මාසෙකින් විතර වගේ ඔන්න ආපහු පොස්ට් එකක් ලියන්න සෙට් වුනා. ඉතින් හැමෝටම මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල මුලින්ම කියන්න ඕනේ. මේ මාසෙට ගොඩක් දේවල් වෙනස් වෙලා. අලුත් අවුරුදු සමරලා ඉවර වුනා. ඒ එක්කම ලංකාවට ආපහු සුනාමි තත්වයක් ඇවිත් ගියා. ඒ දවස නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. කොටසක් රතිඥ්ඥා පත්තු කරලා ප්‍රීති වෙන අතරේ මුහුදුබඩ බොහෝ දෙනා ජීවිතාරක්ෂාවට රට මැදට එකතු වෙච්ච හැටි නම් දකින්නත් දුකක් ගෙනාව.
මම ලංකාවට එනකොට ඇත්තටම හිතාගන හිටියේ ලංකාව ගොඩාක් දියුණු වෙලා ඇති කියල. සමහර පැති වලින් නං ලක් දෙරණ දියුණුවට පත් වුනත් මටනම් මහා වෙනසක් දැනුනේ නං නැති තරම්.
කොටුවේ ඉඳං කොල්ලුපිටියට එනකම් මං මාවත් ලස්සනට පිලිවලට තිබුනා. චෙක් පොයින්ට් නම් දකින්නත් නැති තරම්. අවුරුදු කීපයක් එක දිගට කොටුවේ අධිආරක්ෂක කලාපේ ජීවත් උන මට ඒ නිදහස නම් හොඳටම දැනුනා. ආසාවට ඩියුක් ස්ට්‍රීට් එකේ වට දෙකතුනක් ගහල බ්‍රිස්ටල් ස්ට්‍රීට් එකත් තරණය කරලා ආවේ ඒ කාලේ බ්‍රිස්ටල් ස්ට්‍රීට් එක වහලම තිබ්බ හින්ද. කොටුවේ ඉඳං කාගිල්ස් එක ගාවින් යන ජනාධිපති මන්දිරේ පාරේ කලින් නම් මැස්සෙක්වත් චෙක් නොකර ඇරියේ නෑ. එක දවසක් වෙඩි කන්න ගිහිනුත් බේරුන තැන වෙච්ච කොට ඒ තැන නම් මට අමතක වෙන්නෙම නෑ. ඒ වගේම තමයි ගඳ ගගහ තිබ්බ බේරේ වැව දැන් ලස්සන කරලා.ගෝල්ෆේස් එකත් කලින් තිබ්බට වඩා නිදහස පිරෙන්න තියනවා.
මට මතකයි එක කාලෙක ලංකාවේ බස් වල පිටත්වෙන වෙලාව ගමනාතයට ලඟා වන වෙලාව ගහල ඔරලෝසුවක් පෙන්න තියන්න ඕනේ කියල නීතියක් පැනෙව්වා. ඒ වගේම අනවශ්‍ය ශබ්ද පූජා පවත්වන බස් අජිත්ගේ කැසට් එහෙම හෙණගහන්න දාගෙන යන්න තහනම් කියල නීති පැනවීමක් කරා. අනේ ඉතින් මෙදාපොටේ ලංකාවට මං ආවේ බස් අජියගෙන් කන බේරන් යන්න බලාගෙන. එක බස් එකක අජියා පැත්තක ඉද්දි වෙන කවුදෝ මොරගහන පීස් එකක් කන පැලෙන්නම දාල තිබ්බේ කිසිම හිරිකිතයක් නැතුව. තව දවසක නුවර ඉඳං කොළඹ එන්න කියලා ඉතින් මමත් නුවරින් ඉන්ටර්සිටි බස් එකකට නැග්ගා දවල් 11 ට විතර. නොර්මල් එකේ පැය තුනක් තුනාමරක් යන එකේ මම කල්පනා කලේ ඉක්මනට පැය දෙකකින් දෙකාමරකින් යන්න. අනේ යාන්තං ගාටලා ගාටලා පැය තුනාමාරකට කිට්ටු කරලා බස් එක ආවේ හරියට උන්ගේ උවමනාවට අපි යනවා වගේ,. මග නැගුම අර නැගුම මේ නැගුම කියකියා නැටුවට ලංකාවේ A ශ්‍රේණියේ අංක 1 මාර්ගය වෙච්ච නුවර කොළඹ ප්‍රධාන මහාමාර්ගය තවමත් ලේන් දෙකක් තියන පුංචි පාරක් විතරයි. ඉතින් ඒ වගේ මාර්ගයක යන වාහන කන්දරාව එක්ක බැලුවාම ඒක කොහොමත්ම ගැලපෙන්නේ නෑ.
ලංකාවට ඇවිත් ඊළඟට මට දැනුන දේ තමයි බඩු මිළ. කිලෝවක් රුපියල් හැටකට තිබුණු එළවලු බොහොමයක් අප්‍රේල් 8 වෙනිදා වෙනකොට කිලෝව රුපියල් 180 දක්වා මිළ වෙනස් වීමකට ලක්වෙලා තිබුණා. ඒත් ඊට දවස් කීපයකට පස්සේ උඩුදුම්බර ගොවියෝ තමුන්ගේ එළවලු වලට සාධාරණ මිලක් නෑ කියල කරන ප්‍රකාශ ටීවී එකේ දැක්කාම මටනම් තේරුනේ වෙළඳ අමාත්‍යාංශය ඉතාම තදින් නිදාගන හෝ නිදාගන්නා බව පෙන්වන බවයි.
රජයේ ඇමති මැති කියාගන්නා ගොන් රැලේ ඉන්නා ආර්ථික විද්‍යාව පිලිබඳ මහා උගතා ගෙනා 7500 කතා මාලාවේ එක අංගයක් වූ විවාදය සජීවීව ලංකාවේ සිට බැලීමේ ශාපයටද මටත් හසුවීමට වුනේ මේ අතරවාරයේයි. ඉස්කෝල වල විශ්වවිද්‍යාල වල කැන්ටින් වල ආහාර මේ මිලයි කියන මේ හරකාට පාර්ලිමේන්තුවේ කැන්ටිමේ දෙන කෑම එකත් අඩු මුදලට ජනතාවගේ පොකට්ටුවෙන් දෙන නිසාදෝ බඩු වල ගණන් නොපෙනීම මුන්ව පාර්ලිමේන්තු යැවු අපිටනම් හොඳ කනේ පාරකි. මේ විකාරයටම ඉම්පොර්ටඩ් ගොනෙක් වූ රවී දුන් පිළිතුරු හමුවේ මට ටීවී එක පොලවේ ගැසීමට සිත්වුවත් යාන්තං කේන්තිය අඩු කර ටීවී එක නිවා නිදාගන්නට ගියේ මුන්ට චන්දය දුන්නෙත් අපිම නේද කියා සිතාගෙනයි. කරුණු එසේ වුවත් පසුදින ජනාධිපති තුමා ප්‍රමුඛ පිරිස මේ වයිමා අත්පොලසන් දී පිළිගත්තා යයි කියවූ විටනම් පරම්පරාගත ශ්‍රීලංකා කාරයකු වූ මගේ පාක්ෂිකත්වය මටම එපා වී ගියේය.

