Sunday, February 3, 2013

ජපානය කඩදාසි බැලුන් බෝම්බ යොදා ඇමරිකානු භුමිය වෙත බෝම්බ හෙලයි..


ජපානය කඩදාසි බැලුන් බෝම්බ යොදා ඇමරිකානු භුමිය වෙත  බෝම්බ හෙලයි..
යුද්ධයේ නවතම තතු බලාපොරොත්තු වන්න..

මේ 1940 දශකයේ පලවිය හැකිව තුබූ එක්තරා ප්‍රවෘත්ති සිරස්තලයක්. එහෙත් එකල උපායමාර්ගික ඇමරිකානු පුවත් වාරණ නිසා පල නොවූ පුවතක්..

ඔබ දන්නවාද ෆු ගෝ (FU-GO) ගැන? අහලා තියනවාද බැලුන් බෝම්බ ගැන? එසේනම් එන්න කියවන්න දැනගන්න.. ජපානයේ කඩදාසි බැලුන් ව්‍යාපෘතිය හෙවත් ෆූ ගෝ ගැන.. මේ බොහෝ ඇමරිකානුවන් අදටත් නොදන්නා කතාවක්..


ෆුගෝ බැලුන් බෝම්බය ක්‍රියාකාරිව.
පින්තුරය ගත්තේ මෙතනින්


ඇමරිකාව එක්ක ජපානයට තිබුනේ මම කලිනුත් කීවා වගේ උපාය මාර්ගික සටනක්. ඒත් ඇමරිකානු ස්ථාවරය වුනේ යුද්ධයට වඩා ලෝක පොලිස්කාරයාගේ ජවනිකාව රඟදක්වන චේතනාවක්. ඒ නිසා මුලදී ඇමරිකාව ලෝක යුද්ධයේ පාර්ශව කරුවෙක් වුනේ නෑ. ඒත් පර්ල් වරාය සිද්ධිය මත පදනම්ව 1942 දෙසැම්බර් 8 වැනිදා ඉඳං ඇමරිකාව දෙවැනි ලෝක යුද්ධයේ සක්‍රිය දායකත්වයක් දරනවා.

මේ යුද්ධයේදී ජපානය ඇමරිකාව වෙත එල්ල කරන්නේ අසමාන වූ ප්‍රහාරයන්. එයින් බොහෝ ඇමරිකානු භටයන් මිය යනවා වගේම ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බය ජපානයට එරෙහිව භාවිතා කරන්නත් පොළඹවනවා. ඒ එක්කම මේ සටනේ දී බොහෝ විට සියලුම පාර්ශවයන් ඉතාම වෙනස්ම වූ ආකාරයේ යුධ අවි සැලසුම් භාවිතා කරනවා. එයින් එකක් වන්නේ ඇමරිකානු වවුල් බෝම්බය. (කියවපු නැති කෙනෙක් ඉන්නවා නම්මෙතන කොටන්න. ඊට අමතරව ජර්මානු පාර්ශවය ගැන දැනගන්න ඔබට මෙන්න මෙතැනින් පුළුවන්.)

ජපානය 1943 නොවැම්බර් 3 වැනිදා:

ජපානයේ හොන්ෂු දිවයිනේ චෝෂි සහ කමිසු යන නගර දෙක ආසන්නව වෙරළ තිරයේ සිට විශාල කඩදාසි බැලුන් විශාල සංඛ්‍යාවක්‌ ගුවන් ගත වනවා. මේ සුදෝ සුදු බැලුන් සමුහය පෙනුමින් කාලගුණ බැලුනවල  හැඩය ගත්තත් ඒවා යටින් කාලගුණ දත්ත ගන්නා උපකරණ වෙනුවට ඇත්තේ බෝම්බ කීපයක්, වැලි මළු එල්ලූ රවුම් බයිසිකල් රෝදයක හැඩය ගත් යමක් සහ තවත් උපකරණ කීපයක් පමණයි.

ඒ බැලුන වල අවසාන ගමනාන්තය ඇමරිකානු එක්සත් ජනපදයයි.

ජපානය ඇමරිකාවට සැතපුම් 6000 කට ආසන්න දුරකින් පිහිටන දුපත් සමුහයකින් හෙබි රටක්. එහි සිට දින 8 – 12 අතර දින ගණනක නාවික ගමනකින් තමයි ඇමරිකාව පිහිටා තිබෙන්නේ. එවන් වූ දුරකින් හෙබි රටකට ඔවුන් කඩදාසි බැලුන මගින් පහරදීමට උත්සාහ කිරීම ඇතැම්විටක ඔබට පුදුමයක් ඇති කරනු ඇති.

ජපානය  1943:

පාසල් යන ගැහැණු ළමුන් කණ්ඩායම් ඇතුළු විවිධාකාර පිරිසක් විසින් සුමෝ ශාලා කබුකි නෘතය ශාලා වැනි ස්ථාන වලට එක්වී අඩි 2 x 2  ප්‍රමාණයේ වෂී ( Washi) ලෙස හඳුන්වනු ලැබූ මල්බෙරි කඩදාසි වලින් මේ බැලුන් සකස් කරන ලද අතර ඒවා යොදා සාදන ලද බැලුන අඩි තිස් දෙකක වටප්‍රමාණයකින් සමන්විත වුනා. බැලුන වල ඉහල කොටස කඩදාසි තට්ටු හතරක් වන ලෙසටත් පහල කොටස කඩදාසි තට්ටු තුනක් වන ලෙසටත් කොන්යක් (Konjak) අල වලින් සාදන ලද මැලියම් තට්ටු වලින් අලවනු ලැබුවා.

මුලින්ම මේ බැලුන් නිර්මාණය සඳහා ඔවුන් භාවිතා කලේ රබර් මිශ්‍රිත සිල්ක් රෙදි. ඒත් පරීක්ෂණ වලදී ඔවුන් හොයාගත්තේ ඒ රෙදි වල හයිඩ්රිජන් කාන්දුවක් තිබෙන බවයි.  ඒ නිසා බලාපොරොත්තු වන ඉලක්කයට කරා බැලුනය ගමන්කරවීමට නොහැකිවන බව ඔවුන් තේරුම්ගත් අතර ඉන්පසු කලේ පාසල් ළමුන් ඇතුළු පිරිස් යොදවා මල්බෙරි කඩදාසි බැලුන තැනීමයි.

තමා කරන්නේ කුමක්ද කියා නොදැන සිටි බොහෝ ජපාන දරුවන් දවසට පැය හයක හෝ හතක ශ්‍රමය මේ සඳහා වියදම් කළා.

මෙසේ සාදනු ලැබූ බැලුන වලට අඩි 35000 ඉහල අහසේ රැඳෙන්නට හැකියාව තිබුණු අතර රාත්තල් 400 ක බරක් ද මුහුදු මට්ටමට ආසන්නයේදී රාත්තල් 450 ක ප්‍රමාණයක්ද බර දරාගන්නට හැකියාව තිබුනා. මේ බැලුන කිලෝ 15 ක පුද්ගල නාශක බෝම්බයක් ද තවත් කිලෝ 12 බැගින් වන ඉන්සින්ඩ්යරි බෝම්බ 2 ක්ද තමන්ගේ පේ ලෝඩ් ඩිලිවරි එක නොඑසේ නම් ප්‍රහාරක බලය ලෙස රැගෙන ගියා. ඊට අමතරව බැලුනය සතුව තවත් එක ෆ්ලෑෂ් බෝම්බයක් එහි බඳෙහි අලවා තිබුණු අතර එය බැලුනයේ ප්‍රධාන පරිපථයේ සිට මීටර් කීපයක් දිග ෆියුස් එකක් හෙවත් වෙඩි නුලක් ආධාරයෙන් රඳවා තිබුනා. ඒ සියල්ල සමගින් බැරෝ මීටරයක් ද සංකීර්ණ ක්‍රමයකින් යා කරන ලද වැලි මළු සමුහයක් බයිසිකල් රෝදයක් වැනි ඇටවුමකද අටවා තිබුනා.

මේ බැලුන වල පාලන ක්‍රමය ස්වයංක්‍රීය වුවක් වූ අතර එය ද ඉතා අපුර්ව වුවක්. එමගින් බැරෝ මීටරයක සහය ඇතිව බැලුනයේ උස ගණනය කරමින් උස නියතියක (අසන්න වශයෙන්) පවත්වාගන ගිය අතර එහිදී අඩි 35000353500035000ක හෙවත් කිලෝමීටර් 11.5 ක ඉහල අහසේ බැලුනය හැම විටකම රැඳෙන ලෙසත්, ඔරලෝසුවක ආධාරයෙන් දින හතර හමාරක් ගණනය වන ලෙසට සැකසු ටයිමරයක් මගින් බෝම්බ අත් හැරීමටත්, එසේ  ඉලක්කය සපුරාගත් විගස බැලුනය ඉහල අහසට නැග පුපුරා විනශ වන ලෙසත් මේවා සැලසුම් කර තිබුණා. අඩි 35000 ඉක්මවන විටක බලුනයේ තිබු ස්වයංක්‍රීය පාලන උපකරණ ආධාරයෙන් බැලුනය තුල වන හයිඩ්‍රජන් පිට කර හරිනු ලබන අතර බැලුනය අඩි 35000 වඩා පහල යන විට බැලුනය එහි වූ වැලි මළු වලින් දෙක බැගින් අතහරිමින් උස සකසා ගන්නවා. මේ ක්‍රියාවලිය ඔස්සේ  බැලුනය එහි උස පවත්වාගන යාමට ක්‍රියා කරමින් අඩි තිස්පන්දහසේ රැඳී ඉන්නවා. 

එසේ අඩි තිස්පන්දහසක ම මේ බැලුන වලට රැඳී ඉන්නට අවශ්‍ය වුයේ ඇයි?

ඒ ප්‍රශ්නයට දෙන උත්තරය පසුපස මේ බැලුන වල සම්පුර්ණ කතාවම රැදී තිබෙනවා ය කිව්වොත් ඔබ සමහර විටක මාව විශ්වාස නොකරාවි.

1940 දශකයේ කිසිවෙකු ඒ වන විට ඒ තරම් නොදන්නා දෙයක් ජපනුන් ඒ වෙද්දීත් යුද්ධය සඳහා භාවිතා කරගෙන තිබුණා. ඒ ජෙට් සුළං ප්‍රවාහයක්. මේ සුළං ප්‍රවාහය මධ්‍යම ජපානය හරහා පැසිෆික් සාගරය මතින් ඇමරිකාවට දෙසට ඇදෙන අතර  ඒවා ඉතා වේගවත් වනවා. වර්තමානයේ ජෙට් සුළං ධාරා (Jet Streems) ලෙස හඳුන්වන මේ සුළං ප්‍රවාහ කොටස් දෙකකින් යුතු වෙනවා. ඒ කොටස් දෙක Sub Tropical Jet Streems සහ Polar Jet Streems ලෙස අද හඳුන්වනවා. මෙයින් Subtropical Jet සුළං ධාරා වලින් එකක් ජපානයේ මැදින් හමා ගොස් ඇමරිකාව මැදින් වන්නට හමා යනවා. මේ ප්‍රවාහය හමා යන්නේ අඩි 35000 ක උසකින් වන අතර ඒ සුළං ධාරා බොහෝ විටම පැයට සැතපුම් 90 ත් 300 ත් අතර වේගයකින් හමා යනවා.

ජපනුන්ගේ ගණනය කිරීමට අනුව මේ ජෙට් ප්‍රවාහය ජපාන වෙරළ තීරුවේ සිට ඇමරිකානු වෙරළ තීරය දක්වා ගමන්ගන්නට දින හතරක සිට පහ දක්වා කාලයක් ගන්නවා.

ඉතින් මෙන්න මේ කරුණු එක්ක ජපානය සැලසුම් කරන්නේ සුළං ප්‍රවාහ ඔස්සේ යවන බැලුන මාර්ගයෙන් ඇමරිකාව වෙත ප්‍රහාරයක් එල්ල කිරීමටයි. ඉතා ලාභදායි ලෙස සැලසුම් කරන මේ සඳහා ඔවුන් යොදා ගන්නේ බැලුන මගින් සිදු කරන ප්‍රහාරයන් මාලාවක්.

ජපාන ජෙනරාල් කුසාබා සුඑයොශි (Kusaba Sueyoshi) ගේ නායකත්වයෙන් ඇරඹෙන මේ මහා ව්‍යාපෘතිය යටතේ 1943 සිට 1944 දක්වා බැලුන 9000 පමණ ප්‍රමාණයක් ගුවන් ගත කරනු ලබන අතර ඒවා ඇමරිකාවේ වොෂින්ටන් (මේ නැගෙනහිර වෙරළාසන්න මේරිලන්ඩ් හි ඇති වොෂින්ටන් ඩී. සී. නොවේ) ඔරිගොන් කැලිෆෝනියා වැනි වෙරළබඩ ප්‍රදේශ වල සිට ක්‍රමිකව රටේ අභ්‍යන්තර කොලරාඩෝ යුටා මොන්ටානා ඉඩහෝ වැනි ප්‍රදේශ වලටත් ඉන් පසුව රටේ ඉහල කොටසේ කැනඩාවට මායිම් වන කොටස් ඩකොටා මිචිගන් අයෝවා වැනි ප්‍රදේශ වලට මේ බැලුන වලින් ප්‍රහාර එල්ල වෙනවා. එසේම සමහර බැලුන මැක්සිකෝව සහ කැනඩාවේ දකුණුදිග ප්‍රදේශ වලත් ප්‍රහාර ඇති කල බවට වාර්තා තිබෙනවා.


ජපාන ජෙනරාල් කුසබා සුඑයෝෂි
පින්තුරය ගත්තේ මෙතනින් 


කෙසේ වුවත් මේ ප්‍රහාර තැන තැන කුඩා ප්‍රමාණයේ වනාන්තර ගිනි ගැනීම් සහ වෙනත් සුළු සිද්ධි හැරුණකොට සිදු කර තිබෙන අලාභය ඉතාම සුළු වුවක්. එහෙත් ඇමරිකානු භුමිය තුල දෙවැනි ලෝක යුද්ධයේ දී වාර්තා වූ එකම සිවිල් මරණ වලට හේතුව නම් මේ බැලුන බෝම්බයක්. එයට බිලිවුයේ කුඩා දරුවන් 5 දෙනෙකු සමග පල්ලියක චාරිකාවකට ගිය ගැබිණි මවක්. ඒ 1945 මැයි මස 5 වැනිදා.   ඒ දකුණු දිග ඔරිගන් ප්‍රාන්තයේ ග්‍රේට් හාට් කඳුවැටියේ දී. එහිදී ද මේ පිරිස වෙත බලුනයෙන් කෙලින්ම එල්ලවූ ප්‍රහාරයකට වඩා සිදුවී තිබුනේ එහි වූ කුඩා දරුවන්  අතුරින් අයෙකු ගසක පැටලී තිබු මේ බැලුනයක් බිමට ඇදීමට උත්සාහ කිරීමේදී එහි වූ බෝම්බයක් පිපිරී සිද්ධ වූ අනතුරක් ලෙසයි. මේ පහත ඇත්තේ ඔවුන් අනතුරට ලක්වූ ස්ථානයේ වන සමරු ඵලකයයි.

කෙසේ වුවද ඇමරිකාව මේ අනපේක්ෂිත අහසින් වැටෙන තර්ජනය ගැන සුළු කොට තැකුවේ නෑ.

1943 දෙසැම්බර් 6 වැනිදා :18 :15 පැය..

ඇමරිකාවේ වයෝමින්ග් හි තර්මොපොලිස් හි සිටි පතල් කම්කරුවන් තිදෙනෙක් පතලට පිටින් යම්කිසි කාර්යයක දී සිටිනවා. එහි වූයේ පිරිමින් දෙදෙනෙකු සහ ගැහැනියක්. එහි වුන් විස්තර කරන පරිදි හවස හයයි කාලට පමණ ඔවුන්හට ඉහල සිට යමක් අත්හැරෙනවිට නැගෙන විසිල් ශබ්දයක් ඇසී තිබෙනවා. ඊට මොහොතකට පසු ඔවුන් හට ඇසුනේ පිපුරුම් ශබ්දයක්. ඒ සමගින් ඉහල බලන ඔවුන් දකින්නේ පොලවට ඉතා ඉහලින් වූ ගිනි ජාලාවක්  සහ පැරෂුටයක් වැනි යමක් පොලවට පහත්වන දසුනක්.  ඒ කුමක්ද යන්න ඔවුන් කිසිවෙකු සතුව අදහසක් තිබුනේ නෑ.

මේ සිද්ධියෙන් සතියක් ගතවීමටත් පෙර මොන්ටානා ජනපදයේ කැලිස්පෙල් හි වනාන්තරයක දී මිනිසුන් දෙදෙනෙකු විසින් විශාල බැලුනයක යයි සිතිය හැකි සුන්බුන් සහ අවශේෂ කොටස් සොයාගන්නා අතර එහි වූ ජපන් අක්ෂර නිසා ඔවුන් එය ඇමරිකානු ආරක්ෂක ඒකක වෙත දැනුම් දෙනවා.

ඇමරිකානු FBI ආයතනයේ පරික්ෂාවට ලක්වෙන මේ සිද්ධිය ගැන ක්‍රමිකව අදහසක් ගැනීමටත් පෙර 1943 දෙසැම්බර් 19 වැනිදා ද මෙවන් සිද්ධියක් ඇමරිකාවේ කැලිෆෝනියාවෙන් වාර්තා වෙනවා. එසේ  වුවද එහිදී පරීක්ෂකයන්ට කිසිවක් හමුවන්නේ නෑ. එහෙත් දෙසැම්බර් 31 වැනිදා වන විට ඔවුන්ට ඔරිගොන් හි ටස්කාඩා ආසන්නයේ වූ ගසක පැටලී තිබෙන කඩාවැටුණු බැලුනයක් හමුවෙනවා. එහි බොහෝ කොටස් නිරුපද්‍රිතව පැවතුනා.

පරීක්ෂණ වලදී ඒ කොටස් ජපානයේ සිට ආ ඒවා බවට ඔවුන් එක විටම සිතුවේ නෑ. කෙසේ හෝ ඔවුන් සිතුවේ ඇමරිකාවේ වූ ජපන් ප්‍රජාව විසින් මෙය සිද්ධ කරන ලද දෙයක් බවයි. ඒ එහි වූ වැලි මළු සාමාන්‍ය ජපනුන් භාවිතා කරන සහල් මළු නිසාවෙන් සහ එතරම් දුරකට (ජපානයේ සිට ඇමරිකාවට) මෙතරම් සරල බැලුනයකට යා නොහැකි නිසාවෙන්. එහෙත් තව දුරටත් කරන ලද පරීක්ෂණ වලදී ඔවුන් තේරුම් ගත්තේ මේවා ජපානයේ දී ම එකලස් කර ඇමරිකාව වෙත එවන්නාවූ බැලුන බවයි. ඒත් එහිදී ද ඒවා ඇමරිකාව වෙත ගෙන එන තාක්ෂණය ගැන ඔවුන් එතරම් දැනුවත් වුයේ නෑ. එවන් වූ සරල උපකරණ භාවිතා කරමින් ඔවුන් ලොව ප්‍රථම ක්‍රියාකාරී අන්තර්මහද්වීපික ප්‍රහාරක බෝම්බ හෙලන අවිය නිපදවා තිබුණු අතර එය මගින් ඇමරිකාව ත්‍රස්ත කරන්නට ඔවුන්ට හැකි වුනා.

ජපානය ඇන්ත්‍රක්ස් නම් වූ විෂ බීජය නිපදවන බව එවකට ඇමරිකාව දැන සිටියා. ඒ ජපානය ඇන්ත්‍රක්ස් විෂ චීනයේ පතුරුවා තිබුණු බැවින්. ඒ නිසා මේ අමුතු තර්ජනය ඇමරිකාවේ ඇස අරවන්නක් මෙන්ම දැඩිව රිදවන්නක් වුනා.

ඇමරිකානුවන් මෙයට දැක්වුයේ කිනම් ප්‍රතිචාරයක්ද? බලාපොරොත්තුවන්න ක්සැන්ඩරගේ කොලම තුලින්..




Wednesday, November 21, 2012

සකල සිරින් පිරි සිරි ලංකාවේ හෙට දවස



ලම්බෝගිනි ගලාඩෝ ගන්නට
පෙරුම්පුරයි අපි දැන් රැල්ලට
ඒත් කොස්සකි එහෙම ගන්නට
නැත්තේ පාරකි අපිට යන්නට

ගමට එන අප පාර
කැඩිලා සත් වසකි ඒපාර
හදලා දුන්නොත් පිනකි මාර
පදින්න මගේ ෆෙරාරිය දාර

පුංචි ගානකි යන්නේ
ඕවා මෙහෙ ලාබ නෑ නේ
කියමිනි සුද්දෝ එන්නේ
අනේ මම හීනද දකින්නේ

මරුටියම දහ අටයි 
දැන් නම් ටිකක් වැඩි වෙයි
ඒත් පෝසේ එකම විස්සයි
ඉතිං මොකටද මරුටි? අපි ගයි!!

ටැක්ටර ගත්තේ හාන්නට
රටට බත් ටික දෙන්නට
දැන් ඉතිං ඒ ගානට
ගනිමි රේසිං කාර් හානට

අම්මප යම් දිනක ඉදිරියට
ඉන්දියන් කාර් දකින්නට
යන්න වෙන්නේ කටුගෙට
හොරුත් යන්නෑ එය කඩන්නට

Saturday, September 29, 2012

බස් රේඩියෝව සහ බ්ලොග් සම්මාන උළෙල.



බස් රේඩියෝව බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වුයේ මේ මම දන්නා මුල්ම වරය. ඇත්තෙන්ම බ්ලොග් සම්මාන උළෙලක් දියත් කරන එක නම් ඇත්තෙන්ම හොඳ දෙයක් ය. ඒ එමගින් ඇගයීමක් සමග බ්ලොග් කරුවන් දිරිමත් වීමක් සිද්ධ වන නිසා ය.

එහෙත් බස් රේඩියෝ බ්ලොග් සම්මානයේ මුල සිටම අවුල් තිබුණි. ඔවුන් සම්මාන උළෙල සැලසුම් කලේ පසුගිය ජුලි මාසයේ දිනයක් යොදාගෙන ය. එහෙත් සංවිධාන කටයුතු වල වූ අසංවිධානය මැනවින් පෙන්වමින් එය සැප්තැම්බර් මස තෙක්ම දිග ඇදෙමින් ඇවිත් අද දින සම්පුර්ණ වන්නේය.

බ්ලොග් සඳහා කැටගරි කීපයක් ඔවුන් නම් කල අතර එහිදී ලියාපදිංච් වුවන් සඳහා රේඩියෝ වැඩසටහන් පවත්වන ලදී. එය හොඳ දෙයක් වුවත් ඔවුන් ඉතා ඉක්මනින් කලේ කැටගරි වෙනස් කිරීමක් සිද්ධ කිරීමයි. සංවිධානය නිසි සේ වුවා නම් කැටගරි වෙනස් කරන්න සිද්ධ වෙන්නේ නැත.

බ්ලොග් ඇගයීම සඳහා වන විනිසුරු මඩුල්ල නම් කරන්නට ඔවුන්ට මසකට වඩා කල් ගියේ ඇයිදැයි ඔවුන් නිසි හේතුවක් දැක්වුයේ නැත. එය රහසක් ව තබා ගන්නට උවමනා කරුණක් බව මට නොපෙනෙතත් ඔවුන් එය රහසක් ලෙස අවසන් මොහොත තෙක්ම තබා ගත්තේ තමන්ගේ සංවිධානයේ අසංවිධානය වසාගන්න ගසනා තුරුම්පුවක් ලෙස බව මට සිතුනි.

මේ අතරම ඔවුන් පාඨක ජන්දය ගැනීමට ෆේස්බුක් ජන්ද පෝරමයක් දියත් කලත් තාක්ෂණික දෝෂ මත පැය කීපයකින් හකුලා ගන්නා ලදී. එයද මා දකින්නේ අසංවිධානයේ තවත් ඉමක් ලෙසය. ඉන් අනතුරුව ඔවුන් තමන්ගේ ඇගයීම් සඳහා වූ බ්ලොග් ලැයිස්තුවත් එහි ලියාපදිංචි වී සිටි බ්ලොග් වල සටහනකුත් ඉදිරිපත් කරන ලදී. ඒත් එතනත් දෝෂ සහිත බව ඔප්පු වුයේ ඒ සඳහා මගේ බ්ලොග් අඩවිය පෙනෙන්න නොමැති වීම නිසා ය. (මා දන්නේ මගේ අඩවිය ගැන පමණි. ඒ නිසා මා පාදක කරගත් මිනුම එයයි.)

දැන් කෙනෙකුට පෙනෙනු ඇත්තේ මේ සටහන හුදෙක් හිත අමනාපයෙන් ලියුවක් බවයි. නැත. හිතේ අමනාපයක් නැත. එහෙත් මට සිතුන විවේචනය මා සටහන් කලෙමි. එපමණකි.

Friday, August 10, 2012

ඇමරිකානු වවුල් බෝම්බය



වවුලන් යොදාගෙන තනන ලද අපුරු සමුල ඝාතක අවියක් ගැන ඔබ අසා තියනවාද? ඇමරිකානු නිෂ්පාදනයක් වූ මෙය ඔවුන් තැනුවේ ජපානයට එරෙහිවයි.

එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ තවත් එක හැරවුම් ලක්ෂයක් වීමට තිබුණු තැනක් ගැනයි.එහෙනම් එන්න, කියවන්න, ඉතිහාසයේ සැඟවුණු තැන් අතරේ ඇති ඇමරිකානු වවුල් බෝම්බය ගැන.

පැසිෆික් යුද්ධය (Pacific War) , දෙවැනි ලෝක යුද්ධයේ තවත් එක කඩඉමක් සටහන් කරන සුවිශේෂී යුද්ධයක්.

ජපානය, 1941 දෙසැම්බර් මාසයේ 8 වැනිදා (ජපාන වේලාවෙන් ) ජපාන නාවික හමුදා ප්‍රහාරයක් ඇමරිකානු පර්ල් වරායට එල්ල වෙනවා. විශ්මය දනවන ලෙස සිදුවන මේ ප්‍රහාරය සමගින්ම ඇමරිකාව සක්‍රීයව ජපානයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ දෙවැනි ලෝක යුද්ධයේ තවත් හැරවුමක් සටහන් කරමින්.
ඇමරිකාව මුල්ම වතාවට ජපානය සමග මුහුණට මුහුණ ගැටෙද්දී ජපාන සොල්දාදුවන් නිර්භීතව එහෙත් ඇතැම්විටක මරු පෙනී පෙනී සටන් වදිනවා. ගරිල්ලා උපක්‍රම හා සතුරා විශ්මයට පත් කිරීමේ උපක්‍රම (Elimant of Surprise) යොදා පහර දෙන ජපාන හමුදා ප්‍රහාර ඇමරිකානු මරණ සංඛ්‍යාව ජර්මානු පෙරමුණේ දී සිදුවූ ස්ථානීය මරණ ප්‍රමාණය අභිබවා යන්නට සලස්වනවා.

ඒ වගේ සටන් සිදුවූ ප්‍රදේශ දෙකක් තමයි ඔකිනාවා දුපත (Battleof Okinava) සහ ග්වන්දල් කනාල් දුපතේ සටන (Guandalcanal Campaign). මේ හේතුව නිසා ඇමරිකාවට ජපානයේ ප්‍රධාන දුපත් ආක්‍රමණය කිරීමට යාමේදී විශාල මිලක් ගෙවන්නට සිද්ධ වෙන බව පැහැදිලිවම පෙනුණු කරුණක්.

ප්‍රහාරයට පෙර ජපාන භුමිය (Japanese Main Land) තුල විශාල විනාශයක් කිරීම මතින් එක්කෝ ජපාන ශක්තිය අඩපණ කරගන්නට හෝ ජපානය යටත්වීමටක පෙළඹ වීමට යන දෙකෙන් එකකට එළඹෙන්න අවශ්‍ය කරන සාධක ඇති කිරීම ඇමරිකාවට අවශ්‍ය වුවා.

1941 දෙසැම්බර් 7 වෙනිදා: ලිට්ල් ඇඩම්ස් (Lytle Adams)නමැති දන්ත වෛද්‍යවරයා සිය නිවාඩුව ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ හි කාල්ස්බෑඩ් හි ගතකර තම නිවස බලා ගමන් කරනවා. ඔහුට ඒ රථ ධාවනයේ යෙදෙන අතරතුර සිහිවන්නේ තමන් පෙරදිනවල දුටු විශාල වවුලන් සමුහය ගැනයි. එසේ සිතමින් යන විට ඔහුට රථයේ රේඩියෝව හරහා අහන්නට ලැබෙන්නේ පර්ල් වරායට ජපානය පහරදුන් පුවතයි. එයින් කම්පාවට පත්වන මේ හැට හැවිරිදි වෛද්‍යවරයා සැලසුම් කරන්නේ ඇමරිකාව වෙනුවෙන් අවියක් තනා එයින් ජපානයට පහරදීමටයි.

කිසිම හමුදාමය පසුබිමක් නැති සාමාන්‍ය දන්ත වෛද්‍යවරයෙක් වූ වෛද්‍ය ලිට්ල් මේ සඳහා සැලසුම් කරන්නේ තමන් දුටු ලක්ෂ සංඛ්‍යාත වවුලන් යොදාගෙන ඉන්සින්ඩ්යරි වර්ගයේ බෝම්බයක් ජපානය වෙත මුදා හැරීමටයි. ඔහුගේ න්‍යාය සරලයි.

වවුලන් පරිසරයෙන් අවශ්‍ය තරම් නොමිලේ සොයාගන්නට පුළුවන්.
වවුලන් සිය පැටවුන් රැගෙන යන අයුරින් කුඩා බෝම්බයක් රැගෙන යනු ඇති,
ඒ බෝම්බය රැගෙන යන වවුලන් දිවා කාලයේ නිදහස් කළහොත් ඔවුන් වහලවල් තුරු මුදුන් සහ පාලම් වැනි ස්ථාන වල සැඟවී අඳුරට එක්ව සිටිනු ඇති.
මේ වවුලන් ගෙනයන බෝම්බය කාල බෝම්බයක් ලෙසින් සකස් කළහොත් එයින් ඉතා කෙටි කලක් තුල ලී වලින් සාදන ලද ජපන් නිවාස හා බොහොමයක් ගොඩනැගිලි ගිනි ජාලා වලට පත්කළ හැකිය.

තනි පුද්ගලයෙක් ලෙස ඔහු වෙත මුදල් සහ උපකරණ ඇතුළු සම්පත් නොමැති වීම හරහා මෙය කල නොහැක්කක් වුවත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම සිදු කල හැකිව තිබුනා. එහෙත් සාමාන්‍ය දන්ත වෛද්‍යවරයෙක් හට ඒ උදෙසා ද ඉතා ඉහල සම්බන්ධතා අවශ්‍ය වෙනවා. ඒ සඳහා ද ඔහු අපුරු ක්‍රමයක් භාවිතා කරනවා. ඒ ඉහලම පෙලේ සම්බන්ධතාවක්. ඒ සම්බන්ධතාව වෙන කිසිවකුත් නොව එලිනෝර් රුසවෙල්ට්, ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රුසවෙල්ට් (Franklin Roosevelt) ගේ බිරිඳ. ඇගේ සහයෝගයද ඇතිව ඔහු මේ සැලසුම 1942 ජනවාරි 12 වෙනිදා ධවල මන්දිරයට ඉදිරිපත් කරනවා.

ධවල මන්දිරයේ දී මේ සැලසුම් කියවා බලන ජනාධිපති රුසවෙල්ට් ඒ සැලසුම සිය ලේකම්වරයා මගින් විලියම් ඩොනවන් (William “Wild Bill” Donovan) හට යවන්නේ මේ සටහනත් එක්කයි.

 “ Have a look in to this Bill, this man is not a nut case.”

මේ සටහනත් සමගින් ඇරඹෙන මේ කතාව ඇමරිකානු යුධ සැලසුම් සේවා කාර්යාලය මගින් අනුමත වෙනවා. ඉන් පසු එය එවකට එක්සත් ජනපද යුද හමුදාවේ සිටි ජෙනරාල් හෙන්රි ආර්නල්ඩ් (Gen. Henry Harley “Hap” Arnold) යටතේ ක්‍රියාත්මක වෙන්නට පටන්ගන්නවා.

එලෙස ඇරඹුණු මේ ව්‍යාපෘතිය වෙත කාර්යමණ්ඩල සහ පර්යේෂකයින් බඳවා ගන්නා අතර ඔවුන් නිව් මෙක්සිකෝ හා ටෙක්සාස් ජනපද වල වවුල් ගුහා පීරමින් සුදුසු වවුලන් වර්ග සොයනවා. 1943 මාර්තු මාසය වන විට වවුලන් ගණනාවක් නිරීක්ෂණය කර ඒ අතුරින් ඔවුන් තෝරාගන්නේ මෙක්සිකන් ෆ්‍රී ටේල් (Mexican Free Tail)නමැති වවුල් වර්ගයයි. මේ වවුලා අවුන්ස භාගයක් පමණ වන අතර අවුන්සයක බරක් දරාගෙන පියාසැලීමට සමත් වනවා.

වවුලන් රැඳවූ කුටියක්‌
මෙහිදී ඔවුන් මුහුණ දෙන ලොකුම අභියෝගය වන්නේ අවුන්සයක බරට ඉන්සින්ඩ්යරි වර්ගයේ බෝම්බයක් නිපදවා ගැනීමයි. ඒ එවකට තුබූ කුඩාම ඉන්සින්ඩ්යරි බෝම්බයත් අවුන්ස දෙකකට එහා ප්‍රමාණයේ වීමයි. මේ ගැටලුවේදී ඔවුන්ගේ පිහිටට එන්නේ සුප්‍රකට මිලිටරි නාපාම් බෝම්බයේ නිෂ්පාදකයා වන ලුවිස් ෆයිසර් (Louis Fieser). ඔහු ග්රෑම් 17  (අවුන්ස 0.6) බර නාපාම් බෝම්බයක් සහ අවුන්සයක් බර නාපාම් බෝම්බයක් මේ සඳහා ම සාදන්නේ මේ ව්‍යාපෘතිය කොතරම් වැදගත් එකක්ද යන කියාපාමින්.

එසේ සාදන ලද බෝම්බය සැත්කමක් මගින් වවුලන්ගේ පපුවට තබා සවි කරනු ලබන අතර වවුලන්ව ඉන් අනතුරුව උෂ්ණත්ව පාලනය මගින් නිදිගන්වනු ලබනවා.

බෝම්බ බැඳී වවුලෙක්.

දැන් තිබුනේ වවුලන් බෝම්බයක් ලෙස පොලවට පතිත කිරීමේ ක්‍රියාවයි. එහිදී සාමන්‍ය බෝම්බයකට වඩා වෙනස් ලෙස වවුලන් රැගෙන යාමට සහ බෝම්බය  තුල වන නිදිගැන්වූ වවුලන් හට පොලවට පතිතවීමට පෙර පියාසලා යාමට හැකි වන ලෙස බෝම්බයක් සෑදීමේ අවශ්‍යතාව මතුවූ අතර එයට පිලියමක් ලෙස විශේෂිතව සකස්කළ බෝම්බ සැලසුමක් වෛද්‍ය ලිට්ල් විසින්ම ඉදිරිපත් කළා.
එසේ සැලසුම් කල බෝම්බය තමයි ඔය පහත පින්තුරේ පෙනෙන්නේ.



මේ බෝම්බයේ තට්ටු විසි හයක එකක වවුලන් 40 බැගින් වවුලන් 1040 රැගෙන යා හැකි ලෙස නිමවා තිබෙනවා. එහි වන සිදුරු වලින් උෂ්ණත්ව පාලනය සිදු කරන අතර එය පොලවේ සිට අඩි 5000 උසක සිට අතහරින්නට සැලසුම් කර තිබෙනවා.  ඉන්පසු අඩි 1000 ක උසක දී මේ බෝම්බය ස්වයංක්‍රීයව එහි ආවරණය ඉවත් කරගෙන  පැරෂුටයක ආධාරයෙන් පොලව බලා ගමන් කරත්දී ස්වභාවික පරිසර උෂ්ණත්වය ලැබී නිද්‍රාවෙන් අවදිවන වවුලන් මුදා හැරීමට තට්ටු වෙන් වෙන් වශයෙන් දිග හැරී වවුලන්ට පියාසැරීමට වේදිකාවක් ලෙස සකස්වනවා. මේ වේදිකා එකිනෙකට රැහැන් මගින් සම්බන්ධ වෙනවා. බලන්න පහත පින්තුරය.

දිගහැරුණු තට්ටු සහිත වවුල් බෝම්බය.

මෙසේ මුදා හරින වවුලන් රැගෙන යන නාපාම් බෝම්බය කාල බෝම්බයක් ලෙස සකස් කර තිබෙන අතර මුදා හැර පැය භාගයක කාලයක් තුල දී බෝම්බ ක්‍රියාත්මක වී එකවිටම ගිනි ජාලා මැවෙන්නට පටන් ගන්නවා.

1. වවුල් බෝම්බය සකසමින්. (ජායාරුපයේ මැද සිටින්නේ වෛද්‍ය ලිට්ල් ඇඩම්ස් ය.)
2. වවුල් බෝම්බය බිම හෙලන අවස්තාවක්.
3. කාල්ස්බෑඩ් කඳවුර ගින්නේ වෙළෙමින්. 


මේ බෝම්බය විවිධ පරීක්ෂණ වලට බඳුන් කරමින් සිටියදී කාල්ස්බෑඩ් හි හමුදා අතිරේක ගුවන් කඳවුරු මුලස්ථානය මිනිත්තු කීපයක් තුලදී ගින්නෙන් වැසී යනවා. ඒ අත්වැරදීමකින් බෝම්බ සවිකරන ලද වවුලන් කිහිපදෙනෙකු පලායාම නිසා. ඒ සිද්ධිය සමගින් මදක් පසුබාන මේ ව්‍යාපෘතිය එතැනින් පසු 1943 අගෝස්තු මාසයේ දී ඇමරිකානු නාවික හමුදාව යටතට ගැනෙනවා. ඒ සමගින්ම ඔවුන් එය එක්ස් රේ  ව්‍යාපෘතිය (Project X-Ray) ලෙස නම්කරන අතර  එම වසරේම දෙසැම්බර් මාසයේ දී ව්‍යාපෘතිය ඇමරිකානු මැරීන් හමුදාව වෙත පවරනවා.

ඔවුන් මේ සමගම මේ ව්‍යාපෘතිය කැලිෆෝනියාවට ගෙන යනු ලබන අතර ඩග්වේ අත්හදා බැලීමේ මධ්‍යස්ථානයේදී ජපාන පන්නයේ ගම්මානයක ආකෘතියක් වෙත මුල් වරට මේ අවිය යොදා පහර දෙනවා. එහිදී අති සාර්ථකව ප්‍රතිඵල පෙන්වන මේ අවිය ගැන ජාතික ආරක්ෂක පර්යේෂණ කමිටුව සතු වාර්තා වල මෙසේ සඳහන් වනවා.

“It was concluded that X-Ray is an effective weapon.” “Expressed in another way, the regular bombs would give probably 167 to 400 fires per bomb load where X-Ray would give 3,625 to 4,748 fires”.

කරුණු මෙසේ වුවත් මේ ව්‍යාපෘතිය 1944 පෙබරවාරි 16 වැනිදා නාවුක අද්මිරාල් අර්නස්ට් ජේ කිංග් (Fleet Admiral Ernest J King) ගේ අණින් නැවතීම සිදුවන්නේ ඒ ව්‍යාපෘතිය 1945 මැද වනතුරුම යුද්ධය සඳහා සුදානම් කල නොහැකි බව පැවසුණු නිසාවෙනි. නමුත් ඒ වන විට ද ඇමරිකාව තමන්ගේ ජපාන සතුරා වෙත පහර දීමට දැවැන්ත අවියක් තනා අවසන්ව තිබුණු අතර එය ද මේ ව්‍යාපෘතිය උපන්ගෙයිම නවතාලන්නට එක හේතුවක් වුනා. ඒ වෙන කිසිවක් නොව න්‍යෂ්ටික බෝම්බයයි.

අවසානයේ න්‍යෂ්ටික බෝම්බය හෙළු පසු වෛද්‍ය ඇඩම්ස් මෙවැන්නක් පවසා තිබුනා.

Think of thousands of fires breaking out simultaneously over a circle of forty miles in diameter for every bomb dropped.
Japan could have been devastated, yet with small loss of life
(හිතන්න බිම හෙලන සෑම බෝම්බයකටම හැතැප්ම හතලිහක ප්‍රදේශයක් තුළ දහස්ගණන් ගිනි ජාලා එකවිටම පැනනගින හැටි. මේ තරම්ම ජීවිත විනාශ නොකරම ජපානය භීතියට පත්කරන්නට තිබුණා.)


 ලිපියේ මුලාශ්‍ර : 

අන්තර් ජාලය | විකීපීඩියා අඩවිය | හිස්ටරි චැනලය විකාශය කල වවුල් බෝම්බය ගැන වැඩසටහන.