන් එකක් තමයි ඔය වැඩියෙන් හිට්ස් තියන ටෙලියක් යන වෙලාවට ඔන්න ඇඩ් දානවා හිටු කියල මැදට. අනේ දෙය්යනේ කතාව බලන්න වෙන්නේ කොලේකුත් තියාගෙන. ඇයි අර මගින් නවත්තල ඇඩ් එහෙම දාල අයෙ පටන්ගත්තාම නවත්තපු තැන මතක්වෙන්න සීන් එක ලියල තියාගන්න.

මේකේ තියන කනගාටුම දේ එක නෙවෙයි. දැන් රූපවහිනි වල යන්නේ මෙගා ස්ටාර් සිඟින් ස්ටාර් වගේ රියලිටි. අර ඉස්සර වගේ කාලෙයි අරන්ගම් පොන්මාලෙයි පොලොන්දු, මනෝහාරී චාර්ට් ෂෝ වගේ ඒවා අද නෑ. ඒවගේම රූපවාහිනියෙ කාලයක් විකාශය උන ඩිස්කවරි චැනල් එක වගේ දේවල් වලින් වෙච්ච මෙහෙය ඉතාම අපුරුයි. ඒවගේ දේවල් අද සිද්ද වෙන්නේ නැත්තේ ඇයි කියන එක මටනම් මහා ම මහා ප්‍රහේලිකාවක්. ඔයාලට මතකනම් ආර්ථික විද්‍යාව ලස්සනට කාටුන් වලින් උගන්නපු ගණු දෙනු කියන වැඩසටහන කොයිතරම් ලස්සනට ආකර්ශනීය විදියට ඒ දේ කරාද? අටපට්ටම විතරයි අද දරුවන්ට බලන්න තියන එකම දේ. ඉස්සර පොඩ්ඩන්ට රසාර, දොස්තර හොඳ හිත, පිස්සු පුසා වගේ කාටුන් ගියා. ඒවා රසාස්වාදනය මොට කරන දේවල් නෙවෙයි. පුංචි ඇත්පැටවා වගේ සිනමා, සුරඟන කතා කරලිය වගේ වැඩසටහන් දරුවන්ට තිබ්බ දේවල්.  අද දරුවන්ට රූපවාහිනිය කියන්නේ බාල කඩචෝරු විකුණන පිස්සන් කොටුවක් වෙලා හමාරයි.. ඉගනගන්න දරුවන්ට දෙයක් දෙන්න සල්ලි වියදම් කරනවට වඩා මිනිස්සුන්ව විකුනන්න මාර්කට් හදන තැනක් බවට මේ නාලිකා අද පත්වෙලා. දේශපාලන වට්ටෝරුවේ තවත් එක උපාංගයක් බවට පත්වෙලා.

මට අන්තිමට හිතෙන්නේ මෙහෙමයි. මමනම් මගේ එකෙක්ව ට්ව් එකට හුරු කරන්නේ නැතුව ඊටවඩා අන්තර්ජාලයට යන්න යොමු කරනවා. ඒක දාහෙන් සම්පතයි. දැන් ඔයාල හිතාවි මේ  මොන පිස්සු කතාවක්ද කියල... නෑ...... ටෙලි නිලියෝ ගණිකාවෝ වෙච්ච රටක ළමය ඉන්ටර්නෙට් එකට යද්දී එච්චර කලබල වෙන්න ඕනේ නෑ. ඕනේ කරන එකම දේ කොම්පියුටරේ සාලෙන් හරි නිතර පේන තැනකින් හරි තියන ඒක විතරයි. අනික මම ඇත්තම කිව්වොත් කව්රු කොහොම වැට බැන්දත් නියම වයසට ආවම ළමයි කුතුහලේට කොහොමත් ඔය නිල් දේවල් බලන එක කාටවත් නවත්තන්න වෙන්නේ නෑ.