දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක
දෙවැන්නයි මේ. කලින් අපි
කතා කලේ හිට්ලර් ගැන වූ සැඟවුණු තතු සහ හිට්ලර් පසුපසින් වූ අදිසි හස්තයන් ගැන. ඒ එක්කම
හිට්ලර්ගේ මරණය ගැන අපි කතා කළා. ඔහු සිය දිවි නසා ගත්තා ද එසේ නැතිනම් ඔහු පලා ගියාද කියලයි එහිදී අපි කතා කලේ. මේ පහල තියන ලින්ක් වලින් ඒ ලිපි ටික
කියවන්න පුළුවන්.
අතිශය බිහිසුණු හා
තාක්ෂණය අතින් විශ්මිත නිමැවුම් බිහිවූ දෙවැනි ලෝක යුද්ධය වර්ථමාන යුධබිමට පවා
සෙවනැලි ගෙන එනවා. ඒ යුධ අවි සහ යුධ ක්‍රම අදටත් වලංගුයි. දෙවැනි ලෝක යුද්ධය හමාර වීම සමගින්ම ඇමරිකාව සහ
රුසියාව විසින් හිට්ලර්ගේ යුධ උපක්‍රම, අවි ආයුධ මෙන්ම තාක්ෂණයද භාවිතා කරනවා.
අද අපි කතා කරමු
හිට්ලර්ගේ විශ්මිත ආයුධ ගැන වගේම ඒ ආයුධ වලින් වූ බලපෑම, හිට්ලර් ඇතුළු නාසින්ගේ
නොසැලකිල්ල සහ නිසි ලෙස භාවිතා නොකිරීම නිසා ඔවුන්ට සිද්ධ වූ පරාජයට ඒ තීන්දු තීරණ
හේතු වූ විදිය. එහෙනම් එන්න කියවන්න, Wunderwaffe des
Hitler
මොනවාද මේ වුන්ඩර්වෆේ දෙස් හිට්ලර් කියන්නේ?
වුන්ඩර්වෆේ
(wundarwaffe) කියන්නේ ඉංග්‍රීසියෙන් වොන්ඩර් වෙපන්ස් (wonder weapons) එහෙමත්
විශ්මිත ආයුධ කියන තේරුමයි. ඇත්තෙන්ම මේ හිට්ලර්ගේ ආයුධ ඒ කාලයේ හැටියට සහ
තාක්ෂණයේ හැටියට අතිශයින් ඉදිරියෙන් තිබු ආයුධයි. එයින් ඇතැම් ඒවා ඒ වන විටත්
යුද්ධය සඳහා සක්‍රිය දායකත්වය ලබා දුන් අතර මුලාකෘතියට පමණක් සීමාවූ ඇතැම් ඒවා හිට්ලර්ගේ සහ යුධ ආයුධ
පිළිබඳ අමාත්‍ය ඇල්බර්ට් ස්පියර් (ජර්මන්
උච්චාරණය: ශ්පියර් ) ගේ නියෝග මත නවතා ලු ඒවායි. සමහර අවස්ථා ඊට වෙනස්. මෙසේ සැලසුම් කල ඇතැම්
ආයුධ අතිශයින්ම විශාලිත වූ අතර ඒවායින් ජර්මන් ආර්ථිකයට හෝ යුද වියදම් වලට යහපතක් වුනේ නෑ.
අපි එයින් තෝරාගත් කීපයක් එකිනෙක විමසා බලන්න පටන්ගමු ගුවන් යානාවල ඉඳං.
මෙෂස්මිත් ME 262 (Messerschmitt
Me 262)
දෙවැනි ලෝක යුද්ධයේදී
මිත්රපාර්ශවිකයින්ගේ ගුවන් භටයින් බයෙන් මෙන්ම පුදුමයෙන් ත්‍රස්ත කරන්නට සමත්වූ
ලොව පළමු ක්‍රියාන්විතයේ යෙදුනු ජෙට් ප්‍රහාරක යානය මෙෂස්මිත් ME 262 ගුවන් යානයයි. 1942 මැද භාගයේදී කරලියට පිවිසි
මේ යානාව එකල තිබුණු වේගවත්ම මිත්‍ර පාක්ෂික යානාවට වඩා කිහිප ගුණයක් වේගවත් වූවා. ඒ
එකල තිබු සියලු මිත්‍ර පාර්ශවයේ යානා වලට
වඩා පැයට සැතපුම් 100 කට එහා වේගයක්. එමන්ම ඉතාමත් සාර්ථක ප්‍රති ප්‍රහාරක
යානාවක්. (interceptor)
 |
මෙෂර්ස්මිත් 262 යානාවක්
|
මේ යානාව ලෝක යුද්ධයේ අග
භාගයේදී එළිදැක්වූ නිසා එය සාර්ථක නොවුණු බව කීවත් සත්‍ය තත්වය ඊට බොහෝ එහාට
විහිදුනක්. මේ යානය ප්‍රති ප්රහාරකයක් වීම හිට්ලර්ට එතරම් ඇල්ලුවේ නෑ. ඔහුට උවමනා
උනේ ඊට එහා ගිය ප්‍රහාරක යානයක් සහ බෝම්බ හෙලන යානාවක්. ඒ නිසාම මේ යානාව සැහැල්ලු
බෝම්බ හෙලන යානාවක් ලෙසද වෙනස් කරනවා. ඒ වුනත් ඒ වනවිටත් ජර්මනිය සතුව විශිෂ්ඨ සැහැල්ලු බෝම්බ හෙලනයක් තිබුනා. ඒ යුන්කර්ස් JU 87 යානාව (Junkers JU 87).(ජුන්කර්ස් ලෙස තිබුණත් ශබ්ද වන්නේ යුන්කර්ස් ලෙසයි,)
හිට්ලර්ගේ මේ තීන්දුව
නිසා යානයේ නිෂ්පාදනය සිද්ධ වුනේ ඉතාම සෙමින්. එය මේ යානාවල සංඛ්‍යාව පහල හෙලන්නත්
ඒ පහල හෙලීම නිසා ප්‍රහාරක කටයුතු වලදී ඉතා අල්පයක් වූ යානා භාවිතා කිරීමට වීම
නිසා ප්‍රථිපල මද වීමත් සිද්ධ වුනා. එමගින් සිද්ධ වුනේ ජර්මනිය තුලට බෝම්බ හෙළු
මිත්‍ර පාර්ශවික යානා පැමිණීම දිවා කාලයේදී හෝ නවතාලීමට නොහැකි වීමයි. එය ජර්මන්
පරාජය ඉක්මන් කරන්න එක හේතුවක් වුනේ ජර්මානු යුධ නිෂ්පාදන සිද්ධ කිරීමට නොහැකි
වීමත් කර්මාන්ත හා ඉන්ධන පිරිපහදු කටයුතු සිදු කිරීම ඉතාමත් අසීරු වීමෙන් යුද්ධයට
අවශ්‍ය අනෙකුත් සැපයුම් අඩාල වීමත් සමගින්. ඒ එක්කම අනෙකුත් ගුවන්යානා ගුවන්ගත කිරීම පවා
අසීරු වන තැනට ජර්මන් ගුවන් හමුදාව පත්වුණේ අහස මුළුමනින්ම මිත්‍ර පාර්ශවය අත්කර
ගැනීමත් සමගයි.
මේ යානය මිත්‍ර පාර්ශවයට
කොයිතරම් හිසරදයක්ද කියනවානම් ඔවුන් මේ යානයට පහර දුන්නේ එක්කෝ යානය ඉහලට ඔසවන්න
සුදානම් වන විටදී හෝ ගොඩබාන අවස්ථාවේදීයි. අහසේදී මේ යානා බිම දැමු ප්‍රමාණය ඉතා
සීමිතයි.
මේ යානයට පළමුව 1939 දී
හෙයින්කල් ආයතනය HE 178 නම් යානාවක් (ලොව පළමු ජෙට් යානාව) ගුවන්ගත කලා. 1939 නොවැම්බර්
මස පළවැනිදා එය ෆීල්ඩ් මාෂල් එහාඩ්
මිල්ච් (Erhard Milch) සහ කර්නල් ජෙනරාල් අර්නස්ට් උඩෙට් Ernst Udet ගෙන් සමන්විත රයිච් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත
සංදර්ශනයක් ඉදිරිපත් කළා. එහෙත් ඔවුන් එයින් මේ යානයේ වැදගත්කම ගැන කිසිඳු තැකීමක්
සිදුකලේ නෑ. ඒ වගේම හර්මන් ගෝරින්ග් (හිට්ලර්ගේ ලුෆ්ට්වෆා :Luftwaffe ප්‍රධානියා)
සාම්ප්‍රදායික ගුවන් යානා වලට තැන දීම නිසා මේ යානයේ වැදගත්කම තවත් අඩු වූවා.
නමුත් මෙහිදීත් ඔවුන් මදක් දුරදිග බලා එදා ඒ තීන්දු තීරණ ගත්තා නම් බොහෝ කොටම
යුද්ධයේදී ඒ තීරණය හැරවුම් ලක්ෂයක් වනවා නොඅනුමානයි.
හෝර්ටන් 229 (Horten 229)
ඉස්සරලාම පින්තුර ටිකක් බලලා ඉමු.
 |
ජර්මානු හෝර්ටන් 229 යානාවක දුර්ලභ ජායාරුපයක්. |
 |
හෝර්ටන් 229 යානා ආකෘතියක්. (නියම ආකෘතියක් නොවේ) |
 |
ඇමෙරිකන් B2 බෝම්බ හෙලනයක්. |
පළමුවැනි පින්තුරය සහ දෙවැන්න ජර්මන් හෝර්ටන් 229 යානාවක් (දෙවැනි පින්තුරේ නියමු කුටිය හා එන්ජින් මදක් ඉදිරියට වෙන්නයි තියෙන්නේ. එත් සැබවින්ම ඒවා තටුව මත පිහිටිය යුතුයි. මේ ආකෘතියේ ඒ කොටස නිවැරදි නෑ). තුන්වැන්න ඇමරිකන් බී 2 බෝම්බ හෙලන යානාවක්. මේ දෙකම හදල තියෙන්නේ
ස්ටෙල්ත් එහෙමත් නැතිනම් රේඩාර් වලින් නොපෙනී සිටීමේ හැකියාව සහිතව ඉන්න. කොහොමද
දෙකේ වෙනස?
හෝර්ටන් 229 යානය විශාල
ලෙස නිපදවූ යානාවක් නෙවෙයි. මුලාකෘති දෙකක් පමණක් නිර්මිත මේ යානාවේ එක
මුලාකෘතියක් පරීක්ෂණ සැසියකදී (Test Flight) විනාශ වුනා. ඉතිරි මුලාකෘතිය ඔපරේෂන් පේපර්ක්ලිප් (Operation Paperclip) යටතේ ප්‍රංශයේ චියර්බොග් වරායෙන් ඇමරිකාවට නැව්ගත කළා. ඒ ජර්මනියේ අධිආරක්ෂිතව පැවතුනු කලාපයක රහසිගත
ගුවන් පථයකින් සොයාගැනීමෙන් අනතුරුව.එසේ කලේ බර්ලිනය කරා එන රුසියානු දෑත් වලින්
මේ අධි තාක්ෂණික උපකරණ රැකගැනීමටයි. රුසියානුවන් දියුණු ජර්මන් තාක්ෂනය අත්පත් කරගන්නවාට
ඇමරිකාව සතුටු වුයේ නෑ.
80% ලී භාවිතා කර නිපදවා
තිබුණු මේ යානාවට ගල්වා තිබු මැලියම් සහ සායම් වල අඟුරු අඩංගු වෙලා තියෙනවා. ඒ
රේඩාර් තරංග උරාගන්නට. යානයේ හැඩය තනි තටුවක් ලෙස නිමවීමත්, එන්ජින් සහ නියමු
කුටිය ඇතුළු සියල්ල යානය තුලම පිහිටීමත් සහ යානයේ ලෝහ කොටස් අවම වීමත් යන කාරණා නිසා මේ යානාව රේඩාර් මගින් හඳුනා නොගනීවි යන
උපකල්පණය යානය සැලසුම් කල හෝර්ටන් සහෝදරයෝ සිතුවා. 1930 දශකයේ සිට ග්ලයිඩර් භාවිතා
කරමින් සිටි ඔවුන් මේ යානාවත් ග්ලයිඩර් සැලසුමකට අනුව ඉදිරිපත් කළා.
මේ යානය නිර්මාණය කලේ බ්‍රිතාන්‍ය
වෙරළබඩ රේඩාර් පද්ධතියට අභියෝග කරන්නයි. හිට්ලර්ට බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන්නට
නොහැකිවූ එක බාධාවක් වූ මේ රේඩාර් පද්ධතිය විනාශ කරන්නට හිට්ලර් බොහෝ උත්සාහ කළා. මේ
රේඩාර් පද්ධතිය ඇසුරින් බ්‍රිතාන්‍ය තම ප්‍රහාරක යානා ඉතා නිරවද්‍ය තොරතුරු වලින්
සන්නද්ධ කළා මෙන්ම ප්‍රංශ වෙරළ තීරුව ආසන්නයෙන් එන ජර්මන් යානා කඳවුර පසුකර වෙරළට
ඇතුල්වෙත්ම හඳුනාගැනීමට ද ක්‍රියාකාරී වුනා.
මේ ආකෘතිය යොදාගෙන කල
පරීක්ෂණ වලින් තහවුරු වුයේ මේ යානයට එවකට බ්‍රිතාන්‍යය භාවිතා කල රේඩාර් පද්ධති
වලින් අනාවරණය වීමට ඇති දුර සාම්ප්‍රදායික යානා වල දුරෙන් 20% බවයි. එනම් අනාවරණය
කරගන්නා ලක්ෂයේ සිට විනාඩි නවයකින් ගමන් කල හැකි දුරක්.
එවකට ලුෆ්ට්වාෆා යානා බ්‍රිතාන්‍ය
රේඩාර් පද්ධතියට හසු නොවීමට ඉතා පහලින් පියාසර කළා. (මතකද LTTE ගුවන් යානා? ඒවාත්
පහතින් නේ පියාසර කලේ) ඒ පොලවේ සිට අඩි 50 ක පමණ උසකින්. මේ යානාවත් ඒ ක්‍රම
අනුගමනය කළා නම් යානය රේඩාර් තිරයේ දිස්වන්නේ රේඩාර් කලාපයට විනාඩි දෙක හමාරක
දුරකදී. කොහොමද වැඩේ?
ජෙට් එන්ජින් යොදාගන්න
නිසා යානයේ වේගය ඉතා ඉහල අගයක් ගන්නා අතරම එවකට තිබු පිස්ටන් එන්ජින් වලින් ධාවනය
කල මිත්‍ර පාර්ශවයේ වේගවත්ම යානාවට වඩා වේගවත් නිසා ඔවුන්ට කිසිවක් කල කියාගත හැකි
වන්නේ නෑ. ඔවුන්ගේ ගුවන් යානා ගුවනට ඔසවන විටත් මේ යානය පහරදී අවසන්ව නැවත හැරී
ගොස් තිබෙන්නට බැරි නෑ.
අරාඩෝ AR 234 (Arado Ar 234)
 |
අරාඩෝ AR 234 මුල්ම යානා වලින් එකක්. (මේ යානාවේ රෝද වෙනුවට තිබුනේ ස්කිඩ්ස් ) |
|
|
|
|
|
අරාඩෝ AR 234 යානාව හිට්ලර්ගේ තවත් එක විශ්ම
අවියක් වූ ගුවන් යානාවක්. ජෙට් එන්ජින්
දෙකකින් බලගැන්වුණු මේ යානාව මුලිකවම හිට්ලර් යෙදෙව්වේ සතුරු භුමි අධ්‍යයන (reconnaissance) කටයුතු වලටයි. පසුව එය
බෝම්බ හෙලන යානාවක් ලෙස ඉතා සුළු අවස්ථා ගණනකදී භාවිතා කර තියනවා. එබැවින් මේ යානාව ලෝකයේ ප්‍රථම බෝම්බ හෙලන යානාව බවට පත්කර තිබෙනවා.
ජෙට් බලගැන්වූ මේ යානාව
1944 දී බ්‍රිතාන්‍යට ඉහලින් ගමන්කළ අවසාන ජර්මානු යානාවයි. 1944 සැප්තැම්බර් මස
දී හඳුන්වාදුන් මේ යානාව බෝම්බ හෙලනයක් ලෙස සීමිත මෙහෙයුම් ගණනක යෙදුනත් එයින්
අත්කරගත්තේ නොබිදුණු කීර්තියක්. මිත්‍ර පාර්ශවයේ යානා මගින් ගුවනේදී ප්‍රති ප්‍රහාර
එල්ල කිරීම ඉතා අපහසු යානාවක් බවට මේ යානාව එකල පත්වුණේ එහි වූ අධිවේගීබව නිසයි.
මේ යානවත් ඒ නිසා මිත්‍ර පාර්ශවයේ ප්‍රහාර වලට ලක්වුයේ බොහෝ කොටම භුමියේ රැඳී සිටින
විට හෝ ගොඩබෑම සිදු කරන විටදීයි. මෙවන් වූ සාර්ථකත්වයක් තිබුණු මේ
යානය බෝම්බ හෙලන කටයුතු වලට යෙදවීමට අකමැති වුයේ ෆීල්ඩ් මාෂල් එහාඩ්
මිල්ච් විසින් ගනු ලැබූ තීරණයක් නිසා බවට කතාවක් තියෙනවා. ඒත් ඒ කතාව
තහවුරු කොට නෑ මීට ඉහතදීත් අපි කතා කල මේ ෆීල්ඩ් මාෂල් එහාඩ් මිල්ච්
යුදෙව්වෙක් වගේම ජර්මානු ගුවන් හමුදාවේ යානා සහ අවි සැපයුම් පිලිබදව වූ
ප්රධානියායි.
|
පසු කාලින අරාඩෝ යානාවක් ගුවන් ගත කිරීමට සූදානමින් |
යානාව යුද්ධයේ අවසාන භාගයේ
නිෂ්පාදනය කිරීම නිසා සම්පත් හිඟ වීම ආදිය මගින් නිෂ්පාදිත ප්‍රමාණය සීමා සහිත
වීමත් (යානා 210), බෝම්බ හෙලනයක් ලෙස මුල සිටම භාවිතා නොකිරීමත් මේ යානාව මගින්
ගත හැකිව තිබු සේවාව සහ යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වීම වලකාලනු ලැබුණා. එමෙන්ම
යුද්ධයේ අවසාන භාගයේදී ලුෆ්ට්වාෆා සතුවූ ගුවන් බලය ඔවුන්ගේම නොසැලකිල්ල සහ නිසි ව්‍යපෘති
සඳහා දායකත්වය ලබා නොදීම මගින් කඩා වැටී තිබුනා. මේ හේතුවෙන් මිත්‍ර පාර්ශවය
ජර්මනියේ මර්මස්ථාන වෙත දැරිය නොහැකි ගුවන් ප්‍රහාර එල්ල කරමින් ජර්මන් යුධ යාන්ත්‍රණය
පරාජයේ කෙළවරටම තල්ලු කළා.
1945 වන විට විවිධ අවි වර්ගයන් ආයුධ විශේෂ කීපයකින් සෑදීමට සැලසුම් කර තිබුනත් ඒ සියලු සැලසුම් පොත් වලට පමණක් සීමා කරන්නට යුද්ධය දැඩි වුවා. සැලසුම් කල යුධ අවි කෙසේ වෙතත් ඒ වන විටත් භාවිතයට යුධ අවි නිෂ්පාදනය මෙන්ම අනෙකුත් නිෂ්පාදනද නිපදවීම ගැටලුවක් ව තිබුනා.ජර්මනියට මේ වනවිට අවශ්‍ය වුයේ රාත්‍රී ප්‍රහාර සඳහා යෙදිය හැකි විශ්වාසවන්ත යානාවක්.
එවන් යානාවක් ජර්මනියට තිබුනාද? තිබුනා නම් ප්‍රහාර සඳහා යෙදෙව්වේ නැත්තේ ඇයි ? යන කරුණු එක්කම ලෝක ඉතිහාසයේ මුල් වරට දෙවැනි ලෝක යුද්ධයේදී භාවිතා කිරීමට සුදානම් වූ ජර්මන් න්‍යෂ්ටික ආයුධ ගැනත් අපි ඊළඟ ලිපියෙන් කියවමු.
(ලිපිය ආයෙත් දෙකට කැඩුවා. එපාවෙයි මාගල් කියවන එක කියල හිතලා. ඒකට සමාව භජනය කරන්න.)