Sunday, February 3, 2013

ජපානය කඩදාසි බැලුන් බෝම්බ යොදා ඇමරිකානු භුමිය වෙත බෝම්බ හෙලයි..


ජපානය කඩදාසි බැලුන් බෝම්බ යොදා ඇමරිකානු භුමිය වෙත  බෝම්බ හෙලයි..
යුද්ධයේ නවතම තතු බලාපොරොත්තු වන්න..

මේ 1940 දශකයේ පලවිය හැකිව තුබූ එක්තරා ප්‍රවෘත්ති සිරස්තලයක්. එහෙත් එකල උපායමාර්ගික ඇමරිකානු පුවත් වාරණ නිසා පල නොවූ පුවතක්..

ඔබ දන්නවාද ෆු ගෝ (FU-GO) ගැන? අහලා තියනවාද බැලුන් බෝම්බ ගැන? එසේනම් එන්න කියවන්න දැනගන්න.. ජපානයේ කඩදාසි බැලුන් ව්‍යාපෘතිය හෙවත් ෆූ ගෝ ගැන.. මේ බොහෝ ඇමරිකානුවන් අදටත් නොදන්නා කතාවක්..


ෆුගෝ බැලුන් බෝම්බය ක්‍රියාකාරිව.
පින්තුරය ගත්තේ මෙතනින්


ඇමරිකාව එක්ක ජපානයට තිබුනේ මම කලිනුත් කීවා වගේ උපාය මාර්ගික සටනක්. ඒත් ඇමරිකානු ස්ථාවරය වුනේ යුද්ධයට වඩා ලෝක පොලිස්කාරයාගේ ජවනිකාව රඟදක්වන චේතනාවක්. ඒ නිසා මුලදී ඇමරිකාව ලෝක යුද්ධයේ පාර්ශව කරුවෙක් වුනේ නෑ. ඒත් පර්ල් වරාය සිද්ධිය මත පදනම්ව 1942 දෙසැම්බර් 8 වැනිදා ඉඳං ඇමරිකාව දෙවැනි ලෝක යුද්ධයේ සක්‍රිය දායකත්වයක් දරනවා.

මේ යුද්ධයේදී ජපානය ඇමරිකාව වෙත එල්ල කරන්නේ අසමාන වූ ප්‍රහාරයන්. එයින් බොහෝ ඇමරිකානු භටයන් මිය යනවා වගේම ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බය ජපානයට එරෙහිව භාවිතා කරන්නත් පොළඹවනවා. ඒ එක්කම මේ සටනේ දී බොහෝ විට සියලුම පාර්ශවයන් ඉතාම වෙනස්ම වූ ආකාරයේ යුධ අවි සැලසුම් භාවිතා කරනවා. එයින් එකක් වන්නේ ඇමරිකානු වවුල් බෝම්බය. (කියවපු නැති කෙනෙක් ඉන්නවා නම්මෙතන කොටන්න. ඊට අමතරව ජර්මානු පාර්ශවය ගැන දැනගන්න ඔබට මෙන්න මෙතැනින් පුළුවන්.)

ජපානය 1943 නොවැම්බර් 3 වැනිදා:

ජපානයේ හොන්ෂු දිවයිනේ චෝෂි සහ කමිසු යන නගර දෙක ආසන්නව වෙරළ තිරයේ සිට විශාල කඩදාසි බැලුන් විශාල සංඛ්‍යාවක්‌ ගුවන් ගත වනවා. මේ සුදෝ සුදු බැලුන් සමුහය පෙනුමින් කාලගුණ බැලුනවල  හැඩය ගත්තත් ඒවා යටින් කාලගුණ දත්ත ගන්නා උපකරණ වෙනුවට ඇත්තේ බෝම්බ කීපයක්, වැලි මළු එල්ලූ රවුම් බයිසිකල් රෝදයක හැඩය ගත් යමක් සහ තවත් උපකරණ කීපයක් පමණයි.

ඒ බැලුන වල අවසාන ගමනාන්තය ඇමරිකානු එක්සත් ජනපදයයි.

ජපානය ඇමරිකාවට සැතපුම් 6000 කට ආසන්න දුරකින් පිහිටන දුපත් සමුහයකින් හෙබි රටක්. එහි සිට දින 8 – 12 අතර දින ගණනක නාවික ගමනකින් තමයි ඇමරිකාව පිහිටා තිබෙන්නේ. එවන් වූ දුරකින් හෙබි රටකට ඔවුන් කඩදාසි බැලුන මගින් පහරදීමට උත්සාහ කිරීම ඇතැම්විටක ඔබට පුදුමයක් ඇති කරනු ඇති.

ජපානය  1943:

පාසල් යන ගැහැණු ළමුන් කණ්ඩායම් ඇතුළු විවිධාකාර පිරිසක් විසින් සුමෝ ශාලා කබුකි නෘතය ශාලා වැනි ස්ථාන වලට එක්වී අඩි 2 x 2  ප්‍රමාණයේ වෂී ( Washi) ලෙස හඳුන්වනු ලැබූ මල්බෙරි කඩදාසි වලින් මේ බැලුන් සකස් කරන ලද අතර ඒවා යොදා සාදන ලද බැලුන අඩි තිස් දෙකක වටප්‍රමාණයකින් සමන්විත වුනා. බැලුන වල ඉහල කොටස කඩදාසි තට්ටු හතරක් වන ලෙසටත් පහල කොටස කඩදාසි තට්ටු තුනක් වන ලෙසටත් කොන්යක් (Konjak) අල වලින් සාදන ලද මැලියම් තට්ටු වලින් අලවනු ලැබුවා.

මුලින්ම මේ බැලුන් නිර්මාණය සඳහා ඔවුන් භාවිතා කලේ රබර් මිශ්‍රිත සිල්ක් රෙදි. ඒත් පරීක්ෂණ වලදී ඔවුන් හොයාගත්තේ ඒ රෙදි වල හයිඩ්රිජන් කාන්දුවක් තිබෙන බවයි.  ඒ නිසා බලාපොරොත්තු වන ඉලක්කයට කරා බැලුනය ගමන්කරවීමට නොහැකිවන බව ඔවුන් තේරුම්ගත් අතර ඉන්පසු කලේ පාසල් ළමුන් ඇතුළු පිරිස් යොදවා මල්බෙරි කඩදාසි බැලුන තැනීමයි.

තමා කරන්නේ කුමක්ද කියා නොදැන සිටි බොහෝ ජපාන දරුවන් දවසට පැය හයක හෝ හතක ශ්‍රමය මේ සඳහා වියදම් කළා.

මෙසේ සාදනු ලැබූ බැලුන වලට අඩි 35000 ඉහල අහසේ රැඳෙන්නට හැකියාව තිබුණු අතර රාත්තල් 400 ක බරක් ද මුහුදු මට්ටමට ආසන්නයේදී රාත්තල් 450 ක ප්‍රමාණයක්ද බර දරාගන්නට හැකියාව තිබුනා. මේ බැලුන කිලෝ 15 ක පුද්ගල නාශක බෝම්බයක් ද තවත් කිලෝ 12 බැගින් වන ඉන්සින්ඩ්යරි බෝම්බ 2 ක්ද තමන්ගේ පේ ලෝඩ් ඩිලිවරි එක නොඑසේ නම් ප්‍රහාරක බලය ලෙස රැගෙන ගියා. ඊට අමතරව බැලුනය සතුව තවත් එක ෆ්ලෑෂ් බෝම්බයක් එහි බඳෙහි අලවා තිබුණු අතර එය බැලුනයේ ප්‍රධාන පරිපථයේ සිට මීටර් කීපයක් දිග ෆියුස් එකක් හෙවත් වෙඩි නුලක් ආධාරයෙන් රඳවා තිබුනා. ඒ සියල්ල සමගින් බැරෝ මීටරයක් ද සංකීර්ණ ක්‍රමයකින් යා කරන ලද වැලි මළු සමුහයක් බයිසිකල් රෝදයක් වැනි ඇටවුමකද අටවා තිබුනා.

මේ බැලුන වල පාලන ක්‍රමය ස්වයංක්‍රීය වුවක් වූ අතර එය ද ඉතා අපුර්ව වුවක්. එමගින් බැරෝ මීටරයක සහය ඇතිව බැලුනයේ උස ගණනය කරමින් උස නියතියක (අසන්න වශයෙන්) පවත්වාගන ගිය අතර එහිදී අඩි 35000353500035000ක හෙවත් කිලෝමීටර් 11.5 ක ඉහල අහසේ බැලුනය හැම විටකම රැඳෙන ලෙසත්, ඔරලෝසුවක ආධාරයෙන් දින හතර හමාරක් ගණනය වන ලෙසට සැකසු ටයිමරයක් මගින් බෝම්බ අත් හැරීමටත්, එසේ  ඉලක්කය සපුරාගත් විගස බැලුනය ඉහල අහසට නැග පුපුරා විනශ වන ලෙසත් මේවා සැලසුම් කර තිබුණා. අඩි 35000 ඉක්මවන විටක බලුනයේ තිබු ස්වයංක්‍රීය පාලන උපකරණ ආධාරයෙන් බැලුනය තුල වන හයිඩ්‍රජන් පිට කර හරිනු ලබන අතර බැලුනය අඩි 35000 වඩා පහල යන විට බැලුනය එහි වූ වැලි මළු වලින් දෙක බැගින් අතහරිමින් උස සකසා ගන්නවා. මේ ක්‍රියාවලිය ඔස්සේ  බැලුනය එහි උස පවත්වාගන යාමට ක්‍රියා කරමින් අඩි තිස්පන්දහසේ රැඳී ඉන්නවා. 

එසේ අඩි තිස්පන්දහසක ම මේ බැලුන වලට රැඳී ඉන්නට අවශ්‍ය වුයේ ඇයි?

ඒ ප්‍රශ්නයට දෙන උත්තරය පසුපස මේ බැලුන වල සම්පුර්ණ කතාවම රැදී තිබෙනවා ය කිව්වොත් ඔබ සමහර විටක මාව විශ්වාස නොකරාවි.

1940 දශකයේ කිසිවෙකු ඒ වන විට ඒ තරම් නොදන්නා දෙයක් ජපනුන් ඒ වෙද්දීත් යුද්ධය සඳහා භාවිතා කරගෙන තිබුණා. ඒ ජෙට් සුළං ප්‍රවාහයක්. මේ සුළං ප්‍රවාහය මධ්‍යම ජපානය හරහා පැසිෆික් සාගරය මතින් ඇමරිකාවට දෙසට ඇදෙන අතර  ඒවා ඉතා වේගවත් වනවා. වර්තමානයේ ජෙට් සුළං ධාරා (Jet Streems) ලෙස හඳුන්වන මේ සුළං ප්‍රවාහ කොටස් දෙකකින් යුතු වෙනවා. ඒ කොටස් දෙක Sub Tropical Jet Streems සහ Polar Jet Streems ලෙස අද හඳුන්වනවා. මෙයින් Subtropical Jet සුළං ධාරා වලින් එකක් ජපානයේ මැදින් හමා ගොස් ඇමරිකාව මැදින් වන්නට හමා යනවා. මේ ප්‍රවාහය හමා යන්නේ අඩි 35000 ක උසකින් වන අතර ඒ සුළං ධාරා බොහෝ විටම පැයට සැතපුම් 90 ත් 300 ත් අතර වේගයකින් හමා යනවා.

ජපනුන්ගේ ගණනය කිරීමට අනුව මේ ජෙට් ප්‍රවාහය ජපාන වෙරළ තීරුවේ සිට ඇමරිකානු වෙරළ තීරය දක්වා ගමන්ගන්නට දින හතරක සිට පහ දක්වා කාලයක් ගන්නවා.

ඉතින් මෙන්න මේ කරුණු එක්ක ජපානය සැලසුම් කරන්නේ සුළං ප්‍රවාහ ඔස්සේ යවන බැලුන මාර්ගයෙන් ඇමරිකාව වෙත ප්‍රහාරයක් එල්ල කිරීමටයි. ඉතා ලාභදායි ලෙස සැලසුම් කරන මේ සඳහා ඔවුන් යොදා ගන්නේ බැලුන මගින් සිදු කරන ප්‍රහාරයන් මාලාවක්.

ජපාන ජෙනරාල් කුසාබා සුඑයොශි (Kusaba Sueyoshi) ගේ නායකත්වයෙන් ඇරඹෙන මේ මහා ව්‍යාපෘතිය යටතේ 1943 සිට 1944 දක්වා බැලුන 9000 පමණ ප්‍රමාණයක් ගුවන් ගත කරනු ලබන අතර ඒවා ඇමරිකාවේ වොෂින්ටන් (මේ නැගෙනහිර වෙරළාසන්න මේරිලන්ඩ් හි ඇති වොෂින්ටන් ඩී. සී. නොවේ) ඔරිගොන් කැලිෆෝනියා වැනි වෙරළබඩ ප්‍රදේශ වල සිට ක්‍රමිකව රටේ අභ්‍යන්තර කොලරාඩෝ යුටා මොන්ටානා ඉඩහෝ වැනි ප්‍රදේශ වලටත් ඉන් පසුව රටේ ඉහල කොටසේ කැනඩාවට මායිම් වන කොටස් ඩකොටා මිචිගන් අයෝවා වැනි ප්‍රදේශ වලට මේ බැලුන වලින් ප්‍රහාර එල්ල වෙනවා. එසේම සමහර බැලුන මැක්සිකෝව සහ කැනඩාවේ දකුණුදිග ප්‍රදේශ වලත් ප්‍රහාර ඇති කල බවට වාර්තා තිබෙනවා.


ජපාන ජෙනරාල් කුසබා සුඑයෝෂි
පින්තුරය ගත්තේ මෙතනින් 


කෙසේ වුවත් මේ ප්‍රහාර තැන තැන කුඩා ප්‍රමාණයේ වනාන්තර ගිනි ගැනීම් සහ වෙනත් සුළු සිද්ධි හැරුණකොට සිදු කර තිබෙන අලාභය ඉතාම සුළු වුවක්. එහෙත් ඇමරිකානු භුමිය තුල දෙවැනි ලෝක යුද්ධයේ දී වාර්තා වූ එකම සිවිල් මරණ වලට හේතුව නම් මේ බැලුන බෝම්බයක්. එයට බිලිවුයේ කුඩා දරුවන් 5 දෙනෙකු සමග පල්ලියක චාරිකාවකට ගිය ගැබිණි මවක්. ඒ 1945 මැයි මස 5 වැනිදා.   ඒ දකුණු දිග ඔරිගන් ප්‍රාන්තයේ ග්‍රේට් හාට් කඳුවැටියේ දී. එහිදී ද මේ පිරිස වෙත බලුනයෙන් කෙලින්ම එල්ලවූ ප්‍රහාරයකට වඩා සිදුවී තිබුනේ එහි වූ කුඩා දරුවන්  අතුරින් අයෙකු ගසක පැටලී තිබු මේ බැලුනයක් බිමට ඇදීමට උත්සාහ කිරීමේදී එහි වූ බෝම්බයක් පිපිරී සිද්ධ වූ අනතුරක් ලෙසයි. මේ පහත ඇත්තේ ඔවුන් අනතුරට ලක්වූ ස්ථානයේ වන සමරු ඵලකයයි.

කෙසේ වුවද ඇමරිකාව මේ අනපේක්ෂිත අහසින් වැටෙන තර්ජනය ගැන සුළු කොට තැකුවේ නෑ.

1943 දෙසැම්බර් 6 වැනිදා :18 :15 පැය..

ඇමරිකාවේ වයෝමින්ග් හි තර්මොපොලිස් හි සිටි පතල් කම්කරුවන් තිදෙනෙක් පතලට පිටින් යම්කිසි කාර්යයක දී සිටිනවා. එහි වූයේ පිරිමින් දෙදෙනෙකු සහ ගැහැනියක්. එහි වුන් විස්තර කරන පරිදි හවස හයයි කාලට පමණ ඔවුන්හට ඉහල සිට යමක් අත්හැරෙනවිට නැගෙන විසිල් ශබ්දයක් ඇසී තිබෙනවා. ඊට මොහොතකට පසු ඔවුන් හට ඇසුනේ පිපුරුම් ශබ්දයක්. ඒ සමගින් ඉහල බලන ඔවුන් දකින්නේ පොලවට ඉතා ඉහලින් වූ ගිනි ජාලාවක්  සහ පැරෂුටයක් වැනි යමක් පොලවට පහත්වන දසුනක්.  ඒ කුමක්ද යන්න ඔවුන් කිසිවෙකු සතුව අදහසක් තිබුනේ නෑ.

මේ සිද්ධියෙන් සතියක් ගතවීමටත් පෙර මොන්ටානා ජනපදයේ කැලිස්පෙල් හි වනාන්තරයක දී මිනිසුන් දෙදෙනෙකු විසින් විශාල බැලුනයක යයි සිතිය හැකි සුන්බුන් සහ අවශේෂ කොටස් සොයාගන්නා අතර එහි වූ ජපන් අක්ෂර නිසා ඔවුන් එය ඇමරිකානු ආරක්ෂක ඒකක වෙත දැනුම් දෙනවා.

ඇමරිකානු FBI ආයතනයේ පරික්ෂාවට ලක්වෙන මේ සිද්ධිය ගැන ක්‍රමිකව අදහසක් ගැනීමටත් පෙර 1943 දෙසැම්බර් 19 වැනිදා ද මෙවන් සිද්ධියක් ඇමරිකාවේ කැලිෆෝනියාවෙන් වාර්තා වෙනවා. එසේ  වුවද එහිදී පරීක්ෂකයන්ට කිසිවක් හමුවන්නේ නෑ. එහෙත් දෙසැම්බර් 31 වැනිදා වන විට ඔවුන්ට ඔරිගොන් හි ටස්කාඩා ආසන්නයේ වූ ගසක පැටලී තිබෙන කඩාවැටුණු බැලුනයක් හමුවෙනවා. එහි බොහෝ කොටස් නිරුපද්‍රිතව පැවතුනා.

පරීක්ෂණ වලදී ඒ කොටස් ජපානයේ සිට ආ ඒවා බවට ඔවුන් එක විටම සිතුවේ නෑ. කෙසේ හෝ ඔවුන් සිතුවේ ඇමරිකාවේ වූ ජපන් ප්‍රජාව විසින් මෙය සිද්ධ කරන ලද දෙයක් බවයි. ඒ එහි වූ වැලි මළු සාමාන්‍ය ජපනුන් භාවිතා කරන සහල් මළු නිසාවෙන් සහ එතරම් දුරකට (ජපානයේ සිට ඇමරිකාවට) මෙතරම් සරල බැලුනයකට යා නොහැකි නිසාවෙන්. එහෙත් තව දුරටත් කරන ලද පරීක්ෂණ වලදී ඔවුන් තේරුම් ගත්තේ මේවා ජපානයේ දී ම එකලස් කර ඇමරිකාව වෙත එවන්නාවූ බැලුන බවයි. ඒත් එහිදී ද ඒවා ඇමරිකාව වෙත ගෙන එන තාක්ෂණය ගැන ඔවුන් එතරම් දැනුවත් වුයේ නෑ. එවන් වූ සරල උපකරණ භාවිතා කරමින් ඔවුන් ලොව ප්‍රථම ක්‍රියාකාරී අන්තර්මහද්වීපික ප්‍රහාරක බෝම්බ හෙලන අවිය නිපදවා තිබුණු අතර එය මගින් ඇමරිකාව ත්‍රස්ත කරන්නට ඔවුන්ට හැකි වුනා.

ජපානය ඇන්ත්‍රක්ස් නම් වූ විෂ බීජය නිපදවන බව එවකට ඇමරිකාව දැන සිටියා. ඒ ජපානය ඇන්ත්‍රක්ස් විෂ චීනයේ පතුරුවා තිබුණු බැවින්. ඒ නිසා මේ අමුතු තර්ජනය ඇමරිකාවේ ඇස අරවන්නක් මෙන්ම දැඩිව රිදවන්නක් වුනා.

ඇමරිකානුවන් මෙයට දැක්වුයේ කිනම් ප්‍රතිචාරයක්ද? බලාපොරොත්තුවන්න ක්සැන්ඩරගේ කොලම තුලින්..




25 comments:

  1. ජපනා හෙන හපනෙක් නේ බලං යනකොට...

    ReplyDelete
  2. අගනාම ලිපියක් මලේ...මේ තොරතුරු අදයි මම දැනගත්තේ... හරිම වටිනවා..ස්තුතියි.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියේ..

      Delete
  3. මෙ දවස් ටිකේම වටිනා ලිපි කියවනවා.මෙකත් එවැනි එකක්.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  4. 1. අම්මෝ කාලෙකට පස්සෙ ලියන්න අරන් තියෙන්නෙ.. බොහොම හොඳයි.

    2. මට මතක්වුනේ ජපන්නු බෝම්බ දාන්න එද්දි කඩදාසි ප්ලේන් එල්ලගෙන ආපු කතාව.. අපේ ආච්චිලා කිව්ව විදිහට ටික කාලෙකට කලින් කොටි ප්ලේන්වල එනකොට බයවුනාට වඩා බයවිල්ලක් ජපන්නු ලංකාවට ගහයි කියලා බයවෙලා තියෙනවා.. ඒ කාලෙ ගැටිස්සියො වෙච්ච ආච්චිලාට හදිසියකදී හැංගෙන්න බංකර් ඉස්කෝලවල හදලා තිබුනාලු.. සයිරන් එක ගහපු ගමන් දතකට පූට්ටු වෙනවට කෝටු කෑල්ලක් කටේ ගහන් බංකරයට වෙනවලු..

    3. ඔරිගාමී හපනුන්ට කඩදාසි බැලුන් සිම්පල් වෙන්න ඇති.. ජාලෙ නැද්ද මේ බැලුන් හදන හැටි.. පොඩි එකෙක්ටත් පුළුවන් නම් අතිශය සරල වෙන්න ඇතිනෙ..

    4. ඉහල පහළ යැවීමට භාවිතා කළ ක්‍රමය තේරුනා.. ඒත් සුළං ප්‍රවාහයක් ඔස්සේ නියමිත ඉලක්කයකට යවන්නෙ කොහොමද?

    5. "කෙසේ වුවත් මේ ප්‍රහාර තැන තැන කුඩා ප්‍රමාණයේ වනාන්තර ගිනි ගැනීම් සහ වෙනත් සුළු සිද්ධි හැරුණකොට සිදු කර තිබෙන අලාභය ඉතාම සුළු වුවක්." එහෙනම් ඉතින් ජපනුන්ගෙ වැඩේ එතරම් තේරුමක් නෑනෙ.. නිකන් ඇමරිකාව කොනිත්තලා ඉල්ලංකෑවා වගේ වැඩක්නෙ ඒක..

    6. "එහි වූ වැලි මළු සාමාන්‍ය ජපනුන් භාවිතා කරන සහල් මළු නිසාවෙන්" මේ කියන්නෙ හාල් තිබ්බ හිස ගෝනියෙ වැලි දාලා කියලා නේද?

    7. මේ බැලුමක් කොච්චර විතර ඇතිද?

    8. ස්තුතියි ලිපියට.

    ReplyDelete
    Replies
    1. 1. බොහොම ස්තුතියි.

      2. ඔව්. මමත් ඔය කතාව අහල තියනවා. ලී කොටුවක් දත් අතරේ ගහගන ඩෙස්ක් බංකු යටට බඩගාපු කතාවක් මම දන්නවා. සමහර ඉස්කෝල වල එහෙම අගල් කපල තිබ්බලු.

      3. ඔබ බොහෝදුරට හරි. ලිපියේ අන්තිමේ මම ජපාන දරුවෝ කිව්ව කතාවක් කියන්නම්කො.

      4. නියමිත ඉලක්කයක් නෑ. මේක හරි විදියට ක්‍රියාත්මක උනා නම් ඇමරිකාව වට්ටන්න පුළුවන් දෙයක්. මොකද නියමිත ඉලක්කයක් තියන දෙකට වඩා එහෙම කිසිම දෙයක් නැති එකක් අවාම කොහේ කොහාට පාත්වෙයිද දෙයියෝ තමා දන්නේ නේද?

      5. ඔය උනේ ටිකක්. එහෙම උනේ උන්ගේ කරුමෙට. කොහොමද ඕක නිකං මෙගා සයිස් එකෙන් උනා නම්? ලැව්ගිනි එනවා හිටු කියල? ඒ මදිවට එහෙං මෙහෙන් මිනිස්සු මැරෙනවා වෙන්න ගත්තා නම් ඇමරිකාව උන්ගේ සම්පුර්ණ අවධානය කොහොම උනත් වැඩි අවධානයක් රට ඇතුලට දෙනවා නේ? නැද්ද? මොකද මේ බැලුම හදල තියන විදිය ගත්තාම බෝම්බ ටික වැටිලා ඉවර වුනාම පොතේ හැටියට දිග ෆියුස් එක ගිනි අරගෙන පැය එකාමාරකින් බැලුම උඩ තියන බොම්බේ පුපුරන්න ඕනේ. එහෙම වුනාම හයිඩ්‍රජන් වායුව පුරවල තියන නිසා බැලුම විනශ වෙනවා ගිනි අරගෙන. එතකොට සාක්ෂි ටිකයි තියෙන්නේ.

      6. ඔව්. හාල් ගේන හිස මළු තමා මුහුදු වැල්ලෙන් පුරවල තියෙන්නේ. ඒ ඔස්සේ තමා මේක ඇමරිකාවට එන්නේ ජපානෙන් කියල කියන්නේ.

      7. අඩි තිස් පහක වට ප්‍රමාණයක් කියල කියන්නේ.

      8. ස්තුතියි මෙතරම් අවධානයෙන් කියවල ප්‍රශ්න ඇහුවට.

      Delete
  5. යුද්ධයක් තිබ්බොත් මොකක් හරි සොයාගැනීමක් තියෙනවා නේ.මම අහලා තිබුනා මේ ගැන.හැබැයි මම හිතුවේ නෑ කඩදාසි බැලුන් කියලා.ඇන්ත්‍රක්ස් විෂ බීජය ගැන ඩිංගක් කියනවද?

    ReplyDelete
    Replies
    1. කඩදාසි බැලුන ඇත්තටම මහා අමුතු වැඩක්.

      ඇන්ත්‍රක්ස් ගැන නම් මමත් වැඩිමනත් දෙයක් දන්නේ නෑ. නමුත් කුඩු වශයෙන් භාවිතා කරන සුළඟ හරහා ඉතා වේගයෙන් පැතිරෙන බව නම් දන්නවා. සුදු පාට කුඩක් විදියට ලියුම් කවර වල දාල යවල පහුගිය කාලේ මහා විනාසයක් කලේ ඔය ඇන්ත්‍රක්ස් හරහා.

      Delete
  6. bohoma hoda lipiyak yaluwa..mewa goda denek danna..math ada denagaththe..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇවිත් කියවලා ගියාට.

      Delete
  7. යාන්තං බැලුමකින් ගොඩ ඇවිල්ල...

    දේශකයා..

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ ඇනෝ ඇවිත්?? එහෙමවත් ගොඩ ගියේ නැත්තං ඉතිං සොරි තමා නේ?

      Delete
  8. අඩේ ජපනා හපනා නේද ඈ...
    මේ අයියේ..මේක මට බ්ලොග් රොලෙ පෙන්නන්නෑනේ....

    ReplyDelete
    Replies
    1. ජපනා හපනා :)

      ගූගල් පිස්සුවක් කෙලින්න ඇති. ඔන්න ආයෙම පාරක් දැම්මා..

      Delete
  9. ජපනගේ මොළෙත් සෙල්ලම් නැහැ නේද?

    ReplyDelete
  10. ඔය මොලේ එක්ක තිබ්බ උනන්දුව හින්දා තමා න්‍යෂ්ටික බෝම්බ කාගන උනත් ජපනා නැගිට්ටේ. ලංකාවට එහෙම ඔහොම උනා නම් උන්හිටි තැනක් හොයන්න වෙන්නේ නෑ.

    ReplyDelete
  11. පැමිණීමට ප්‍රමාදවීම ගැන කනගාටු වෙනවා. පහුගිය කාලයේ දෙතුන් වතාවක් ඇවිත් ගියා. අද තමයි මේ ලිපිය දැක්කේ.

    ඔබත් සෙන්නා වගේ තමා. නිතර නොලිව්වත් කාලය ලබාගෙන ලියන හරවත් ලිපි සර්වකාලීන ලිපි ලෙස හඳුන්වන්න පුළුවන්. කොටස් දෙකකට තරම් යා හැකි කරුණු ඔබ මේ එක ලිපියකින් කියා තිබෙන්නේ. ජපන් බැලූන් වල සංකීර්ණ යාන්ත්‍රනය කිසිම තැනක සවිස්තරව දකින්නට නැහැ. ඒ කියන්නේ ඒ යුෆයෙදී පවා මෙවැනි සියුම් දේ කරන්නට ජපානයට හැකියාව තියනවා කියන එකයි. ඇමරිකාව ඉස්සර නොවුනානම්, ජපානය පරමාණු බෝම්බයක් නිපදවන්නත් ඉඩ තිබුනා කියලා මනම් හිතෙනවා.

    Incendiary ඉන්සෙන්ඩයරි ලෙස වර්ගීකරණය කර තිබෙන බෝම්බ, පතරොම්, සහ එවැනි පුපුරන ද්‍රව්‍ය මගින් කෙරෙන්නේ ගින්නක් ඇති කිරීමයි.

    Pay Load පේ ලෝඩ් එක යනු විශේෂයෙන් ගුවන් යානයකට හෝ රොකට්ටුවකට, මිසයිලයකට, ගෙනයාහැකි බර (ඒ කියන්නේ එහි පටවා යැවිය හැකි මිනිසුන්/පුපුරන ද්‍රව්‍ය වැනි ලෝඩ් එක) ප්‍රමාණයයි.

    මේ බැලූන් වල යවා තිබෙන්නේ ගැටීම නිසා පුපුරන පුද්ගල නාශක බෝම්බ.

    ඊළඟ ලිපිය ඉක්මනට ලියන්න. ඉතා වටිනා ලිපියක්. ලෝක ඉතිහාසයේ මෙවැනි සටහන් දැන් බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ පැමිණීම බොහොම ගරුකොට සලකනවා. මොකද මම මේ ජාතියේ ලිපියක් ලිව්වොත් මගේ ප්‍රාර්ථනාව ඒ ඔබේ ඇස ගැටේවා කියලයි. හේතුව මේ කැටගරිය ගැන ඔබගේ දැනුම අපිට ආලෝකයක් වෙන හින්දයි.

      බොහොම ස්තුතියි විචාරකතුමා ඒ ඇගයීමට. මේ බැලුන ගැන විස්තර නම් ටිකක් විතර හොයාගන්න අපහසු වුණා තමයි. ඒ නිසාමයි කාලය ගොඩක් වැයවුනේ.

      පේ ලෝඩ් එක ගැන මම සිංහල වචනයක් හෙව්වත් මට තේරුනේ නෑ මොකක්ද නිවැරදි දේ කියා. ඔබේ පැහැදිලි කිරීමට බොහොමත්ම ස්තුතියි.

      මේ බැලුන ගැන තිබු බොහෝ තැන්වල (එෆ්. බී. අයි හි විස්තර වල පවා) ඒ බැලුන වල ගිනි ඇවිලෙන බෝම්බ තිබු බව තිබුණා එම නිසයි මම ඒ කරුණ ඇතුලත් කලේ.

      ඊළඟ ලිපියට තවමත් කරුණු ටිකක් මදි. ඒ ටික සපුරාගත් වහා මේ මාසයේම ලියන්නට සුදානම්.

      නොවක් තුති.

      Delete
    2. ගිනි ඇවිලෙන බෝම්බ කියා යෙදීමේ වරදක් නැහැ. මේ තොරතුරු තිබෙන තැන්වල ඒවා ලියා තිබෙන්නේ මූලිහ හමුදා දැනුම සියලු දෙනාටම තියනවා කියලා හිතාගෙන හෝ එවැනි අය ඉලක්ක කරගෙන. සිංහල විශ්වකෝෂය අන්තර්ජාලයට එක්කරන කතාවක් තියනවා. එතකොටවත් අපට මේ පාරිභාෂික වචන ප්‍රශ්ණය විසඳාගත හැකිවෙයිද මන්දා. තව කොටසක් ලියනවා කියලා ඇසීම විශාල සතුටක්.


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  12. අම්මේ ඇති.. මෙන්න අවුරුදු දෙකකට පස්සෙ ලියන්න හිතිලා !

    ReplyDelete
    Replies
    1. පරණ පොස්ට් එකක් එක්ක ටෙස්ටින් එකක් කලා.. දැන් ආයෙම ලියනවා මේ කමෙන්ට් දෙක දැක්කම.. අවුරුදු දෙකකට පස්සෙත් කට්ටිය මේකට එනවනං මම මොකටද නොලියා ඉන්නේ.,?

      Delete
  13. සෑහෙන කාලෙකට පස්සේ... !!!

    ReplyDelete
    Replies
    1. ආයෙම මම ලියනවා. දැන් ඇත්ත නමින් හරි ලියනවා..

      Delete