Wednesday, July 9, 2014

ජායාරූපකරණය ගැන සිංහලෙන් - 3

 

හොඳ කැමරාවක් ගමු ද එහෙනං?

පින්තුරය : ගූගල් වෙතින්..


අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ කැමරාවක් ගන්නේ කොහොමද සහ ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ දේවල් සමුහයක් ගැන. හොඳ කැමරාවක් විදියට මම මෙතන හඳුන්වා දෙන්න යන්නේ අපි කතාකරපු DSLR වර්ගයේ කැමරාවන්.


මොකද මේ DSLR එකක්ම?
මේ වර්ගයේ කැමරා වලදී කැමරාවේ ද්වාර වේගය, කාච විවරය සහ පටල වේගය (Shutter Speed, Aperture and ISO) පාලනය කරන්න වෙන වෙනම හැකියාව තියනවා. ඒ එක්කම තවත් අතිරේකව කැමරාවේ නිරාවරණ මීටරය මගින් සහ ආලෝක මීටර මගින් කැමරාවෙන් හොඳ තත්වයේ රූපරාමු ලබාගන්න අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරන්න හැකියාව මේ සමගින් ලැබෙනවා.

තව දුරටත් කතා කරද්දී මේ වර්ගයේ කැමරා වල අපිට පෙර සැකසුම් කර නැති, ගොනුව හකුළුවා නැති දල රූප (lossless uncompressed RAW) විදියට පින්තුරු ලබාගන්න පුළුවන්. මේ පින්තුරු වලින් අපිට ඇඩෝබි ලයිට්රූම්, ඇඩෝබි කැමරා රෝ සහ ඇඩෝබි ෆොටෝෂොප් වලදී අවශ්‍ය පරිදි සංස්කරණය කරන්න, සැකසුම් සිද්ධ කරන්න ඉතාම ඉහල හැකියාවක් ලැබෙනවා.


මිල පරාසයන් ගත්තොත්?
ලංකාවේදී නම් මිල රුපියල් 30000 සිට ඉහළට දකින්න පුළුවන්. ඉතාම ඉහල මට්ටමේ වෘත්තීය කැමරා නම් රුපියල් ලක්ෂ හතකට (Nikon D4s | Canon 1Dx) වඩා වැඩි මුදලක් වෙනවා. එත් අපිට අවශ්‍ය සරල කැමරා. ඔබට පසුව ඔබේ අවශ්‍යතා මත වෙනත් කැමරාවකට මාරු වෙන්න පුළුවන්.

ඔබට අවශ්‍ය නම් ඔන්ලයින් ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ද ඇනවුම් සිදු කරන්න පුළුවන්. මිල නම් ටිකක් අඩුයි එත් වගකීම් සහතික ගැන නම් බොහෝ තැන්වලදී කියන්න බෑ. එත් වැදගත් තැනකින් මිලට ගත්තොත් වගකීමක් ද සහිතයි. වැඩේ තියෙන්නේ


මොනවාද ඉතිං හොඳ කැමරා ජාති?
වඩා ප්‍රසිද්ධ නං ඉතිං කැනොන් හෝ නිකොන් කියන වර්ග දෙක. එත් ඒ දෙකෙනුත් වඩාත්ම හොඳ එක තෝරනවා කියන්නේ නං සංකීර්ණ ප්‍රශ්නයක්. බොහෝ වේලාවට අපි දකින දෙයක් තමයි කැනොන් කැමරා මෙන්ම නිකොන් කැමරා ද එක හා සමාන ලෙස වෘත්තීය මට්ටමේ දී භාවිතා වෙනවා කියන දේ. ඇත්තෙන්ම කැනොන් කැමරා මිලෙන් ටිකක් අධිකයි. ඒ වගේම ලෙන්ස් වල ද මිල ටිකක් නිකොන් වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ එක්කම බොහොමයක් කැමරා ඉහල පටල වේගවලදී වඩා හොඳ සංවේදීතාවයක් දක්වනවා. තව දෙයක්, කැනොන් කැමරා තමන්ගේ ෆුල්ෆ්‍රේම් කැමරා බොඩි වලට ක්‍රොප් මෝඩ් ලෙන්ස් භාවිතාව සඳහා සහය දක්වන්නේ නෑ.

නිකොන් කැමරා ද මීට දෙවැනි වන්නේ නෑ. එහෙම නැතිනම් ඉතිං ඔවුන්ට ද පැවැත්මක් නෑ නේ? ඔවුන්ගේ මිල මට්ටම ටිකක් පහලින් තියන අතර ලෙන්ස් ද සාපේක්ෂව මිල අතින් පහලින් තියනවා. නිකොන් වර්ගයේ කැමරා තමන්ගේ ෆුල්ෆ්‍රේම් කැමරා බොඩි සඳහා ක්‍රොප් මෝඩ් ලෙන්ස් භාවිතය අනුමත කරන අතර ඒ ලෙන්ස් කැමරාව විසින්ම හඳුනාගෙන ඊට අනුකූලව කැමරා බොඩිය සකස් කරනවා.

මේ සියල්ලටම පසුව ඒ ඒ නිෂ්පාදකයා තමන්ගේ එක් එක් කැමරා මොඩලයන් සඳහා විවිධ පහසුකම් සලසා දෙන අතර ඒවා ද අවශ්‍යතා මත එකිනෙකාගේ තෝරාගැනීම් වෙනස් කරන්න සමත් වෙනවා., උදාහරණයක් ලෙස, නිකොන් D610 කැමරාවේ ක්ෂනිකාලෝකයක් (ෆ්ලෑෂ්) එකක් අඩංගු අතර කැනොන් 6D හි ඒ පහසුකම ලබා දි නෑ. එසේම නිකොන් D610 කැමරාවේ ක්ෂනිකාලෝක පද්ධතිය දුරස්ථ ක්ෂනිකාලෝක පද්ධති (Off camera Flash commander) මෙහෙයවීම සඳහා සහය ලබා දෙනවා. කැනොන් හි දී ඒ පහසුකම ද ලබා දී නෑ.


පාවිච්චි කල එකක් ගන්න බැරිද?
මොකද බැරි? ඒත් ඒ සඳහා ඔබ දැනුවත් වී සිටිය යුතුයි. ඒ කියන්නේ ඇතැම් කැමරා වල නිෂ්පාදන දෝෂ මත වන දොස් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා වෙළඳපලට අඩු මිලට එනවා වෙන්න පුළුවන්. මීට හොඳම උදාහරණය නිකොන් සමාගමේ D600 කැමරාව. මේ කැමරාවේ ෂටරයේ තෙල් / දුවිලි අංශු බැඳීමක් සිද්ධ වෙනවා. ඒ නිෂ්පාදන දෝෂයක් විදියට. ඉතිං අද මේ කැමරා ගන්න කෙනෙක් නෑ. නිෂ්පාදකයා මේ මොඩලය තවදුරටත් විකුනන්නෙත් නෑ. ඒ හේතුවෙන් භාවිතා කල, දෝෂ සහිත කැමරා අද බොහෝ දෙනා විකිණීමට උත්සාහ කරන කාලයක්.

නමුත් ඇතැම් දෙනා මේ දෝෂය සලකන්නේ නෑ. මේ දෝෂය ෆොටෝෂොප් මගින් ඉවත් කරන්න හැකිය කියන තැන ඔවුන් ඉන්නවා. එත් ඉතිං දෝෂ තියන කැමරාවක් මොකට ගන්නවද නේද?


ඉතිං ඔය දේවල් පේනවද?
ඔව්. මේ දුවිලි / තෙල් අංශු නම් පේන්නට තියෙනවා. එත් ඒ සඳහා සේයාරුවක් ගෙන පරික්ෂා කරන්න ඕනේ. ඒකත් පරිඝනකයෙන්. මොකද කැමරාවේ ඩිස්ප්ලේ එකේ දී දැක්කට අපිට මේ දෝෂ හරියටම පේන්නේ නෑ. නමුත් සෙන්සරය මත ඇති දුවිලි බැඳීම්, කැමරාවේ වැටීම් තැලීම් නම් බලන්න පුළුවන්.
සෙන්සරයේ දුවිලි පරික්ෂා කරන්න නම් කැමරාවේ සෙන්සරය තිබෙන කුටිය විවර කර පරික්ෂා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සෙන්සරය තියෙන්නේ කැමරාවේ ටිකක් ඇතුලේ, ඒ කියන්නේ ෂටර් කර්ටන් එක සහ දර්පණ කොටසකට පසු. ඉතිං ඒ නිසා කැමරාවේ සෙන්සරය ක්ලීනිග් මෝඩ් එකට දාල තමයි බලන්න වෙන්නේ.

දෙවනුව කැමරාවේ පවසන ආයු කාලය හා සාපේක්ෂ ගෙවීම් සීරීම්. ඒ ගැන නම් ඉතිං බලන්න ඕනේ කැමරාවේ පිටත පෙනුම. විශේෂයෙන්ම කැමරාවේ පටිය හා ඒ ආසන්න කොටස්. මේවා ක්ෂය වෙලා නම් කැමරාව භාවිතයේ හොඳින්ම තිබුණු එකක්. බොහෝ විට පටිය අලුත් මෙන් පෙනුනද ඒ ආසන්නයේ ගෙවීම් දකින්න පුළුවනි.

තව එකක්, කැමරාවේ ෂටරයේ සටහන් වෙනවා එයින් ලබාගත් පින්තුරු ගණන. මේ තුලින් කැමරාවේ ෂටරයේ ආයුකාලය සහ භාවිතයේ දී (නිෂ්පාදකයා කියා තිබෙන පරිදි ෂටරයේ ආයු කාලයට සාපේක්ෂව ) කොතරම් පින්තුරු ගණනක් ලබාගෙන ඇතිද යන වග සොයාගන්න පුළුවන්.මේක බලන්න ඕනේ නං කැමරාවෙන් ගත් පින්තුරයක් මේ පහල සටහන් කර ඇති වෙබ් අඩවි වෙත ගොස් ඒ ඇති මෘදුකාංග භාවිතා කරලා ලබාගන්න පුළුවන්. නමුත් මේ කාලයන් සාපේක්ෂයි. ඔබ වාසනාවන්ත නම් මේ කාලයට වඩා කාලයක් ඔබට ඔය කැමරාව භාවිතා කරන්න පුළුවනි. අවාසනාවකට හෝ මේ කාලය තුලදීම ෂටරය දෝෂ සහිත වුවොත් කරන්න තියෙන්නේ ෂටරය මාරු කරන එක. හරිම සිම්පල් ප්ලෑන් එකක් නේ?


වැදගත් දේවල් ටිකක්...
කැමරාවක් ගන්න වෙලාවක ටිකක් ඒ ගැන දන්නා කෙනෙක් ඒ වගේම විශ්වාසවන්ත කෙනෙක් එක්ක යන්න. විශේෂයෙන් භාවිතා කල එකක් ගන්නවා නම්. ඒ එක්කම මතක තියාගන්න, ලෝකේ තියන හොඳම කැමරාවට බෑ හොඳම ජායාරුප ශිල්පීන් බිහි කරන්න. නමුත් ලෝකේ තියන නරකම කැමරාව වුනත් හොඳ ඇහැක් තියන ශිල්පියෙක් ගත්තොත් ඒ කැමරාව භාවිතා කරලා හොඳ මට්ටමේ සේයාරූ නම් ලබා ගනීවි. ඒ කියන්නේ ඔබ අතේ තියන කැමරාව තමා හොඳම කැමරාව..

මෙතනදී කැමරා කියා අප හඳුන්වා දී ඇත්තේ කැමරා බොඩිය පමණක් වන බව සලකත්වා. හේතුව කැමරාව තරමක් වෘත්තිමය පැත්තට බර වූ විට කැමරාව සමග බොහෝවිට ලේන්සයක් නොලැබේ. ඔබට ඒ සඳහා අවශ්‍ය ලෙන්ස් මිලදීගත යුතු වේ. ලේන්සයන් සමගින් කැමරා පැකේජ ඇතත් ඒ මුදල බොහෝ විට වෙනත් දෙයක් සඳහා යොදාගත හැකිය.



එහෙම නම් ඊලග කොටසෙන් හමුවෙමු ලෙන්ස් ගැන කතා කරන්න.... එතෙක් ආයුබෝවන්.

කැමරාවේ ෂටරයේ ආයුකාලය දැනගන්න මෙතනට යන්න..

32 comments:

  1. අර D600 කැමරාවේ දෝශය වගේ ඒවා හෙලිදරව් කරන එක අපි කාටත් ප්‍රයෝජනවත්. ඕ Do and Don'ts මොනවද කියලා හැකි හැම අවස්තාවකම කියාපං ඇලෙක්ස්.

    ReplyDelete
    Replies
    1. රෙජිස්ටර් කරපු නම “සැන්ඩරයා“ බං...

      Delete
    2. :D එහෙම කියන්නේ උඹ නේ..

      Delete
    3. හැකි හැමවෙලාවකම මේ වගේ දෙයක් හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා හෙන්රි. do and dont's ගැන නම් ඉතිං ඉස්සරහ කොටස් වලදී බලන්න පුළුවන් වේවි.

      බොහොම ස්තුතියි

      Delete
  2. එළස්.. උඹ බෝම සරලව කරුණු ඉදිරිපත් කරන එකට මට සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශකයෝ..

      Delete
  3. අර අයිලාශයත් මේ ගුන ලිය ලියා හිටියා ඒත් දැන් නැ . උඹ ලියන එක මහාදයි

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ නව පරපුර..

      Delete
    2. ඉස්සරලා අයිලාස් ට උත්තර දීල ඉන්නං ඈ..

      නව පරපුර මේ ලියන්නේ ඔබ වැන්නවුන් අපිව කිතිකවා දිරිමත් කල නිසයි. මතකද අයිලාස් මම ඔබේ බ්ලොග් එකේ දී බෑග් ගැන එහෙම ප්‍රශ්න ඇහුවා.. කැමරා මොඩල් ගැන ප්‍රශ්න ඇහුවා.. ඒ දේවල් එක්ක අපි ඉගනගත්තු දේ මේ බෙදන්නේ..

      මේ වැඩේට ඔබටත් ගෞරවයක් හිමිවෙන්න ඕනේ අපිව මේ පැත්ත ගැන දැනුවත් කරමින් උනන්දු කලාට..

      Delete
    3. ස්තුතියි අටමෝ.. ඔන්න දැන් ආපහු බ්ලොග් එක පණ ගහල යනවා.. :) අයිලාෂ් ට දුන්නු උත්තරේ බලපන් ටිකක්..

      Delete
    4. ස්තුතියි ඔබට, නමුත් ඔබ මටත් වඩා ඉතා හොඳින් මේ කාර්යය කරන බව ඉතා පැහැදිලියි. එක තමයි වෙන්න ඕන, නව පරපුර වඩා හොදින් කාර්යය ඉටුකරන විට අපට නිරාමිස සතුටක් දැනෙනවා. ඔබ සමග දිගටම රැදෙමින් ඔබෙන් යමක් ඉගෙන ගැනීමට උත්සාහ කරනවා.

      Delete
    5. ඔබට බොහොම ස්තුතියි අයිලාෂ්. වරදක් දෝෂයක් තිබුණොත් පෙන්වා දෙන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි, ඒ එක්කම ආපහු වතාවක්, මේ සියල්ලේම මුල් ඇදෙන්න ඔබ කල සේවය හේතුවූ බව කියන්නේ ඉතාම සතුටින්.

      Delete
  4. ඉස්සරහට එන එව්ව තමයි මං බලන් ඉන්නෙ. කොහොම්ද හොල්මන් වගෙ පේඉනෙ නැති පින්තුර ගන්නෙ කියල ඉගෙන ගන්න. මං ගන්න ඒවට වඩා මගෙ පොඩි කොල්ල ඔහේ දික් කරලා ගන්න ඒවා හොඳයි..

    ReplyDelete
    Replies
    1. එහෙනං ලංකාප්‍රිය අයියට ඉන්න වෙනවා තව කොටස් දෙකක් ම.. මොකද ඊලගට ලෙන්ස් ගැන කියන්න ඉන්නේ.. ඊට පස්සේ ගමු ෆොටෝ එකක් :)

      ගොඩවැදිලා සටහනක් තියල ගියාට බොහොම ස්තුතියි

      Delete
  5. ඉතාමත් හොදින් නොදන්නා අයට තේරුම් ගන්න හැකි විදියට ලියලා තියනවා. අයිලාෂ් අයියත් මේ වගේම ලිපි පෙළක්ම ලිව්වා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන්.. අයිලාෂ් ල මේවා ගැන පුරෝගාමියෝ. එයාල ලියපු සටහන් දැකල තමයි මමත් මේ ගැන හදාරන්න පෙළඹුනේ.

      Delete
  6. දේශකයා තමයි ඔත්තුව දුන්නේ.. දිගටම කරගෙන පලයන් මලේ. දැන් ඉතින් මං තුමාට පැන්සොන් ගතහැකි...:)

    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. මොකට පැන්සොන් යනවද? වැඩියෙන් තිබුණා කියල අඩුවක් වෙන්නේ නෑ නෙව..

      Delete
  7. බොහොම අගනා තොරතුරු රාශියක් දැනගත්තා. බොහොම ස්තුතියි ක්සැන්ඩර්. මගේ ළඟ තිබුන Sony wsc 360 (point and shoot) වර්ගයේ කැමරාව හොරුගත්තා. ඒ සිත්වේදනාව අදටත් තියනවා. කැමරාවක් මට අත්‍යවශ්‍යයි. කැමරාවක් ගන්න හිතාගෙන මුදල් ටිකක් එකතුකරන්න උත්සාහ කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට. වැඩේ කියන්නේ මෙච්චර රැකවල් මැද ඉන්න මනුස්සයාගේ දේ හොරු ගත්තා නං ඉතිං අපිට මොකද වෙන්නේ? ඔබතුමාට කියන්න, මම මුලින් භාවිතා කල DSLR කැමරාව ගන්න හේතු වුනෙත් මගේ සෝනි කැමරාව මට ටැක්සියක අමතක වුණ නිසා. ඒ කාලේ ඒ කැමරාව ටිකක් ගණන් නිසා මදක් හෙව්වත් බඩු ආපහු හම්බවුනේ නෑ. මොනවා කරන්නද කියල හිත හදාගෙන ආපහු සල්ලි ටිකක් එකතු කරලා DSLR එකක් ම ගත්තා.

      Delete
  8. මාත් මේ ටිකේ හිතාගෙන බල බල ඉන්නේ D4ක් ගන්න කියලා.. තාම ප්‍රයිස් වැඩියි.. ඒ හන්දා දැක්කා නොදැක්කා වගේ ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. කැනොන් කැමරා එකක් නේද මල්ලි ගාව තිබ්බේ.. කොහොමද D610 එකේ ගණන් එහෙම? D4 එකක් නම් මට බර වැඩියි. ඒ යන ගානට D610 එකක් අරගෙන තව හොඳ ප්‍රයිම් ලෙන්ස් එකක් දෙකක් ගන්න පුලුවන් මෙහෙන් නං.

      Delete
  9. මට මේ තාක්ෂණික මල ඉලව් ඔළුවට ගන්න මාර කම්මැලි කමක් බන් තියෙන්නෙ.. ඉතින් කොහෙද ඉගන ගන්නෙ..

    ReplyDelete
    Replies
    1. අම්මෝ දැක්ක කල්.. මේ වැඩේ බොහොම පොඩි තාක්ෂණයක් තියන කලාවක් බං.. හරියට තාක්ෂනේ දන්නවා නං කරන්න බැරි නෑ.

      Delete
  10. මම හිතන්නෙ බොහොම කාලෙකින් මම ක්සැන්ඩරයගෙ ඉසව්වට පය තිබ්බෙ...කාලයක්ම ලියන්නෙ නැතුව හිටි නිසා තමයි එහෙම උනේ...මේ ලිපිය ලියනකං මම දැන උන්නෙ නෑ නොවැ ක්සැන්ඩරයා ඡායාරූප කලාව පිළිබද ප්‍රවීණයෙක් කියලා. මගේ මලයා ලංකාවෙ ජාතික පුවත්පතක ඡායාරූප මාධ්‍යවේදියෙක්...ඒ නිසා ඔය වෘත්තීය මට්ටමේ කැමරා, ලෙන්ස් මට ආගන්තුක නෑ. ඔහු Canon වලට ප්‍රිය කරන කෙනෙක්. ඒ වගේම ලංකාවෙ වෘත්තීය මට්ටමේ ප්‍රසිද්ධ බහුතර ඡායාරුප ශීල්පීන්ගෙ තේරීමත් Canon.

    ReplyDelete
    Replies
    1. ඔය කියැව්වේ ආපු ගමන්ම.. මං මොන ප්‍රවීණයෙක් ද සිරෝ.. :D ගොඩක් අය (කොටින්ම නිකොන් වලින් වැඩ ගන්න මම පවා) කැනොන් වලට කැමතියි. ඇත්තටම කැනොන් කැමරා වල තියන ස්වභාවය දන්නා නිසයි මම කැමති. මොකද කැනොන් කැමරා අඩු ආලෝකයේ පෙන්වන දක්ෂතා විතරක් නෙවෙයි, පින්තුරු වල මටසිළුටු බව නිසාත්. මොකක් වුනත් කැනොන් මිල ටිකක් ඉහලයි. නමුත් නිකොන් භාවිතා කරන්නෙක් විදියට මම දන්නවා නිකොන් කැමරාවෙන් ඒ දේ කරන්න අවශ්‍ය රහස. :)

      Delete
    2. මොකද දැන් මෙතන කැනොන් නිකොන් වලියක්ද? වලි නම් වලි මමත් නිකොන් පැත්තේ... :)

      Delete
    3. නෑ නෑ.. අම්මෝ වලි නං නෑ.. නිකොන් වලින් වුනත් වැඩ ගන්න දන්නවනං ඔන්න යකා බැඳගන්නත් ඇහැකි වේවි..

      Delete
  11. මෙච්චර කාලයක් ඉඳලත් අදනෙ මම මේ බ්ලොග් එකට ආවෙ.කැමරා ගැන මමත් උනන්දුයි. මටත් මෙය ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කියල කියන අතරේ රැඳිලා ඉන්න ආරාධනා කරනවා..

      Delete
  12. කෞශල්‍යAugust 19, 2014 at 12:35 AM

    තව පොඩි කාරණයක් එකතු කරන්න අවසර shutter count එක සම්බන්දව. pohoto එකෙන් shutter count එක හොයන වැඩේ හරියන්නේ කැමරාවේ firmware update කරලා නැත්නම් විතරයි. Nikon නම් ඒ බව කියලම තියෙනවා
    https://support.nikonusa.com/app/answers/detail/a_id/16492

    හැබැයි Canon නම් හරියටම කියල නැහැ. කොයික උනත් මට හිතෙන්නේ තමන්ගේ කැමරාව service එකකට යවනම් හරි firmware update එකක් කරනවානම් හරි shutter count එක අපිම මුලින් note කරගන්න එක තමි නුවණට හුරු.

    මේ ගැන කිහිපදෙනෙක් කල කතිකාවක් පහත සබැඳියෙන්.
    http://photo.stackexchange.com/questions/27385/accuracy-of-shutter-actuation-count-in-canon-and-nikon-cameras

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි. ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරලා නැතිනම් හරියට නිකොන් කැමරා වල කවුන්ට් එක දෙන්නේ නෑ. නමුත් මම අහල තියන විදියට කැනොන් වල එහෙම අවුලක් නෑ. ඒ නිසා තමා ඒ අය එහෙම කියල නැත්තේ කියලයි කියන්නේ.

      ලංකාවේ වගේ නං ඉතිං කැමරාව සර්විස් එකකට යවනකොට සීරියල් නම්බර් එකේ ඉඳලම නෝට් කරගන්නවනං තමා ඉතිං හොඳ. මොකද අපේ අයියලා දෙන්නේ කියා කියා නෙවෙයි නේ.. :)

      Delete