Showing posts with label හිතට වදින යමක්.. විද්‍යා තාක්ෂණ. Show all posts
Showing posts with label හිතට වදින යමක්.. විද්‍යා තාක්ෂණ. Show all posts

Tuesday, January 3, 2012

පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? III විදුලිය හා ආලෝකය


මේ දෙදහස් දොළහ වසරේ ක්සැන්ඩරයාගේ කොළමේ පලවෙන පලවෙනි ලිපිය. ඉතින් ඔය කියවන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වගේම සියලු සුබ සිහින ඉටුවන නව වසරක් වේවා කියල ක්සැන්ඩර් ඉස් ඉස්සරලාම ඉතසිතින් ප්‍රර්ථනා කරනවා.

ඉතින් අවුරුද්දේ මුලදීම මම මේ හදන්නේ මගේ පිටසක්වල ජීවයක් ගැන කියවෙන කතා මාලාවේ 3 වැනි කොටස විදුලි භාවිතය ගැන කතා කරන්න. ඉතින් ඔයාල අද මේ අඩවියට ආවානම් මෙන්න මේ සබැඳි දිගේ ගිහින් මේ කතාවේ මුල් කොටස් කියවන්න පුළුවන්.

අද ලෝකේ විදුලිය කියන දේ නැතුවම බැරි දෙයක් වෙලා. කොච්චර නැතුවම බැරිද කියනවනම් සමහර රටවල විදුලිය නැති උනාම මිනිස්සු අවුල් වෙන තත්වෙට පත්වෙනවා. විදුලි සෝපාන කාර්යාල සාප්පු ආදී මෙකී නොකී හැම දෙයක්ම උඩුයටිකුරු කරන්න මේ විදුලියට පුළුවන්. ඉතින් මේ අපුරු බලය අතීත මුතුන් මිත්තන් දැකල තිබ්බේ අකුණු හරහා විතරක් කියන එක තමා අද බොහෝ දෙන පිළිගන්න මතය වෙලා තියෙන්නේ. ඉතින් මේ ශක්තිය විදුලි කෝෂ හැටියට ගබඩා කරගන්න පටන්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 1800 ඉතාලියානු ජාතික ඇලෙක්සැන්ඩර් වෝල්ටා හොයාගත්ත බැටරියත් එක්කයි. ඒක 1836 දී ඩැනියෙල් සෙල් විසින් තවත් දියුණු කරලා තියනවා. ඔය විදුලියෙන් එලිය නිපදවාගන්න පටන්ගත්තේත්  ඊට සමගාමීවයි. මේ විදුලි බල්බ නිපදවන්න ගොඩක් අය උත්සාහ කරත් මුලින්ම අපේ මතකයට එන්නේ තෝමස් අල්වා එඩිසන් මහත්මයාවයි. එත් මේ යට කලින් කවුරුත් ඔය විදුලිය ගැන දැනන් හිටියෙවත් පාවිච්චි කලේ වත් නැද්ද?

මේක කියවන ඔයාලගෙන් ගොඩක් දෙනෙක් බැග්ඩෑඩ් බැටරිය ගැන අහල නැතුව ඇති. 1936 බැග්ඩෑඩයේ  කුජුට් රබු කියන ගමෙන් හමුවුනු මේ පහත තියන මැටි භාජනය හා ලෝහ පතුරු ක්‍රිස්තු පූර්ව යුගයේ පාවිච්චි කරන ලද බැටරියක කොටස්. මේවා අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 250 ක් වත් පැරණි කොටස් බවට විද්‍යාඥයන් මත පල කරනවා. 




අම්ලමය දියරයකට ලෝහ එනම් තඹ කූරක් වටා වූ යකඩ ආවරණයක් දැමීමෙන් නිපදවාගන්න කුඩා ප්‍රමාණයේ විදුලියක් මේ බැටරි වලින් ලැබිල තියනවා. ඉතින් මේ වගේ බැටරි වල බලය නිපදවන්න ඒ කාලේ විනාකිරි, මිදී යුෂ වගේ අම්ල භාවිතා කරන්න ඇති කියල විද්‍යාඥයන් විශ්වාසය පල කරනවා. මේ පහලින් තියෙන්නේ ඒ සරල ඇටවුම.




එහෙමනම් ඇලෙක්සැන්ඩර් වෝල්ටා කරේ නැවත සොයාගැනීමක් ද? බැටරියේ මුලාරම්භය වසර 2000 කටත් එහා අතීතේ සිදුවූවක්ද?

ඉතින් මෙයාකාර බැටරි ගණනාවක් සරල අටවුමක් මගින් එකතු කරගෙන මොනවාද කරන්න පුළුවන් කියන එක ගැන අදත් හරියාකාර මතයක් ප්‍රකාශ වෙලා නෑ. ඒ කොහොම වුනත් අපේ මුතුන් මිත්තෝ ජනප්‍රිය මතයට අනුව කියන විදියට ගිනි දල්වන්න ගිනිගල් හොයමින් දර අතුල්ලමින් ඉඳල නෑ නේද?

ඔයගොල්ලන් කවුරුහරි ඊජිප්තුවේ සංචාරය කරලා තියනවද? පිරමීඩ වලට? එහෙමනම් ඔයාල අනිවාර්යෙන් ඒවා ඇතුලේ තියන පටු බිංග දිගේ යන්න ඇති. ඉතින් ඒ යනකොට විස්තර කරන්නන් කියන්නේ ඒ පිරමීඩ මුල්ම කාලේ එලිය කරේ පන්දම් එළියෙන් කියල. ඒ කතා අහන ඔබ යන්තම් වත් ඔලුව උස්සල බලල නැතිද ඒ පිරමීඩ බිංග වල කොට වහලවල් දිහාවේ? එහෙම බලල බලාපොරොත්තු වෙන්නේ ඒ වහල වල බැඳුනු කළු පාට දැලි තට්ටුව දකින්න නම් ඒ බලාපොරොත්තුව හරි යන්නේ නෑ. ඒ මොකද ඒවාගේ දැලි පොදක්වත් නෑ. ඉතින් එහෙනම් කොහොමද පිරමීඩ එලිය කරේ? හදන කාලේ උනත් මේවා එලිය කරන්න පන්දම් යොදවපු බවක් පෙනෙන්න නැත්තේ කිසිම චිත්‍රයකවත් දැලි හෝ දැලි මිශ්‍ර තෙල් අංශු දකින්න නැති හින්දයි. හොඳයි ඉතින් දැන් ඔයාල හිතනවා ඇති එහෙනම් පස්සේ කාලෙක මේ පිරමීඩ වල චිත්‍ර, සීලිම් එහෙම පිහදාන්න ඇති කියල. එත් ඒ තරම් පිරිසිදුව තියෙන්න පිහිදාන්න? එත් ඒ පුරාතනයේ විදුලි බල්බ තිබුනානම්?

ඉතින් ලයිට් බල්බයක් ගැන ඉතිහාසේ තියන සාක්ෂි හොයන්න අපි ඊළඟට යන්නේ ඊජිප්තුවට. ඊජිප්තුවේ පිරමීඩ වල තියන චිත්‍ර අතර කොහොමත් අපුරු චිත්‍ර තියනවා. ගුවන් යාන හෙලිකොප්ටර වගේම මේ පහත තියන චිත්‍රෙත් ගොඩක් දෙනාගේ ඇසට අසුවුන එකක්. ඊජිප්තුවේ දෙන්ද්‍රා හි හාතෝර් දේවාලයේ තියන මේ පහලින් ඇති චිත්‍රෙ ගැන පිටසක්වල ජීවය ගැන මත පළකරපු, ඒ වගේම චැරියට්ස් ඔෆ් ගොඩ්ස් පොත ලියපු එරිච් වොන් ඩැනිකන් කියන්නේ මේ චිත්‍රෙ පෙන්වන්නේ විදුලි බල්බයන් දෙකක් කියලයි. එත් මේ චිත්‍රෙ ගැන අරුත් දක්වන විද්වතුන් නම් කියන්නේ මේ චිත්‍රයේ නෙළුම් මල් දෙකකින් එන නාග රූප දෙකක් දැක්වෙනවා කියලයි. 






ඉතින් ඒ කොහොම වෙතත් ඔයාල පරිස්සමෙන් බැලුවොත් බල්බයේ අග ඉඳල මේ හැම එකක්ම යම්කිසි බෝතලයක් වැනි දේකට සම්බන්ධ කරලා තියනවා දකින්න පුළුවන්. එහෙනම් ඒ සම්බන්ධය යා වෙන්නේ අර මුලින් දැක්ක වැනිම වූ ප්‍රමාණයෙන් විශාල බැග්ඩෑඩ් බැටරි සමුහයකටද ? එරිච් වොන් ඩනිකන් කියන පරිදි ඔහු මේ ඇත හදාබැලීම කරලා තියනවා. එත් ඔහු කියන්නේ නෑ ඔහු බල්බය දල්වන්න කොයිතරම් විදුලියක් භාවිතා කරාද කියල. ඒ ගැන නම් මට ඇති වන්නේ සැකයක්. එත් අපි ගල් යුගයේ යයි කියන, ලීවරයේ ප්‍රාථමික මට්ටම විතරක් දන්නා බව කියන ආදී මානවය විදුලිය ගැන මේ තරම් දනුමතිව මේ තරම් දෙයක් කළා නම් ඔවුන්ට විදුලිය ස්ථාවර කරන එක ඒ තරම් දෙයක් නොවෙන්න ඇති නේද?

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ එරිච් වොන් ඩනිකන් අත්හදා බැලීම කරන විදිය..

හිතන්න... අද ලෝකය මොනතරම් දියුණුද? ඒත් ඒක එහෙමමද?


Tuesday, December 6, 2011

පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? II - ගුවන් යානා තාක්ෂනය


සමාවෙන්න ඕනේ කට්ටියම ඉතින් මේ ලිපිය ප්‍රමාද උනාට. එත් කාර්යබහුල කාලයක අනන්ත බාදක මැදින් පැනල ඇවිත් ඔන්න මම අද කොහොමහරි මේ ලිපිය ලියාගත්තා. මේ ලිපියේ මුල් කොටස කවුරුහරි කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න පුළුවන්. 



ගුවන් යානා ගැන කතා කරනකොට දැන් නම් පොඩි එකෙක් උනත් කියාවි ඒක හොයාගත්තේ රයිට් සහෝදරයෝ කියල. එත් ඇත්තටම එහෙමද උනේ? මේ ලෝකේ ගුවන් යානා තිබ්බේ 1903 දෙසැම්බර් මාසේ ඉඳලද? ඉතින් ඒ අපි දන්නා නුතන ඉතිහාසේ නේ. එහෙම බැලුවම ජෙට් යානාවක් අපේ අහසේ ගිහින් තවමත් අවුරුදු සීයක් නෑ. මොකද ජෙට් යානයයක් පළවෙනියටම ගුවන්ගත කරේ 1939 දී වෙන හින්ද. ඒ  හෙන්කල් එච්ඊ 178. මේ ජර්මානු යානය ඇත්තටම ලෝකේ පලවෙනි ජෙට් යානාවද?


  හෙන්කල් එච් ඊ 178 යානාව


ඉතින් දන්නා අතීතේ මේ දේවල් සිද්ධ උනාට 1960 දී ජීව විද්‍යාඥයෙක් උන ඉවාන් සැන්ඩර්සන් නිව්යෝර්ක් එයරොනොටික් ඉන්ස්ටිට්යුට් ආයතනයේ ආචාර්ය ආතර් පොලිසී ගේ මතවාද සමග මතයක් ඉදිරිපත් කරනවා, මේ පහත තියන කොලොම්බියානු රන්මුවා පිළිම ගුවන් යානාවන් කියල. මේ පිළිම ක්‍රිස්තු පූර්ව 500 ත් 800 අතර කාලයක් ගන්න නිර්මාණ. එත් මේවා හොයාගත් දවස් වලදී වර්ගීකරණය කරලා තියෙන්නේ සූමොර්පික් (zoomorphic) කියන ලේබලය යටතේ. ඒ කියන්නේ මේවගෙන් සත්ව රූප නිරූපණය වෙනවා කියන අර්ථයෙන්.




ඇත්තෙන්ම මේවා දිහා හොඳාකාරව බැලුවොත් ගුවන්යානා වල තියන රඩරය, තටු වගේම ෆියුසලාජ් කියන කොටසත් (භාණ්ඩ හා මිනිසුන් රැගන යන කොටස) පැහැදිලිව දැකගන්න පුළුවන්. කිසිම ආකාරයකට ඒවා සත්ව රූප වලට සමාන නොවෙන්නේ ඒ කාරණා හින්ද. ඉතින් මේ යාන දකින්නේ නැතිව මේ තරම් විස්තර ඇතිව අපේ පැරැන්නෝ මේ රූප හැදුවේ කොහොමද? එහෙම උනොත් හෙන්කල් එච්ඊ එස් 3 යානාව ලෝකේ පලවෙනි ජෙට් යානාවමද?

මේ පිළිම හොයාගත්තු තැනට කිලෝමීටර් සියගණනක් දුරින් තියන තවත් අරුම පුදුම ස්ථානයක් තම නස්කා කියන්නේ. පිරු රටේ නස්කා කාන්තාරේ තියන නස්කා චිත්‍ර අඩුම තරමින් ක්‍රිස්තු පූර්ව 300 ත් 500 ත් අතර කාලයකදී නිර්මාණය කරපු ඒවා බව සාමාන්‍ය පිළිගැනීමයි. 1994 දී යුනෙස්කෝ ලෝක උරුමයක් කරපු නස්කා චිත්‍ර ඇත්තෙන්ම බලන්න පුළුවන් වෙන්නේ උඩු ගුවනේ සිට පමණයි. 1930 දශකයේ ගුවන් ගමන් කියන දේ ආරම්භ වීමත් එක්ක මේ නස්කා කාන්තාරය හරහා යන ගුවන් නියමුවන් හා මගීන් තමයි මේ සුවිශාල චිත්‍ර මුල්ම වරට දැකල සොයාගෙන තියෙන්නේ. මේ චිත්‍ර වර්ග කිලෝමීටර් 450ත් 500ත් අතර ප්‍රමාණයක පැතිර තිබෙන යෝධ නිර්මාණ කීපයක් වෙනවා. මෙහි තියන විශාලතම චිත්‍රය අඩුම තරමින් වර්ග මීටර 250ක් ඉක්මවා යනවා. මේ චිත්‍ර අතරේ වඳුරන් මකුළුවන් වගේම කුරුල්ලන්ගේ රූප දකින්න පුළුවන්. ඒ අතර තියන සුවිශේෂීම නිර්මාණ දෙක වන්නේ මිනිස් රූපය සහ අත් වල චිත්‍ර සටහනයි. ඉතින් එතරම් කාලයකදී මේ වගේ විශාල චිත්‍ර ඇන්දේ කාගේ උවමනාවටද? ඒ චිත්‍ර උඩුගුවනට පෙනෙන්න අඳින්න තරම් ඔවුන්ට තිබ්බ උවමනාව මොකක්ද?


නස්කා චිත්‍ර වල වඳුරාගේ චිත්‍රය

චැරියට්ස් ඔෆ් ගෝඩ්ස් පොත ලියන ලද එරිච් වොන් ඩැනිකන් කියන විදියටනම් මේ අහස් යානා ගොඩ බාන්න හදපු නැවතුම් පොලක්. ඒ වගේම ධාවන පථ පේලියක්. නමුත් මේ භුමියේ තියන මටසිලිටු ගතිය ඒවගේ දේකට උචිත නැති බව විද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියනවා. එත් පුද්ගලිකව මගේ මතය කියනවානම් මම කියන්නේ මේ අහස් යානා බාන්න හදපු ධාවන පථයකට වඩා යානා වලට මග කියන මං සලකුණු බවයි. අත වනන මිනිස් රූපය මගින් එහි ගෙන්වාගන්න යානා වලට ඒ ඒ ගෝත්‍රවල ධාවන පථ ඇති දිශා පෙන්වාදීම මේ මගින් කරන්න ඇති.

ඒ එක්කම මේ ස්ථානයට උතුරින් තවත් කිලෝමීටර් සියගානක් ඇතුලත අරයක පිහිටන මෙක්සිකෝවේ බාක් නගරය එහෙමත් නැත්තම් පුරාණ මායන් වරුන්ගේ පලන්යාකේ නගරයේ තියන ටෙම්පල් ඔෆ් ඉන්ස්ක්‍රිප්ෂන් කියන පැරණි දේවාලයේ තියන පකාල් රජතුමාගේ සොහොන්ගේ සොහොන් පියන උඩ කොටා ඇති චිත්‍රය ඉතාම මතභේදයට තුඩු දුන් එකක්. එරිච් වොන් ඩැනිකන් කියන පරිදි මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ පකාල් රජතුමා මේ ලෝකය අත්හැර පිට ග්‍රහලෝකයක් වෙත ගමන් කිරීමක්. ඒ උනත් අනිකුත් පර්යේෂකයන් පුරා විද්‍යාඥයන් මේ මතයට එකඟ වෙන්නේ නෑ. ඒ උනත් මේ පහතින් දකින්න තියන ඒ රූපය දිහා ඔබ මදක් විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි මේ පකාල් රජතුමා ඉන්න ඉරියව්ව නුතන ගගනගාමියෙක් තමුන්ගේ ෂටලයේ වාඩිවෙලා ඉන්න ඉරියව්වට සමාන බව. ඒ දෙයට අමතරව පකාල් රජතුමා තමන්ගේ දෑතින් යම් දෙයක් ක්‍රියා කරවන බව දකින්න පුළුවන්. පකාල් රජතුමාට පිටිපස්සෙන් තියන කොටස නිරීක්ෂණය කලොත් එහි රොකට් එන්ජිමක ඇති ගිනිසිළුවක් වැනි කොටසක් දකින්න පුළුවන්. ඒ එක්කම එහි දෙපසින් නගින දුම් රොටුත් දක්වා තියනවා දකින්න පුළුවන් වෙනවා.

පාකල් රජතුමාගේ සොහොන්ගැබේ ගල් පුවරුව මත කොටන ලද චිත්‍රය



මේ සම්පුර්ණ චිත්‍රය ඇත්තෙන්ම රොකට්ටුවක අකෘතියක් නම් මේ පැරැන්නෝ කොහොමද මේ දේවල් දැක්කේ? ඔවුන් සිය නායකයා වෙන්ව තරු වලට යන බව සිහියේ තබාගෙන සිටියේ ඔවුන් තරුවලින් පැමිණෙන්නන් දෙවි වරුන් ලෙසත් මරනින් මතු රජතුමා දෙව්ලොව යන බව විශ්වාස කල නිසාත්ද? එහෙමනම් මේ දෙවිවරු ඇත්තෙන්ම ආවේ රොකට්ටු වලින්ද?

මේ සාක්ෂි වලින් ඔප්පුවන්නේ මානව ඉතිහාසය සංස්කරණය විය යුතු බවද? නොඑසේනම් මේ මතවාද පිළිගන්න නුතන විද්‍යාවට බැරිද? ප්‍රශ්නය ඔබටයි ..

ප.ලි. : ඉරිදා පබ්ලිෂ් කරනවා කියා තිබුනාට මගේ ජාල සම්බන්ධයට හෙනහුරා පාත්වීම නිසා අද අඟහරුවාදා මෙය ඔබ අතරට පත්කරන්නට වීම සම්බන්ධව කණගාටුව පලකරමි.  


Saturday, November 5, 2011

පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද? I

පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. අද මං කතා කරන්න යන්නේ මේ බ්ලොගේ කවදාවත්ම කතා නොකරපු එත් මගේ හිතට ගොඩක් වැදුන මාතෘකාවක්. මේ ලෝකයේ පිටසක්වල ජීවයක් තිබුනද? එහෙනම් ඒවාට සාක්ෂි මොනවාද? තිබුනානම් ඒවා කොහේද? කියන දේ ගැන මම කොටස් වශයෙන් කතා කරන්නයි මේ සුදානම. මේ කතා බහේදී ආගම ගැන වගේම විවිධ පුද්ගලයන් ගැන කතා නොකරම බෑ. ඒ නිසා කතාව පටන් ගන්න කලින්ම මම ඒ සම්බන්ධව යම් කෙනෙක්ගේ හිත රිදෙනවනම් සමාව ඉල්ලනවා.



පිටසක්වල ජීවය කියන දේ එහෙමත් නැතිනම් අද්භූත ආගන්තුකයන් ගැන පුරාතනයේ ඉඳල පැමිණෙන සටහන් අපේ අතරේ තියනවා. එකම දේ අපි ඒ දේවල් බොහෝ විටම සාමාන්‍ය විදියට කියවන දකින නිසා මගහැරිලා යනවා. ඉතිහාසයේ විවිධ කාල වකවානු වලදී අපේ මුතුන්මිත්තන් විවිධාකාරයේ චිත්‍ර පිළිම ඒ වගේම සටහන් මගින් මේ අද්භූත අමුත්තන් ගැන කියල තියනවා.. ලෝකේ ගොඩක් ආගම් මේ දේ කියනවා. බය්බල් දේශනා වල, බුද්ධදේශන වල සක්වල ජීවයක් ගැන සඳහන් වෙනවා. ග්‍රීක් පුරාවෘත්ත වගේම මායන් ඉන්කන් ඊජිප්තු වගේම අපේ සිංහල ඉතිහාසෙත් මේ වගේ දේවල්වල සලකුණු තියනවා. එත් අපි මේ දේවල් සාමාන්‍ය ලෙස දකින්නේ ඒවා අපි නිතරම කියවන, නැවත නැවත පැහැදිලි කරන දේවල් උනත් ඒවාට මේ අර්ථ කතන නොදීම නිසා.. ඒ කියන්නේ අපි ඒ දේවල් මේ මාතෘකාව සම්බන්ධ කරගෙන කතා නොකරන නිසාවෙන්.

සක්වල ජීවින් දසදහසක් දෙනා අහන්න ආව සුත්‍ර පිටක බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා.. බුද්ධ දේශනා අහන්න එන දෙවිවරු අහස බබුළුවමින් ජේතවනාරාමයට ගොඩබැස්ස වග ග්‍රන්ථ වල සඳහන් වෙනවා. මහා මංගල සුත්‍රයේ මේ බව පැහැදිලිවම තියනවා. එවං මෙසුතන් ඒකන් සමයන් භගවා සවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන්ඨ වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා යනුවෙන් කියන්නේ මෙවැන්නක් නොවේද? ඒ පාලි පිටකයේ තේරුම ගත්විට එය මෙසේ වේ. එක්තරා සමයක මා විසින් අසන ලදී, භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයේ අනේපිඬු ආරාමේ වැඩවසන එක කාලයක එකවිටම රාත්‍රී අහස විවිධ වර්ණයෙන් ඒකාලෝක කරමින් විවිධ වර්ණයන්ගෙන් බබුලමින් දේවතාවෙක් කෛලාසකුටයේ සිට පැමිණියා . මේ කියන්නේ විවිධ වර්ණ විහිදුවන යානයක නැගී විවිධ වර්ණයේ සඥ්යා එලි දෙන නුතන ගගනගාමි ඇඳුමක් වගේ දෙයක්  ඇඳගත් කෙනෙක් මවු යානයේ සිට හෝ තමන්ගේ ග්‍රහවස්තුවේ සිට මෙහි පැමිණි බවක් නොවේද?

බයිබලේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ගිනි ජාලාවක් මැදින් එන බව..අහස ගිගුරුම් කවන සද්ද එක්ක ඇස අන්ධ කරවන එලි ගැන.. මේ මොනවාද? මේ අහස ගිගුම් දෙනා ශබ්ද එක්ක ආව ගිනි ජාලාවන් ආකාශ වස්තුවක් පහත් කරන දර්ශනයක් වෙන්න බැරිද? දෙවියන් වහන්සේ දශපනත දෙන්න මෝසස් සිනායි කන්ද මුදුනට අඬගහන වෙලාවේදී කියන්නේ කන්ද වටේට වැටක් බැඳලා ජනතාව එයට ලංවෙන එක වලක්වන්න කියල. බයිබලයේ එක්සොදස් 12:19 මෙහෙම කියනවා.. කන්දට පිවිසෙන අයට සීමා පනවන්න. එසේම ඔවුන්ට මෙලෙස කියන්න කන්ද තුලට නොඑන්න. අඩියක් හෝ නොතබන්න. සීමා පසුකරගෙන එන කවරෙකු හෝ වේවා.. ක්ෂණික මරණයට පත්වනු ඇත,.. ඒ ලෙස කියන්නේ ඇයි? අභ්‍යවකාශ යාන පහත් කරන විට ඇතිවන පොලව දෙදරීම, ගෑස් එන්ජින් වල දුම සහ ගිනි සමග එන අධික ශබ්ද මේ ආදී කල්පිත මිනිස්සු පුදුමයටත් භීතියටත් පත්කරන දේවල්. ඉතින් ඒ දේවල් වලින් උන්ව පුදුම කරව උන්ට දෙන්න යන මහාර්ඝ දේ ගන්නටවත් නොසිට පලා ගියොත්? එහෙමනම් මදක් සිතින් මවාගන්න.. මේ අපි අද දකින සයිෆයි සිනමා දර්ශන ඒ කාලයේ ඒ මිනිස්සුන්ට පෙන්නුවොත් ඔවුන් ඒවාට මොනවා කියාවිද?

ආගම ගැන එහෙම කියද්දී, නොකියම බැරි තවත් දෙයක් මගේ මතකයට එනවා. ඒ තම රාම රාවණ යුද්ධය.. මේ යුද්ධයට සම්බන්ධ දෙයක් අදටත් ගාල්ල රූමස්සල තියනවා. ඒ තමා රූමස්සල කන්ද. රාම කුමාරයාගේ පිරිස යුද්ධයෙන් තුවාල වෙද්දී ඔවුන්ට බෙහෙත් කරන්න මේ රූමස්සල පර්වතය හිමාලයේ ඉඳන් ගෙන ආව බව තමා අදටත් ජනප්‍රවාදයේ එන්නේ. ඒ වගේම රාම රාවණ කතාවලත් සඳහන් වෙන්නේ. පුදුමයකට වගේ මේ රූමස්සල වැවෙන සමහර පැල ලංකාවේ ඒ අවට කොතනකවත් නැති බවක් තමයි දැනගන්නට තියෙන්නේ. එත් ඒ පැල හිමාලයේ වාර්තා වෙලා තියනවා. එහෙමනම් මේ රූමස්සල ඇත්තෙන්ම ගලවාගෙන ආව ඔසු උයනක්ද ? එහෙමනම් ඒ කොහොමද? රාම රාවණා කතාව ගැන කියද්දී තව එක දෙයක් කියන්න වෙනවා. ඒ දඬු මොනර යානයෙන් ගමන් බිමන් ගිය රජකෙනෙක් විදියට රාවණ රජු ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙනම් සමකාලින රාම සතුවත් මේ තාක්ෂණය නොතිබෙන්න හේතුවක් නෑ.. 

ග්‍රීක කතාවල එන ඔලිම්පස් කන්ද ගැන ඔයාල හැමදෙනෙක්ම අහල ඇති.. ග්‍රීක් කතාවලට අනුව ඔලිම්පස් කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය වෙලා තියනවා. නායක සියුස් දෙවියන් ප්‍රමුඛ දේවතාවුන් මේ කන්දේ ඉඳන් ලෝකය පාලනය කරලා තියනවා. ග්‍රීක කතා වල සමහර තැනක කියනවා ඔලිම්පස් කන්ද මුදුන සමහර විටක ගිගුරුම් අකුණු එක්ක අහසට එසැවිලා යනවා කියන එක.. ඒ එක්කම ඒ පළාතම වලාකුලින් වැහෙනවා කියලත්.. මේ කියන්නේ ඔලිම්පස් කඳු මුදුන උඩ අභ්‍යවකාශ යානාවක් තිබුන එකක්ද? එක ගුවන්ගත් වෙන වෙලාවට එන ගෑස් දුම් ආදී දේවල්ද? ඒ එක්කම ඇපලෝ දෙවියා ගැන ග්‍රීක් කතා වල වගේම රෝම කතා වල එකම නමින් කියන්නේ ඔහු ගිනි සිළු විහිදුවන වාහනයෙන් අහස පුරාම ඇවිද්ද බව. ඒ ඇපලෝ දෙවියන් කියන්නේ ජෙට් යානයක් වැනි දෙයක් ගෙනියන නියමුවෙක්ද?

එහෙමනම් මේ පහත පින්තුර ටික බලන්න.. අපේ මුතුන් මිත්තන් එදා ඒ දක්කාවූ දේ ඔවුන්ට තේරුම් ගතහැකි ලෙස සටහන් තබා ඇති හැටි.. මේ පින්තුර සම්බන්දයෙන් වැඩි විස්තර අපි ඊලග ලිපි එක්ක කතා කරමු...

මේ ඇන්ටිකතියරා මැෂින් නමින් හඳුන්වන වසර 2000 පමණ පැරණි පරිගණකය  


පැරණි ගගනගාමි පිළිමයක්.. මේ පිළිම දෙකේම හෙල්මට පලන්දාගන ඉන්න බව පේනවා නේද? ඒ වගේම එකක ගගනගාමියගේ ඇඳුම සම්පුර්ණයෙන්ම නුතන ගගනගාමී ඇඳුමට අතිශය සමානයි.. එහෙනම් මේ වසර 2000 කට එහා අපේ මුතුන් මිත්තන් මේ පිළිම අඹන්නේ හිතලුවකින්ද? බලන්න සම්පුර්ණ පිළිමයේ ගගනගාමියගේ හිසවටා ඇති විදුලි ආලෝක පද්ධතිය?  


දකුණු ඇමරිකාවෙන් සොයාගන්න ලද මේ රන්මුවා ආකෘතිය නුතන ජෙට් යානාවක් වගේ නේද? එහෙමනම් මේත් හිතලුවක්ද? මේ ආකෘතියේ 10 ගුණයක් විශාල අනු ආකෘතියක් පියාසර කර අත්හදා බලා තියනවා. එහිදී හොයාගෙන තියෙන්නේ මේ ආකෘතියට සම්පුර්ණ පියාසර හැකියාව තියන බවක්.. ඉතින්, මේවා දකින්නේ නැතිව ඔවුන් මේ නිර්මාණ කරන්නේ කොහොමද? එහෙමනම් එදා අදට වඩා දියුණු තත්වයක් තිබුණාද?