Monday, June 30, 2014

ජායාරූපකරණය ගැන සිංහලෙන් 2

ජායාරුපකරණය ගැන සටහන් මාලාවක් ලෙසින් ඔබ වෙත එන ලිපි පෙළක දෙවැන්න මේ.

මුලින්ම අපි බලමු කොහොමද කැමරාවකින් ගන්නා පින්තුරයක් කැමරාවේ සටහන් වෙන්නේ කියල.

කැමරාවේ ෂටර් බොත්තම එබූ සැනින් අපිට ඇහෙන්නේ ක්ලික් ශබ්දයක් නේ. ඩිජිටල් කැමරාවක දී නම් වෙන්නේ කැමරාවේ කාචය මත වන ප්‍රතිබිම්බය ආලෝක සංවේදී පරිපථයක් මතට පතිතවී එතනින් එය සැකසුම් වලට ලක්වී මතක ගබඩාවට සේයාරුවක් විදියට යවන එක. නමුත් ඇනලොග් කමරාවකදී මේ දේ සේයා පටලයක් මතට ප්‍රතිබිම්බය වැටීමෙන් සේයා පටලයේ රසායනික වෙනස්කමක් මගින් ආලෝක සංවේදී භාවය ලැබීම වෙන්නේ,.

ඉතිං මෙහෙම ගන්න සේයා රූ ගන්න අද වෙද්දී ගොඩක් අය භාවිතා කරන්නේ ඩිජිටල් කැමරා. ඇනලොග් කැමරා භාවිතා කරන සේයාරූ ගන්නා අයත් නැතුවාම නෙවෙයි. නමුත් එයාල මේ දේ කරන්නේ වෘත්තිමය අවශ්‍යතා වලට හෝ විනෝදාංශයක් විදියට.

ඇනලොග් සහ ඩිජිටල් කැමරා වලදී ඇති ප්‍රධාන වෙනස තමයි ඇනලොග් කැමරාවෙන් ගන්න පින්තුරයක පෙර දැක්මක්, එහෙම නැතිනම් ප්‍රීවිව් එකක් බලාගන්න බෑ. ඒ වගේම ආලෝකය රඳවා ගන්න ඒ ඒ ආලෝකයට අවශ්‍ය තීව්‍රතාවට සරිලන පටල අවශ්‍ය වෙනවා. ඉතිං ඇනලොග් කැමරාවක පින්තුර ගත්තට පස්සේ අවසාන අදියරේ දී පටල මුද්‍රණය කරන්න ගියාම තමයි බලාගන්න වෙන්නේ මොකක්ද ෆොටෝ ටිකට වුනේ කියලා. ඩිජිටල් කැමරාවකින් ගන්න පින්තුරයක ඒ මොහොතේම සජීවී දර්ශනය බලන්නත් ඒ ඇසුරෙන් අවශ්‍ය සුදානම සිද්ධ කරන්නත් අවසානයේ ගන්න පින්තුරය කොහොම එකක් ද කියල බලන්නත් ඒ මොහොතේම අවශ්‍යනම් පින්තුරය මකා දමා නැවත ගන්නත් හැකියාව තියනවා. ඒ වගේම පටල සංවේදීතාවය පාලනය කරන්න ඒ මොහොතේම හැකියාව තියනවා.

ඉතිං ඇනලොග් කැමරා භාවිතය අසීරුයි. ඊට වඩා ඩිජිටල් කැමරා භාවිතාව පහසුයි. මේ පහසුකම නිසා අද වෙද්දී ඇනලොග් කැමරා භාවිතයට නොගන්න තරම්,. ඇනලොග් කැමරාවක රාමුව සාමාන්‍ය විදියට 36×24 mm පමණ වෙනවා. මේ ප්‍රමාණයට ඩිජිටල් කැමරා වලදී කියන්නේ Full Frame (Nikon : FX) එහෙමත් නැතිනම් සාමාන්‍ය ඇනලොග් කැමරා රාමුවේ ප්‍රමාණය කියල.

මෙතනට ආවාම ඔයාල අහයි එහෙනම් අනිත් ඒවා මොනවාද කියල. ෆුල්ෆ්‍රේම් DSLR වලට පස්සේ ගොඩක් තියෙන්නේ Nikon: DX mode එහෙමත් නැතිනං Crop Mode කියන රාමු ගන්න පුළුවන් කැමරා. මේවත් DSLR විශේෂයක් වුනත් මේ කැමරා මිලෙන් සාපේක්ෂව ෆුල් ෆ්‍රේම් කැමරාවකට වඩා අඩුයි. ඊට පස්සේ එන්නේ බ්‍රිජ් කැමරා සහ පොයින්ට් ඇන්ඩ් ෂුට් වර්ගයේ කැමරා. මේ අවසාන එකට ජංගම දුරකථන කැමරා ඇතුලත් කරන්නත් පුළුවන්

ක්‍රොප් මෝඩ් එක ගැන කියද්දී ලාබයි කිව්වනේ..දැන් ඉතිං හිතන්න එපා "ඈ.. ලාබයි නං හිලක් ඇති" කියල.. "හිලක් නැති පුනීලෙන් වැඩක් නෑ නේ මුදලාලි" කිව්වා වගේ මේ කැමරා වලිනුත් ගන්න වැඩ එමටයි. මේ කැමරා බෝහොකොටම වනසතුන් ගේ සේයාරූ ගන්න අය වගේම ක්‍රීඩා වල සේයාරූ ගන්න අය භාවිතා කරනවා. හේතුව මේ කැමරා ලෙන්ස් බොහෝ කොටම FX කැමරාවකදී ඒ සමාන කාච ඇති ලෙන්ස් එකක  නාභි දුර මෙන් 1.6 ගුණයකින් (මේ අගය විවිධ කැමරා වලදී වෙනස්වීමකට ලක්වන බව සලකන්න) වැඩි දුරක් ආවරණය කරන නිසා. ඉතිං වැඩි විස්තර පසුවට කතාකරන්න තියල අපි යමු ඊළඟ කොටසට.

බ්‍රිජ් සහ පොයින්ට් ඇන්ඩ් ෂූට් වර්ගයේ කැමරා වලදී අපිට අවශ්‍ය විදියට ලෙන්ස් මාරු කරන්න හැකියාවක් බෝහොකොටම නෑ. ඒ එක්කම අපිට ජායාරුපකරණයේ දී අවශ්‍ය වන අනිකුත් සීරුමාරු කිරීමේ හැකියාවන් ද බොහෝ දුර්වලයි. ඒ නිසා මම මේ දෙක ගැන කතා කරන්නේ නෑ.

මෙතැනදී අපි කැමරා ගැන කතා කරන්න අදහස් කරන්නේ ෆුල් ෆ්‍රේම් එහෙමත් නැතිනම් ක්‍රොප් මෝඩ් කියන දෙවර්ගයේ සැකසුම්, පහසුකම් සහ භාවිතයන් ගැන විතරක් කියල සටහන් කරන්න කැමතියි.

ඉතිං, දැනටම ඔයාල දන්නවා ඇති කැමරා නිෂ්පාදකයින් ගොඩක් දෙනෙක් ගැන. කැනොන්, නිකොන්, සෝනි වගේ සමාගම් මේ අතරේ ඉන්නවා. ඊට අමතරව තවත් කැමරා මෝස්‌තර නිෂ්පාදනය කරන්න සමාගම් කීපයක් ම ඉන්නවා. ඒ අතරේ සැම්සුන්ග්, ෆුජි වගේ ආයතනත් Hassleblad, Leica වගේ ආයතනත් Pentax කැමරා හදන Ricoh සමගමත් අපිට ගන්න පුළුවනි. (මේ සමහර නම් ඔබට හා මට හුරු නිසා සිංහලෙනුත් අනිත් නම් ඇතැම්විට කියවන විදියේ වෙනසක් වේ දෝ කියා ඉංග්‍රීසියෙනුත් සටහන් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

මේ එක එක කැමරා වල පොඩි පොඩි වෙනස්කම් තිබුණද ඒවා සියල්ල තුල අඩංගු වන පොදු කාරණා කීපයක් තිබෙනවා,.

ඒ ආලෝක පටල සංවේදීතාව හෙවත් නුතන ISO (පෙර ASA), ෂටරයේ ද්වාර වේගය (Shutter Speed) සහ Aperture (මේ වචනයට කියන සිංහල තේරුම මම ඇත්තෙන්ම දන්නේ නෑ. දන්නා කෙනෙක් සිටි නම් පවසන්නයි ඉල්ලා සිටිනවා.) කියන සැකසුම් තුන. මේ තුන හරියටම පාද තුනක් වගේ. මේ පාද තුන සමබරව තියේ නම් අපිට මුලික මට්ටමේ හොඳ සේයාරුවක් ගන්න හැකියාව තියනවා. ඒ සේයාරුව තවත් එක ස්නැප් ෂොට් එකක් නොවෙන්න මෙතනින් එහාට දේවල් ටිකක් දැනගන්න අවශ්‍ය වෙනවා.

එහෙනං ඒ කොටස එක්ක ඊළඟට හමුවෙමු. එතකං බලන්න රෑ අහසේ මැවුණු සිත්තමක් දිහා..




ක්ෂීරපථය දෝහා වෙත ජුනි 26 වෙනිදා මැදියම් රෑ ඉකුත්වෙද්දී පෙනුණු හැටි
ජායාරුප අයිතිය: මගේ සහ තරිඳු රොඩ්රිගෝ ගේ.


(මගේ අලුත් ලැප් එක නිසා මට සිංහල ලියන්න විදියක් නෑ. ඒ නිසා මගේ ලිවීම ටිකක් ප්‍රමාද වෙනවා. ඇපල් වල සිංහලෙන් ලියන්න දන්නා කෙනෙක් ඉන්නවානං (මට යතුරු පුවරුව සිංහලෙන් හුරු නෑ. ගූගල් පාවිච්චි කරන්නේ මේකේ.) පොඩ්ඩක් කියල දෙන්න. ලොකු උදව්වක් වේවි.)


23 comments:

  1. Aperture = කාච විවරය
    ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ ඔය වචනේ හරිද නැද්ද කියලවත්.

      Delete
  2. ඉදහං ඉදහං පළවෙනි එක මං බලල නෑහැනේ...

    ReplyDelete
    Replies
    1. ඇයි බොල අර අයිලාෂ් කියන එව්වා බලන්න එනවයි කිව්වේ එතකොට වෙන දේශකයෙක් ද?

      Delete
  3. Singreesi 8.1.1 බාගෙන බලාපං. ඒක stand alone පොඩි ගැජට් එකක්.
    ස්තුතියි ක්සැන්ඩර්. උඹේ (උඹලගේ) අර නයිට්ෂොට් එක නම් මරු. උඹලා මේක ගන්න රෑ මැද කාර් එක පාර මැද්දෙ නැවැත්තුවද? ඒක මාර භයානක වැඩක්නේ.
    මේක ට්‍රයිපොඩ් එකක් නැතුව ගන්න බැරි එකක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔත්තුව ට්‍රයි කළා ඩුඩ්. වැඩේ මගේ ලැපේ දුවන්නේ මැක් ඕඑස් එක නිසා ඒක ක්‍රෑෂ් වෙනවා වයින් වලින් රන් කරද්දී.

      ඕක ගත්තේ කාන්තාරෙක මැද්දේ ගිහින්, ඔය ටික ගන්නම තමයි කාන්තාරේ බඩගෑවේ :) කාර් එක නං තියෙන්නේ පැත්තකට වෙන්න., ඔය පාර එලිය වෙන්න කලේ වෙනම ෂොට් එකක් අරගෙන ඒක ලයිට් පේන්ට් එකක් කල එක. පස්සේ දෙකම ෆොටෝෂොප් වලට දාලා බ්ලෙන්ඩ් කළා. මේ ටිකේ ඔය පාර පාළු වෙලා. එහෙන් මෙහෙන් එක වාහනයක් යන්නේ එන්නේ. මේ ෂොට් එකෙත් තියනවා ඈත යන වාහනයක්. බයේ හිටියේ පොලිසියෙන් කේස් එකක් වෙයිද කියල. උන්ට මේවා තේරුම් කරන්න ගියා නම් තව සුමානයක් යනකංවත් ඇතුලේ තමා ඉන්න වෙන්නේ.

      ඔබ හරි ඩුඩ්. මේක ගන්න ට්‍රයිපොඩ් එකක් ඕනේ. ඒ වගේම රිමෝට් ෂටර් බටන් එකකුත් ඕනේ සෙලවීම අවම කරගන්න.

      Delete
  4. පින්තූරෙනම් මාරම ගති අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි..

      Delete
  5. බොහොම අගනා විස්තරයක්. දිගටම කියවන්නම්. මගේ ළඟ තිබුන කැමරාව හොරු ගත්තා. අද එකක් ගන්න වත්කම නැතුව වේලෙනවා. නමුත් මැරෙන්න පෙර හොඳ කැමරාවක් ගැනීමේ අභිලාශයක් තියනවා. ඡායාරූපකරණයට මම බොහොම ආසයි. යුද බිමේ පින්තූර ගොඩක් මා සතුයි. ඔක්කොම ඇනලොග් පින්තූර. අද ඒවා නරක් වෙමින් යනවා.

    ReplyDelete
    Replies
    1. නරක් වුනු ෆොටෝ හොදට හෝදලා,අව්වේ වේලලා,ලැමිනේට් කරන්න(නරක් වුනු ඒවා හේදිලා යන නිසා ඉතිරි කොටස පරිස්සම් )

      Delete
    2. ඇත්තටම මට කණගාටුයි ඔබතුමාගේ කැමරාව ගැන. මේ කාලේ හොඳ DSLR කැමරාවක් ගන්න පුළුවන් රුපියල් තිස්දාහකට විතර. ඇනලොග් පින්තුර ගන්න පුළුවන් කියන්නේ ඔබට මහත් වෙහෙසක් දරන්න ඕනේ නෑ ඩිජිටල් කැමරා එකක් එක්ක.

      පින්තුරැ ස්කෑන් කරලා තියාගන්න පුළුවන් නම් ටිකක් ඉහල විභේදනයක් එක්ක, ඒ පින්තුරු නැවත සකස් කරන්න පුළුවන්. ෆොටෝ හෝදන එක ගැන නම් මම දන්නේ නෑ. ඒ ගැන ඇහුවේ අද.

      Delete
    3. දුලාංජලි, මේ විදියට කළාම සේයාරුවට හානි වෙන්නේ නැතිද?

      Delete
  6. top! ගොඩක් ස්තූතියි! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. මොකද දැන් සටහන් ලියවෙන්නේ නැද්ද?

      Delete
  7. මුල්ම වතාවට මේ පැත්තට ගොඩ උනේ. මමත් කටාර් වල ජිවත් වන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි චායාරුපකරණයට කැමති කෙනෙක්.
    පින්තුරේ නම් පට්ටම පට්ට. කොහොමද මෙච්චර ලයිට් පොලියුෂන් එකක් තියෙන තැනක ඔච්චර හොදට ක්ෂිරපතය අල්ල ගත්තේ. හිතා ගන්නත් බෑ. මගේ උත්සහයවල් ගොඩක් වතුරේ ගියා නේ. http://pinthorawick.blogspot.com/2014/07/2-arabian-nights-2.html

    ReplyDelete
    Replies
    1. වීරේ බොහොම සාදරයෙන් පිලිගන්නවා මෙහෙට. මෙතැනදී කලේ ලයිට් පොලුෂන් එක තියෙද්දී කල වෙනස්ම වැඩක්. එකක් තමා C-PL filter එකක් භාවිතා කරලා ND Grad එකක් තියන විදියට කැමරාව සකස් කළා. දෙක, පින්තුරු රැසක් ගත්තා හොඳම එක තෝරාගන්න. ඊට පස්සේ ඒ ඔක්කොම ඩිජිටල් බ්ලෙන්ඩ් එකක් විදියට එකතු කළා ෆොටෝෂොප් වල තියන ලේයර් බ්ලෙන්ඩ් ටුල්ස් වලින්. මේ ඒ සියල්ලේ ම එකතුව.

      Delete
  8. මේ ෆොටෝ එක නම් මරු. මමත් මේ ක්ෂිරපතේ ෆොටෝ එකක් ගන්න හෙන ආසාවෙන් ඉන්නවා.. හැබැයි තාම හරියට පේන තැනක් හොයා ගන්න බැරි වුණා. ලංකාවේ ඔය ෆොටෝ එකක් ගන්නවනම් හොඳම පැත්ත කොහෙද?

    ReplyDelete
    Replies
    1. ක්ෂීරපථය ගන්න නම් ඉතිං හොඳම තැන තමයි ඉතාම අඩු ආලෝකයක් ලැබෙන අඳුරු ස්ථාන. මොකද සෙන්සරය අඩු ආලෝකයේ දී ඉතා ඉහල ISO අගයකට නිරාවරණය කරන්න සිද්ධ වෙන නිසා කුඩා හෝ ආලෝක පුංජයන් මගේ පින්තුරේ ඈත තැඹිලි පාටට පේනවා වගේ ගිනිගොඩක සිරියක් දෙන්න පුළුවන්.. ආලෝකය ලඟින් තිබුණොත් නං සොරි තමයි. මේ ෆොටෝ එක ගද්දි වෙලාව රෑ 1 පසුවෙලා. කට්ට කළුවරේ ඉඳල ගත්තේ.

      හරියටම කොහෙන්ද පේන්නේ කියල බලන්න stellarium (http://www.stellarium.org/) සොෆ්ට්වෙයාර් එක භාවිතා කරන්න. මේකේ බොහෝවිටම නිවැරදිව ක්ෂීරපථය පායනා දිසාව සහ ගමන පෙන්වනවා. තවත් එකක්, මේ මාස දෙකේ දී මේ වැඩේ කරන්න, මොකද මේ තමා ඉතාම සුදුසුම කාලය.

      Delete
    2. stellarium දාගත්ත. පොඩ්ඩක් ඉගෙන ගෙන බලන්න ඕනේ. මම මේ ට්‍රයිපොඩ් එකක් ගන්න හිතන් ඉන්නවා. දන්නවද හොඳ වර්ගයක් ගැන. මගේ කැමරාව කැනොන් 550d එකක්. අනිත් එක 70mm-300mm වගේ ලෙන්ස් එකකින් ඔය ෆොටෝ එක ගන්න පුළුවන් ද?

      Delete
    3. 18mm-55mm වඩා හොඳ වෙයි නේද?

      Delete
    4. මේ වැඩේට හරියන්නේ නං වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකක්. ඒ හින්දා 18-55 එක හොඳයි. ඒ ලෙන්ස් එකේ කාච විවරය f/3.5 විදියට තියල Exposure Value (EV) +1 වෙන්න හදන්න. එතකොට කාචය ලබාගන්න ආලෝකය බොහෝකොටම f/2.8 ට සමාන වෙනවා.

      ඔබේ කැමරාවේ පටල වේගය ISO 800 - 3200 වෙනකම් සේයාරූ රැගෙන උත්සාහ කරන්න. ඒ එක්කම සෙන්සරය රත්වෙන නිසාත් නොයිස් එන්න පුළුවන්. ඒ නිසා එක දිගට පින්තුරු ගන්න එපා. පොඩි විවේකයක් දෙන්න..

      ට්‍රයිපොඩ් ගැන කතා කරනවා නං මම නම් කියන්නේ මුදල් තියනවා නම් සැහැල්ලු එත් ශක්තිමත් කාබන් ෆයිබර් ට්‍රයිපොඩ් එකක් ගන්න කියල. හොඳ වර්ගයේ ට්‍රයිපොඩ් වල පාද තුන වෙනමත් හිස වෙනමමත් ගන්න පුළුවන්. (මෙහෙම ගන්න තියන හැම එකම හොඳ නෑ. මම අදහස් කලේ ප්‍රසිද්ධ ඒ වගේම හොඳ වෙළඳ නාම ගැන.)

      සැහැල්ලු වුනත් බලන්න ට්‍රයිපොඩ් එකේ කකුල් ගැන. බර කොතරම් දරාගන්න පුළුවන් ද බලන්න. බෝල් හෙඩ් එකක් එක්ක ගන්න උත්සාහ කරන්න. නමුත් පෑන් ඇන්ඩ් ටිල්ට් එකකුත් වරදක් නෑ. එත් බෝල් හෙඩ් එකකින් කරන දේ පෑන් ඇන්ඩ් ටිල්ට් එකේ කරන්න බෑ. මේ ගැන පොස්ට් එකක්ම දෙන්නං

      Delete
  9. පහුවෙලා ඇවිත් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete