Saturday, September 24, 2016

කොළඹ වාහන තදබදය සහ විසඳුම්

පාඨක ජනතාවට පළමුව මාගේ ස්තුතිය. බ්ලොගේ ලියපු කාලෙට වඩා නොලියපු කාලේ කියවපු ප්‍රමාණය වැඩියි. ලංකාවේ සිංහල කියවීම් වැඩිවෙලාදෝ මට හිතෙනවා. කොහොම වුනත් ස්තුතියි සහ සතුටුයි.

කොළඹ, යන්න ගියත් ට්‍රැෆික් තියන ගියාම ඊට වඩා ට්‍රැෆික් තියන ලංකාවේ තියන අංක එකේ නගරය තමා කොළඹ. කොළඹ ට්‍රැෆික් ඇයි? මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුර ඇතුලේ තදබදයට පිළිතුරකුත් තියනවා. 

පොඩ්ඩක් හිතන්න කොළඹ නගරයට රැකිරක්ෂා සඳහා දිනකට විශාල ප්‍රමාණයක් මිනිසුන් පැමිණිය යුතු ය. පාසල් සිසුන්, සහ වෙනත් විවිධ අධ්‍යාපනයන් ලබන සිසුන් පැමිණිය යුතු ය. කාර්යාල කටයුතු බොහොමයක් ඉටු කරගැනුම සඳහා මිනිසුන් විශාල සංඛ්‍යා කොළඹ පැමිණිය යුතු ය. වරායන් සහ ගුවන්තොටුපල කටයුතු කොළඹට ආසන්න වීම නිසා බොහොමයක් භාණ්ඩ ප්‍රවාහන වාහන ද කොළඹ අවට විශාල ලෙස පොදී කෑමත් , බොහොමයක් ප්‍රධාන කාර්යාල, (ප්‍රධාන නගරයේ පිහිටීම අනවශ්‍ය ආයතන පවා) කොළඹ පිහිටීම නිසා දෛනිකව නගරයට පැමිණීම ගන්නේ ඉතාම විශාල අගයක්. ඒ එක්කම මේ පිරිස නගරයෙන් පිටවන්නේත් විවිධ වේලාවන් වල. ඒ අතරේ පාසල් සහ කාර්යාල වේලාවන් කියන්නේ තදබදය වැඩිම වේලාවන්. එයට මුලිකවම හේතුන් ලෙස පාසල් වේලාවන් තුල පාසල් අසල පොදී කන සෙනග මෙන්ම පාසල් වෑන්, බස්රථ වැනි වාහන වල පැමිණීම, මාර්ග අවහිර වන සේ නවතා සිටීම, සෙනග පැටවීම බෑම වැනි ක්‍රියාකාරම් පෙන්වා දිය හැක. මෙයට සමාන ක්‍රියාවලියක් කාර්යාල වෙලාවේදී සිදුවන අතර එහිදී තවත් යමක් සිද්ධ වේ. එනම් පෞද්ගලික වාහන මගින් නිවෙස් වෙත / කාර්යාල වෙත යන ජන කොට්ඨාශයක් මාර්ගයට අවතීර්ණ වීමත් එමගින් මාර්ගයේ ඉඩ අනවශ්‍ය ලෙස නාස්තිවීමත් ය. වෙසෙසින්ම ජීප් රථ මෝටර් කාර් රථ වැනි වාහන මාර්ගයේ තමන්ගේ රථයේ මුළු පැටවුම් ප්‍රමාණයවත් නැතිව ධාවනය වීම තුලින් අනවශ්‍ය ලෙස සහ ඉතාම කෑදර ලෙස මාර්ග ධාරිතාවය භාවිතාකිරීම මෙම කාලය තුල සිද්ධ වේ. 


මිනිසුන් 60ක ප්‍රවාහනය සඳහා මාර්ග ඉඩ වැයවීම



ඉඳින් මෙයට විකල්ප නැතිද?

බහුලවම කතාබහට ලක්වන විකල්පය නම් නගරය තුල බස් ධාවනය කිරීමේ සංකල්පයයි. ප්‍රායෝගිකව මෙය ඉතාම හොඳ විසඳුමක් ලෙස දක්වාලිය හැකි අතර එහි දුර්වලතා ද පෙන්වා දිය හැක. මේ ක්‍රමය යටතේ නගරයට පිවිසෙන ද්වාර අසල ඇති විශාල මෝටර් රථ නැවතුම් මගින් නගරයට පැමිණෙන සියලුම / හෝ ආසන සංඛ්‍යාවක් නොපිරුණු, බස් නොවන රථවාහන උරාගෙන (නවත්වා) ඒ වාහන වල සිටින සෙනග පොදු බස් සේවා මගින් නගරයේ ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමත් නැවත රථගාල් වෙත රැගෙන ඒමත් සිද්ධ කරයි. මෙහි වන සාධනීය ලක්ෂණය නම් නගරය තුල අනවශ්‍ය ලෙස වාහන ගමන්කිරීමක් සිද්ධ නොවීම නිසා මාර්ගයේ ඉඩ සාධනීය මට්ටමකින් ඉතිරිවීමයි. මේ ගැන වටහා ගන්න ඉහල උදාහරණය බලන්න, මිනිසුන් හැටක් වෙනුවෙන් වන ප්‍රවාහන ධාරිතාව බස් රථයක් සමගින් කොතරම් කුඩා ද?

තවත් විකල්පයක් වන්නේ බයිසිකල් ධාවනය සඳහා ඉඩ හසර වෙන්කිරීමත් බයිසිකල් ප්‍රවාහනය නගරයේ දිරිමත් කිරීමත් ය. මේ ඔස්සේ ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ ප්‍රවාහන ඉඩ පමණක් නොව හරිත නගර සංකල්පය ක්‍රියාවට නැංවීම ද වාතය යම් පමණකට හෝ පිරිසිඳු ලෙස තැබීම ද මෙම සංකල්පයේ අරමුණු වේ. යුරෝපයේ බොහොමයක් රටවල් මේ ක්‍රමය ක්‍රියාවට නංවමින් සිටීම වර්තමානයේ දකින්නට හැකිය.

බයිසිකල් ධාවන ඉඩ පෙන්වන අවස්තාවක්.


තව දුරටත් සලකා බැලීමේ දී පොදු ප්‍රවාහන ක්‍රම වන දුම්රිය සේවා දියුණු කිරීම, උමං දුම්රිය ඇති කිරීම, කාර්යාලිය අනුග්‍රාහක ප්‍රවාහන සේවා (office sponsored transports) ලෙස බස් රථ ප්‍රවාහනය සැපයීම දක්වාලිය හැක.

ශ්‍රී ලංකාවේ තත්වය.

ශ්‍රී ලංකාවේ තදබදය පිරි ඉතිරී ගිය නගර ලෙස කොළඹ නගරය ද එතරම් නොවුව ද තදබදය පවතින නගර ලෙස අවශේෂ ගාල්ල මහනුවර වැනි නගර ද පෙන්වා දිය හැකි වේ. මෙයිනුත් කොළඹ නගරය වාණිජ කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රධාන තැනක් ගනියි. කොළඹ නගරය තුල ඇති අනවශ්‍ය ආයතන නගරයෙන් පිට වෙනත් ස්ථාන වල ස්ථාපිත කිරීම මෙම ගැටලුව දිර්ඝකාලින ලෙස සුව කල හැකි එකක් බවට පත් කරගත හැකිය. මෙම කුලකයට බැංකු ප්‍රධාන කාර්යාල, නුතන ආයතන (call centers, outsourcing offices) වැනි දෑ මෙන්ම රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යංශ ද අයත් වේ. මේවා එක්කෝ නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේ ස්ථාපිත කල යුතු ය, නොඑසේ නම් මහනුවර පොල්ගොල්ල හෝ ගන්නොරුව ප්‍රදේශයේ හෝ ස්ථාපිත කල යුතු ය. ඒවා වෙත දුම්රිය සහ බස් මාර්ග යන දෙකොටසම පැවතීම මගින් පොදු ප්‍රවාහන සේවා වලින් එම ස්ථාන වෙත පිවිසීම දිරිමත් කල යුතු ය. පැමිණෙන ජනයාට අවශ්‍ය සියලු දෑ එම ස්ථානයේ ම පවත්වාගෙන යාම මගින් ජනතාව නැවත ප්‍රධාන නගරය සමග එක්වීම වැළැක්වීමත් මෙහි සැලසුමේ ම පැවතිය යුතු ය.

අද දින වන විට ලංකාවේ යටිතල පහසුකම් ඉතාම හොඳින් පැවතෙන නිසා මෙය සිදුකිරීම ද  අපහසු නොවනු ඇත. එසේම මෙවැන්නක් ස්ථාපනය කිරීම මගින් රජයට ද වාසි අත්වනු ඇත්තේ කෙටිකාලීනව නොවනු ඇත. පෞද්ගලික අංශයට තමන්ගේ ආයතන මෙවන්වූ ප්‍රදේශවල පිහිටුවීමට බලපෑම් කිරීම රජයක් ලෙස සිද්ධ කිරීම මගින් අනවශ්‍ය තදබදය මගහැරවීම මෙන්ම සියළු ප්‍රදේශ සංවර්ධනය කිරීම ද සිද්ධ කල හැකිවනු ඇත.ජනඝනත්වය අනවශ්‍ය ලෙස නැති නිසා ව්‍යවසන තත්වයන්ගේ දී ද, සංවර්ධන කටයුතු වල දී ද මෙන්ම රෝග පාලන සහ පහසුකම් සැලසීම ආදී සියලු අවස්ථා වල දී පහසුවක් වනු ඇත.

ඔබේ අදහස් මොනවාද? අපි සංවාදයක් ගොඩ නගමු.

8 comments:

  1. මීට අමතරව අශීලාචාර රිය පැදවීම ලොකු හේතුවක්, හරිනම් අපිට මේ මට්ටමට ට්‍රැෆික් එන්න ඕනේ තව අවුරුදු අහ හයකින්...
    නමුත් ත්‍රිවිල් කාරයින්ට, බයිසිකල් කාරයින්ට සහ සමහර වාහන කාරයින්ට පිං සිද්ධ වෙන්න දැනටම ට්‍රැෆික් හොඳටම වැඩි වෙලා...
    ලේන් එකක පෙලට යන්න බැරි හික්මීමක් නැති වේසිගෙ පුතාල තමයි අපිට ඉක්මණට මේ ප්‍රශ්නේ නිර්මාණය කරලා දෙන්නේ...
    ආ මට අමතක වුනා බස් කාලකන්ණි ගැන කියන්න...
    උන් තමයි එක පාරට අසික්කිතම විදිහට ලේන් අතික්‍රමණය කරන්නේ...
    ඊයේ මම එක කලර් ලයිට් එකක් ගාව එක ඕන ඕෆ් වෙන වතාවල් 20 ක් වගේ ඉඳල තමයි පැන ගත්තේ. ඒ හතරමං හංදියෙම අනිත් පාරේ වාහන හිර වීමක් නැහැ...
    එතනින් පස්සේනම් හිර වුනේ නැහැ, එතැනදී වැරදි පොලිසිය. ඒ වගේ හතරමං හන්දි ඒ වගේ වෙලාවට මැනුවල් කරන්න ඕනේ...
    එහෙම නැත්තං හොඳ ට්‍රැෆික් සර්වේ එකක් කරලා සතියේ දවස් හතේ ට්‍රැෆික් වෙනස් වෙන විදිහ පැය අනුවත් වර්ගීකරණය කරලා කලර් ලයිට් වල ටයිමින් වෙනස් කරන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්. කියන්න අමතකම වෙච්චි කොටසක්. ඔක්කොමත් හරි වමෙන් ඕවර්ටේක් කරනවා නේද? අම්මේ මරන්න තරහක් එන්නේ. ඇයි හතිලව්වේ දකුණු පැත්තෙන් බස් කාරයෙක් එහෙම මුණට තියාන ආවොත් අපි දාන්නේ අහවල් දිහාකද? අන්තිමේ හරියට යන එකා තමා වැරදි. එත් ඔය මොකාවත් එන්නේ නෑ ඕනෙවට වඩා මිනිස්සු නැතිනං නැද්ද මං කියන්නේ?

      Delete
  2. හෙමින් සැරේම සම්බුව දෙන්න හදන්නේ බත්තරමුල්ලට.. සැන්ඩරයා දැකීමද සතුටකි..

    ReplyDelete
    Replies
    1. බත්තරමුල්ල කොහොමත් ෂොට් එක දෙන්න ලයින් එකේ තිබ්බ පැත්තක් නේ. සෙත්සිරිපාය, ඉසුරුපාය, අපාය ඔය ඔක්කොම ගහගෙන ආවේ ඕකට නේ. වැඩක් නැති ම කාලයක් හින්ද ඔන්නොහෙ මොනාහරි ලියල යන්න ආව දේශා..

      Delete
  3. දැනට අපේ රටේ වලංගු මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක කරන්නේ නම්, අනවශ්‍ය වාහන තදබදයෙන් 50% ක් හෝ ඊටත් වඩා ප්‍රමාණයක් මගහරවාගන්න පුළුවන්.

    නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක නොවීම බලවත් අඩුවක්. ලොකු ලොක්කන්ට නීතියෙන් රිංගා යන්නට ඉඩ නොදීමට පොලීසිය වගබලාගන්නේ නම් ගැටළු ඇතිවන්නේ නැහැ.

    අහඹු ලෙස වාහන පරීක්ෂාව මීට වඩා දැඩි කලයුතුයි. එහිදී රියදුරාගේ සෞඛ්‍ය තත්වය ගැන අහඹු පරීක්ෂාවක්, වාහනයේ යාන්ත්‍රික තත්වය ගැන අහඹු පරීක්ෂාවක් යන දෙකම සිදුකල යුතුයි.

    මා ඕනෙම ඔට්ටුවක් අල්ලනවා, එවැනි නිවැරදි සහ සාධාරණ පරීක්ෂණයක් කළොත්, පාරෙන් ඉවත් කළයුතු වාහන, එක දිනකට යටත්පිරිසෙයින් 500 කට වඩා අල්ලගන්න පුළුවන්. අයහපත් සෞඛ්‍ය තත්වයේ රියදුරන් 1000 ක් පමණ අල්ලාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා සමගින් එකඟ වෙනවා, සැබවින්ම මාර්ග නීති ක්‍රියාත්මක කිරීම දැඩි කල යුතුයි, ඒ කෙසේ නමුදු නගර තුනී කිරීම ඇරඹීම කල යුතුය ඔබතුමාට සිතෙන්නේ නැතිද?

      Delete
  4. පොදු ප්‍රවාහනය දියුණු කරන්ඩ කාටවත් උනන්දුවක් නැත්තෙ කොම්පැණි කාරයින්ට උංගෙ වාහන විකුණ ගන්ඩයි කියල තමයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. වෙන්න බැරි නෑ. බිස්නස්කාරයෝ වියදම් කරගෙන ආණ්ඩු පත් කරන්නෙයි පෙරලන්නෙයි නිකම්ම නිකම් වෙන්න බෑ නේ. කතාවටත් කියන්නේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි කියල.

      Delete