Monday, July 9, 2012

දෙවැනි ලෝක යුද්ධය - හිට්ලර්ගේ පරාජය සහ ඊට හේතු.


දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක තෙවැන්නයි මේ. ජර්මානු අක්ෂයේ වූ සිදුවීම් වල සැඟවුණු කතා බහ එක්ක කලින් ලිපි වලින් අපි හිට්ලර්ගේ මරණය , ඔහු පසුපසින් සිටි අදිසි හස්තයන් වගේම ජර්මානුවන් අත තිබුණු එහෙත් නිසි ඵල නෙලාගන්නට නොහැකි වූ ආයුධ ගැන එහෙම කතා කළා. මේ තියෙන්නේ ඒ ගැන කතා කල ලිපි පෙළ.


1946 අගෝස්තු මාසේ 6 වැනිදා. දෙවැනි ලෝක යුද්ධය යුරෝපා මහාද්වීපයේ දී නිමා වී මාස කීපයකට පසු ඇමරිකානුවන් ඔවුන්ගේ රහස්‍ය අවිය ජපානයේ හිරෝෂිමා ආසන්නයේ දී ක්‍රියාත්මක කරනවා. ලෝකය මුල්ම වරට (දන්නා ඉතිහාසය තුල) න්‍යෂ්ටික අවියක සැබෑ ස්වරුපය මෙහිදී දකින්නේ ඇමරිකාව නොනිල ලෝක බලවතා කරමින්.

ඇත්තටම ඇමරිකාවද මේ න්‍යෂ්ටික ආයුධ මුලින්ම දෙවැනි ලෝක යුද්දේ පාවිච්චි කලේ? ඒ ප්‍රශ්නයට උත්තරේ "ඔව්" උනත් ඇමරිකානුවන්ට පෙර සිටම ජර්මානුවන් මේ ගැන උනන්දු වුනා. ඔබ දන්නවාද හිට්ලර් සතුවත් න්‍යෂ්ටික වැඩපිළිවලක් තිබු වග? ඔව්. නට්සීන් සතුව තිබුණු සැලසුම් වලට අනුව ඔවුන් ඒ අවිය 1946 අගෝස්තු මාසයේ දී පමණ ක්‍රියාකාරී තත්වයට ගන්න බලාපොරොත්තු වුනා. ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම සඵල වුවා නම් සහ ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය නිසි ලෙස තිබුනා නම් බොහෝ දුරට ඔවුන් අපි මින් පෙර ලිපියකින් කතා කල හෝර්ටන් වර්ගයේම  ජෙට් එන්ජින් හයකින් යුත් යානාවකින් (Horten H.XVIII) හෝ ME 264 යානාවකින් (Messerschmitt Me 264) මේ න්‍යෂ්ටික් බෝම්බය ඇමරිකාවට හෙලන්න ඉඩක් තිබුනා. ඒ නිව්යෝර්ක් නගරයට.

Messerschmitt Me 264 - Amerika Bomber යානාව


මේ කාරණා එක්කම එහෙනම් එන්න පිවිසෙන්න ඉතිහාසයේ වෙනස්වූ තැන් සොයා යන්න..

Amerika Bomber ව්‍යාපෘතිය හා ජර්මන් පරමාණුක ශක්ති ව්‍යාපෘතිය.

හිට්ලර් හට ඇමරිකාව සමගින් යුද්ධයේ මුල සිටම වුයේ පැහැදිලිවම පටලැවිල්ලක්. ඊට හේතුව වුයේ ඇමරිකාව යුද්ධයට සාභාගී වීම ම නොව ( ඇමරිකාව යුද්ධයට නිල ලෙසින්ම සම්බන්ධ වන්නේ 1941 දෙසැම්බර් මස 8 වැනි දිනය පර්ල් වරායේ ප්‍රහාරයට පසුයි.) බ්‍රිතාන්‍ය වෙත යුධ සැපයුම් ලබා දීම නිසා ඇතිවන සංග්‍රාම උපක්‍රමයක් ලෙස ඇමරිකාව අඩපණ කිරීමේ අවශ්‍යතාවයයි. මේ නිසා ඇමරිකාවට පහර දීමට හිට්ලර් 1938 සිටම පිඹුරුපත් සකසනවා. ඒ අනුව බිහිවූ ව්‍යාපෘතියක් වන්නේ මේ Amerika Bomber ව්‍යාපෘතියයි, මේ යටතේ ඇමරිකාවට පහර දීමට අවි සැලසුම් සහ ඒ අවි දියත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරනවා. මේ සලසුම් වලදී ඔවුන්ට අවශ්‍ය වන්නේ දිගු දුරක් යා හැකි බෝම්බ හෙලන යානාවක්. ඒ සමගාමිව තමයි නට්සින් සිය න්‍යෂ්ටික ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. ඒ මේ යානා ඔස්සේ ගෙනගොස් ඇමරිකාව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා යි.
 
ඉංග්‍රීසි බසින් යුරේනියම් සංගමය (Ureniam Club) ලෙස හඳුන්වන ලද ජර්මන් භාෂාවෙන් Uranprojekt ලෙසත් හඳුන්වන  1939 දී ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතිය බොහෝ කොටම න්‍යෂ්ටික ශක්ති උත්පාදනය උපදවන්නට කරන ව්‍යාපෘතියක් සේ මුලින්ම පෙනුනක් වුවත් එහි අභයන්තර අරමුණ වුයේ න්‍යෂ්ටික ශක්තිය යුද්ධයට් අවැසි ලෙස භාවිතා කරන ක්‍රමවේදයන් සොයා ගැනීමයි. මේ ව්‍යාපෘතිය 1946 වනතුරු එනම් යුද්ධය අවසාන වන තුරු තිබුණු අතර ඔවුන් යුරේනියම් බලගැන්වීම සිදු කරමින් පසු වුවා. එහෙත් විද්‍යාඥයින් ගේ හිඟයත් ඔවුන් වෙනත් යුධ කටයුතු වල දීමත් නිසා මේ ව්‍යාපෘතිය සිදු නොවුන බවට පිළිගත් මතය වුවත් මා නම් දකින්නේ ඊට වෙනස්ම මතයක්. ඒ ජර්මානු පර්යේෂණ ව්‍යුහය සහ කාර්මික ව්‍යුහය වෙනවෙනම තිබීම නිසා අන්තර් සන්නිවේදන කටයුතු වලදී වන පසුබෑම සහ එකිනෙක ව්‍යුහයන් කෙරේ වන ආකල්පමය වෙනස (උදා: විද්‍යාඥයින් කාර්මික කටයුතු කිරීමට නොපෙළඹීම නිසා සුළු කොටසක් වුවත් කාර්මිකයින් විසින්ම සිද්ධ කලයුතු වීම සහ එසේ කරන සුළු දේ වුව විද්‍යාඥයින්ට දැනුම ලබා දීමට කාර්මිකයින් අකමැති වීම) වැනි සංසිද්ධීන් නිසා ප්‍රමාද වූ බවයි. 


පිස්ටන් එන්ජින් ගුවන් යානා වල අග්‍ර ඵලය ලෙස මේ යානය හඳුන්වා දුන්නොත් මම හිතන්නේ ඒක වැරදි නැතිව ඇති. ලෝක යුද්ධයේ යෙදුනු මිත්‍ර පාර්ශවය සතු වූ මොස්කිටෝ යානා වලට වඩා වේගවත් එමෙන්ම සියලු මිත්‍ර පාර්ශවික යානා අභිබවන වේගයකින් පියාසර කල හැකි පිස්ටන් එන්ජින් සහිත මේ යානාවට තියෙන්නේ අපුරු පෙනුමක්. එන්ජින් දෙකකින් යුතුව නිමවා තිබෙන මේ යානාව එක එන්ජිමක් මගින් ඉදිරියට ඇදීමටත් අනිකෙන් යානය තල්ලු කිරීමටත් කියන මුලධර්ම දෙක මගින් ක්‍රියාත්මක වුනා. 

Donner Do 335 ගුවන් යානාවක්.

යුද්ධයේ අවසාන භාගයේ දී එලි දුටු මේ යානය සිය වේගය නිසාවෙන්ම යුද්ධයේදී තීරණාත්මක සාධකයක් වන්නට තිබූවක්. එහෙත් මිත්‍ර පාර්ශවික බෝම්බ හෙලීම නිසා කර්මාන්ත ශාලා අහිමි වීම, අමුද්‍රව්‍ය ප්‍රවාහනය ඇනහිටීම වගේ සාධක මතින් නිපදවාගත හැකිවූ යානා සංඛ්‍යාව 37 සේ සටහන් වුනා.



මේ තමයි යුගයේ හොඳම ගිනි අවි මොඩලය විදියට මම තෝරන අවිය. Maschinenpistole 44/ Sturmgewehr 44 නමින් හඳුන්වපු මේ මොඩලය තමයි පහත දැක්වෙන්නේ.
STG 44 ගිනි අවියක්.


දැකල පුරුදුයි නේද? ඔව් මේ අපි නිතර දකිනා T56 (Type 56) නමැති චීන ගිනි අවියේ මුත්තා. රුසියානුවන් මේ STG44 (මේ අවියේ නම අග ඇති අංකය නිෂ්පාදිත වසර පිළිබිඹු කරනවා) නම් වූ ගිනි අවිය දැක ඒ අනුසාරයෙන් නිපදවූ AK47හෙවත් ක්ලිෂ්නිකොව් තුවක්කුව තමයි ඒ T56 මුල් පුරුක වන්නේ.

AK 47 ගිනි අවියක්.

මේ ගිනි අවිය ඉතාම කාර්යක්ෂම ප්‍රහාරක අවියක් වුනා වගේම ඒ වන විට තිබුණු MP 40 ගිනි අවියේ කාර්යක්‍ෂම බවත් රයිෆලයක මෙන්වූ ඈතින් ඇති ඉලක්කයක් කරා වෙඩි තැබීමට වන හැකියාවත් එකසේ කැටි කරගෙන තිබුණා. ඒත් මේ අවියට අකමැති වූ ඉහලම පෙලේ ජ්ර්මානුවෙක් හිටියා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඇඩොල්ෆ් හිට්ලර්. ඔහු මේ අවියේ ස්වරුපයට කැමැත්තක් දැක්වුයේ නෑ. ඔහුගේ අවසාන තීරණය වුනේ මේ අවිය ඉවත් කරන්නයි. ඔහු විසින් දෙවරක්ම මේ අවියේ නිෂ්පාදනය නතර කලත් හිට්ලර් ගේ ජෙනරාල් වරුන් විසින්  මුලින් Sturmgewehr 43/44 ලෙස හැඳින්වූ මේ අවිය 1943 දී හා 1944 දී යුධ පෙරමුණ වෙත නිකුත් කරනවා. ඒ Maschinenpistole 43/44 නාමයෙන් (එනම් යාන්ත්‍රික පිස්තෝලයක් ලෙසින් අර්ථ දක්වමින්.) 1943 දී මේ අවි යොදාගෙන සටන් වැදුණු භට පිරිස් වල සාර්ථකත්වය නිසාම හිට්ලර් 1944 දී සිය තීරණය වෙනස් කරමින් අවිය අනුමත කරනවා.


දෙවැනි යුද්ධයේදී මම නම් පුද්ගලිකව දෙවැනි ලෝක යුද්ධ භුමියේ දකින හොඳම යුධ ටැංකිය වන්නේ මේ යුධ ටැංකියයි. එකල මේ ටැංකියේ නම සඳහන් කල විටදී පවා ප්‍රතිවාදීන් බිය වුයේ එය සතුවූ ප්‍රහාරක බලය සහ සන්නාහය නිසයි. 

Tiger I ටැංකියක් (ඇන්ටි මැග්නටික් ආලේපය සමගින්.)
 
1941 දී රුසියානු T34 ටැංකි වලට මුහුණ දීමට සාදන ලද මේ ටැංකියේ සැලසුම නම් 1937 දක්වා දිව යන්නක්. එසේම මිලිමීටර් 88 ගුවන් යානා නාශක තුවක්කුව (මුලින්ම මිලිමීටර් 88 තුවක්කු යෙදෙව්වේ ගුවන් යානා බිම දැමීමට වුවද අර්වින් රොමෙල් විසින් කාන්තාර සටන් වලදී මේ මි.මි. 88 තුවක්කුව භූමියට සමාන්තරව හරවා  ප්‍රහාර එල්ල කරන්න යොදා ගෙන විශාල සාර්ථකත්වයක් ලැබුවා.)  ප්‍රධාන අවිය කොටගෙන නිපදවූ මේ යුධ ටැංකියේ සුවිශේෂී භාවය වූයේ එය තනිවම යුධපිටියට යෙදවීමට හැකි වීමයි. එලෙස සාමාන්‍යයෙන් තනි ටැංකි යුධ පිටියේ භාවිතා නොකරන්නේ ඒවායේ ආරක්ෂාව ප්‍රධාන කරුණු කීපයක් නිසයි. නමුත් මේ ටැංකිය සතු වූ විශේෂිත හැකියාව ඒ තත්වයෙන් මේ ටැංකිය මුදවනු ලැබුවා.

ඉතා ඝනකම් ලෝහ තහඩු වලින් සාදන ලද ටැංකියක් වූ මෙහි ඉදිරිපස කොටසේ ලෝහ ඝනකම මිලිමීටර් 120 – 80 දක්වා වූ අතර දෙපස මිලිමීටර් 80 දක්වා ලෝහ ඝනත්වයක් තිබුනා. මේ ලෝහමය යුධ සන්නාහය ඇතැම් අවස්ථා වලදී තව දුරටත් ශක්තිමත් කරනු ලැබූයේ ඒ වටා යෙදු අතිරේක ආවරණ මගින්. ඒ ආවරණ මිලිමීටර් 60 දක්වා ඝනකම වූවා. එමෙන්ම මැෂින් තුවක්කු දෙකකින් සන්නද්ධ මේ රථයට ස්වයං ආරක්ෂාව සලස්වා ගැනීමට ද හැකිවුණා.

තනි ටැංකියක් සටනට පිවිසුන ද මේ ටැංකියේ ඇති විශිෂ්ඨ බව සටහන් කරන සාධක ද ඉතිහාසය පුරාවටම දකින්න ලැබුනා ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ දක්ෂතම ටැංකි කොමදොරුවකු වූ මයිකල් විට්මාන් (Michael Wittmann) 1944 ජුනි 13 වෙනි දින දී විලාස් බොකාජ් සටනේ දී  (Battle of Villers-Bocage) තනි ටැංකියක් යොදාගෙන බ්‍රිතාන්‍ය ක්‍රොම්වෙල් ටැංකි ඇතුළු වාහන 24 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කිරීමයි.

මෙවන් තත්වයක් යටතේ ඒ වන විට මිත්‍ර පාර්ශවයේ (රුසියානු හමුදා හැර) භාවිතා කල ෂර්මන් යුධ ටැංකි වලට ඉතාම දරුණු ප්‍රතිවාදියෙක් එක්වුණා. යුද්ධයේදී එක් ටයිගර් ටැංකියකට පහර දී අඩපණ කිරීමට අඩුම ගණනේ ෂර්මන් ටැංකි 5 ක ප්‍රමාණයක් හෝ ඇවසි වුනා. ඒත් එය සාර්ථක වූයේ ඉතා අඩු ප්‍රමාණ වලින්. ඒ ටයිගර් ටැංකියේ ශක්තිමත් යුධ සන්නාහ වලට අමතරින් වූ මිලිමීටර් 88 තුවක්කුවේ ප්‍රහාරක ප්‍රදේශය විශාල වීම (කිලෝමීටර් 1.2 සිට කිලෝමීටර් 4 දක්වා ප්‍රමාණයකට පහර දීමට හැකි වීම) නිසා මෙන්ම එහිදී භාවිතා කල උණ්ඩය ජර්මන් ටැංකි හා සංසන්දනය කරන විට ඉතා තුනී යුධ සන්නාහ තිබු ෂර්මන් ටැංකි වලට විශාල අලාභ ගෙනදීම නිසා එක පහරකින් වුව විනාශ කල හැකි වීම නිසයි.

එනමුත් යුද්ධයේදී මේ ටැංකි නිපදවාගන්නට හැකි වූයේ 1347 -1350 අතර ප්‍රමාණයක් වීමත් (ඉහල නිෂ්පාදන පිරිවැය නිසාත් සම්පත් අවම වීම නිසාත්) ප්‍රවාහනයේ වූ දුෂ්කරතාවනුත් වගේම ඉන්ධන හිඟය මත අවසාන කාලයේ අතහරින ලද යුධ ටැංකිත් ජ්ර්මානුවන්ගේ විශිෂ්ඨ නිර්මාණයක් ඵල රහිත කළා. එසේම මේ ටැංකි වල නඩත්තුව ද වියදම් අධික කටයුත්තක් වූවා.

එහෙනම් අපි බලමු මෙතෙක් ආ මග දිගේ අපිට මතු වූ පැනය ගැන, “ඉතිං මේ වගේ තාක්ෂණයක් තිබුණ ජර්මනිය යුද්ධයෙන් පරාජය වුයේ ඇයි”

නාවික ශක්තියේ වූ වෙනස්කම් 

ජර්මනිය සංග්‍රාම උපක්‍රමිකව අත්ලාන්තික් සාගරයේ බලය තහවුරු කරගැනීමට මානා බැලුවේ 1930 දශකයේ අග භාගයේ සිටමයි. එයින් ඔවුන්ට එංගලන්තය සහ යුරෝපයේ පාලනය පහසුවෙන් ගෙනයාමට හැකිවෙතැයි ඔවුන් සිතුවා. මේ නිසා ඔවුන්ට අත්ලාන්තික් සයුරේ නාවික ශක්තිය ප්‍රධානකොටම අවැසි වුවා. එහිදී හිට්ලර්ගේ නාවික හමුදා ප්‍රධානින් හිට්ලර් හට යෝජනා කලේ විශාල නැව් තැනිය යුතු බවයි. එහෙත් හිට්ලර් ගේ යු බෝට් අංගන ප්‍රධානියා වූ Karl Dönitz කල ඉල්ලීම වුයේ යු බෝට් 300 ක බලඝනයකින් ඔහුව ශක්තිමත් කරන ලෙසයි. 

1939 දී යුද්ධය ඇවිලෙද්දී ඔහු සතුවූ යුබෝට්‌ ගණන 79 පමණයි. එයිනුත් 57 කෙටිදුර සහ පුහුණු සබ්මැරීන වූ අතර එයින් වෙරළාසන්න ප්‍රහාර පමණක් එල්ලකළ හැකි වුවා. ඉතින් යුද්ධය ආරම්භයේදීම සතුරා අඩපණ කිරීමට ඔහුට අසීරු වුනත් ඔහු තමන් සතුවූ යුබෝට්‌ උපයෝගී කරගෙන කණ්ඩායම් ලෙස (Wolfpack) පහර දී විශාල වෙළඳ නැව් ප්‍රමාණයක් මුහුදුබත් කලේ සෑහෙන සාර්ථකත්වයක් පෙන්වමින්. 

කෙසේ වුවද මේ මතභේදාත්මක සැලසුම යුධ වියදම් අතින් ගත්තද වාසිසහගත එකක් වූයේ එක් නැවකට යන වියදමෙන් යුබෝට්‌ 4 පමණ සාදා ගතහැකි වූ නිසයි. එහෙත් ඉහල නිලධාරින් වෙතින් සැලසුමට නිසි අවධානයක් යොමු නොවීම නිසා යුද්ධයේ මුල්ම කාලයේ විශාල ලෙස ප්‍රතිවාදීන් මර්ධනය කිරීමට ජර්මනියට නොහැකි වුවා. යුද්ධයේ මැද කොටසේදී එනම් 1943 පමණ ජර්මනිය සතුව යු බෝට් සබ්මැරීන 400 පමණ තිබුණත්, අත්ලාන්තික් සාගරයේ දරුණු සටන් ඇවිලී ගියත්, ඒ සටන් වලදී ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඩිස්ට්‍රොයර් යාත්‍රා මගින් වන ප්‍රති ප්‍රහාර නිසා මෙන්ම යුද්ධයේ අවසාන කොටසේ එනිග්මා කේත සතුරන් අතට පත්වීම නිසා ජර්මනිය විශාල පරාජයන් ලැබුවා.

බ්‍රිතාන්‍ය සමඟින් ඇතිවූ ගැටුම.

ජර්මානුවන්ට බ්‍රිතාන්‍ය හමුදාව මුල්වරට මුණගැසෙන්නේ 1940 දී ප්‍රංශ ආක්‍රමණය කරන විටදීයි. එහිදී 338,000 පමණ වන මිත්‍ර පාර්ශවයේ  සෙබළුන් සංඛ්‍යාවක් 1940 මැයි මස දී ප්‍රංශයේ ඩන්ක්‍රීක් හිදී සිදුවූ සටනේ දී ජර්මානුවන් වෙතින් පලා යනවා. එතැන බ්‍රිතාන්‍ය හමුදාවේ 215,000 වූ සෙබල පිරිසකට සහ 123000 වූ ප්‍රංශ සෙබල පිරිසකට අයත් සොල්දාදුවන් සිටින අතර එහි වන සංග්‍රාමික වටිනාකම ඉතා ඉහලයි. ඒත් හිට්ලර් ඔවුන් හට නිරුපද්‍රිතව බ්‍රිතාන්‍ය නැව් 11 මගින් පලා යාමට ඉඩ හරිනවා. ඒ ඔහුගේ එවකට සිටි ඉහලම උපදේශකයෙක් වූ හර්මන් ගෝරිං ගේ උපදෙස් මත. හිට්ලර් සිය සේනාංක සහ භට පිරිස් කොටුවී සිටි මිත්‍ර පාර්ශවික හමුදා වෙතින් ඉවත් කිරීම යුද්ධයේ එක හැරවුමක් සටහන් කළා. එසේ කරන ලද්දේ ඩන්ක්‍රීක් හි පොළව සන්නද්ධ රථ සඳහා උචින නොවන බව ප්‍රකාශ කරමින්.

හර්මන් ගෝරිං හට උවමනා වූයේ ජර්මානු Luftwaffe ගුවන් හමුදාව මගින් මේ කාර්යය ඉටු කරගැනීමට වුවත් එය කල නොහැකි වනවා. නමුත් එහිදී සන්නද්ධ රථ, යුබෝට්,‌ නැව් සහ ගොඩබිමින් සටන් වදින භට පිරිස් යොදවා මේ පිරිස කොටු කර ගත්තා නම් එයින් බ්‍රිතාන්‍ය යුධ ශක්තිය අඩපණ වනවා පමණක් නොව ඔවුනගේ එඩි බල ද බිඳී යාහැකිව තිබුනා. මීට‍ අමතරව තවත් 220,000 වූ මිත්‍ර පාර්ශවික සෙබල පිරිසක් ප්‍රංශ වරායන් හි සිට ද බ්‍රිතාන්‍ය විසින් නිදහස් කරගන්නවා. එයින් සිදුවන්නේ බ්‍රිතාන්‍ය යුධ ශක්තියට එකවර පහරක් එල්ල කර හානි කිරීමට වූ අවස්තාව නැති වීමයි.

බ්‍රිතාන්‍ය සතුව 1940 අප්‍රේල් අග වනවිට සිටියේ 394,615 ක පුහුණු භට පිරිසක් පමණයි. ඔවුන් සතු වූ Home Guard නම් ඒකකයේ නුපුහුණු ස්වෙච්ජා සෙබළුන් 250,000 ට අමතරින් සිටි ප්‍රමාණය තමයි ඒ. ඉතින් එවන් වූ සංඛ්‍යා ඇතිව තිබුණු විට ඔබට තේරෙනවා නේද තත්වයේ බරපතල කම?

ඒ වගේම බ්‍රිතාන්‍ය සතු වූ වෙරළබඩ රේඩාර් පද්ධතියට අභියෝග කිරීමට‍ ජර්මානු ගුවන් හමුදාව වූ Luftwaffe අපොහොසත් වීමත් ජර්මානු පරාජයට මුල්වෙන තවත් හේතුවක් වනවා. ඒ නිසා  එවකට පැවති තත්වය යටතේ එංගලන්තයට සුවසේ සිය කර්තව්‍යය කරගෙන යාමට හැකි වීමත් V2 රොකට් මගින් එල්ලකළ බලපෑම ඉතා කුඩා වීමත් නිසා බ්‍රිතාන්‍යට සිය යුධ නාවික සහ ගුවන් හමුදා ශක්තිමත් කල හැකි වනවා. ජර්මානුවන් පීනමුන්ඩේ හි සිට v2 රොකට් ගැන උනන්දු වෙමින් සිටීම අවසානයේ ඉතා කුඩා යානා සංඛ්‍යාවක් තිබු බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට ශක්තිමත් වීමට ඉඩක් වනවා වගේම බ්‍රිතාන්‍යයේ සිට ආක්‍රමණ මෙහෙයවීමට ද හැකියාවක් ලැබෙනවා.

1942 සෝවියට් ආක්‍රමණය.

ඔපරේෂන් බාබරෝසා නමින් එලි දකින ජර්මානුවන් ගේ මේ සෝවියට් ආක්‍රමණය එතෙක් මෙතෙක් හමුදාවක් සිදු කල විශාලතම ආක්‍රමණය සේ සටහන් වෙනවා. ඉතාම අමනෝඥ වූ ක්‍රියාවලියක් බවට පත්වන මේ මෙහෙයුම් එසේ වන්නේ කාරණා කීපයකිනි. එනම්

1.      රුසියානු ජනතා සහය නොලැබීම නිසා ප්‍රතිරෝධයක් ඇති වීම
2.  ජපාන හමුදා මගින් රුසියාවේ නැගෙනහිර කෙළවර ආක්‍රමණය කරවා යුධපිටිය තුනී කරගත නොහැකි වීම
3.      නිසි ඉලක්කගත සැලසුමක් නොවීම

යන කාරණා නිසා. අපි ඒවා පිළිවලින් ගෙන විග්‍රහ කර බලමු,

  •  රුසියානු ජනතා සහය නොලැබීම
ජෝසෆ් ස්ටාලින් ගේ යකඩ සපත්තුවට මිරිකී සිටි රුසියානුවන්ට හිට්ලර්ගේ ආක්‍රමණ සිසිලස ගෙන දීමක් වූයේ ඉතාමත් කෙටි දින ගණනකට පමණයි. ඔවුන් හිට්ලර් හට කොන්දේසි විරහිතව සහාය දුන්නත් ඉතා කෙටි කලක දී වටහා ගන්නේ හිට්ලර් යනු ද ස්ටාලින් තරම්ම උමතු ආඥාදායකයෙක් බවයි. එතැනදී ඔවුන් සිය ජාතිකාභිමානය පෙරදැරි කරගෙන රුසියානු රතු හමුදාවේ සටන් වැදීමට එක්වනවා. ඇත්තෙන්ම හිට්ලර් ඔහුගේ මර්ධනකාරී ක්‍රියාවලිය යුද්ධයේ දිනුම තෙක් පසු කළානම් ඔහුට ඉතා විශිෂ්ඨ ජයක් ලැබෙන්නට ඉඩ තිබුණා. එහෙත් රුසියානු ජාතින් බලාපොරොත්තු නොවූ මර්ධනය ඔවුන් ජර්මානුවන් සතුරන් කරගන්නා තෙක්ම පැවතුනා.
  • ජපාන හමුදා මගින් නැගෙනහිර ආක්‍රමණය කරවීම.
එකවර යුධ පෙරමුණු දෙකක් සඳහා රුසියාව යොමු කිරීම මගින් නට්සීන් හට තමන්ට එල්ල වන පීඩනය අවම කරගැනීමට හැකියාවක් තිබුණා. එමෙන්ම රුසියාවේ පුහුණු සෙබළුන් සහ අතිරේක භට පිරිස් අවම කිරීමටද ඔවුන් මහාද්වීපය පුරාම කුඩා කුඩා යුධ පෙරමුණු වල තුනී වන ලෙස පැතිරවීම සිදු කිරීමටත් එයි රුසියානුවන් පීඩනයට පත් කිරීමටත් ඔවුන්ට එයින් හැකියාවක් තිබුණා. එහෙත් ඒ සම්බන්ධව නිසි උත්සාහයක් නොගැනීම නිසා මේ කාර්යය වඩා අපහසු තත්වයට පත්වුයේ පසුකාලිනවයි. ජපානය නොසිතු ඉලක්කයක් ලෙස පර්ල් වරායට පහර දීමත් සමගින් යුද්ධයට ඇමරිකාව සම්බන්ධ වීමත් මේ හරහා සිද්ධ වුනා.
  •  ඉලක්ක ගත නිසි සැලසුමක් නොවීම.
නිසි ලෙස ශීත කාලයට සුදානම් නොවූ භට හා උපාංග වලින් සමන්විත හමුදාවක් රුසියාවේ ආක්‍රමණයට යෙදවීමත් ඔවුන් හට නිසි ඉලක්කයක් ලබා නොදීමත් නිසා හිට්ලර් හට ජීවිත හානි පමණක් නොව භුමියෙන්ද අවසානයේ තම ලෙයින් ද [?] වන්දි ගෙවීමට සිද්ධ වූයේ රුසියානු ප්‍රතිප්‍රහාර දරුණු බැවිනි.

ඇත්තෙන්ම එහි වුයේ ප්‍රති ප්‍රහාර වල දරුණු බවට වඩා රුසියානු ආක්ටික් ශීත කාලය සඳහා ජර්මානු භට පිරිස් සහ උපාංග සුදානම් නොවීම නිසා සැපයුම් ඇනහිටීම/ ප්‍රමාද වීම, ඉන්ධන සහ උපකරණ ශීතලේ දී මිදීමට ලක්වීම නිසා අඩපන වීම වැනි ප්‍රායෝගික ගැටළු මගින් යුධ පිටියේ ආහාර වල සිට පතුරොම්, ඉන්ධන ඇතුළු සියලු දෑ හිඟ වීමයි. එයට වක්‍රාකාරව බලපෑ හේතුව වුයේ ජර්මානු ආක්‍රමණය විවිධ දිශා වලට යොමු වීම නිසා පුළුල්ව පැතිරුණු යුධ පිටියක් නිර්මාණය වීමත් එයට සැපයුම් සිදු කිරීමට වූ ප්‍රායෝගික අපහසුවත් නිසයි. භට පිරිස් ස්ටාලින්ග්‍රඩ් දෙසට ආක්‍රමණයේ මුල සිටම මෙහෙයවා එය අත්පත් කරගත්තා නම් බොහෝවිට ඔවුන්ට දුම්රිය මාර්ග ආශ්‍රිතව සැපයුම් මාර්ග පවත්වාගැනීමටත් ශක්තිමත් පදනමකින් රුසියානු ප්‍රතිප්‍රහාර මර්ධනය කිරීමටත් හැකියාවක් තිබුණා. ඒ සමගින්ම පීඩනයට පත්ව සිටි රුසියානු ජනතාව දිනාගැනීමට නිසි සැලසුමක් තිබුණා නම් යුද්ධයේ රුසියානු ආක්‍රමණය මීට වඩා වෙනස්ම මුහුණුවරක් ගන්න තිබු එකක්.

ගුවන් ආක්‍රමණ වලක්වා නොගැනීම

හිට්ලර් 1944 සිට ජර්මනියට මිත්‍ර පාර්ශවයෙන් එල්ලවන ගුවන් ප්‍රහාර නවතාගැනීමට අපොහොසත් වීම ඉතාම භයානක ප්‍රතිපල ගෙන දුන්නා. ඒ සඳහා හිට්ලර් සිය ගුවන් හමුදාව ශක්තිමත් කල යුතු වුවත් ඔහුගේ උනන්දුව V2 රොකට් ව්‍යාපෘතියට යොමු වීම ඔහුට අවැසි ප්‍රහාරක යානා නිපදවීම අඩු වීමට තවත් එක හේතුවක්. එමෙන්ම ඔහු විසින් අපි ඉහත ලිපි වලින් කතා කළා වගේ නිවැරදි තීරණ ගෙන නිවැරදි යානා/උපාංග තෝරා ගත්තානම් යුද්ධයේ හැසිරීම තීරණාත්මක වීමට බොහෝ දුරට ඉඩ තිබුනා.

මේ හේතු නිසා යුධ සැපයුම් අඩපණ වුනා පමණක් නොව කර්මාන්ත ඇතුළු දේ ද  අවසානයේ ජර්මානු ආක්‍රමණයේදී ද මිත්‍ර පාර්ශවයට ජර්මනිය මැදින් ඉතා ඉක්මන් ගමනක් ලබා දීමට ද අවස්ථාව උදා උනා. ජර්මානු අභිමානය බින්දුවටම බැස යන්නටද බර්ලින් නගරය බිමටම සමතලා වීමටද මේ තීන්දු තීරණ උර දුන්නා 

කෙසේ හෝ හිට්ලර් අවසානයේ පරාජය ලබන්නේ පස්දෙනෙකු ගෙන් එක අයෙකු සතුව රයිෆලයක් තිබුණු උණ්ඩ 100 පස්දෙනෙකු අතර බෙදුණු හමුදාවකින් වීම අතිශයින් දෛවෝපගත සිදුවීමක් වනවා.

---- බොහෝ දෙනා බලාපොරොත්තු වූ මේ ලිපිය ප්‍රමාද වීම ගැන මගේ බලවත් කණගාටුව. ----

ක්සැන්ඩරගේ කොළම ලියන්න අරං පසුගිය 7 වෙනිදා වෙත්දී වසරක් පිරුණා. ඒ වසර  පුරා ලිපි 56 ඔස්සේ රැඳී සිට ලිවීමට දිරි දුන් ඔබ සැමට ස්තුතියි.


මේ පොස්ටුව බස් රේඩියෝවේ බ්ලොග් සතිය නියෝජනය කරයි.
syndi.buzzradio.lk



103 comments:

  1. අදයි දන්නේ මම ක්සැන්ඩර් අය්යව පස්සෙන් පන්නල නෑ කියලා.. එකථා ගොඩක් මිස් වෙලා..

    දැන් ඉතින් මුල ඉදන් කියවපන්කො

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මල්ලි.. පැමිණීම සතුටක්. :-)

      Delete
  2. නියමයි... කවද දැනං හිටපුවද...එලම එල...

    බ්ලොගේට හා කක්කාසැන්ඩර්ට -

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රජෝ..

      හෑ.. මාව කාලා :-D

      Delete
  3. මරු මරු සහෝ! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුහිමාවී.. :-)

      Delete
  4. එනිග්මා කේත කියන්නේ මොකද්ද අයියේ?

    ReplyDelete
    Replies
    1. එනිග්මා කේත විදියට මෙහිදී කියන්නේ ජර්මන් හමුදා දෙවන ලෝක යුද්ධයේදී රහස් පණිවුඩ සතුරා අතට පත් නොකර යවන්න තෝරාගත් ක්‍රමවේදයයි. ඇත්තටම එනිග්මා කියන්නේ එසේ යවන පණිවිඩ කේතනය කිරීමට ගත් උපකරණයේ නම. ඒ යටතේ පණිවිඩය ගණිතමය ක්‍රමයකට කේතනය කර වෙනස් කරනවා. ජර්මනිය මේ ක්‍රමවේදය යුද්ධයෙන් පරදින තෙක්ම භාවිතා කලත් යුද්ධයේ අවසාන භාගයේ දී බ්‍රිතාන්‍යයේ "HUT 8" හි සිට මේ කේත ජර්මනියෙන් නිකුත් වෙද්දී එසැනින්ම වාගේ පරිවර්තනය කළා. ඒ සඳහා ඔවුන් පරිඝනක සහාය ලබාගත්තා. එනිග්මා සහයෙන් කේතනය කල පණිවිඩ ඔවුන් සාමාන්‍ය ටෙලිග්‍රාෆ් පණිවුඩ ලෙස යවා තිබෙනවා.

      Delete
  5. මම අහන්න ආපු දෙයක් මහිම අයියා අහලා තියෙනවා එනිග්මා කේත ගැන....

    අදටත් ලෝකේ හොඳම අවිය විදියට ගැනෙන්නේ Ak47 හෝ T56 වෙන්ඩෝන.ලෝක යුද්දෙ සම්බන්ද කතා කියවන්න මම මාර ආසයි.නියමෙටම ලියලා තියෙනවා අයියේ... සෑහෙන්න වටිනවා මේව ඉතින් සිංහලෙන් කියවන්න පොත් හොයන්න අමාරුයිනේ...

    පර්ල් වරාය ගැන කියෙව්වම මතක් වුනේ පර්ල් හාබර් කියන ෆිල්ම් එක.ඇත්තටම ඒ ෆිල්ම් එකේ තිබුනු ජාති වුනාද කියලනම් දන්නෑ හැබැයි පට්ට ෆිල්ම් එකක්.ලෝක යුද්ධ ගැන කතාකරද්දි මතක් වෙන්නෙම call of duty පරිගණක ක්‍රීඩාව...

    දිගටම ලියන්න අයියේ... අවුරුද්දේ උපන් දිනේට මගෙන් උණුසුම් සුභ පැතුම්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. එනිග්මා මැෂින් එක ගැන වැඩි විස්තර මෙතනිනුත් ගන්න පුළුවන්
      http://en.wikipedia.org/wiki/Enigma_machine

      ඔය ආයුධ ගැන ප්‍රශ්නේ නම් අහන්න හොඳම කෙනා අසමි දකිමි සොයමි ලියන විචාරක මහත්තයා. නියමෙට කියලා දෙයි ඒ ගැන. මම බලාපොරොත්තු වෙනවා එතුමා මේකට කමෙන්ට් කරයි කියලත්.

      පර්ල් වරායේ සිද්ධිය නම් ඇත්තටම ඛේදාන්තයක්. ජීවිත 2000 වගේම විශාල නැව් සංඛ්‍යාවක් අහිමි වුනු ප්‍රහාරයක් ඒ. මමත් කලින් ගේම් පිස්සෙක් කිව්වොත් නිවැරදියි. ඉතින් මමත් ඔය ගේම් එක සෙල්ලම් කළා මතකයි.

      ස්තුතියි කමෙන්ට් එකට, ඒ වගේම පරණ මතකයක් ඇවිස්සුවාට.

      Delete
    2. ඇයි රුවන්ත මතකද කමාන්ඩෝස් ගේම් සෙට් එක?

      Delete
  6. මේක සැනසිල්ලෙ හිමීට කියවන්ඩ ඕනා වැදගත් ලිපියක්.. හවස කාමරේට ගිහින් කියවලා ලිපිය ගැන අදහසක් දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙන්නා.. එහෙනං කියවලා කියන අදහසත් බලමු..

      Delete
    2. ඔන්න දැන් තමයි කියෙව්වෙ..

      ආයෙ හෝදන්ඩ දෙයක් නෑ ක්සැන්ඩර් සුපිරියි.. නොදැන හිටපු කාරණා බොහොමයක් දැන ගත්තා..

      පර්ල් වරාය ආක්‍රමණය කළේ දෙසැම්බර් 08 ද 07 ද ? මම හිතන්නෙ හත.

      යූ බෝට්ටු ගැන මමත් මේ ලඟදි දැන ගත්තෙ ජර්මානුවන් අමු අමුවේ දාස් ගානක් මිනිස්සුත් එක්ක ගිල්ලවපු මඟී නැවක් ගැන කරුණු හොයන්ඩ ගිහින්.

      ජර්මනිය කෙල ගත්තෙ රුසියාවට ගේම දෙන්ඩ ගිහින් තමා..

      ලිපිය සුපිරියි ක්සැන්ඩර් .. තව තවත් මේවම ලියන්ඩ..

      Delete
    3. බොහොම ස්තුතියි සෙන්නා.

      පර්ල් වරාය ආක්‍රමණය කරපු දිනය විදියට දින දෙකම වලංගුයි. ඒ හවායි දුපත් වලට 7 වෙනිදා වෙද්දී ජපානයේ දිනය 8 වැනිදා වීම නිසා. ඔවුන් ආක්‍රමණයට ගමන්කළේ වමේ සිට දකුණට නේ.

      ජර්මනියට රුසියාවට ගහන්න තිබුණා හරි විදියට ගියා නම්. අර අපේ පරණ ජනකතාවක කියන්නේ ආත්තම්මා කෙනෙක් රාජසිංහ රජ්ජුරුවන්ට පරංගි එක්ක යුද්ධ කරන හැටි කියලා දුන්නා කියලා, අන්න ඒ වගේ ගැහුවා නම් දිනන්න තිබ්බා.

      Delete
  7. මේ කතා ටික ඔක්කොම කියවනකොට මට මතක් උනේ "බොරිස් පලෙවොයි" විසින් රචිත "දැදිගම වී රුද්‍රිගු" විසින් පරිවර්තනය කල "සැබෑ මිනිසෙකුගේ කතාවක් " පොතේ "ඇලෙක්සෙයි මරේස්යෙව්" කියන චරිතය. මොකද ඒකත් මේ දෙවන ලෝක යුද්ධයට සම්බන්ද නිසා. හැබැයි එයා නම් රුසියාවේ..
    ගොඩක් දන්නැති දෙවල් දැනගත්තා වගේම ආසාවෙන් කියෙව්වා. වෙනදා වගේම...

    ReplyDelete
    Replies
    1. ම්ම් ඔය පොත නම් කියවලා නෑ.
      ස්තුතියි තරුවා...

      Delete
    2. මම ඔය පොත සෑහෙන පාරක් කියෙව්වා.. කකුල් දෙකම අහිමි වුන රුසියානු ගුවන් නියමුවෙකු නැවත ගුවන් යානා පදවමින් සටනට යන හැබෑම රුසියානු වීරයෙකුගේ සුපිරි කතාවක්..

      Delete
    3. ගිහින් හොයාගෙන කියවන්න ඕනේ. සමහර විට ස්ක්‍රයිබ් ඩී එකේ ඔන්ලයිනුත් ඇති.

      Delete
  8. අඩේ මට මේක අදනේ සෙට් උනේ..
    ලියමන නන් සුපිරියි
    ජය.....

    ReplyDelete
    Replies
    1. රැඳිලා ඉන්න එහෙනං..
      ස්තුතියි පසන්. කමෙන්ට් එකකින් දුන් දිරියට

      Delete
  9. හ්ම්..නියමයි අයියේ....

    වසරක් පිරුණු අයියගේ බ්ලොග් එකටත් සුභ ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. සිතුවිලි

      සුභ පැතුමට බොහොම ස්තුතියි..

      Delete
  10. බාගයක් කියෙව්වා/ ඉතිරි ටික ගෙදරම ගිහින් කියවලා අදහසක් කියන්නම් :)

    ReplyDelete
    Replies
    1. හරි... අදහස එනකම් ඉන්නවෝ.. :=) බ්ලොග් රේඩියෝව අහන්නත් එපැයි

      Delete
  11. (දන්නා ඉතිහාසය තුල) රාවණා ගැන ඉඟියක්ද මේ?

    Tiger I ටැංකියේ ඇන්ටි මැග්නටික් ආලේපය තවරා ඇත්තේ ඇයි?

    "කෙසේ හෝ හිට්ලර් අවසානයේ පරාජය ලබන්නේ පස්දෙනෙකු ගෙන් එක අයෙකු සතුව රයිෆලයක් තිබුණු උණ්ඩ 100 පස්දෙනෙකු අතර බෙදුණු හමුදාවකින් වීම අතිශයින් දෛවෝපගත සිදුවීමක් වනවා." හපොයි.. මේ තරමට බාල්දු උනාද?

    ඉතාම වටිනා ලිපි පෙළක්.. බොහොම ස්තුතියි! නොදැන් සිටි කරුණු ගොඩයි..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. රාවණා ගැනත් ඕකේ කොනක් ලින්ක් වෙනවා තමයි හරි. හරියටම කිව්වා එහෙනම් ඈ..? ඔය දෙයින් කිව්වේ මීට ටික කාලෙකට කලින් මම ලියාගෙන ආව ලිපි පෙළක පල නොකළ ලිපියක දෙයක්. දැන් මේ රාවණා උමතුව නිසා ඒ ලිපිය ලියන ඒක තේරුමක් නෑ.

      ඇන්ටි මැග්නටික් ආලේපය තවරා ඇත්තේ මැග්නටික් බෝම්බ වලින් ටැංකිය ගලවා ගන්නයි. ඒ කාලේ මිත්‍ර හමුදා වල භටයින් ස්ටිකි බොම්බ් ලෙසින් හැඳින්වූ මේ බෝම්බ වාහන වල ඇලෙව්වා.

      ඒ තරමටම ඔවු. රුසියානු හමුදාව ඒ තරම් බංකොලොත්. ඔවුන්ට හිට්ලර්ගේ අකුණු සර (blitzkrieg) මෙහෙයුම් වලින් බේරෙන්න තියා ඒවාට මුහුණ දෙන්නවත් නොහැකි ප්‍රාථමික හමුදාවක්. යුද්ධෙට යද්දී එකෙක් පතුරොම් අරන් යනවා අනිකා තුවක්කුව. එකෙක් මළොත් ඉතුරු එකෙක් තුවක්කුව ගන්නේ. එහෙව් හමුදාවක් ඔය. ඔය තත්වේ Enemy at the Gates චිත්‍රපටියේ මනාව පෙන්වනවා මට මතක විදියට. ඒත් අන්තිමට හිට්ලර්ට පරදින්න උනෙත් එහෙව් හමුදාවකට.

      බොහොම ස්තුතියි හරි.

      Delete
    2. ඈහ්.. රුසියනු හමුදාව එච්චර බංකොලොත් හමුදාවක්ද ? මම ඔය ඇහුවමයි..ඔහොම හමුදාවක් ජර්මානුවන්ව පරාජය කළා හරි පුදුමයිනෙ බන් !

      Delete
    3. 1942-1943 මුල කාලයේ තත්වය ඕක. පහු වෙද්දී ටික ටික හරි යනවා. ඒ වුනත් රුසියන් හමුදාවේ මියගිය ප්‍රමාණයන් හා තුවාල ලද ප්‍රමාණයන් ඉතා විශාල අගයක්. ඒ ගණන ජර්මානුවන් ගේ මියගිය හා තුවාල ලත් ගණනට වඩා ඉතා වැඩියි.

      හේතු තමයි මේ. රුසියන් හමුදාවේ පුහුණු සෙබළු අඩුවීම, උපකරණ සහ ආයුධ හිඟය, යුධ ටැංකි වල මුල් කාලයේ රේඩියෝ පහසුකම් නොතිබීම සහ පොදුවේ ස්ටාලින් ජීවිත ගැන තැකීමක් නොකිරීම කියන දේවල් නිසා ඔය ජීවිත විනාශ උනේ සහ එක රයිෆල් එකක් පස්දෙනෙක් අතර බෙදුනේ. මුල්ම කාලේ රුසියානුවන් අත PPSH රයිෆල තිබුනේ නෑ. එත් අවසාන කාලය වන විට අඩු වියදම් ශ්‍රමය සහ අඩු වියදමින් කල තත්වයෙන් බාල (ජර්මානු අවි සමග සසඳද්දී) ගිනි අවි වලින් රුසියානු හමුදා සන්නද්ධ වුනා.

      Delete
  12. හදිස්සියෙ ආයෙ මේ පැත්තේ.අහන්න ගොඩක් දේවල් නම් තියනවා. පස්සේ අහන්නම්කො ඒවා.
    මගෙන් සුභ පැතුම් අවුරුද්දක් අපිට වැදගත් වගේම වටිනා ලිපි එකතුවක් දුන්නට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි. ඒ වගේම ඔයාගේ ප්‍රශ්නටික එනකම් බලා ඉන්නේ.

      Delete
  13. ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මේ ලිපිය සකසන්න. වටිනා විස්තරයක්.

    ස්තුතියි මචං.

    ReplyDelete
    Replies
    1. මේ පාර නම් එපා වෙලා හිටියේ.. මම ලියන්නේ ඔන්ලයින් ට්‍රාන්ස්ලිටරේට් එකේ. විදුලිබල මණ්ඩලේ ට පින් සිද්ධ වෙන්න සුමානයක් එකම දේ ලිව්වා.

      ඒ කොහොම උනත් ලිපිය ලියලා එන ප්‍රතිචාර දැක්කම ඒ වෙහෙස කොහෙද නෑ. ඉතින් ඒකට නම් කියවන කමෙන්ට් කරන අයට තමා ස්තුතිය හිමි වෙන්නේ..

      ස්තුතියි මචං. හැමදාම ඇවිත් දෙන දිරියට.

      Delete
    2. මටත් ඔය අත්දකීම තියනවා.. සමහර ලිපි ලියද්දි එපාම වෙනවා.. ආයෙනම් ඕනා නෑ කියලා හිතෙනවා.. ඒත් ඉතින් පාඨක ප්‍රතිචාර දැක්කම අර මහන්සිය කොහෙද නෑ.. ආයෙ ඉතින් කොහොම නොලියා ඉන්ඩද ?

      Delete
    3. ලිපිය ලියන එක නම් අවුලක්ම නෑ. ඒත් මේ පවර් කට් හින්දා එකම දේ ටයිප් කරන්න ගියාම?
      ඒ කතාව නම් ඇත්ත. කවුරු හරි බලලා හොඳ නරක කියලා යද්දී ඉතින් ආයේ නොලියන්නේ කොහොමද?

      Delete
    4. කතන්දර ලියනවට වඩා දැනුමට ලිපි ලියන එක හරිම වෙහෙසකරයි..

      කතන්දරයක් නම් ඔහේ කියවගෙන ගියෑකි.. ඒත් කරුණු හොය හොය ගැළපෙන නිවැරදිම කරුණු විස්තර වෙන පින්තූර හොය හොය ලියන එක එපාම වෙන වැඩක්..

      මේවා ඉතින් අමුතුවෙන් කියන්න දේවලුත් නෙමෙයි..

      Delete
  14. ඉතාමත් වටිනවා. සෑහෙන මහන්සියක් දරල මේක ලියල වගේ. මම මේ ආයුධ වලට නම් එතරම් කැමති නැහැ. ඒත් යුද්ධ කතාවට නම් හරිම ආසයි කියවන්න. ඔබගේ ලිපි පෙලින් මට හොද දැනුමක් ලැබුනා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ගේ ප්‍රශංසාවට බොහොම ස්තුතියි. මහන්සිය කොහෙද නෑ කට්ටිය කියවනවා දකිද්දී.

      Delete
  15. න්‍යෂ්ටික බෝම්බය ඇමරිකාවටත් කලින් හදන්න අවස්ථාව තිබුණේ ජර්මනියට. අයින්ස්ටයින් වගේ දක්ෂ පුද්ගලයන් වගේම පරමාණු බෝම්බය ගැන මූලික සංකල්පය වගේම මුල් අදියරේ පර්යේෂණ කරමින් හිටිය පුද්ගලයෙකුත්[නම මතක නැහැ] ජර්මනියේ ඒ වෙද්දී හිටියා. ඒත් හිට්ලර්ගේ යුදෙව් සංහාරය හරහා මොවුන් දෙදෙනාම ආරක්ෂාව පතා ඇමරිකාවට පලා යාම ජර්මනියට වැදගත් සාධකයක් අහිමි වෙන්න හේතු වුණා. බැරිවෙලාවත් ජර්මනිය න්‍යෂ්ටික බෝම්බයක් හැදුවා නම් ලෝක යුද්ධයේ ජය මීට වඩා වෙනස් විදිහටකට විසඳෙන්න තිබුණා

    ReplyDelete
    Replies
    1. ආහ් මට අමතක වුණා වසරක ගමනට සුභ පැතුම් අයියා :)

      Delete
    2. හරියටම හරි මල්ලි. විද්‍යාඥයින් ගේ හිඟය කියලා මම කෙටියෙන් කිව්වෙත් ඔය ටික තමයි. හිට්ලර්ගේ කුරිරු පාලනය ජර්මනියේ සිටි බුද්ධිමත් යුදෙව්වන් පලවා හරින්නට සමත් වුනා. එහෙම පලාගිය අය ඇමරිකාවට මෙන්ම රුසියාවට ද ගියා. රුසියන් kamenev Centrifuge නම් සෙන්ට්‍රිෆියුජය සාදන්නේ මෙසේ පලා ගිය ජර්මානු විද්‍යාඥයින් සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු යටත් වූ ජර්මානු විද්‍යාඥයින් විසින්. මේ කට්ටිය නිසා තමයි හර්මන් ගෝරිං හෝර්ටන් සහෝදරයින් ට කියන්නේ නව දිගු දුර ගුවන් යානයකට සැලසුම් සකස් කරන ලෙස. ඒ පලමු හෝර්ටන් යානයේ පරීක්ෂණ පියාසැරි දත්ත සලකා බැලීමෙන් පසුව. ඔහු එතැනදී කියන්නේ 1946 අගෝස්තු වන විට ඔවුන්ට ඔවුන් සතුව ක්‍රියාකාරී න්‍යෂ්ටික බෝම්බයක් සතුවන නිසා ඊට පෙර යානාවක් තනන ලෙසයි.

      හිතාගන්න පුළුවන් නේ එහෙනම් මේ සේරම ජර්මනියේ හිටියානම් වෙන දේ සහ ලෝකයේ ඉරණම වෙනස් වන විදිය?

      ස්තුතියි මල්ලි, කමෙන්ට් එකට වගේම සුභ පැතුමටත්...

      Delete
  16. හොඳ විස්තරයක්.පලමු ලෝක යුද්ධයට පස්සෙ ඇමෙරිකාව යුරෝපයේ කටයුතු වලට මැදිහත් නොවෙන්න තීරණට කරල තිබුන. පර්ල් වරායට පහරදීම කියන ඉතිහාසයේ දෙවන වැරැද්දත් නොකරන්න තත්වය මීට වඩා වෙනස්වෙන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ඒ වරද කලත් ජර්මනිය රුසියාව එක්ක ආක්‍රමණයකට නොගිහින් ඇමරිකාවට යුද්ධ ප්‍රකාශ නොකර සිටියා නම් ඒත් තත්වය සාමාන්‍ය වන්නට තිබුනා නේද?

      Delete
  17. පේන විදියට ජර්මනිය යුද්දේ පරාද වෙලා තියෙන්නේ හොඳ මගපෙන්වීමක් නැතිකම සහ අභ්‍යන්තර ගැටුම් හින්දා. නොදැන හිටපු ගොඩක් දේවල් තියනවා. ජයවේවා.....
    අව්රුද්දක් සපිරුණු ක්සැන්ඩර් බබාට වාසනාවන්ත උපන් දිනයක් වේවා....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. මෙතැනදී මම ආපහු පරණ ලිපියකට ඔබව යොමු කරන්නම්. මේ ලිපි පෙලේ පළමු කොටසේ (ඉතිහාසයේ හැරවුම් ලක්‍ෂ ගැන තියන ලිපි වල) තියන කාල් හවුස්හොෆර් ගැන ටිකක් බලන්න. හිට්ලර්ගේ ගොඩාක් සාර්ථක වූ ස්ථාන පසුපස මොහු හිටියත් රුඩොල්ෆ් හෙස් ගේ පලා යාමට පසු ඔහුගේ අදහස් හිට්ලර් ඒ තරම් පිළිගන්නේ නෑ. බලන්න එතන මම කියපු විස්තර එක්ක මේ සිද්ධි කොයිතරම් ගැලපෙනවාද කියල.

      ස්තුතියි කමෙන්ට් එකට වගේම ක්සැන්ඩර් බබාගේ උපන්දිනේට සුභ පැතුවාට.. :-)

      Delete
  18. අයියේ,ඔය දෙවනි ඡේදයේ තියෙන 1947 අගෝස්තු කියන එක,මට හිතන විදියට 1945 වෙන්න ඕන.මොකද 1945 අගොස්තු 6-9 නේ ජපානයට පරමානු බෝම්බ හෙලන්නෙ.අගෝස්තු 15 නේ ජපානය යටත් වෙන්නෙ. කොහොම වුනත් නියම මාතෘකාව. දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මල්ලි වරද පෙන්වා දීම ගැන. ඔන්න නිවැරදි කළා

      බොහොම ස්තුතියි.

      Delete
  19. ඉතා ටොප්ය. කොහොමටත් වෙඩිතියාගෙන දිනන කෙනෙක් නෑ!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි. ඇයි අපි දිනුවේ? 2009 දී?

      Delete
    2. එ්කත් හරි! හැබැයි මම හිතනව එතන හුදෙක් වෙඩි තැබීමකට වඩා දෙයක් තිබ්බ කියල. එ් අයවනං මොන තත්වයක් යටතේ වත් හිට්ලර්ට සමාන කරන්න බෑ

      Delete
    3. ගොඩක් දුරට ඔබ නිවැරදියි. :-)

      Delete
  20. අවිගත්තෝ අවියෙන්ම නසී !!!
    නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තු පෝස්ට් එකක් !

    ReplyDelete
  21. එක සැරයක් කියෙව්වා.. සමහර කරුණු අහලවත් නැති ඒවා.. ආයිමත් නිවීහැනහිල්ලෙ කියවන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. වෙනි අයියා දැක්ක කල්.. බොහොම ස්තුතියි අයියේ කමෙන්ට් එකට.

      Delete
  22. බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,


    බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)

    එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.

    තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...


    ස්තූතියි

    මෙයට සංවිධායක කමිටුව





    අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
    අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.

    --
    අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk

    බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio

    බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

    ReplyDelete
    Replies
    1. ඈහ්.. දවස් හතට පෝස්ට් හතක් !!! මේක කරන්ඩ පුලුවන් වැඩක්ද ? මටනම් බෑ.. එක පෝස්ට් එකක් හදා ගන්ඩම සෑහෙන්න දගලන්ඩ ඕනා..

      Delete
    2. ඒ සෙන්නා බ්ලොග් සතිය වෙනුවෙන්. මටත් සුමානෙට 7 ගහන්න නම් බැරිය.මාසෙටම ඔන්‍න‍ 5 විතර පුළුවන්.

      Delete
  23. හිට්ලර්ගේ ආක්‍රමනයෙන් රුසියානුවන්ට හරි වෙන මොකෙක්ටහරි සිසිලසක් ගෙනාපු ඵකමදවසක් ගෑනවත් ඉතිහාසයේ සදහන්වෙලා තියනවාද?
    අනික හිට්ලර්ගේ ජර්මනියට විරුද්දව ඈමරිකාව පරමානුබෝම්බය පාවිච්චිකරානම් 2වන ලෝකයුද්දය 1039 අග හෝ 1944මුල වෙද්දි ඉවරකරන්න තිබුනා.
    නමුත් ඈමරිකන්කාරයෝ ජර්මානුවන් සතුරන් උනත් සුදුහම තියන කොකේසියානුවන් නිසා උන්ව ශිශ්ට විදියට පරද්දලා(ගොඩක්ම නෑගෙනහිර පෙරමුනේදී රුසියන් හමුදාවේ ප්‍රහාර තමා හිට්ලර්ට රිදෙන්න වෑදුනේ,ඵ් වගේම අප්‍රිකානු පෙරමුනේදී බ්‍රිතාන්‍යත් හොදට සටන්කලා.)ආසියාතික ජපානයට අශිශ්ට විදියට පරමානු බෝම්බය හෙලලා ලෑජ්ජනෑති ජයක් නේද ලෑබුවේ.
    ඈමරිකාව බය උනා ජපාන බූමියේ ජපන් හමුදාව ඵක්ක මූනටමූන සටන්කරන්න උනානම් හාරාකිරි කරගන්නා ජපන් සෙබලුන්ගේ ආත්මශක්තිය ඵක්ක තමන්ට සටන් කරලා දිනන්න බෑරිවේවී කියලා.හිට්ලර් සෝවියට්දේශයෙන් කෑවා වගේ ඈමරිකාවට ජපානය ඈතුලෙදි කන්න වෙයි කියලා හිතූනිසයි කලින්ම පරමානූබෝම්බේ ජපානයට දාල ගේම ක්ලෝස් කලේ.
    -නන්දන

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ට් එක වගේ රැඩිකල් කමෙන්ට් මම ඉතා අගය කරනවා. මුලින්ම ඔබට ස්තුතියි නන්දන.

      නෑ. සඳහන් වෙලා නෑ. ඒ ජයග්‍රාහකයාගේ ඉතිහාසයේ. නමුත් ඔබ ඇත්ත තත්වය ගන්න. ස්ටාලින් වද කඳවුරු තුලින් සහ සයිබීරියාවට පිටුවහල් කිරීම තුලින් මියගිය ප්‍රමාණය හිට්ලර්ගේ අතින් මියගිය ප්‍රමාන ඉක්මවා යනවා. ඒ වගේම ඒ වෙනකොට රුසියාවේ තිබුණේ යකඩ පාලනයක්. ස්ටාලින් කියන නමින්ම ඒ ගැන කියවෙනවා නේ. ඉතිං මුල්ම දින වලදී රුසියානුවන් කැමති වුනා ස්ටාලින් පාලනයෙන් මිදෙන්න. ඒකයි මම කිව්වේ ඔය කතාව. ඔබ සමහර විට නොදන්නවා ඇති, ඇතැම් රුසියානුවන් හිට්ලර් වෙනුවෙන් සටන් වැදුනා.

      දෙවැනි කාරණය, හිට්ලර්ගේ ජර්මනියෙන් අත්පත් කරගත් යුධ රහස් අතරේ පරමාණුක ශක්තිය ගැන රහස් වගේම විද්‍යාඥයින් පවා සිටියා. ඉතිං ඇමරිකාව කලේ ඒ තාක්ෂනය තමන් සතු කරගැනීම. ඉතිං කොහොමද ඒ වෙද්දී ජර්මනියට න්‍යෂ්ටික බෝම්බ දාන්නේ? තිබුනා නම් දමයි කියලා මට හිතෙනවා. ඊළඟට රිදෙන්න නැගෙනහිර පෙරමුණෙන් කෑවා නම්, බල්ජ් වල වූ සුප්‍රකට සටන, වගේ දේවල් සිද්ධ වෙයිද? මිත්‍ර පාර්ශවයට (ඇමරිකාව සහ බ්‍රිතාන්‍යට) ජර්මානුවන් තර්ජනයක් නොවුයේ ඔවුන් යුධ පෙරමුණු 2 ක එකවර සටන් වැදුණු නිසා (බටහිර සහ නැගෙනහිර)

      තුන්වැනි කරුණ ගැන නම් මම ඔබ හා එකඟ වෙනවා. ඇත්තෙන්ම ඇමරිකාව ලද විශාලම විනාශය සිදුවුයේ පෙලලේයු දුපත් ආක්‍රමණය කරන්නට යාමේදී. ඉතිං ඔවුන් බිය වුවා ජපානයේ ප්‍රධාන දුපත් වලට පය ගහන්න. ඒ නිසා තමයි ඔවුන් පරමාණු බෝම්බය (එවකට වූ උපරිම තාක්ෂනය) භාවිතා කලේ. නොඑසේ නම් ඔවුන් ඒත් අපුරු ක්‍රමයකට ජපානය වනසන්න මානා බලාගෙන සිටියා. ඒ වවුලන් මගින්.

      Delete
  24. පළවේ ප්‍රශ්නය:- ජර්මනියට මුළු ලෝකෙටම ගහන්න තරම් ගටක්‌ ආවේ කොහෙන්ද?? ආවත් හැමෝටම එකපාර ගහන්න හිතුනේ මොකද?
    දෙක:-ජපානෙට වවුලන්ගෙන් ගහනවා කිවේ??


    අව්රුද්දේ බර්ත්ඩේ එකට මගෙනුත් සුබ පැතුම්,,

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දුපත් කමෙන්ට් එකට වගේම සුභපැතුමට.

      හිට්ලර්ගේ Blitzkrieg මෙහෙයුම් වල සාර්ථක භාවය වගේම ඔහුගේ ආයුධ වල තිබුණු සුපිරි බව (අනෙකුත් පාර්ශව සමග සසඳද්දී ඉදිරියෙන් තිබීම) නිසා හටගත් මානසික තත්වය වගේම, පෝලන්තය ප්‍රංශය වැනි රටවල් කෙටිකාලීනව යටත් කරගත හැකිවීම මුල් කරගෙන, හිට්ලර්ගේ ආර්ය ජාතියේ අග නගරයේ සැලසුමත් ජර්මනිය ලෝක පාලන කේන්ද්‍රස්ථානය විය යුතුය කියන සැලසුමේ සිටීමත් තමයි මේ තත්වයට මුල් වුනේ.

      දෙක: පොස්ට් එකකින්ම කියන්නම් ඇමරිකාවේ යුධ රහස් ගැන.

      Delete
  25. අදත් ගොඩක් අළුත් දේවල ටිකක් දැන ගත්තා..

    " එනිග්මා කේත " මෙන්න මේක නම් අදමයි ඇහුවේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි.

      ගැමියාගේ පත් ඉරුව ලියන ගැමියාටයි මහිම මදුරංග මලයටයි දීල තියන පිළිතුරේ එනිග්මා ගැන ටිකක් විස්තර තියනවා. ඒක දැක්කද?

      Delete
  26. අපුරු දැනුම් එකතුවක්.. පොත් ගොඩක් කියවල ගන්න ඕන කරුණු එක තැනකින් දීම ගැන ඔබට තුති .. ලෝකයේ හිට්ලර් වගේ වෙන්න ගිය හැමෝටම අත් උනේ එකම ඉරණම උනත් එවැනි මිනිසුන් බිහිවීම නවතින්නේ නැහැ.. අලුතින් බිහිවන්නන් පාඩම් ඉගෙන ගන්නෙත් නැහැ.. බලය කියන්නේ මනුස්සයා වහලෙක් කරගන්න බලවේගයක්.. ධනයට විතරයි දෙවැනි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබතුමාගේ කමෙන්ට් එකට. ධනය බලය දෙකම එකට වුනාම ඒ එන බලවේගය කන්ට්‍රෝල් කරන්න බැරි මිනිහා නම් ඉවරෙටම ඉවර වෙනවා නේද?

      Delete
  27. සෑහෙන මහන්සි වෙලා වටින පෝස්ට් එකක් දාලා. දෙවෙනි ලෝක යුද්ධෙ කියද්දි මට මතක් වෙන්නෙ Pianist ෆිල්ම් එක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පිණිබිඳු. ඔය ෆිල්ම් එක මම තවම බලල නෑ නේ.

      Delete
  28. අති විශිෂ්ටයි ක්සැන්ඩර්, අති විශිෂ්ටයි. මෙන්න මෙහෙම තමයි ලිපි ලියන්න ඕනේ. මහන්සි වෙලා කරුණු හොයාගෙන ලියන ලිපියක වටිනාකම ලැබෙන ප්‍රතිචාර වලින්ම පෙනෙනවා.

    දෙවැනි ලෝක යුද සමයේ ජර්මානු රහස් ව්‍යාපෘති (විශේෂයෙන් රොකට් සහ අභ්‍යවකාශ කටයුතු) ගැන ලියවුන පොතක් මගේ පෞද්ගලික පුස්තකාලයේ තියනවා. එහි තොරතුරු රාශියක් තිබෙනවා. මේ ඒ පොතේ පිටකවරය.
    http://jangun.files.wordpress.com/2012/07/img064.jpg

    ඒ වගේම තමයි AK 47 සහ T 56 අතර වෙනස හඳුනාගන්න සරල ක්‍රමයක් මෙතනින් බලන්න.
    http://jangun.files.wordpress.com/2012/07/ak_front_sight_muzzle_set.jpg


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුව වැටෙනකන් බලාගෙන හිටියේ... ස්තූතියි ඔබට

      Delete
    2. බොහොම ස්තුතියි ඔබතුමාගේ කමෙන්ට් එකට. ඒ ප්‍රශංසාව ගොඩක් වටිනවා.

      ඔබතුමා මේ පොත ගැන කලිනුත් මට කියලා තිබුණා. මේ ලිපි ලියන්න මම ඒ පොත පරිශීලනය කරන්න උත්සාහ ගත්තත් කරන්න හැකියාවක් තිබුනේ නෑ.

      @ ගැමියා: ගැමියාට උත්තරේ ලැබුණා ද?

      Delete
  29. එනිග්මා කේත කියන ක්‍රමය පසුව වැඩි දියිනු වුනා ඉන්පසු එය හැඳින්වුණේ 'ස්ලයිඩෙක්ස්'Slidex යන නමින් මම හමුදාවට බැඳුනු කාලේ මෙය බහුලව පාවිච්චි කෙරුනා. දැන්නම් කෙරෙන්නේ නැහැ. ඊට වඩා දියුණු රහසිගත් පණිවිඩ යැවීමේ ක්‍රම තිබෙන නිසා. මෙතනින් විස්තර බලන්න. http://www.cryptomuseum.com/crypto/slidex/index.htm
    ඒ වගේම තමයි හිට්ලර් සුපර් කැනන් එකක් හෙවත් සුපිරි කාලතුවක්කුවක් හැදුවා. දන්නවද එයින් වෙඩි තැබිය හැකි දුර? කි.මී. 165 ක්. මෙතනින් බලන්න.
    http://en.wikipedia.org/wiki/V-3_cannon

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක තුමෝ මේ එනිග්මා එක ගැන ටිකක් කියල දුන්න එක. ගොඩක් අය අහපු දෙයක් ඔය එනිග්මා මැෂින් එක.

      V3 කැනන් එක ගැනත් ලියන්න හිතුවත් ලිපි පෙලේ දීර්ඝව ආයුධ ගැනම කියන්න ගියොත් එපා වෙයි කියලා සමහර විස්තර දීර්ඝව ලියන්න වෙනම තියාගත්තා.

      Delete
    2. එහෙම එකක් නම් නෑ සහෝ අපි කැමති තව දන ගන්න අවි ගැනත් ලිපියක් ලියන්න ! අපි කැමතියි !

      Delete
    3. ඉස්සරහට වෙලා තියන වෙලාවට ලියනවා. රැඳී ඉන්නකෝ..

      Delete
  30. බොහෝම ස්තුතියි බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
  31. විශ්ව කෝෂයක් බදු වටිනා තොරතුරැ ගොනුවැකි... ක්සැන්ඩරයාණෙනි... දිගටම ඇද බාන්න.. බලනු රිසි වූ අයගේ දැනුම පිපාසාව නිවන්නට.. ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා කමෙන්ට් එකට.

      මොකද සිරා ලියන කාමරේ ගැන ප්‍රොෆයිල් එකේ තවම පෙනෙන්නේ නැත්තේ? මගේ මිත්‍රයෙක් එහෙ එන්න හදලා පස්සේ මම ලින්ක් එක දුන්නේ.

      Delete
  32. අර අන්තිමට ක්සැන්ඩර් " රයිෆලයක් තිබුණු උණ්ඩ 100 පස්දෙනෙකු අතර බෙදුණු හමුදාවකින්" කිව්ව කතාව අපි බලපු හොලිවුඩ් ‍ෆිල්ම් එකකත්.
    මොකක්ද අර ක්සැන්ඩරයා ලියපු පොත?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ එක්කෙනෙක් හරි ඒ කතාව අහලා තියන.
      මම ගොඩාක් කාලෙකට කලින් ලිව්ව නවකතා පොතක් ඒ. පරිවර්තන පොත් කියවලා ලද ආභාෂය උඩ තමයි ලිව්වේ.

      Delete
    2. ඒක "Enemy At The Gates", ක්සැන්ඩර් Jude Law ඉන්නවා. http://en.wikipedia.org/wiki/Enemy_at_the_Gates
      henryblogwalker the Dude

      Delete
    3. බොහොම ස්තුතියි ඩුඩ්. මමත් ඒ ෆිල්ම් එක බලලා තියනවා.

      Delete
  33. කතාව කියෙව්වා වෙනදා වගේම ලැපේට බෙල්ල දික්කරගෙන.....කොමෙන්ට්ස් ටික කියවන්න ආයෙම හෙට එන්නම්...මට තාම ගමන් මහන්සිය..වෙනදා පාන්දර 2 විතර වෙනකම් ඉන්නව ඒත් අද නම් බැහැ.......

    ReplyDelete
    Replies
    1. හරි හරි.. බොහොම ස්තුතියි කිරිල්ලි ඇවිත් ගියාට.

      Delete
  34. ක්සැන්ඩර්, ඔබ අනාගතයේදීත් මෙවැනි ලිපි රාශියක් ලියනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. එ සඳහා උපයෝගී කරගතහැකි වටිනා පොතක් තිබෙනවා. පොතේ නම The Encylopedia of Weapons of World War II. කතෘ Chris Bishop. මෙතනින් බලන්න එ පොතේ ඒක පිටුවක්.
    http://jangun.files.wordpress.com/2012/07/encyclopedia-of-weapons-of-wwii-013-013.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක තුමෝ.. ඔබ තුමාට දිවැස් තියනවා වගේ?

      Delete
  35. කලින් දුන් ලින්ක් එක වැඩ කරන්නේ නැහැ වගේ. යලිත් දෙන්නම්.
    http://jangun.files.wordpress.com/2012/07/encyclopedia-of-weapons-of-wwii-013-0131.jpg

    ReplyDelete
  36. හිට්ලර් කියන්නේ පිස්සෙක් වගේම කිසිම පිළිවෙලකට වැඩක් කල අයෙක් නෙමේ. මේ ගැන හොදටම විස්තර වන්නේ හිට්ලර් ගේ ගෘහ නිර්මාණ ශිල්පිය වගේම පසුව අවි පිලිබඳ ඇමති වූ ඇල්බට් ස්පියර්. ඔහු "තුන්වෙනි රාජ්‍ය ඇතුලත "inside the third reich (ඉන්සයිඩ් ද තර්ඩ් රයිෂ්)" නමැති පොතේ මේ ගැන හොදටම විස්තර වෙනවා. හිට්ලර්ගේ ගෝලයෝ වුනෙත් මේ වගේම දුෂිත වගේම වැඩ බැරි අදක්ෂයෝ පිරිසක්. මේ අය අතර නිරන්තර මත භේද හා ගැටුම් තිබ්බා.

    ඇත්තටම හිට්ලර්ගේ මුල් ජයග්‍රහණ වලට හේතුව හිට්ලර් ගේ දක්ෂතාවට වඩා ප්‍රතිවාදීන්ගේ අදක්ෂකම් හා දුර්වලකම්. ජර්මන් හමුදාව ඒ වෙද්දී දක්ෂ නිලධාරීන් සිටි හොද උපකරණ තිබු හමුදාවක්. යුරෝපයේ තිබු අනිත් කිසිම රටකට එතරම් හොද හමුදාවක් තිබ්බේ නෑ. නමුත් ජර්මනියේ නාවික බල ඇණිය එතරම් ප්‍රබල එකක් උනේ නෑ. එක්සත් රාජධානියේ සැහෙන හොද නාවික බල ඇණියක් තිබුණා වගේම ගොඩබිම් බල අනිත් තිබුණා. ගොඩබිම් බලඇණි අතින් ජර්මනියට තර්ජනයකට හිටියේ රතු හමුදාව පමණයි. ඒත් ස්ටාලින්ගේ මර්දනය නිසා හමුදාව එතමත් දුර්වල වෙලා තිබුනේ (http://en.wikipedia.org/wiki/Great_Purge#Purge_of_the_army). ඒ වගේම තමා ස්ටාලිනුත් එහෙමම දක්ෂයෙක් නෙමේ. ඔහුගේ හොදම ගෝලයොත් හිට්ලර්ගේ ගෝලයන්ටත් අන්ත අදක්ෂයෝ.

    මගේ කතාව

    ReplyDelete
    Replies
    1. ඔබතුමා වැන්නෙක් මගේ පුංචි බ්ලොග් එක කියවන එක ගැන මට අවංකවම ගොඩක් සතුටුයි.

      හිට්ලර් තනිවම වැඩ කරන්න නොහැකි කෙනෙක් කියන ඉඟිය මම කලින් පෝස්ට් එකක දුන්නා කර්නල් හවුස්හොෆර් ගැන කියද්දී. ඒ වගේම මේ පෝස්ට් එකෙත් හිට්ලර් ගේ තවත් දුර්වල සගයෙක් වුනු හර්මන් ගෝරිං ගැන පොඩි ඉඟියක් ලබා දුන්නා. ඒ නිසා මම ඔබතුමා එක්ක එකඟයි.

      හිට්ලර් අවසානයේ පරාජය වුනේ ඔහු තුල තිබු අදක්ෂකම නිසාත් හොඳ උපදේශන මණ්ඩලයක් නොතිබීම සහ නිසි සැලසුමක් කල හැකි උසස් නිලධාරින් නොහිටීම තමයි. යුබෝට්‌ ගැන මම මෙතැනදී සඳහන් කලේ ඒ කරුණ සනාථ කරන්න හිතාගෙනයි.

      ස්ටාර්ලින් යුද්ධයේ දී ඉදිරියට එන්නේ අසීමිත කැපකිරීම් මැද, බෝම්බ ඇතුරූ බිම්මතින් ඔහු සෝවියට් හමුදා ඉදිරියට ගෙන යනවා. ඔහුගේ වාසිය වුනේ ජීවිත හානි වැඩි වුනත් හමුදාවට බැඳෙන ප්‍රමාණය මත ඒ ගණන එතරම් ප්‍රශ්නයක් වෙන්නට ඉඩ නොතැබුව එක වගේම හිට්ලර් ගේ දුර්වලතා නිසා අවසානයේ ජර්මානු පෙරමුණ වෙත අවි ආයුධ සහ උපකරණ හිඟ වීම නිසා වූ දුර්වලතාවය ප්‍රයෝජනයට ගැනීමට ලැබීමයි. එයින් ඔවුන් කඩාගෙන බිඳගෙන කෙටි කාලීනව ඉදිරියට පැමිණියා. ඒත් කර්ස්ක් වලදී සිදුවූ සටන වැනි දෑ ඔස්සේ පෙනෙන්නේ ජර්මානුවන් සතුවූ ප්‍රබල බවයි. ඔවුන් සතුව සැපයුම් තිබුනා නම් මේ ඉතිහාසය අද වෙනස් විදියකට ලියවෙන්න තිබුනා.

      බොහොම ස්තුතියි ඔබේ සටහනට.

      Delete
  37. ඇත්තටම සුපිරි ලිපි පෙළක් මම පෞද්ගලිකව මේ විෂය ගැනඉතා උනන්දුයි ඒ නිසාම තව තවත් මේ වගේ ලිපි ලියන්න ශක්තිය ලැබේවා කියන ගමන්ම මේ ලියපු සාර්ථක ලිපි වලට හදවතින්ම සුබ පතනවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ කමෙන්ට් එකට. ඒ වගේම දිරිමත් කිරීමටත්. මේ දේවල් අපිව තවත් ශක්තිමත් කරනවා.

      Delete
  38. මේ බ්ලොග් එකේ ඔක්කොම කරුණු කියවන්න මට හොඳ කලක් යයි. අදට මේක කියෙව්වා. පංකාදු ජොබ් එක... පොඩි අවුලකට තියෙන්නේ සමහර තැන්වල අවරුදු වරද්දලා තියෙනවා. 1945 වෙනුවට 1946, 1941 වෙනුවට 1942 එහෙම...

    ජර්මනිය පරමාණු බෝම්බ හදනවා තබා ඒ අහලකවත් හිටියේ නැහැ. ඒ පිලිබඳ සම්පූර්ණ දැනුම ඔවුනට තිබුනත් අමුද්‍රව්‍ය හොයාගන්න පුලුවන්ද කියන එක ගැටලුවක්. මම නම් ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ.

    ඇමරිකන් හමුදා ජපානය ආක්‍රමණය කළා නම් අම්බානකට කන්න තිබුන කියන එක අමරිකන්කාරයෝම හදාපු කතාවක්. ඒ තමන් ජපානයට බෝම්බ දාපු එක සාධාරණීකරණය කරන්න. ජපනා ඒ වෙද්දී යුද්දේ පරාද වෙලා හිටියේ. මම මේ ගැන කලකට කලින් ලිපියක් ලිව්වා කඩ්ඩෙන්...

    http://suite101.com/article/atom-bombs-on-japan-a-necessary-evil-a270475

    දිගටම ලියන්න. Good Luck!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක ලියන්නේ නෑ කියලා ටිකක් මග හරිමින් ඉන්න කාලෙක ඔබ වගේ කියවන්නෙක් කියන්නේ ලොකු දිරියක් දෙන කෙනෙක්. ඒ අතරේ අවුලක් තියන තැන කිව්වනම් පංකාදු පහයි. :)

      ජර්මනිය පරමාණු බෝම්බ හදන්න ළඟ හිටියේ නෑ කියන්න අමාරුයි. ළඟ කෙසේ වෙතත් යුරේනියම් බලගැන්වීම නම් ඔවුන් සිදු කළා හිතන්න පුළුවන්. යුරේනියම් වැනි මුලද්‍රව්‍ය බලගන්වන විදිය ඔවුන් සබ්මැරීන හරහා ජපානයට ලබාදුන් බවටත් කතා තිබෙනවා.

      ඔබ ගෙනෙන තර්කය පිළිගත හැකි මට්ටමේ එකක් ජපානය ගැන නම්. ඒත් එතකොට ග්වන්දල්කනාල් ඔකිනාවා වගේ සටන්බිම් වල මියගිය ඇමරිකානුවන් ගැන මොකක්ද වන තක්සේරුව? ඇත්තෙන්ම ඔවුන් දින ගණන් තම ඉලක්ක වෙත යන්න පරක්කු වුනේ මේ ජපාන ප්‍රහාර නිසා.

      ඔබේ ලිපිය කියවන්න මම දැන් යන්න ඕනේ. බොහොමත්ම ස්තුතියි කමෙන්ට් එකට. මේ වගේ විවිධත්වයන් දැනුමේ නිම්වළලු පුළුල් කරනවා.

      Delete
    2. ග්වාදල්කනාල් සටන උනේ 1942 සහ 1943 මුල. එතකොට යුද්ධය පරාද වෙලා කියලා ජපන්නු පිළිගත්තේ නෑ. ඔකිනාවා, ඉවෝ ජිමා වගේ සටන් වෙද්දී ජපන්නු මරාගෙන මැරෙන තැනට සූදානම් වුනා. ඒ අධිරාජයාට තියෙන භක්තියත්, පැරදිලා යටත් වෙනවාට වඩා රණ බිම මැරෙන එක නම්බුයි කියල හිතෙන, Sense of Duty කියන එක තිබ්බ සංස්කෘතියත් නිසා. ඔයා The Last Samurai චිත්‍රපටය බලලා ඇති.

      නමුත් අන්තිම කාලේ වෙද්දී නම් යුද්ධය පිස්සුවක් වග ඔවුනට තේරුනා. අනික ජපන් පාලනය තුල හැම කෙනෙක්ම යුද්ධයට කැමති උනේ නෑ. නමුත් ඒ හැමෝටම ප්‍රශ්නයක් තිබුනා. හිතන්න අධිරාජයාව ගෙනිහින් යුධ අපරාධකාරයෙක් විදියට නඩු ඇහුවා නම්? ඒක වලක්වන්න තමයි ඔවුන් යටත් නොවී සටන් කලේ.

      Delete
    3. ඔව් ඔබ හරි. ඒ කොහොම වුනත් ජපන්නු නතර නොවී එකා පිට එකා මැරෙද්දීත් නිර්භීතව සටන් වැදුනා. ඒ සටනේ සීමාව වුනේ මරණය නැතිනම් සටන කියන තැන. ඇමරිකන් හමුදාවත් මේ වෙද්දී මේ තැනින්ම සටන් වැදුනා. ඒත් ජපනුන්ගේ අමුතු උපක්‍රම තමයි සටනේ වේගය ඇමරිකාව වෙත බාල කරන්න හේතු වුනේ.

      Delete
  39. කසැන්දර් අය්යා මේක මාරු මන අද තමා bolg කියවීම පටන් ගත්තේ හැමදාම කියවන්න සිතුනි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි GBN. කියවන්න.කියවන්න. සාදරයෙන් පිලිගන්නවා ඔයාව.

      Delete
  40. මේක නම් පට්ට තමා.Youtube එකේ මේ මාතෘකාව ගැන හුගක් වීඩියෝස් තියනවා,ඒත් බලන්න අමාරුයි.සෝවියට් දේශයේ ජපානයේ ඇමෙරිකාවේ බ්‍රිතානයේ වගේ රටවලත් රහසිගත වයාපෘති තිබුනානෙ,මේ වගේ..ඒවාගැනත් ලිපියක් දාන්න.

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්. බ්‍රිතාන්‍ය කෝඩ් බ්‍රේකර් ව්‍යාපෘතිය නිසා හිට්ලර්ගේ හමුදා ක්‍රීට් දුපතේ දී නන්නත්තාර වෙන්න කෑවේ.. හිට්ලර් ඒ වෙද්දීත් දන්නේ නෑ තමන්ගේ පණිවිඩ එංගලන්තේදී ඒ මොහොතේම චර්චිල් කියවන බව. :) එක ලිපියක් මග නතර වෙලා තියෙන්නේ. බලමු ඒකෙ ඉතුරුටික හරි දාන්න.

      Delete