Wednesday, July 20, 2011

අනේ අපි කොයිතරම් වාසනාවන්තද නේද?

ඉස්සර ඔයාලට මතකද යනවා පොල් අතු කරත්ත? පාරේ දිගටම දිග කරත්ත වල පොල් අතු පටවන් කරත්ත දෙකක් තුනක් පෙලට යනවා? ලන්තෑරුමක් එහෙමත් එකේ තියනවා. කොහේහරි වෙලක හරි කරත්ත මඩුවක හරි ගොන් දෙන්න ගැට ගහල උන්ට පුන්නකු තණකොළ දීල, පාරේ අය්නෙන් කරත්තේ නවත්තල කරත්ත කාරයෝ දෙන්න නාගෙන එහෙම ඔන්න ඇවිත් කරත්ත බක්කියෙන් ගත්ත අඩුම කුඩුම ලිප තියල රැට කන්න මොනවා හරි හදාගෙන සප්පායම් වෙනවා. පස්සේ ලන්තෑරුම් එලිය අඩු කරගෙන අර කරත්ත බක්කියට වෙලා නිදාගන්නවා. දැකල තියනවද ඔයාල?

තව ඉස්සර ගියා භුමි තෙල් කරත්තේ කියල එකක්. ලංකා කියල ලොකුවට පැත්තේ ගහල පිටිපස්සෙන් සිපෙට්කෝ ලකුණ ගහල රතුපාට ටැංකියක් එක්ක යන කරත්තේ? ඒක නම් දැකල ඇති මොකද කොල තිබ්බ ඒවා මෑතක් වෙනකම්ම. දැන් නම් මම මේ කියන එව්වා බලන්න වෙන්නේ කටුගේක තමා. මට එතකොට තමා හිතෙන්නේ මේ දෑස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි කියල. මේ මගේ ජීවිතේ පලවෙනි හෙවත් මුල් කොටසේ දේවල්. තව ඔයාල අහල තියනවද හානකොට කියන හීයේ කවි? ඉස්සර අපේ ගෙදර ඉස්සරහ තිබ්බේ වෙල් යාය. පාරෙන් එහාපැත්තෙ වෙල්. අපේ ගෙදරට අල්ලපු වැටේ හිටියේ උක්කුන් අප්පච්චි ලොකුඅත්තා. මනුස්සය අද අපි අතරේ නෑ. හීපද කියන්න එය තරම් දක්ෂයෙක් හිටියේ නෑ  ඒ පළාතටම. වෙලට අමුඩ ලේන්සුව ගහගෙන හරක් බාන දක්කාගෙන බහින උක්කුන් අප්පච්චි ලොකුඅත්තා අඩහැරේ පාන්නේ අහල ගම හතටම ඇහෙන්න. ඉස්සර නුවර එලිය පාරේ යන සුද්දෝ මේ අඩහැරේට කොච්චර වශී උනාද කිව්වොත් පාරේ නවත්තල බලාගෙන ඉන්නවා. අපේ ගෙදර ඉස්සරහත් තිබ්බ කමතක්. දැකල තියනවද කමතේ කොළ පාගනවා? කමතේ බිම යන්තරයක් ඇදල මැද වළක් හාරලා එකේ හක් ගෙඩියි දෑකැත්ත වගේ ඒවා තියල පුද පූජා කරලා ගොයම් මඩවනවා? කමතේ හරක් හිටියේ නෑ අම්බරුවෝ හිටියේ වී තිබ්බේ නෑ බැත තිබ්බේ. කමත තිබ්බ තැනට අද ගෙදරක් ඇවිල්ල.

තව මතකද සමනල්ලු සිරිපාදේ යනවා? සුදු සමනල්ලු කහ සමනල්ලු පාට පාට සමනල්ලු රෑන් පිටින් හැම වත්තකම පිරිලා. මට මතකයි අම්මල අත්තම්මල කියනවා "ඔන්න සමනල්ලු සිරිපාදේ යනවා. ඔය පුතේ උන් යන්නේ බුදුහාමුදුරුවෝ වදින්න" කියල. "ඉතින් ඇයි අත්තම්මේ උන් මැරෙන්නේ නැද්ද?" "නෑ පුතේ උන් සිරිපාදේ වැදලා තමයි මැරෙන්නේ." මට මතක් වෙද්දීත් කදුළු එනවා. අපිත් අර සමනල්ලු අල්ලන්නෙවත් නැතුව බලන ඉන්නවා උන් බුදුන් වදින්න යන හැටි. 

අද කෝ මේ කිසිදෙයක්? ගමක ඉන්න පොඩි එකෙක් සමනලයෙක් දැන් දකින්නේ පින්තුරෙකින් හරි ටීවී එකෙන් හරි එහෙමත් නැත්තන් ඉන්ටෙර්නෙට් එකෙන් විතරයි. කරත්ත ගැන නං කතා කරන්න ඕනේ නෑ. අද කව්ද පොල් අතු වහලෙට හෙවිල්ලන්නේ? ඊටත් මොකටද කරත්ත? ලොරියක් බැරිනම් ලොරි බාග කාල් එහෙමත් තියන එකේ? ඉස්සර නං ගෙයක් හදනකොට ගහන පැළලි වලට හරි පොල් අතු ගත්ත. දැන් එකත් ඉටි කොළ. ඉස්සර අපි පරිසරේ එක්ක කොච්චර හිටියද නේද? හැමදේම අපි කරන්න ගියේ පරිසරයට හානියක් නොවෙන්න පරිසරය එක්ක බද්ධව. මතකද ඉස්සර අපේ අම්මල ඉදුල් වතුර කොරහ ගහකට හැලුව? මොකද එකේ තියන හැමදෙයක්ම පොහොර වෙනවා ගහට. මේවා කරේ දැනගෙන නෙවෙයි. ඒත් දැන්?

පොලිතින් ප්ලාස්ටික් කදු වලට කවද හරි අපි යටවෙන සයිස් එකක් තියෙන්නේ දැන් මේ යනවිදියට.ගොවිතැන් කරන්න දාන පොහොර වලට වස විස දානවා. ඒ වස විස කාලා අපි ලෙඩ වෙනවා. ඒ විතරක් නං මදැයි සතා සීපාවා ගහ කොළ ඔක්කොම. අද සමනල්ලු දකින්න නැත්තේ එකයි ඒවගේම මතකද ගේ කුරුල්ලෝ? කොහෙද උන් අද? ගොයම් පාන්නේ යන්තරෙන් අද. කමත් නෑ. අපේ පොඩි උන්ට නටන්න අද වෙල් යායක් ඉතුරු වෙලා නෑ. කිරිවදින ගොයම් ගහක් උදුරන් වී ඇටේක රහ බලන්න අද පොඩි උන්ට වරම් නෑ. කාටද මේ දේවල් කියන්නේ? අපේ පොඩි උන් දකින්නේ යන්තර පිරුන ලෝකයක්. අන්තිමට උන්ට නොදැනී උන් යන්තර වෙනවා. හිතල දෙයක් ලියන්න කියන්න වගේම චිත්‍රයක් අදින්න තියන හැකියාව මොට්ට වෙන්න මේවා හේතුවක් වෙනවා.

අනේ අපි කොයිතරම් වාසනාවන්තද නේද?

3 comments:

  1. සමනල්ලු සිරිපාදේ යනවා පොඩි කාලෙදි දැකලා තියෙනවා. භුමි තෙල් කරත්තයක් ලගකදි ‍කලුතර පැත්තෙදි දැක්කා...

    ReplyDelete
  2. සමනල්ලු සිරිපාදේ වඳින්න යන හැටි බලන්න ළමයෙක් ඉතුරු වෙලා නෑ අයියා. උන් ඔක්කොම ටියුෂන් වලට යට වෙලා. එකේ පංතියේ ඉදලා ටියුශන් !!!!

    මාත් ඔය භූමිතෙල් කරත්ත දැකලා තියෙනවා. කොළඹදි නම් නෙමෙයි අපේ ගමේදි !!!!

    අයියා ලියන ස්ටයිල් එක එල !!!! ලස්සනයි !!!
    ඒකෙනේ කියන්නේ සරලව දෙයක් ලියමු කියලා !!!! සරල දේ සුන්දරයි.

    ReplyDelete
  3. @ ගීතිකා දිල්රුක් : මමත් අන්තිමට ඔය කරත්තයක් දැක්කේ කොලඹදී. දැන් නම් තියනවද දන්නේ නෑ.

    @ මදුරංග මල්ලි.. බොහොම ස්තුති මල්ලි.. අපේ ළමයි උදේ ඉදල හවස වෙනකම් ටියුෂන් මත්තෙම ඉදල පොතේ ගුරාල වෙයි කවදාහරි. ඉතින් මිනිස්සු යාන්ත්‍රික වෙන එක අහන්නත් දෙයක්ය? අහෝ දෙව්දත් නොදිටි මොක්පුර කියල මට හිතට එනවා මේවා ඇහෙන දැනෙනකොට... උඹල අපි පින් කරපු පරම්පරාවේ..

    ReplyDelete