Wednesday, April 1, 2015

අධ්‍යාපනයේ කෙටි කතාවක්..

අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රතිඵල නිකුත් වී තිබේ.. පොඩ්ඩන් කීප දෙනෙකු දිස්ත්‍රික් පදනමින්, පාසල් පදනමින්, සහ ජාතික පදනමින් ඇගයීම් ලබනු පෙනේ. ඔවුන්ට මගේ හදපිරි සුභාශිංසන පිරිනමමින් කතාව වෙනතක ගෙන යමි.

ඊයේ දින මා දුටු දෙයක් වූයේ සාමාන්‍යපෙළ ගණිතය අසමත් සිසුවියක් ගෙළ වැළලාගෙන ඇති බවය. මෙවන් සිද්ධීන් අද වන විට ඇසීමට ඇතත් මීට දශකයකට පෙර දී නම් අප අත්දුටුවේ නැති බව කීමට අවැසි වේ. ඒ එදා සිසු පරපුර අතර ද තරඟයක් නොවී නොව, වැඩිහිටියන් එදා තරමක් දුරට ළමා සමාජය සමගින් ඇති ගැවසීම වැඩිවීමත් ළමයින් හට මෙවන් දෙයක් ලෝක විනාශය ලෙස දකින්නට අවකාශ නොදීමත් යන කාරණා ගෙනහැර දැක්වීමට මට සිතේ. නමුදු සත්‍යය එය ම දැයි කීමට මා පරීක්ෂණ නොකළ නිසා මෙතැනින් නවතිමි.

අද වන විට දී සිසුන් විෂය ධාරාව අසමත් වීම ලෝක විනාශයක් ලෙස දකින්නේ දෛවයේ සරදමකින් දෝ මට සිතේ. ඒ අද අධ්‍යාපනය සකස්වී ඇති අයුරෙනුත් විවිධ විෂයන් හදාරා පිටව යන සිසුන් වෙනුවෙන් ඉහල අධ්‍යාපනය හැදෑරීමට ද මෙවන් දෑ බාදාවන් ලෙස තිබීමත් මම දකින්නේ දෛවයේ සරදමක් සින් නිසාය. මන්ද යත් උසස් අධ්‍යාපන පාඨමාලාවට යන්නවුන්ගෙන් අසන්නේ ද සාමාන්‍යපෙළ හෝ උසස්පෙළ සමත් ද යන්න ය, නමුත් උසස් අධ්‍යාපන පාඨමාලාව ඇත්තෙන්ම ගිරාපෝතකයින්ට නොව බුද්ධිමතුන් හට වන දෙයක් බව මගේ මනස කියා පායි. ඒ නයින් බලන කල අද දිනයේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන අයට මෙන්ම සුදුසුකම් නොලත් අය සතුව ද බුද්ධිය එක ලෙස තිබිය හැකි බැව් මම කියමි.

නමුත් අද අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරන්නේ නම් එහි දී සිද්ධ වන්නේ ළමයාගේ තාර්කික බුද්ධිය මෙහෙයවා පිළිතුරු සැපයීම කල යුතු හෝ පිළිතුරු ගොඩනැගිය යුතු ප්‍රශ්න සමුහයකින් ළමා මනස කෙතරම් තාර්කිකද විචාර බුද්ධිමත් ද යන්න මැනීම නොව, ළමයා කෙතරම් ප්‍රමාණයක් දරාගන්නේ ද නො එසේ නම් මතකය මගින් කිව හැකිද යන්න පිලිඹද කරන මතක පරීක්ෂණයක් බවයි, මම මේ ගැන කියන්නේ අද දිනයේ දකින බොහොමයක් අධ්‍යාපන ප්‍රශ්න සකස්වී ඇති රටාවෙන් ඔබට පරණ ප්‍රශ්න පත්‍ර සියයක් හෝ දහසක් ගෙන බැලුවොත් ඒ ප්‍රශ්න පත්‍ර වල ගැබ්වී ඇති ප්‍රශ්න ම පෙරලා ඇසීමත්, පිළිතුරු පොතේ පරිදි ම නොවුනහොත් අසමත් කිරීමත් යන පදනමිනි.


ඉතිං මෙසේ වූ අධ්‍යාපනයක් ඇසුරින් බිහිවන ළමුන් තර්කානුකුලව වැඩ කරාවිද යන්න සිතීම ද මේ ක්‍රමය වෙනස්වීමට කාලය මේ ද යන්න සිතීම ද මම ඔබට භාර කරමි. ඔබ දකිනා දරුවන් හෙට දිනයේ රට මෙහෙයවන්නේ ද මේ ක්‍රමයට ම නොවන්නේ ය කියා කෙසේ නම් සිතිය හැකිවේද?

Wednesday, March 18, 2015

ජායාරුපකරණය 6 :: පසු සැකසුම් කළාව.


ගොඩක් දවසකින්. කොළමේ නම මාරු කරන්න හිතිලා තියෙන්නේ මටත් දැන්. ක්සැන්ඩරයාගේ යල මහ කොලම කියල දැම්මනං හොඳයි නේද? මොනවා කරන්නද, රාජකාරි බහුල නිසා වැඩිම කාලයක් යොදවන්නේ ඒ වැඩට.

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසු සැකසුම් ශිල්පය ගැන පොඩි දේවල් ටිකක්. ඉතිං මොකද්ද මේ පසු සැකසුම කියන්නේ? පසු සැකසුම එහෙමත් නැතිනම් පොස්ට් ප්‍රොසෙසින් විදියට හඳුන්වන කළාව ජායාරුපකරණයට ගසට පොත්තක් සේ බැඳී තිබෙන කලාවක් නැතිනම් කාර්යයන් ගණනාවක එකතුවක්. මේ කළාව ජායාරුපයකට කැමරාවෙන් පමණක් කල නොහැකි එනමුත් එයට අවශ්‍ය, තවත් අගයක් එකතුවන, යම් වෙනස්කම්, අඩුපාඩු මගහැරවීම් වැනි බොහෝ දෑ සිදු කරන පරාසයක ගමන් කරනවා.


මුල්ම කාලයේ දී සේයා පටල මගින් ජායාරුප ගන්නා කාලයේ දී අඳුරු කාමරයක සිට සිදු කල මේ පසු සැකසුම් කළාව  අද වන විට ඩිජිටල් තාක්ෂණය හරහා  ඩිජිටල් සේයාරූ ගැනීමත් සමගින්ම පරිඝණකය වෙත ලඟා විට තිබෙනවා. ඒ අනුව පරිඝණක උපාංග මෙන්ම මෘදුකාංග ද මේ කළාව වෙනුවෙන් අද වන විට සැකසී තියනවා.


ඇඩෝබි සමාගම තමයි වෙළඳපල දැනට සිටින ඩිජිටල් ඩාක් රූම් හෙවත් ඩිජිටල් අඳුරු කාමර නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා වන්නේ. ඩිජිටල් අඳුරු කාමරයක් යනු තවත් එක (හෝ කිහිපයක් වූ) පරිඝණක මෘදුකාංගයක් (හෝ කීපයක්) වන අතර ඒ මෘදුකාංගයන් හරහා ඔබට සැබෑ ලොවේ දී අඳුරු කාමරයක පටල සේදීමේ සිට සේයාරූ මුද්‍රණය දක්වා සිදු කල සියලු කාර්යයන් සහ තවත් බොහෝ දෑ සිදුකීරීමට අවස්ථාව සලසා දෙනවා. ඔවුන් විසින් නිර්මිත ඇඩෝබි ෆොටෝෂොප් සහ ඇඩෝබ් ලයිට්රුම් මේ මෘදුකාංග අතරින් ලොව ප්‍රධාන වෙනවා. මේ මෘදුකාංග දෙක හරහා ම සේයාරූ වල පසු සැකසුම් කල හැකි අතර ඇඩෝබි සමාගමේ කැමරා රෝ නම් මෘදුකාංගය (ෆොටෝෂොප් සමගින් භාවිතා කල හැකි) මගින් බොහොමයක් ලයිට්රුම් සෙටින්ග්ස් භාවිතා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා. මේ මෘදුකාංග දෙක දෙකක් ලෙසටත් (වෙන වෙනමමත්) එකක් ලෙසටත් (එක මෘදුකාංගයක සිට අනිකට මාරු වෙමින්) භාවිතා කල හැකි ලෙස නිමවා ඇති අතර බොහෝමයක් දෙනා ඒ මෘදුකාංග දෙක වෙන වෙනම භාවිතා කරනවා. මෙම මෘදුකාංග හරහා සේයාරූ වල තීව්‍රතාව, දෝෂ නිරාකරණය, වර්ණ ගැලපුම්, ආලෝක පාලනය, රාමු සැකසීම වෙබ් ගත කිරීමේ පහසුකම් වැනි සැකසුම් රාශියක් භාවිතා කිරීමට ඒවා කරන්නා වෙත ලබා දී තිබෙනවා.

Adobe Lightroom මෘදුකාංගය

Adobe Photoshop මෘදුකාංගය


ඊට අමතරව බොහොමයක් වෘත්තිමය ජායාරුප ශිල්පීන් මේ මෘදුකාංග සමගින් ප්ලගින්ස්, එහෙමත් නැතිනම් මේ මෘදුකාංග සමගින් එක්ව භාවිතා කල යුතු/හැකි වෙනත් මෘදුකාංග ද සේයාරූ පසු සැකසුම් සඳහා භාවිතා කරනවා. ඒ අතරින් ගූගල් සමාගම විසින් නිර්මිත නික් ටුල්ස් නම් මෘදුකාංග කට්ටලය ප්‍රධාන තැනක් ගන්නවා. තවද ටොපෑස් මෘදුකාංග කට්ටලය, මැක්ෆුන් කට්ටලය යනාදී මෘදුකාංග මේ කර්තව්‍යය සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. මේවා බොහෝවිට විශේෂිත යෙදවුම් සඳහා භාවිතා කරනු ලබනවා.


ඩිජිටල් ඩාර්ක් රූම් එකක් බොහෝවිටම එක පරිඝණකයක් ප්‍රින්ටරයක් සමගින් සෑදී ඇති අතර මේ සඳහා ද විශේෂිත උපකරණ සහිත තිර කීපයක් ඇති වැනි විශේෂිත පරිඝණක භාවිතා කරන අවස්ථා ද දකින්නට පුළුවන්. මේ පරිඝණක සඳහා වෘත්තිමය ජායාරුප ශිල්පීන් ඇපල් පරිඝණක වෙත ඉතා කැමැත්තක් දක්වන අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අය ද මේ අතර නැතිවා ම නොවේ.


හොඳයි, එහෙනම් දැනට තවත් පින්තුර ටිකක් ගන්නකම් මම අදට සමුගන්නවා. නැවතත් ලයිට්රුම් ගැන ලිපි පෙළක් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුව. එහෙනම් ආයුබෝවන්.

මෙන්න ඔබට දෝහා නගරය සැන්දෑ කලට දිස්වන අයුරු පෙන්වන මගේ තවත් සේයාරුවක්. මේ සේයාරුව ගත්තේ දෝහා වල තුන්වන උසම කුළුනේ නැගෙනහිර අන්තයේ සිට. මේ සඳහා විශේෂ ස්තුතිය මගේ පාසල් මිත්‍රයා ඉම්රාන් ඛාන් වෙත තිලිණ කරන්න කැමතියි,.


කැමති අය මෙතනින් එකතුවෙන්න මගේ සේයාරූ පිටුව එක්ක.

දෝහා නගරය, 2014 දෙසැම්බර් 20 වැනි දින සවස දිස්වූ අයුරු.

Saturday, January 24, 2015

ජායාරුපකරණය - 5 :: කොහොමද හොඳ පින්තූර ගන්නේ?

දැන් ඉතිං සෑහෙන දවසක් වුණා නේද මම ෆොටෝග්‍රැෆි ගැන කතා කරන්න අරගෙන. කී දෙනෙක් කැමරා එහෙම අරගෙන ඉන්නවද?? ඈ.. කවුරුත්ම නොගත්තු කෙනෙක් නැද්ද?? අන්න හොඳයි.. එහෙනං අද බලමු කොහොමද හරියටම ෆොටෝ එකක් ගන්නේ, මොනවාද මුලිකාංග වන්නේ කියල.

ඇතැම් ජායාරුප දැක්කම අපේ නෙත් පිනා යනවා නේද? ඇතැම් ඒවා ඇත්තෙන්ම සේයාරුවක් විතරක් වෙනවා නේද? මේ වෙනස වෙන්නේ කොහොමද? අන්න ඒ ගැන ටිකක් කතා කරන්න තමා මම අද හදන්නේ. සේයාරුවක් හොඳ එකක් වන්නට බලපාන්නේ මිනිසාගේ ඇස කියන දේ කොහොමද පිනවන්නේ කියන කාරණය. එතැනදී වර්ණ හැඩතල සහ රූප කියන දේ ප්‍රධාන වෙනවා.

මුලින්ම, මානව රූප සහ සත්ව රූප ගැන බලමු. මානව සහ සත්ව රූප කියන දේ වෙත මිනිස් ඇස ඉතා ඉක්මනින්ම ඇදිල යනවා. ඒ කියන්නේ මිනිස් ඇස හරිම සංවේදී මේ සේයාරූ වලට. එතැනදී මානව රූපයක් හෝ සත්ව රූපයක් ගත්තම අපි පුළුවන් හැමවෙලාවකම (බොහෝවිටම සමීප රූප වලදී.) ඒ රුපයේ ඇස්වෙත අපේ ෆෝකස් එක එහෙම නැතිනම් අපේ අවධානය යොමුවෙන විදියට ගන්න ඕනේ. එතැනදී අපි ඒ ඇස්වල ඇති ශාප්නස් එහෙමත් නැතිනම් තීව්ර බව ගැන ගොඩක් අවධානය යොමු කරන්න ඕනේ. ඇතැම් වෘත්තිමය ශිල්පීන් ඇස පසු සැකසුම් මගින් තීව්ර බව වෙනස් කරනවා වගේම වර්ණ පවා එකතු කරනවා මේ ඇසේ තීව්ර බව ලබාගන්න.

දෙවනුව භුමි දර්ශන වලදී අපි මොකද කරන්න ඕනේ? අපේ ඇස්දෙක රුපය වෙත හෝ අපිට අවශ්‍ය දිසාව වෙත රැගෙන යන්න නම් අපි භාවිතා කරන්න ඕනේ දේවල් තියනවා. ඒවා අතුරින් රේඛා සහ හැඩතල කියන්නේ ඉතාම වටිනා දේවල්. රේඛාවන් විදියට අපිට ගන්න පුළුවන් බොහෝ දේ ස්වභාවිකව හෝ මිනිසා විසින් නිර්මිත දේ තුල තියනවා. උදාහරණයක් ලෙස නුවර දළදා මාලිගාවේ වලාකුළු බැම්ම එක්තරා ආකාරයක රේඛාවක්. මේ රේඛාව දිගේ ගමන්ගන්නා ඇස අපිට අවශ්‍ය ස්ථානයක ඇති දෙයක් වෙත යොමු කරන්න පුළුවන්.උදාහරණයකට මාර්ගයක් ගන්න. මාර්ගය කෙළවර වන ස්ථානයේ ඇති ගොඩනැගිල්ල අපි සේයාරුවට නගන්නේ නම් අපිට මාර්ගය සමගින් එය කරන්න පුළුවන්. එවිට මාර්ගය රේඛාවක් වී ඇස වෙත ගොඩනැගිල්ලට පාර කියනවා. මේ දේට අපි ජායාරුපකරණයේදී ලීඩ් ලයින් එකක් එහෙමත් නැතිනම් ඇස ගෙනයන මාර්ගයක් විදියට හඳුන්වනවා. හැඩතල කියන්නෙත් ඒ වගේම දෙයක්. හැඩතල වලදී ඇස බොහෝවිටම සමමිතිය කියන දේ ඔස්සේ ගමන් කරනවා. මේ ඇසුරෙන් තමයි ඔරලෝසු වල 10:10 ලෙස වෙලාව සටහන් කර සේයාරූ තියෙන්නේ. එතැනදී අපිට ඔරලෝසු මුහුණතේ සමමිතික හැඩතල මගින් බෝහොකොටම නිෂ්පාදනයේ වර්ගය ඔසවා පෙන්වනවා.

දැන් බලමු තවත් දෙයක් ගැන. ඒ තමයි පසුබිම සහ පෙර බිම කියන සංකල්ප දෙක. අපිට සේයාරුවට නගන්න අවශ්‍ය දේ අපි ගත්තොත් ඒ හැම එකකම පසු හා පෙර බිමක් දකින්නට තියනවා. මානව රුපයක් ගත්තොත් එතැනදී පසුබිම විදියට ඒ පුද්ගලයා ඉන්න භුමිය දකින්න පුළුවන්. පෙර බිම විදියට පුද්ගලයා හෝ වෙනත් වස්තුවක් හෝ තිබෙන්න පුළුවන්. මේ සංකල්පයේ දී අපි හැමවිටම වාගේ පසුබිමේ සහ පෙරබිමේ දී ඇති වස්තුන් වෙත අවධානය යොමුවන විදිය ගැන සලකා බලනවා. උදාහරණයකට මානව රුපයක් මල් වත්තකදී ගන්නේ ය සිතන්න. මල් ගොමුවක් පසුපස සිටිනා කෙනෙක් සහ ඒ පසුපසින් වන ගස් වැනි දෑ ඔබට සිතන්න මම යෝජනා කරනවා. දැන් ඔබ ගන්නා සේයාරුවේ මල් වෙත ඔබේ කැමරාවේ තීව්‍රතාව යොමු කොට පුද්ගලයා මදක් හෝ බොඳවූ ස්වභාවයෙන් යුතුවත් පසුබිම තවත් බොඳ වූ ස්වභාවයෙනුත් දිස්වන්නේ නම් ඔබ ඒ සේයාරුව ගැන නැවත සිතනවා නේද?

වර්ණ. වර්ණ සහ හැඩතල යනු ජායාරුප වලදී නිතරම දකින්න තියන දෙයක්. එතැනදී වර්ණයන් තද හෝ වඩා තීව්ර වන විට දී ඇස  හැඩතල වලින් වර්ණ වෙත ද වර්ණයක් වඩා ලා පැහැයන් හෝ අඩු වශයෙන් තීව්ර වන විට දී වඩාත් ඇස වර්ණ වලින් හැඩතල වෙත ද ගමන් ගනු ලබයි.

ඉතිං මේ කතා කලේ සේයාරුවක් තැනෙන මුලිකාංග ටිකක් ගැන. පුංචි ඇඩ් එකකුත් දාන්නං කෝ මේ ගමන් ම. ඔන්න මගේ ම සේයාරූ පිටුවක් තියනවා මුණුපොතේ. කැමති කෙනෙක් ඉන්නවා නං එතනට ඇවිත් මගේ එක්ක එකතුවෙලා සේයාරූ රසවිඳින්න පුළුවනි. එහෙනම් නැවත හමුවෙමු. එතකං ඔබට මෙන්න දෝහා නගරයෙන් මතක සටහනක්.



Sleeping in Peace - Doha from the Parcel one - The Pearl.

Wednesday, November 19, 2014

දෙවොල් කවි.

Picture by Google Search. All rights are on original photographer/website.


පුරා තෙවසර වෙහෙසිලා මා

තැනුවෙමි දෙවොලක්

තනා මලසුන් පුදන්නට එහි

තැබුවෙමි එක පුදසුනක්

තනා එ දෙවොල තබන්නට එහි

වෙහෙසවුවෙමි දෙව් රුවක්

තබා දෙව්රුව පුදන්නට එහි

පැමිණි විට මා එක දිනක්

දෙවිඳු පැනගොස්

දෙවොල පාළුය

මලසුනේ ඇත


මල් ටිකක්...

Friday, August 1, 2014

ජායාරුපකරණය සිංහලෙන් - 4 - ලෙන්සයක් මිලදී ගනිමු.



මොකක් හරි හේතුවක් හින්ද මට පේන්නේ මේ පෝස්ට් එක කොහෙවත් අප්ඩේට් වෙන්නේ නෑ වගේ. ඒ නිසා රී පෝස්ට් කරන්නත් බැරි එකේ, ඔන්න මම ආයෙම ලින්ක් එකක් විදියට දානවා.. 

ජායාරුපකරණය සිංහලෙන් - 4 - ලෙන්සයක් මිලදී ගනිමු.



Monday, July 28, 2014

ජායාරුපකරණය - 4 ලෙන්සයක් මිලදී ගනිමු.

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෙන්ස් එකක් මිලදී ගන්න විදිය..

කලින් කොටසේ දී අපි කැමරා බොඩි එකක් ගන්නේ කොහොමද කියල කතා කළා ඔබට මතක ඇති. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කැමරාවට කොහොමද හරියන ලෙන්ස් එකක් ගන්නේ කියලා..

ලෙන්ස් ගැන කතා කරනකොට අපිට ලෙන්ස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩා වෙන් කරන්න පුළුවන්. එකක් ක්‍රොප් මෝඩ් ලෙන්ස් එහෙමත් නැතිනම් DX (නිකොන්) හෝ EF-S (කැනොන්) ලෙන්ස් සහ ෆුල්ෆ්‍රේම් FX නිකොන් සහ EF (කැනොන්) ලෙන්ස් විදියට මේ වර්ග හඳුන්වන්න පුළුවන්. 
මීට අමතරින් තවත් ලෙන්ස් වර්ග තිබෙනවා. ලෙන්ස් මම මේ ආකාරයට බෙදා වෙන් කලද ඔබ තවදුරටත් හදාරන විට දී මීට වඩා වෙනත් වර්ගීකරණයන් දකින්නට ලැබේවි.

මිල අනුව ගත්විට සාමාන්‍ය EF හෝ FX ලෙන්ස් මිලෙන් ඉතා අධික බව නම් කියන්නම ඕනේ. හේතුව මේ ලෙන්ස් වෘත්තිමය අවශ්‍යතා සඳහා ඉතාම සීරුවෙන් නිපදවූ ඒවා වීමත් ඒ සදහා භාවිතා කරන වීදුරු සහ අනිකුත් දෑ ඉතාම උසස් ඒවා වීමත් කියන කරුණු.

ඉතිං මේ ලෙන්ස් ගැන කියද්දී ලෙන්ස් මවුන්ට් එක එහෙමත් නැතිනම් කැමරාවට ලේන්සය සවි වන කොටස ගැන පොඩි සඳහනක් කරන්න අවශ්‍යයි. ලෙන්ස් මවුන්ට් එක සෑදීම සඳහා කිසිදු අන්තර්ජාතික මිනුම් දඬු භාවිතා වන්නේ නෑ. මේ නිසා ඔබට කැනොන් හි දී EF-S ලෙන්සයක් කැනොන් ෆුල් ෆ්‍රේම් බොඩි එකක දී භාවිතා කරන්න බැහැ. එසේ සවි කල හැකි වීම වළකාලන්න ෆුල් ෆ්‍රේම් කැමරා සකස්කරන්න කැනොන් සමාගම කටයුතු කරනවා. ඒ EF-S ලේන්සයක් ක්‍රොප් බොඩි එකක සවි කල විට ලෙන්ස් මවුන්ට් එක කැමරා බොඩි එක ඇතුලට යන ප්‍රමාණය වැඩි නිසා කැමරාවට හානි සිද්ධ වීම වළකාලීම පිණිසයි. නමුත් කැනොන් ක්‍රොප් බොඩි කැමරාවකට කැනොන් ෆුල්ෆ්‍රේම් ලෙන්ස් (EF-S ) ලෙන්ස් සවි කිරීමට හැකියාව තියනවා.
නිකොන් වලදී මේ ගැටළුව නෑ. ඔවුන් සතුව තියෙන්නේ නිකොන් F මවුන්ට් නම් එකම ලෙන්ස් මවුන්ට් එකක්. මේ නිසාම නිකොන් වලදී ඔබට ඔබ සතු DX ලෙන්ස් භාවිතා කල හැකිවාක් වගේම ඒ සඳහා ෆුල් ෆ්‍රේම් බොඩි සහය දැක්වීමක් ලෙස ලෙන්ස් ඉබේම අඳුනාගෙන ඒ සඳහා කැමරාව සකස්කර දෙන්න DX මෝඩ් එකකුත් ඇතුලත් කරන්නට නිකොන් සමාගම පියවර ගෙන තියනවා. හැබැයි DX මෝඩ් එක සහය දක්වන්නේ කුඩා මෙගා පික්සෙල් ප්‍රමාණයක් සඳහා පමණයි. (D610 ෆුල් ෆ්‍රේම් කැමරාවේ මෙය මෙගාපික්සල 10ක අගයක්.)

නිකොන් කැනොන් වර්ග දෙකට අමතරව ඔබට ටොකිනා (Tokina), සම්යන්ග් (Samyang), සිග්මා (Sigma) ටැම්රෝන් (Tamron) යන වර්ග වලින් ලෙන්ස මිලදී ගන්නට පුළුවන්. මේ ලෙන්ස ඇතැම්විට නිකොන් හෝ කැනොන් සමාගම් වල ලෙන්සයන් අභිබවා යන මට්ටමේ හෝ ඊට සමාන මට්ටමේ දක්ෂතා පෙන්වනවා.

හොඳයි, ඉතිං අපි බලමු මොනවාද ලෙන්ස් එකක් ගන්නා විට සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු කාරනා කියල.

මුලින්ම බ්‍රෑන්ඩ් නිව් එහෙමත් අලුත් ම අලුත් ලෙන්ස් එකක් ගන්නා විට, ඔබ සතුව ඇති කැමරාව කුමක්ද යන්නත් ඔබේ අවශ්‍යතාව කුමක්ද යන්නත් තෝරා බේරා ගතයුතු වෙනවා. ඒ කියන්නේ ඔබ සතු කැනොන් හෝ නිකොන් කැමරාවක් නම් ඉහත සඳහන් කල විස්තරය ඔබට ප්‍රමාණවත්. ඉන් අමතරව වගකීම් කාලය සහ වගකියන්නේ කුමන අවස්ථා වලද කියා පැහැදිලිව විමසන්න. ඊට එහායින් නම් ඔබට බලන්නට ඇත්තේ මිල ගැන පමණයි. ඇතැම් ලෙන්සයන් ද ඔන්ලයින් මාර්ගයෙන් අඩු මිලට මිලදී ගත හැකියි (භාණ්ඩ ගෙන්වාගැනීමේ ගාස්තු සමගින්ම) ඒ නිසා වෙළඳපල රවුමක් ගිහින් ගන්නවා නම් හොඳයි.

ඔබේ අවශ්‍යතාව වන්නේ පවුලේ සේයාරූ ගැනීම සඳහා නම් ඔබට මිලෙන් අඩු DX ලේන්සයක් තෝරාගත හැකියි. එසේ නොවී ඔබට වෘත්තිමය සේයාරූ සඳහා (උදා: මංගල සේයාරූ වැනි) කටයුත්තක් සඳහා නම් FX ලේන්සයක් මිලදී ගැනීම සුදුසුයි කියා මම යෝජනා කරනවා. නමුත් මෙවැන්නක් අත්‍යාවශ්‍ය නෑ. DX ලෙන්ස් වලින් මෙන්ම සමහර පොයින්ට් ඇන්ඩ් ෂුට් වලිනුත් දක්ෂයා වැඩ ගන්නවා මම දැකල තිබෙනවා.
ලෙන්ස් එකක් සෙකන්ඩ් හෑන්ඩ් එහෙමත් නැතිනම් නැවත මිලදී ගන්නවා නම් ඔබේ සැලකිල්ල ඉතාම අවශ්‍ය වන කරුණු පහත දක්වා තිබෙනවා.

දුවිලි සහ පුස් බැඳුනු ලෙන්ස.

ලෙන්ස් නිසිපරිදි ගබඩා කොට නොතිබීම නිසා පුස් බැඳීමට හැකියාව තිබෙනවා. ඒ ලෙන්ස් නිරතුරුවම තෙත් පරිසරයකට ආවරණය වී තිබීම මගින්. මේ පුස් ඔබේ පින්තුරු මත රටා ලෙස දිස්වන අතර ඒවා සුද්ධ කිරීම ඉතා අසීරු කටයුත්තක් වෙනවා. මේ තියෙන්නේ ලෙන්ස් එකක් මත වන පුස්. ඔබ මිලදී ගන්නා ලෙන්සය ඉතා පරිස්සමට පිරික්සා බලන්න එහි ඇහැට පෙනෙන පුස් තිබේ ද කියා.

ලෙන්සයේ ඇති පුස් ආලෝකයේ දී දිස්වන අයුර

 වැටීම් සහ පලුදු වීම ඇති ලෙන්ස 

මේවා පියවි ඇසට නොපෙනෙන නමුත් විපරම් කල විට දැකගත හැකි දෝෂ සහිත ලෙන්සයන් වේ. ලෙන්සය ගෙන එහි සූම් කරන්නට පහසුකම ඇතිනම් සූම් කර බලන්න. ඒකාකාරී ලෙස ලෙන්සය එහිදී හැසිරිය යුතුයි. එහි යම් ගැප් එකක් එහෙමත් නැතිනම් හිරවීමක් දැනුනොත් ලේන්සය සියුම් ව පිරික්සා බලන්න එහි යම් තැලීමක් දකින්නට හැකිද කියා. බොහෝවිට මෙවැනි ලෙන්සයන් වැටීම් නිසා වන හානි සහිත ඒවායි. මේ දෝෂ සමනය කල හැකි සහ නොහැකි ලෙස තිබෙන නිසා පරිස්සම් වීම වඩා හොඳයි නේද? මොකද මෙවන් ලෙන්සයන්ගේ අභ්‍යන්තර දෝෂ පවතිනවා.

මෙන්න මේවටයි හානි වෙන්නේ. ඒවා පිටට පේන්නේ නෑ.


ලෙන්සය මත වන හීරීම් සහ තුවාල වීම

ඔබේ පින්තුරු සඳහා කෙලින්ම බලපෑම් කල හැක්කේ ලේන්සයේ වීදුරු මත වන සීරීම් සහ පලුදු වීම් වලටයි. ඒ නිසා ඒවා විපරමින් බලන්න.

පේනවාද පොඩි සීරුම? පොඩි වුනත් පින්තුරේ හරි මැදින් ඉරක්??


අද වෙළඳපොලේ භාවිතා කල ලෙන්ස මිල අඩුවෙන් සොයාගන්න හැකියාව තියනවා. මමත් එවැනි ලෙන්සයන් දෙකක හිමිකරුවෙක්. ඒ කිසිවක දෝෂ නෑ. ඔබ කලින් දුටු සේයාරූ සහ අද ඔබට තිලිණ කරන සේයාරුව ඒ ලෙන්ස භාවිතා කර ගත්තු ඒවායි. භාවිතා කල ලෙන්සයක් මිලට ගන්නට යන සෑම විටකම ඔබේ කැමරාව රැගෙන යන්න. ඉර එලිය හොඳින් පවතින විටක යන්න. ඔබට බොහෝ දෑ එවිට පෙනේවි. හැකි නම් ලැප්ටොප් පරිඝනකයක් රැගෙන යන්න. එය ඔබට විශාල උදව්වක් වේවි පින්තුරු සියුම්ව නිරීක්ෂණය කරන්න.

මීට වඩා තවත් බොහෝ කරුණු ඇතත්, ඔබේ ඉල්ලීම මත ලියන්නට ඉඩ තබානැවත හමුවන තෙක් දෝහා නගරයට හිරු බසින දර්ශයනක් ඔබට තිලිණ කරමින් අදට සමුගන්නවා....

දෝහා නගරයේ සැන්දෑ හිරු රැස් පතිතවන ආකාරය MIA පාක් හි සිට - සේයාරුව මගෙන් :)
ලෙන්ස් සඳහා සේයාරූ ගූගල් වෙතින්..


Wednesday, July 9, 2014

ජායාරූපකරණය ගැන සිංහලෙන් - 3

 

හොඳ කැමරාවක් ගමු ද එහෙනං?

පින්තුරය : ගූගල් වෙතින්..


අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ කැමරාවක් ගන්නේ කොහොමද සහ ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ දේවල් සමුහයක් ගැන. හොඳ කැමරාවක් විදියට මම මෙතන හඳුන්වා දෙන්න යන්නේ අපි කතාකරපු DSLR වර්ගයේ කැමරාවන්.


මොකද මේ DSLR එකක්ම?
මේ වර්ගයේ කැමරා වලදී කැමරාවේ ද්වාර වේගය, කාච විවරය සහ පටල වේගය (Shutter Speed, Aperture and ISO) පාලනය කරන්න වෙන වෙනම හැකියාව තියනවා. ඒ එක්කම තවත් අතිරේකව කැමරාවේ නිරාවරණ මීටරය මගින් සහ ආලෝක මීටර මගින් කැමරාවෙන් හොඳ තත්වයේ රූපරාමු ලබාගන්න අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරන්න හැකියාව මේ සමගින් ලැබෙනවා.

තව දුරටත් කතා කරද්දී මේ වර්ගයේ කැමරා වල අපිට පෙර සැකසුම් කර නැති, ගොනුව හකුළුවා නැති දල රූප (lossless uncompressed RAW) විදියට පින්තුරු ලබාගන්න පුළුවන්. මේ පින්තුරු වලින් අපිට ඇඩෝබි ලයිට්රූම්, ඇඩෝබි කැමරා රෝ සහ ඇඩෝබි ෆොටෝෂොප් වලදී අවශ්‍ය පරිදි සංස්කරණය කරන්න, සැකසුම් සිද්ධ කරන්න ඉතාම ඉහල හැකියාවක් ලැබෙනවා.


මිල පරාසයන් ගත්තොත්?
ලංකාවේදී නම් මිල රුපියල් 30000 සිට ඉහළට දකින්න පුළුවන්. ඉතාම ඉහල මට්ටමේ වෘත්තීය කැමරා නම් රුපියල් ලක්ෂ හතකට (Nikon D4s | Canon 1Dx) වඩා වැඩි මුදලක් වෙනවා. එත් අපිට අවශ්‍ය සරල කැමරා. ඔබට පසුව ඔබේ අවශ්‍යතා මත වෙනත් කැමරාවකට මාරු වෙන්න පුළුවන්.

ඔබට අවශ්‍ය නම් ඔන්ලයින් ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ද ඇනවුම් සිදු කරන්න පුළුවන්. මිල නම් ටිකක් අඩුයි එත් වගකීම් සහතික ගැන නම් බොහෝ තැන්වලදී කියන්න බෑ. එත් වැදගත් තැනකින් මිලට ගත්තොත් වගකීමක් ද සහිතයි. වැඩේ තියෙන්නේ


මොනවාද ඉතිං හොඳ කැමරා ජාති?
වඩා ප්‍රසිද්ධ නං ඉතිං කැනොන් හෝ නිකොන් කියන වර්ග දෙක. එත් ඒ දෙකෙනුත් වඩාත්ම හොඳ එක තෝරනවා කියන්නේ නං සංකීර්ණ ප්‍රශ්නයක්. බොහෝ වේලාවට අපි දකින දෙයක් තමයි කැනොන් කැමරා මෙන්ම නිකොන් කැමරා ද එක හා සමාන ලෙස වෘත්තීය මට්ටමේ දී භාවිතා වෙනවා කියන දේ. ඇත්තෙන්ම කැනොන් කැමරා මිලෙන් ටිකක් අධිකයි. ඒ වගේම ලෙන්ස් වල ද මිල ටිකක් නිකොන් වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ එක්කම බොහොමයක් කැමරා ඉහල පටල වේගවලදී වඩා හොඳ සංවේදීතාවයක් දක්වනවා. තව දෙයක්, කැනොන් කැමරා තමන්ගේ ෆුල්ෆ්‍රේම් කැමරා බොඩි වලට ක්‍රොප් මෝඩ් ලෙන්ස් භාවිතාව සඳහා සහය දක්වන්නේ නෑ.

නිකොන් කැමරා ද මීට දෙවැනි වන්නේ නෑ. එහෙම නැතිනම් ඉතිං ඔවුන්ට ද පැවැත්මක් නෑ නේ? ඔවුන්ගේ මිල මට්ටම ටිකක් පහලින් තියන අතර ලෙන්ස් ද සාපේක්ෂව මිල අතින් පහලින් තියනවා. නිකොන් වර්ගයේ කැමරා තමන්ගේ ෆුල්ෆ්‍රේම් කැමරා බොඩි සඳහා ක්‍රොප් මෝඩ් ලෙන්ස් භාවිතය අනුමත කරන අතර ඒ ලෙන්ස් කැමරාව විසින්ම හඳුනාගෙන ඊට අනුකූලව කැමරා බොඩිය සකස් කරනවා.

මේ සියල්ලටම පසුව ඒ ඒ නිෂ්පාදකයා තමන්ගේ එක් එක් කැමරා මොඩලයන් සඳහා විවිධ පහසුකම් සලසා දෙන අතර ඒවා ද අවශ්‍යතා මත එකිනෙකාගේ තෝරාගැනීම් වෙනස් කරන්න සමත් වෙනවා., උදාහරණයක් ලෙස, නිකොන් D610 කැමරාවේ ක්ෂනිකාලෝකයක් (ෆ්ලෑෂ්) එකක් අඩංගු අතර කැනොන් 6D හි ඒ පහසුකම ලබා දි නෑ. එසේම නිකොන් D610 කැමරාවේ ක්ෂනිකාලෝක පද්ධතිය දුරස්ථ ක්ෂනිකාලෝක පද්ධති (Off camera Flash commander) මෙහෙයවීම සඳහා සහය ලබා දෙනවා. කැනොන් හි දී ඒ පහසුකම ද ලබා දී නෑ.


පාවිච්චි කල එකක් ගන්න බැරිද?
මොකද බැරි? ඒත් ඒ සඳහා ඔබ දැනුවත් වී සිටිය යුතුයි. ඒ කියන්නේ ඇතැම් කැමරා වල නිෂ්පාදන දෝෂ මත වන දොස් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා වෙළඳපලට අඩු මිලට එනවා වෙන්න පුළුවන්. මීට හොඳම උදාහරණය නිකොන් සමාගමේ D600 කැමරාව. මේ කැමරාවේ ෂටරයේ තෙල් / දුවිලි අංශු බැඳීමක් සිද්ධ වෙනවා. ඒ නිෂ්පාදන දෝෂයක් විදියට. ඉතිං අද මේ කැමරා ගන්න කෙනෙක් නෑ. නිෂ්පාදකයා මේ මොඩලය තවදුරටත් විකුනන්නෙත් නෑ. ඒ හේතුවෙන් භාවිතා කල, දෝෂ සහිත කැමරා අද බොහෝ දෙනා විකිණීමට උත්සාහ කරන කාලයක්.

නමුත් ඇතැම් දෙනා මේ දෝෂය සලකන්නේ නෑ. මේ දෝෂය ෆොටෝෂොප් මගින් ඉවත් කරන්න හැකිය කියන තැන ඔවුන් ඉන්නවා. එත් ඉතිං දෝෂ තියන කැමරාවක් මොකට ගන්නවද නේද?


ඉතිං ඔය දේවල් පේනවද?
ඔව්. මේ දුවිලි / තෙල් අංශු නම් පේන්නට තියෙනවා. එත් ඒ සඳහා සේයාරුවක් ගෙන පරික්ෂා කරන්න ඕනේ. ඒකත් පරිඝනකයෙන්. මොකද කැමරාවේ ඩිස්ප්ලේ එකේ දී දැක්කට අපිට මේ දෝෂ හරියටම පේන්නේ නෑ. නමුත් සෙන්සරය මත ඇති දුවිලි බැඳීම්, කැමරාවේ වැටීම් තැලීම් නම් බලන්න පුළුවන්.
සෙන්සරයේ දුවිලි පරික්ෂා කරන්න නම් කැමරාවේ සෙන්සරය තිබෙන කුටිය විවර කර පරික්ෂා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සෙන්සරය තියෙන්නේ කැමරාවේ ටිකක් ඇතුලේ, ඒ කියන්නේ ෂටර් කර්ටන් එක සහ දර්පණ කොටසකට පසු. ඉතිං ඒ නිසා කැමරාවේ සෙන්සරය ක්ලීනිග් මෝඩ් එකට දාල තමයි බලන්න වෙන්නේ.

දෙවනුව කැමරාවේ පවසන ආයු කාලය හා සාපේක්ෂ ගෙවීම් සීරීම්. ඒ ගැන නම් ඉතිං බලන්න ඕනේ කැමරාවේ පිටත පෙනුම. විශේෂයෙන්ම කැමරාවේ පටිය හා ඒ ආසන්න කොටස්. මේවා ක්ෂය වෙලා නම් කැමරාව භාවිතයේ හොඳින්ම තිබුණු එකක්. බොහෝ විට පටිය අලුත් මෙන් පෙනුනද ඒ ආසන්නයේ ගෙවීම් දකින්න පුළුවනි.

තව එකක්, කැමරාවේ ෂටරයේ සටහන් වෙනවා එයින් ලබාගත් පින්තුරු ගණන. මේ තුලින් කැමරාවේ ෂටරයේ ආයුකාලය සහ භාවිතයේ දී (නිෂ්පාදකයා කියා තිබෙන පරිදි ෂටරයේ ආයු කාලයට සාපේක්ෂව ) කොතරම් පින්තුරු ගණනක් ලබාගෙන ඇතිද යන වග සොයාගන්න පුළුවන්.මේක බලන්න ඕනේ නං කැමරාවෙන් ගත් පින්තුරයක් මේ පහල සටහන් කර ඇති වෙබ් අඩවි වෙත ගොස් ඒ ඇති මෘදුකාංග භාවිතා කරලා ලබාගන්න පුළුවන්. නමුත් මේ කාලයන් සාපේක්ෂයි. ඔබ වාසනාවන්ත නම් මේ කාලයට වඩා කාලයක් ඔබට ඔය කැමරාව භාවිතා කරන්න පුළුවනි. අවාසනාවකට හෝ මේ කාලය තුලදීම ෂටරය දෝෂ සහිත වුවොත් කරන්න තියෙන්නේ ෂටරය මාරු කරන එක. හරිම සිම්පල් ප්ලෑන් එකක් නේ?


වැදගත් දේවල් ටිකක්...
කැමරාවක් ගන්න වෙලාවක ටිකක් ඒ ගැන දන්නා කෙනෙක් ඒ වගේම විශ්වාසවන්ත කෙනෙක් එක්ක යන්න. විශේෂයෙන් භාවිතා කල එකක් ගන්නවා නම්. ඒ එක්කම මතක තියාගන්න, ලෝකේ තියන හොඳම කැමරාවට බෑ හොඳම ජායාරුප ශිල්පීන් බිහි කරන්න. නමුත් ලෝකේ තියන නරකම කැමරාව වුනත් හොඳ ඇහැක් තියන ශිල්පියෙක් ගත්තොත් ඒ කැමරාව භාවිතා කරලා හොඳ මට්ටමේ සේයාරූ නම් ලබා ගනීවි. ඒ කියන්නේ ඔබ අතේ තියන කැමරාව තමා හොඳම කැමරාව..

මෙතනදී කැමරා කියා අප හඳුන්වා දී ඇත්තේ කැමරා බොඩිය පමණක් වන බව සලකත්වා. හේතුව කැමරාව තරමක් වෘත්තිමය පැත්තට බර වූ විට කැමරාව සමග බොහෝවිට ලේන්සයක් නොලැබේ. ඔබට ඒ සඳහා අවශ්‍ය ලෙන්ස් මිලදීගත යුතු වේ. ලේන්සයන් සමගින් කැමරා පැකේජ ඇතත් ඒ මුදල බොහෝ විට වෙනත් දෙයක් සඳහා යොදාගත හැකිය.



එහෙම නම් ඊලග කොටසෙන් හමුවෙමු ලෙන්ස් ගැන කතා කරන්න.... එතෙක් ආයුබෝවන්.

කැමරාවේ ෂටරයේ ආයුකාලය දැනගන්න මෙතනට යන්න..