Tuesday, September 27, 2016

හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය.



සුගිය සතියේ 5 වැනි දින එංගලන්තයේ දී පැවැත්වීමට යෙදුනු මහා යුධ ජයග්‍රහණ පෙළපාලිය සමගින් බ්‍රිතාන්‍යය මහා ජර්මානු අධිරාජ්‍යයට යටත්වීමට කටයුතු යෙදුනු අතර ඊට සමගාමීව යටත්විජිත භාර ලේකම් තුමා මගින් යටත් විජිත සඳහා අවි බිම තබා ජර්මානු රයික් ආණ්ඩුවට යටත් වීමට ලිපි රේඩියෝ පණිවිඩ මගින් එවා ඇත.

ලංකාණ්ඩුවේ යටත්වීමත් සමගින් අප ජර්මානු රයික් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ බව දැනුම් දීමට සතුටු අතර මේ සමගින් අපේ නව පාලනය ඇල්බර්ට් බර්ග්මාන් මහතා භාර ගනු ඇත.."

මේ 2014 දී මම ඔබට හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය ගැන කියන්නට පටන්ගත් මොහොතේ ගෙන ආ ඇරඹුම් වැකි පෙළයි. එදා කිසිදා නොලියු ලියවිලි අතරට එක්වූ ඒ ලියවිල්ල පුරා වසර දෙකකට පසුව සංස්කරණ කීපයක් සමගින් ලඟදි ම ඔබ වෙත තිලිණ කරන්නටයි මේ සුදානම.

එහෙනම් රැඳී ඉන්න, හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය ගෙන එනතුරු.



Saturday, September 24, 2016

කොළඹ වාහන තදබදය සහ විසඳුම්

පාඨක ජනතාවට පළමුව මාගේ ස්තුතිය. බ්ලොගේ ලියපු කාලෙට වඩා නොලියපු කාලේ කියවපු ප්‍රමාණය වැඩියි. ලංකාවේ සිංහල කියවීම් වැඩිවෙලාදෝ මට හිතෙනවා. කොහොම වුනත් ස්තුතියි සහ සතුටුයි.

කොළඹ, යන්න ගියත් ට්‍රැෆික් තියන ගියාම ඊට වඩා ට්‍රැෆික් තියන ලංකාවේ තියන අංක එකේ නගරය තමා කොළඹ. කොළඹ ට්‍රැෆික් ඇයි? මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුර ඇතුලේ තදබදයට පිළිතුරකුත් තියනවා. 

පොඩ්ඩක් හිතන්න කොළඹ නගරයට රැකිරක්ෂා සඳහා දිනකට විශාල ප්‍රමාණයක් මිනිසුන් පැමිණිය යුතු ය. පාසල් සිසුන්, සහ වෙනත් විවිධ අධ්‍යාපනයන් ලබන සිසුන් පැමිණිය යුතු ය. කාර්යාල කටයුතු බොහොමයක් ඉටු කරගැනුම සඳහා මිනිසුන් විශාල සංඛ්‍යා කොළඹ පැමිණිය යුතු ය. වරායන් සහ ගුවන්තොටුපල කටයුතු කොළඹට ආසන්න වීම නිසා බොහොමයක් භාණ්ඩ ප්‍රවාහන වාහන ද කොළඹ අවට විශාල ලෙස පොදී කෑමත් , බොහොමයක් ප්‍රධාන කාර්යාල, (ප්‍රධාන නගරයේ පිහිටීම අනවශ්‍ය ආයතන පවා) කොළඹ පිහිටීම නිසා දෛනිකව නගරයට පැමිණීම ගන්නේ ඉතාම විශාල අගයක්. ඒ එක්කම මේ පිරිස නගරයෙන් පිටවන්නේත් විවිධ වේලාවන් වල. ඒ අතරේ පාසල් සහ කාර්යාල වේලාවන් කියන්නේ තදබදය වැඩිම වේලාවන්. එයට මුලිකවම හේතුන් ලෙස පාසල් වේලාවන් තුල පාසල් අසල පොදී කන සෙනග මෙන්ම පාසල් වෑන්, බස්රථ වැනි වාහන වල පැමිණීම, මාර්ග අවහිර වන සේ නවතා සිටීම, සෙනග පැටවීම බෑම වැනි ක්‍රියාකාරම් පෙන්වා දිය හැක. මෙයට සමාන ක්‍රියාවලියක් කාර්යාල වෙලාවේදී සිදුවන අතර එහිදී තවත් යමක් සිද්ධ වේ. එනම් පෞද්ගලික වාහන මගින් නිවෙස් වෙත / කාර්යාල වෙත යන ජන කොට්ඨාශයක් මාර්ගයට අවතීර්ණ වීමත් එමගින් මාර්ගයේ ඉඩ අනවශ්‍ය ලෙස නාස්තිවීමත් ය. වෙසෙසින්ම ජීප් රථ මෝටර් කාර් රථ වැනි වාහන මාර්ගයේ තමන්ගේ රථයේ මුළු පැටවුම් ප්‍රමාණයවත් නැතිව ධාවනය වීම තුලින් අනවශ්‍ය ලෙස සහ ඉතාම කෑදර ලෙස මාර්ග ධාරිතාවය භාවිතාකිරීම මෙම කාලය තුල සිද්ධ වේ. 


මිනිසුන් 60ක ප්‍රවාහනය සඳහා මාර්ග ඉඩ වැයවීම



ඉඳින් මෙයට විකල්ප නැතිද?

බහුලවම කතාබහට ලක්වන විකල්පය නම් නගරය තුල බස් ධාවනය කිරීමේ සංකල්පයයි. ප්‍රායෝගිකව මෙය ඉතාම හොඳ විසඳුමක් ලෙස දක්වාලිය හැකි අතර එහි දුර්වලතා ද පෙන්වා දිය හැක. මේ ක්‍රමය යටතේ නගරයට පිවිසෙන ද්වාර අසල ඇති විශාල මෝටර් රථ නැවතුම් මගින් නගරයට පැමිණෙන සියලුම / හෝ ආසන සංඛ්‍යාවක් නොපිරුණු, බස් නොවන රථවාහන උරාගෙන (නවත්වා) ඒ වාහන වල සිටින සෙනග පොදු බස් සේවා මගින් නගරයේ ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමත් නැවත රථගාල් වෙත රැගෙන ඒමත් සිද්ධ කරයි. මෙහි වන සාධනීය ලක්ෂණය නම් නගරය තුල අනවශ්‍ය ලෙස වාහන ගමන්කිරීමක් සිද්ධ නොවීම නිසා මාර්ගයේ ඉඩ සාධනීය මට්ටමකින් ඉතිරිවීමයි. මේ ගැන වටහා ගන්න ඉහල උදාහරණය බලන්න, මිනිසුන් හැටක් වෙනුවෙන් වන ප්‍රවාහන ධාරිතාව බස් රථයක් සමගින් කොතරම් කුඩා ද?

තවත් විකල්පයක් වන්නේ බයිසිකල් ධාවනය සඳහා ඉඩ හසර වෙන්කිරීමත් බයිසිකල් ප්‍රවාහනය නගරයේ දිරිමත් කිරීමත් ය. මේ ඔස්සේ ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ ප්‍රවාහන ඉඩ පමණක් නොව හරිත නගර සංකල්පය ක්‍රියාවට නැංවීම ද වාතය යම් පමණකට හෝ පිරිසිඳු ලෙස තැබීම ද මෙම සංකල්පයේ අරමුණු වේ. යුරෝපයේ බොහොමයක් රටවල් මේ ක්‍රමය ක්‍රියාවට නංවමින් සිටීම වර්තමානයේ දකින්නට හැකිය.

බයිසිකල් ධාවන ඉඩ පෙන්වන අවස්තාවක්.


තව දුරටත් සලකා බැලීමේ දී පොදු ප්‍රවාහන ක්‍රම වන දුම්රිය සේවා දියුණු කිරීම, උමං දුම්රිය ඇති කිරීම, කාර්යාලිය අනුග්‍රාහක ප්‍රවාහන සේවා (office sponsored transports) ලෙස බස් රථ ප්‍රවාහනය සැපයීම දක්වාලිය හැක.

ශ්‍රී ලංකාවේ තත්වය.

ශ්‍රී ලංකාවේ තදබදය පිරි ඉතිරී ගිය නගර ලෙස කොළඹ නගරය ද එතරම් නොවුව ද තදබදය පවතින නගර ලෙස අවශේෂ ගාල්ල මහනුවර වැනි නගර ද පෙන්වා දිය හැකි වේ. මෙයිනුත් කොළඹ නගරය වාණිජ කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රධාන තැනක් ගනියි. කොළඹ නගරය තුල ඇති අනවශ්‍ය ආයතන නගරයෙන් පිට වෙනත් ස්ථාන වල ස්ථාපිත කිරීම මෙම ගැටලුව දිර්ඝකාලින ලෙස සුව කල හැකි එකක් බවට පත් කරගත හැකිය. මෙම කුලකයට බැංකු ප්‍රධාන කාර්යාල, නුතන ආයතන (call centers, outsourcing offices) වැනි දෑ මෙන්ම රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යංශ ද අයත් වේ. මේවා එක්කෝ නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේ ස්ථාපිත කල යුතු ය, නොඑසේ නම් මහනුවර පොල්ගොල්ල හෝ ගන්නොරුව ප්‍රදේශයේ හෝ ස්ථාපිත කල යුතු ය. ඒවා වෙත දුම්රිය සහ බස් මාර්ග යන දෙකොටසම පැවතීම මගින් පොදු ප්‍රවාහන සේවා වලින් එම ස්ථාන වෙත පිවිසීම දිරිමත් කල යුතු ය. පැමිණෙන ජනයාට අවශ්‍ය සියලු දෑ එම ස්ථානයේ ම පවත්වාගෙන යාම මගින් ජනතාව නැවත ප්‍රධාන නගරය සමග එක්වීම වැළැක්වීමත් මෙහි සැලසුමේ ම පැවතිය යුතු ය.

අද දින වන විට ලංකාවේ යටිතල පහසුකම් ඉතාම හොඳින් පැවතෙන නිසා මෙය සිදුකිරීම ද  අපහසු නොවනු ඇත. එසේම මෙවැන්නක් ස්ථාපනය කිරීම මගින් රජයට ද වාසි අත්වනු ඇත්තේ කෙටිකාලීනව නොවනු ඇත. පෞද්ගලික අංශයට තමන්ගේ ආයතන මෙවන්වූ ප්‍රදේශවල පිහිටුවීමට බලපෑම් කිරීම රජයක් ලෙස සිද්ධ කිරීම මගින් අනවශ්‍ය තදබදය මගහැරවීම මෙන්ම සියළු ප්‍රදේශ සංවර්ධනය කිරීම ද සිද්ධ කල හැකිවනු ඇත.ජනඝනත්වය අනවශ්‍ය ලෙස නැති නිසා ව්‍යවසන තත්වයන්ගේ දී ද, සංවර්ධන කටයුතු වල දී ද මෙන්ම රෝග පාලන සහ පහසුකම් සැලසීම ආදී සියලු අවස්ථා වල දී පහසුවක් වනු ඇත.

ඔබේ අදහස් මොනවාද? අපි සංවාදයක් ගොඩ නගමු.

Tuesday, August 30, 2016

තාර බර ඇරලා කෙට්ටු වෙන්න ඕනෙද? මෙන්න ක්‍රමේ..

මේ ලඟදි අපේ විචාරකතුමා ගේ බ්ලොගර් එකේ මගේ තුන් මාසේ  බර අඩුවීම ගැන කියල සටහනක් දැම්මම බ්ලොග් ලියන ගස් ලබ්බා සහ ඩුඩ් මගෙන් ඉල්ලීමක් කළා ඒ ගැන කියන්න කියල. සටහන පොඩි නැති නිසා පෝස්ට් එකක් ම දැම්ම. ඉතින් මෙහෙමයි වැඩේ වෙන්න ඕනේ ..

( අඃ.. ලංකාවේ ඉද්දි නම් මේ කියන විදියට කන්න අමාරු වේවි. මොකද මෙහෙ ඉතිං හැම එකම හරි අඩුයි නේ. මම මේ ක්‍රමය කලේ මැදපෙරදිග දී.ඒ නිසා මට මේ පෝස්ට් එක කියවලා මේ කොටස නොකියවා ඉන්න අයට නෝ ඩිස්ක්ලේමර් ඈ..)


සම්පුර්ණ මාස තුනක් ඇතුලේ,

තෙල් සහිත ඕනෑම කෑමක් නතර කරන්න. පිටි සහිත කෑම සහ බත්. නතර කරන්න. විශේෂයෙන් රාත්‍රී ආහාරය සඳහා බත් අනුභව කරන්නේ නම් නවත්වන්න. පැණිබීම ජාති නම් කටේ තියන්න හිතන්නත් එපා. අරක්කු? එපා.

මේ ටික පුරා තුන් මාසයක් හෙවත් දින සියයක් (අනුවක් වගේ තමා, ඒත් තව දින දහයක් දාගන්න වෙනවා ) කරන්න බැරි නම්, මේ පෝස්ට් එක ඔබට නොවේ. මෙතැනින් එහාට යාමට දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය වේ.

ඔබ මේ ටිකත් කියවන්නේ නම් ඉතිරි කොටස වෙත සාදරයෙන් පිලිගන්නවා.

තරබාරු වෙන්නේ ඇයි?

ශරීරයේ අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි පරිබෝජනය කිරීම තමා ප්‍රධාන හේතුව. අතිරික්ත කැලරි මේදය විදියට ශරීරය සකසා අපේ ඉන වටා, උදරය වටා අතුරා ටිකෙන් ටික අපේ ශරීරය පුරාම අතුරනවා. සීණි, පිටි වගේම තෙල් යන සියල්ල ගෙනියන්නේ කැලරි සංචිත. ඉතින් මේවා කෑමට ගන්න ප්‍රමාණ වැඩි වුණාම නොදැනීම තරබාරු වෙනවා.

හරි. මුලින්ම කියන්නේ කන්න ඕනේ දේවල්. වේල් වල පිළිවලින්.

උදේ කෑම.

මේ වෙලාවට ඔබට කන්න පුළුවන් කෝන් ෆ්ලෙක්ස් එකක්, කිරි ටිකක් එක්ක යම්තම් සීනි දාල ඔබට කන්න පුළුවන්. එහෙමත් නැතිනම් එළවලු. පලතුරු දාල හදන සැලඩ් එකක් නම් තවත් හොඳයි. මතක ඇතුව සැලඩ් එකට ගාලික් පේස්ට් යහමින් රස පමණින් එකතු කරන්න. ලුණු එහෙම දාන්න එපා. ඕට්ස් වගේ කන්නත් පුළුවන්

උදේ කන්නේ කොන්ෆ්ලෙක්ස් හරි ඕට්ස් වගේ නම් ග්‍රෑම් 200ක් (කිරි සමග මුළු බර) වෙන්න කන්න හැකියාව තියෙනවා. සැලඩ් නම් ඉතින් ග්‍රෑම් 250 - 300 ක් කෑවා කියල අවුලක් නෑ. තව ඔබේ රුචිකත්වය මත ඇපල් ගෙඩියක් විතරක් වගේ කන්නත් පුළුවන්. ඔව්, උදේ තේ එක නම් නෑ.

ඊට අමතරව කිසිවක් කන්න කියා මා ඔබට කියන්නේ නෑ. බීම වෙනුවට වතුර පානය කරන්න. බිමක් අවශ්‍යම නම් කැලරි 60කට වඩා අඩුවෙන් ඇති බිමක් තෝරා පානය කරන්න. (ලේසියෙන් හම්බවෙයි කියල නං හිතන්න එපා ඔන්න.)

මේ කික් ස්ටාටර් එක.

දවල් කෑම.

ඔන්න දැන් වැඩ කරලා බඩගිනි වෙන වෙලාව. ස්ටීම් කරපු චිකන් බ්‍රෙස්ට් ග්රෑම් 300ක් වගේ එකක් එක්ක අර උදේ හදපු සැලඩ් එක නම් මරු.

සැලඩ් එක හදන විදිය කියන්න වෙනවා. තක්කාලි අත්‍යාවශ්‍යයි, ගෙඩියක් හැමදාම කෑවත් පාඩු නෑ. ගාලික් පේස්ට් එක අවශ්‍යයි. එළවලු විදියට නම් කොළ වර්ගයක්, බේබි කෝන්, කැරට්, බ්‍රොකොලි එහෙම හොඳයි. වට්ටක්කා, රතු අල එහෙම නම් ගන්න එපා. පිටි ගතිය වැඩියි. අර්තාපල් පොඩ්ඩක් අවුලක් නෑ නමුත් හැමදාම නම් හරියන්නේ නැතිවෙයි. පොඩි වෙනසක් වෙන්න පාට පාට බෙල් පෙපර් ටිකක් දාගන්න. ඔලිව් (කැලරි අඩු වෝට බේස්ඩ් ඔලිව්) ෆෙටා චීස් ටිකක් එහෙමත් මේකට අවශ්‍යයි. උදේ කෑමට හදනවා නම් ටුනා (වයිට් ෆින් - වෝටර් බේස්ඩ්) ටිකක් දාගන්න. බේබි කෝන්, කැරට් සහ බ්රෝකොලි ස්ටීම් කරගන්න.

රාත්‍රී කෑම.

මේකට මම ගොඩක් වෙලාවට කන්නේ කොන්ෆ්ලෙකස් ග්‍රෑම් 200ක් වගේ.


මෙතුවක් දුර කියවූ ඔබට ස්තුතියි. මම පෝෂණවේදියෙක් නම් නෙවෙයි එත් මේ වැඩේ කලේ ගොඩක් කාලයක් මට වද දුන් මගේ තරබාරුව නැති කරන්න ගොඩක් දුර කියවලා ගත්තු දැනුම එකතු කරගෙන. කිලෝ 98ක් ව හිටි මම කිලෝ 80ක් දක්වා බර අඩු කරගත්තේ මේ කෑම වේල් වලින් විතරක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?

මේ කෑම වේල් සියල්ලේම කැලරි එකතුව කැලරි 2500ක් කිට්ටු කරන්නේ නෑ. ඒ නිසා ශරීරය තමන්ට ශක්තිය සැපයීමට මදි වන කැලරි ප්‍රමාණය සපයා ගන්නේ ශරීරයේ ඇති සංචිත වලින්. මුලින්ම ඔබේ මුහුණ කෙට්ටුවී යනු ඇති. ක්‍රමානුකුලව මාස තුන ඇතුලත ඔබට හිතාගැනීමට අපහසු ලෙස ඔබව කෙට්ටු වේවි.

මුලිකවම පළමු සති දෙක ඔබට යම්තම් බඩගින්නක් දැනේවි. සමහර විටක එය දින කීපයක් වෙන්න පුළුවන්. ඔබට අනිකුත් සාමාන්‍ය කෑම ඉතා සුවඳින් දැනේවි. ඒවා මදකට යටපත් කරගන්න. මාස තුනකින් ඔබ කෙට්ටු වූ පසු ඔබට ඒ කෑම කෑමට හැකිවේවි. එහෙත් ඒ කෑම කන විට ඔබට මහා ගොඩක් කෑමේ අවශ්‍යතාව මතු නොවේවි. ඒ එක්කම ඔබට අපුරු සැහැල්ලුවක් එක්ක මනා සෞඛ්‍ය සම්පන්න බවක් දැනේවි.

ඔන්න ඉන්ස්පයරේෂන් එකක් විදියට මං තුමා ගේ ෆොටෝ තුනක්. පළමු එක 2014 ජුනි මාසේ වගේ ඊට පස්සේ එක ඒ අවුරුද්දෙම සැප්තැම්බර් වල. තුන්වෙනි එක 2015 ජනවාරි මාසේ දී. මාස හතරකින් පොඩ්ඩක් ව්‍යායාම එහෙම කරල අවශ්‍ය පමණට ඉන්නකොට ගත්ත එකක් ඒ.

1


2
3





Wednesday, August 24, 2016

රැකියා නොමැති ඉන්දීය තොරතුරු තාක්ෂණ වෙළඳපල.

රස්සාවක් සොයා.. බොහෝවිටම මේ පුද්ගලයින් දෙතුන්දෙනෙකු සඳහා වන හිඟයක් විය හැක.

න්දියානු තොරතුරු තාක්ෂණ වෙළඳපල තුල මෘදුකාංග ඉන්ජිනේරුවෙකුට නම් රැකියාවක් සෙවීම අතිශය අපහසු සහ දුෂ්කර කාර්යයක් ලෙස මා සඳහන් කලොත් ඔබ ඇතැම්විට මවිත වනු ඇත. එය එසේ ය.  ඉන්දියානු විශ්ව විද්‍යාල සහ තාක්ෂණ විද්‍යාල පද්ධතිය මගින් වසරකට බිහි කරන උපාධිධාරීන් ගණන මිලියන 1.5ක් වන අතර ඔවුන්ගේ බහුතරය තාක්ෂණ උපාධිධාරීන් වේ. ඒ අතුරෙන් රැකියා සඳහා වසරකට සුදුසුකම් ලබනුයේ මිලියන භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් බව ඉන්දියානු සංඛ්‍යාලේඛන පෙන්වා දේ.වසර 2015 වන විට වූ 3345ක් පමණ ඉන්දියානු තාක්ෂණ ආයතන (විශ්ව විද්‍යාල සහ අනුබද්ධ තාක්ෂණ විදුහල්) වලින් බහුතරයක් වූ ආයතන 700 කට එහා පිහිටා තිබුනේ අන්ද්‍රා ප්‍රදේශය තුලය.

ඉන්දියානු බහුතරය අද දින රැකියා වෙළඳපල තුල අතරමං වී සිටින අතර ඔවුන්ට තිබු පහසුම පිහිට වුයේ ඉන්දීය බහුතරයක් වෙසෙන මැදපෙරදිග කලාපයයි. බහුතර ඉන්දියානුවන් පෙර දී ඇමරිකානු සිහිනයේ ජිවත් වූ නමුදු ඇමරිකාවේ 2008 ආර්ථික අවපාතයත් සමගින් එම සිලිකන් වැලි සිහිනය බොඳවී යාම ඇරඹිණි. මැදපෙරදිග ද විසා කෝටා අහිමිවීමත්  (රටක් විසින් වෙනත් රටක පුරවැසියන් හට පැමිණ නවාතැන් ගැනීමට දී ඇති ප්‍රමාණය) සමග ඔවුන්ගේ බහුතරයට දැන් රැකියා විරහිතව සිටීමට හෝ ඉතා සුළු වැටුප් සඳහා රැකියා කිරීමට සිදුව ඇත.

මේ ගැටළුව තවත් ඔඩු දුවන්නේ ඉන්දීය තොරතුරු තාක්ෂණ ශිල්පින් රජයට විශාල බරක් වීමත් ඔවුන් ගේ ප්‍රතිශතය එන්න එන්නම වැඩි වීමත් නිසා මධ්‍යම ආණ්ඩු වෙත එල්ල වන පීඩනය වැඩිවීමත් නිසාවෙනි. රැකියා උත්පාදනය කිරීම සඳහා ඉන්දියාව සිදු කල විශාලතම කාර්ය භාරය වූ කෝල් සෙන්ටර් (විදේශ ව්‍යාපාර වල දුරකථන ඇමතුම් පිළිතුරු දීමේ සිට පාරිභෝගික සේවා ඇමතුම් කටයුතු දක්වා සිදු කිරීම). තම රට තුලට විශාල ලෙස ගෙන්වා ගැනීමේ සිට විශාල ලෝ ප්‍රකට සමාගම් සඳහා ඉතා ඉහල පහසුකම් සහිතව භුමිය බදු දීම (මයික්‍රොසොෆ්ට්, ඩෙල් වැනි ආයතන) දැක්විය හැකි වුවද පවත්නා තත්වය සමනය කිරීමට එය ප්‍රමාණවත් නොවීම ඉතාම ඛේදනීය තත්වයක් සේ පෙනේ.

ඉන්දියානු කෝල් සෙන්ටර් ව්‍යාපාර.
මෙම තත්වය තුල ලංකාව ඉන්දියාවේ ඉතාම ආසන්න පහසුතම ගොදුර බවට පත්වන්නේ අපේ රටේ සීග්‍ර තොරතුරු තාක්ෂණ වර්ධනය සමගින් ඉහල වටුප්තල වෙත අතවනනා රැකියා විවර වීම සහ ඉතාම උගත්, එමෙන්ම බුද්ධිමත් තොරතුරු තාක්ෂණ ශිල්පින් අප රටේ බිහිවීම තුලින් බොහෝ ලෝක ව්‍යාප්ත ආයතන ලංකාවේ තම ආයතන ස්ථාපිත කරමින් ඉන්දීය රැකියා වෙළඳපල අකුලාගෙන අප රටට පැමිණීම මත වන තත්වයේ ප්‍රතිපල ලෙසය. එවන් වූ තත්වයක් මත ඉන්දීය රජය රාජ්‍ය මැදිහත්වීමක් සිද්ධ කරමින් එක්ටා වැනි ගිවිසුම් හරහා මේ පිඹුරුපත් සකසන්නේ ඔවුන්ගේ ශ්‍රමිකයන් හට ගිලිහෙන වෙළඳපල බලහත්කාරයෙන් හෝ රඳවා තබා ගැනීමට ය.

ඉහත ඔබට විස්තර කල ලෙස මේ ගිවිසුම් සාර්ථක වුව හොත් මිලියන ගණනක විරකියාවකින් පෙලෙන ඉන්දීය තොරතුරු තාක්ෂණ ශිල්පින් නුදුරේම ලංකාවේ දී ඉතා අඩු මුදලට ඔවුන්ගේ සේවා සැපයීම වෙනුවෙන් පැමිණෙනු ඇත. ව්‍යාපාරික දෘෂ්ඨි කෝණයෙන් බලන විට එය මහත් වූ ලාභ සඳහා අත වනන කාරණයක් නිසා බොහෝ ආයතන ඔවුන්ගේ සේවා සපයා ගනු ඇත. එමෙන් ම ලාංකීය විදේශ විනිමය ඉතාම මහත් සේ විදේශයකට ඇදී යාම වේගයෙන් සිද්ධ වනු ඇත.

පේනවා නේ තත්වේ? සෝචනීයයි..
එමෙන්ම ලාංකීය තොරතුරැ තාක්ෂණ ශිල්පින් හට මේ ගැටලුවේ දී නිසි පිළියම් නොලැබී යාම නිසා ශ්‍රම අතිරික්තයක් කෘතිමව ඇතිවන අතර ඔවුන්ගේ වැටුප් ලෙස ලංකාවට ලැබූ යම් මුදලක් වේ ද, එය නොලැබී යාම තුලින් ලාංකීය ආර්ථිකය ද කෘතීම තත්වයක් යටතේ අඩපණ වනු ඇත. අපේ රටේ දැනටමත් ශ්‍රම අතිරික්තයක් ඇති බව මැදපෙරදිග වැනි රටවල් වෙත තොරතුරු තාක්ෂණ ශිල්පින්, ගණකාධිකාරීවරු, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් ගේ පිවිසීම වැඩිවීම මත හඳුනාගත හැක. එයට හේතුන් වන්නේ එම වෘත්තීන් වෙත නිසි පරිදි ගෙවීම් නොලැබීම සහ අඩු වැටුප් මත වැඩ කිරීමට සිදුවීම නිසාවෙනි. බොහෝ විටම අඩු වැටුප් ලැබෙනුයේ ඉල්ලුමට වඩා සැපයුම ඇති අවස්ථාවල ය.

එසේ නම් ඉන්දීය ප්‍රවේශය මත සිද්ධ වන තත්වය කෙබඳු වේ ද?

Friday, February 26, 2016

ගුගල් යුනිකෝඩ් අපලය.

ක්‍රෝම් අපලය යනු ගුගල් ක්‍රෝම් හරහා සිංහල කියවීම / ලිවීම සිදු කරන සියල්ලන්ටම පොදුවේ ඇති ගැටළුවකි. එනම් සිංහල අකුරු නිසියාකාරව නොපෙනීම නැතිනම් font rendering නිසියාකාරව නොවීම. 

සිංහල බ්ලොග්කරුවෙක් / කමෙන්ට් කරන්නෙක් / පාඨකයෙක්  විදියට ඔබටත් ක්‍රෝම් අපලය තිබේද? එසේ නම් අපි සියල්ලෝම එකතුවී ඒ ගැන ගුගල්ට කියමුද?

ගුගල් ක්‍රෝම් යනු මේ වන විට වැඩියෙන්ම භාවිතා වන අන්තර්ජාල පිවිසුම් මෙවලමක් වී හමාරය. එකක් එහි වේගවත්බව නිසාත් භාවිතයේ පහසුව නිසාත් බොහෝ දෙන මෙය වත්මනේ භාවිතා කරයි. (මේ ගැන නං ගොඩක් විවේචන ඇත. ඇත්තෙන්ම එහි වේගය පරිඝනකයේ මතකය කා දමන්නක් වුවද නව සංස්කරණය සහ වේගය ගැන පැවසීමේදී එය වැඩිදියුණු කර තිබෙනු දැකිය හැකි අතරම මතක භාවිතය ද මදක් අඩු වී ඇත..)

නව සංස්කරණයක් පැමිණීම ඔස්සේ ගුගල් ක්‍රෝම් ද සිංහල බ්ලොග් ලියන කියවන සැමට කොකා පෙන්වමින් යන කාලයක අපේ එකමුතුව පෙන්වා මේ අඩුව  නිවැරදි කරගන්නට උත්සාහයක් නොදරන්නේ ඇයි ද මට සිතේ. ඒ නිසා මේ පෝස්ටුව මගේ බ්ලොග් කටුවේ එල්වීමට මට සිතිනි.

හරි, අටුවා ටීකා ටිප්පනි ඉවරයි කරන්න ඕනේ මෙච්චරයි, ක්‍රෝම් එකේ දකුණු පස ඇති මෙන්න මේ වගේ   බොත්තම වෙත යන්න. එය ක්ලික් කල පසු ලැබෙන මෙනුවේ අවසාන තේරීමට කලින් එක (අන්තිම එකේ සිට එකක් ඉහලට) තෝරන්න. ඔව්, හෙල්ප් (Help) කියල තියන එක තමා, J. එහි තේරීම් තුනක් තිබෙන අතර අවසාන තෝරාගැනීම කරන්න(Report an Issue) , නැතිනම් කෙටි පාර Alt + Shift + I
මේ ඔස්සේ ඔබට මේ දෝෂය ගැන ගුගල්ට කීමට හැකියාවක් ඇත.

ඉතිං අපි ගුගල්ට එහෙමවත් කියල හැදෙන්න කියමු නේද?



Monday, January 4, 2016

රැල්ල, තරුණ පරපුර සහ මතවාද? රට යන්නේ කොයිබටද?

ද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මතවාදී වෙනසකි.අද පවතින්නේ බොහොම පරිහානියට පත්වූ සමාජ ක්‍රමයක් බව රටේ තරුණ රැල්ල දෙස බැලීමෙන් තේරුම් ගත හැක. පලදාවක් නැති දෑ ගැන බොහෝ ප්‍රබෝධමත්ව කතා බහ කරන ඔවුහු සාහිත්‍ය,කලාව,රසාස්වාදය ගැන මෙලෝ හසරක් නොදනිති. තර්කයට ඔබින දෑ වටිනා දෑ සමග දැනුම ඔවුහු ළඟ නැත්තේමය. හුදෙක් හර සුන් අරුත් විරහිත දෑ පසුපස පන්නන සමාජය තුල විචාර බුද්ධිය යනු හුදෙක් කට වචනයටම සීමා වුවක් බව පසක් කරයි.

බොහෝ තරුණ කොටස් අද දින අලවි වන්නේ වෙළඳපල අලවි වන භාණ්ඩ හා සේවා පරදවා ය. ඔවුන් අලවි වන්නේ දේශපාලන කණ්ඩායම් මත අතකොලු ලෙසය. තරුණ ජවය අවිය කොටගෙන සියලු දේශපාලකයින් අද ආගම්, ජාතින් භේද කරවමින් සිය දේශපාලන අභිමතාර්ථ සපුරාගැනීමට අහිංසක තරුණ පරපුර බිලිගනිමින් සිටීම ඉතා ඛේදනීය වන අතර එයින් මිදීමට තරුණ පරපුර ශක්තිමත් නොවීම දුර්භායකි.

ඒ සඳහා හේතු ලෙස, අධ්‍යාපනය පිරිහීම සහ අඩපන කිරීම කාලයක සිට දේශපාලන උවමනා මත සිදුකිරීම නිසා වූ අතුරුපලයක් ලෙස මට හැඟෙයි. ඉතිහාසය නොදත් සාහිත්‍යය කලාව සහ රසය නොදන්නා තැනකට පත්කළ පරපුරකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද යන්න ද ගැටළුවකි.

පන්සල / පල්ලිය හුදෙක් දේශනා වලට මිස ආධ්‍යාත්මය දියුණු කිරීමට උදව් වන ස්ථාන නොවීම මගින් තව දුරටත් මේ පරිහානිය සීග්‍ර කිරීමක් සිද්ධ වේ. ආගමික නායකයින් සියලුම දෙනා තමන්ගේ ආගම දේශනා මගින් කියාදීම පමණක් නොව ආගම තුල වන හරය ඉතා සරලව කියන්නේ නම් මේ විනාශය මීට වඩා යම්තාක් දුරකට හෝ අඩු කරගත හැකිව තිබුණු අතර තවමත් ඒ සඳහා ප්‍රමාදයක් මම නම් දකින්නේ නැත.


කැමැත්තෝ සිතත්වා.. දකිත්වා..

Wednesday, April 1, 2015

අධ්‍යාපනයේ කෙටි කතාවක්..

අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රතිඵල නිකුත් වී තිබේ.. පොඩ්ඩන් කීප දෙනෙකු දිස්ත්‍රික් පදනමින්, පාසල් පදනමින්, සහ ජාතික පදනමින් ඇගයීම් ලබනු පෙනේ. ඔවුන්ට මගේ හදපිරි සුභාශිංසන පිරිනමමින් කතාව වෙනතක ගෙන යමි.

ඊයේ දින මා දුටු දෙයක් වූයේ සාමාන්‍යපෙළ ගණිතය අසමත් සිසුවියක් ගෙළ වැළලාගෙන ඇති බවය. මෙවන් සිද්ධීන් අද වන විට ඇසීමට ඇතත් මීට දශකයකට පෙර දී නම් අප අත්දුටුවේ නැති බව කීමට අවැසි වේ. ඒ එදා සිසු පරපුර අතර ද තරඟයක් නොවී නොව, වැඩිහිටියන් එදා තරමක් දුරට ළමා සමාජය සමගින් ඇති ගැවසීම වැඩිවීමත් ළමයින් හට මෙවන් දෙයක් ලෝක විනාශය ලෙස දකින්නට අවකාශ නොදීමත් යන කාරණා ගෙනහැර දැක්වීමට මට සිතේ. නමුදු සත්‍යය එය ම දැයි කීමට මා පරීක්ෂණ නොකළ නිසා මෙතැනින් නවතිමි.

අද වන විට දී සිසුන් විෂය ධාරාව අසමත් වීම ලෝක විනාශයක් ලෙස දකින්නේ දෛවයේ සරදමකින් දෝ මට සිතේ. ඒ අද අධ්‍යාපනය සකස්වී ඇති අයුරෙනුත් විවිධ විෂයන් හදාරා පිටව යන සිසුන් වෙනුවෙන් ඉහල අධ්‍යාපනය හැදෑරීමට ද මෙවන් දෑ බාදාවන් ලෙස තිබීමත් මම දකින්නේ දෛවයේ සරදමක් සින් නිසාය. මන්ද යත් උසස් අධ්‍යාපන පාඨමාලාවට යන්නවුන්ගෙන් අසන්නේ ද සාමාන්‍යපෙළ හෝ උසස්පෙළ සමත් ද යන්න ය, නමුත් උසස් අධ්‍යාපන පාඨමාලාව ඇත්තෙන්ම ගිරාපෝතකයින්ට නොව බුද්ධිමතුන් හට වන දෙයක් බව මගේ මනස කියා පායි. ඒ නයින් බලන කල අද දිනයේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන අයට මෙන්ම සුදුසුකම් නොලත් අය සතුව ද බුද්ධිය එක ලෙස තිබිය හැකි බැව් මම කියමි.

නමුත් අද අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරන්නේ නම් එහි දී සිද්ධ වන්නේ ළමයාගේ තාර්කික බුද්ධිය මෙහෙයවා පිළිතුරු සැපයීම කල යුතු හෝ පිළිතුරු ගොඩනැගිය යුතු ප්‍රශ්න සමුහයකින් ළමා මනස කෙතරම් තාර්කිකද විචාර බුද්ධිමත් ද යන්න මැනීම නොව, ළමයා කෙතරම් ප්‍රමාණයක් දරාගන්නේ ද නො එසේ නම් මතකය මගින් කිව හැකිද යන්න පිලිඹද කරන මතක පරීක්ෂණයක් බවයි, මම මේ ගැන කියන්නේ අද දිනයේ දකින බොහොමයක් අධ්‍යාපන ප්‍රශ්න සකස්වී ඇති රටාවෙන් ඔබට පරණ ප්‍රශ්න පත්‍ර සියයක් හෝ දහසක් ගෙන බැලුවොත් ඒ ප්‍රශ්න පත්‍ර වල ගැබ්වී ඇති ප්‍රශ්න ම පෙරලා ඇසීමත්, පිළිතුරු පොතේ පරිදි ම නොවුනහොත් අසමත් කිරීමත් යන පදනමිනි.


ඉතිං මෙසේ වූ අධ්‍යාපනයක් ඇසුරින් බිහිවන ළමුන් තර්කානුකුලව වැඩ කරාවිද යන්න සිතීම ද මේ ක්‍රමය වෙනස්වීමට කාලය මේ ද යන්න සිතීම ද මම ඔබට භාර කරමි. ඔබ දකිනා දරුවන් හෙට දිනයේ රට මෙහෙයවන්නේ ද මේ ක්‍රමයට ම නොවන්නේ ය කියා කෙසේ නම් සිතිය හැකිවේද?

Wednesday, March 18, 2015

ජායාරුපකරණය 6 :: පසු සැකසුම් කළාව.


ගොඩක් දවසකින්. කොළමේ නම මාරු කරන්න හිතිලා තියෙන්නේ මටත් දැන්. ක්සැන්ඩරයාගේ යල මහ කොලම කියල දැම්මනං හොඳයි නේද? මොනවා කරන්නද, රාජකාරි බහුල නිසා වැඩිම කාලයක් යොදවන්නේ ඒ වැඩට.

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසු සැකසුම් ශිල්පය ගැන පොඩි දේවල් ටිකක්. ඉතිං මොකද්ද මේ පසු සැකසුම කියන්නේ? පසු සැකසුම එහෙමත් නැතිනම් පොස්ට් ප්‍රොසෙසින් විදියට හඳුන්වන කළාව ජායාරුපකරණයට ගසට පොත්තක් සේ බැඳී තිබෙන කලාවක් නැතිනම් කාර්යයන් ගණනාවක එකතුවක්. මේ කළාව ජායාරුපයකට කැමරාවෙන් පමණක් කල නොහැකි එනමුත් එයට අවශ්‍ය, තවත් අගයක් එකතුවන, යම් වෙනස්කම්, අඩුපාඩු මගහැරවීම් වැනි බොහෝ දෑ සිදු කරන පරාසයක ගමන් කරනවා.


මුල්ම කාලයේ දී සේයා පටල මගින් ජායාරුප ගන්නා කාලයේ දී අඳුරු කාමරයක සිට සිදු කල මේ පසු සැකසුම් කළාව  අද වන විට ඩිජිටල් තාක්ෂණය හරහා  ඩිජිටල් සේයාරූ ගැනීමත් සමගින්ම පරිඝණකය වෙත ලඟා විට තිබෙනවා. ඒ අනුව පරිඝණක උපාංග මෙන්ම මෘදුකාංග ද මේ කළාව වෙනුවෙන් අද වන විට සැකසී තියනවා.


ඇඩෝබි සමාගම තමයි වෙළඳපල දැනට සිටින ඩිජිටල් ඩාක් රූම් හෙවත් ඩිජිටල් අඳුරු කාමර නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා වන්නේ. ඩිජිටල් අඳුරු කාමරයක් යනු තවත් එක (හෝ කිහිපයක් වූ) පරිඝණක මෘදුකාංගයක් (හෝ කීපයක්) වන අතර ඒ මෘදුකාංගයන් හරහා ඔබට සැබෑ ලොවේ දී අඳුරු කාමරයක පටල සේදීමේ සිට සේයාරූ මුද්‍රණය දක්වා සිදු කල සියලු කාර්යයන් සහ තවත් බොහෝ දෑ සිදුකීරීමට අවස්ථාව සලසා දෙනවා. ඔවුන් විසින් නිර්මිත ඇඩෝබි ෆොටෝෂොප් සහ ඇඩෝබ් ලයිට්රුම් මේ මෘදුකාංග අතරින් ලොව ප්‍රධාන වෙනවා. මේ මෘදුකාංග දෙක හරහා ම සේයාරූ වල පසු සැකසුම් කල හැකි අතර ඇඩෝබි සමාගමේ කැමරා රෝ නම් මෘදුකාංගය (ෆොටෝෂොප් සමගින් භාවිතා කල හැකි) මගින් බොහොමයක් ලයිට්රුම් සෙටින්ග්ස් භාවිතා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා. මේ මෘදුකාංග දෙක දෙකක් ලෙසටත් (වෙන වෙනමමත්) එකක් ලෙසටත් (එක මෘදුකාංගයක සිට අනිකට මාරු වෙමින්) භාවිතා කල හැකි ලෙස නිමවා ඇති අතර බොහෝමයක් දෙනා ඒ මෘදුකාංග දෙක වෙන වෙනම භාවිතා කරනවා. මෙම මෘදුකාංග හරහා සේයාරූ වල තීව්‍රතාව, දෝෂ නිරාකරණය, වර්ණ ගැලපුම්, ආලෝක පාලනය, රාමු සැකසීම වෙබ් ගත කිරීමේ පහසුකම් වැනි සැකසුම් රාශියක් භාවිතා කිරීමට ඒවා කරන්නා වෙත ලබා දී තිබෙනවා.

Adobe Lightroom මෘදුකාංගය

Adobe Photoshop මෘදුකාංගය


ඊට අමතරව බොහොමයක් වෘත්තිමය ජායාරුප ශිල්පීන් මේ මෘදුකාංග සමගින් ප්ලගින්ස්, එහෙමත් නැතිනම් මේ මෘදුකාංග සමගින් එක්ව භාවිතා කල යුතු/හැකි වෙනත් මෘදුකාංග ද සේයාරූ පසු සැකසුම් සඳහා භාවිතා කරනවා. ඒ අතරින් ගූගල් සමාගම විසින් නිර්මිත නික් ටුල්ස් නම් මෘදුකාංග කට්ටලය ප්‍රධාන තැනක් ගන්නවා. තවද ටොපෑස් මෘදුකාංග කට්ටලය, මැක්ෆුන් කට්ටලය යනාදී මෘදුකාංග මේ කර්තව්‍යය සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. මේවා බොහෝවිට විශේෂිත යෙදවුම් සඳහා භාවිතා කරනු ලබනවා.


ඩිජිටල් ඩාර්ක් රූම් එකක් බොහෝවිටම එක පරිඝණකයක් ප්‍රින්ටරයක් සමගින් සෑදී ඇති අතර මේ සඳහා ද විශේෂිත උපකරණ සහිත තිර කීපයක් ඇති වැනි විශේෂිත පරිඝණක භාවිතා කරන අවස්ථා ද දකින්නට පුළුවන්. මේ පරිඝණක සඳහා වෘත්තිමය ජායාරුප ශිල්පීන් ඇපල් පරිඝණක වෙත ඉතා කැමැත්තක් දක්වන අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අය ද මේ අතර නැතිවා ම නොවේ.


හොඳයි, එහෙනම් දැනට තවත් පින්තුර ටිකක් ගන්නකම් මම අදට සමුගන්නවා. නැවතත් ලයිට්රුම් ගැන ලිපි පෙළක් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුව. එහෙනම් ආයුබෝවන්.

මෙන්න ඔබට දෝහා නගරය සැන්දෑ කලට දිස්වන අයුරු පෙන්වන මගේ තවත් සේයාරුවක්. මේ සේයාරුව ගත්තේ දෝහා වල තුන්වන උසම කුළුනේ නැගෙනහිර අන්තයේ සිට. මේ සඳහා විශේෂ ස්තුතිය මගේ පාසල් මිත්‍රයා ඉම්රාන් ඛාන් වෙත තිලිණ කරන්න කැමතියි,.


කැමති අය මෙතනින් එකතුවෙන්න මගේ සේයාරූ පිටුව එක්ක.

දෝහා නගරය, 2014 දෙසැම්බර් 20 වැනි දින සවස දිස්වූ අයුරු.

Saturday, January 24, 2015

ජායාරුපකරණය - 5 :: කොහොමද හොඳ පින්තූර ගන්නේ?

දැන් ඉතිං සෑහෙන දවසක් වුණා නේද මම ෆොටෝග්‍රැෆි ගැන කතා කරන්න අරගෙන. කී දෙනෙක් කැමරා එහෙම අරගෙන ඉන්නවද?? ඈ.. කවුරුත්ම නොගත්තු කෙනෙක් නැද්ද?? අන්න හොඳයි.. එහෙනං අද බලමු කොහොමද හරියටම ෆොටෝ එකක් ගන්නේ, මොනවාද මුලිකාංග වන්නේ කියල.

ඇතැම් ජායාරුප දැක්කම අපේ නෙත් පිනා යනවා නේද? ඇතැම් ඒවා ඇත්තෙන්ම සේයාරුවක් විතරක් වෙනවා නේද? මේ වෙනස වෙන්නේ කොහොමද? අන්න ඒ ගැන ටිකක් කතා කරන්න තමා මම අද හදන්නේ. සේයාරුවක් හොඳ එකක් වන්නට බලපාන්නේ මිනිසාගේ ඇස කියන දේ කොහොමද පිනවන්නේ කියන කාරණය. එතැනදී වර්ණ හැඩතල සහ රූප කියන දේ ප්‍රධාන වෙනවා.

මුලින්ම, මානව රූප සහ සත්ව රූප ගැන බලමු. මානව සහ සත්ව රූප කියන දේ වෙත මිනිස් ඇස ඉතා ඉක්මනින්ම ඇදිල යනවා. ඒ කියන්නේ මිනිස් ඇස හරිම සංවේදී මේ සේයාරූ වලට. එතැනදී මානව රූපයක් හෝ සත්ව රූපයක් ගත්තම අපි පුළුවන් හැමවෙලාවකම (බොහෝවිටම සමීප රූප වලදී.) ඒ රුපයේ ඇස්වෙත අපේ ෆෝකස් එක එහෙම නැතිනම් අපේ අවධානය යොමුවෙන විදියට ගන්න ඕනේ. එතැනදී අපි ඒ ඇස්වල ඇති ශාප්නස් එහෙමත් නැතිනම් තීව්ර බව ගැන ගොඩක් අවධානය යොමු කරන්න ඕනේ. ඇතැම් වෘත්තිමය ශිල්පීන් ඇස පසු සැකසුම් මගින් තීව්ර බව වෙනස් කරනවා වගේම වර්ණ පවා එකතු කරනවා මේ ඇසේ තීව්ර බව ලබාගන්න.

දෙවනුව භුමි දර්ශන වලදී අපි මොකද කරන්න ඕනේ? අපේ ඇස්දෙක රුපය වෙත හෝ අපිට අවශ්‍ය දිසාව වෙත රැගෙන යන්න නම් අපි භාවිතා කරන්න ඕනේ දේවල් තියනවා. ඒවා අතුරින් රේඛා සහ හැඩතල කියන්නේ ඉතාම වටිනා දේවල්. රේඛාවන් විදියට අපිට ගන්න පුළුවන් බොහෝ දේ ස්වභාවිකව හෝ මිනිසා විසින් නිර්මිත දේ තුල තියනවා. උදාහරණයක් ලෙස නුවර දළදා මාලිගාවේ වලාකුළු බැම්ම එක්තරා ආකාරයක රේඛාවක්. මේ රේඛාව දිගේ ගමන්ගන්නා ඇස අපිට අවශ්‍ය ස්ථානයක ඇති දෙයක් වෙත යොමු කරන්න පුළුවන්.උදාහරණයකට මාර්ගයක් ගන්න. මාර්ගය කෙළවර වන ස්ථානයේ ඇති ගොඩනැගිල්ල අපි සේයාරුවට නගන්නේ නම් අපිට මාර්ගය සමගින් එය කරන්න පුළුවන්. එවිට මාර්ගය රේඛාවක් වී ඇස වෙත ගොඩනැගිල්ලට පාර කියනවා. මේ දේට අපි ජායාරුපකරණයේදී ලීඩ් ලයින් එකක් එහෙමත් නැතිනම් ඇස ගෙනයන මාර්ගයක් විදියට හඳුන්වනවා. හැඩතල කියන්නෙත් ඒ වගේම දෙයක්. හැඩතල වලදී ඇස බොහෝවිටම සමමිතිය කියන දේ ඔස්සේ ගමන් කරනවා. මේ ඇසුරෙන් තමයි ඔරලෝසු වල 10:10 ලෙස වෙලාව සටහන් කර සේයාරූ තියෙන්නේ. එතැනදී අපිට ඔරලෝසු මුහුණතේ සමමිතික හැඩතල මගින් බෝහොකොටම නිෂ්පාදනයේ වර්ගය ඔසවා පෙන්වනවා.

දැන් බලමු තවත් දෙයක් ගැන. ඒ තමයි පසුබිම සහ පෙර බිම කියන සංකල්ප දෙක. අපිට සේයාරුවට නගන්න අවශ්‍ය දේ අපි ගත්තොත් ඒ හැම එකකම පසු හා පෙර බිමක් දකින්නට තියනවා. මානව රුපයක් ගත්තොත් එතැනදී පසුබිම විදියට ඒ පුද්ගලයා ඉන්න භුමිය දකින්න පුළුවන්. පෙර බිම විදියට පුද්ගලයා හෝ වෙනත් වස්තුවක් හෝ තිබෙන්න පුළුවන්. මේ සංකල්පයේ දී අපි හැමවිටම වාගේ පසුබිමේ සහ පෙරබිමේ දී ඇති වස්තුන් වෙත අවධානය යොමුවන විදිය ගැන සලකා බලනවා. උදාහරණයකට මානව රුපයක් මල් වත්තකදී ගන්නේ ය සිතන්න. මල් ගොමුවක් පසුපස සිටිනා කෙනෙක් සහ ඒ පසුපසින් වන ගස් වැනි දෑ ඔබට සිතන්න මම යෝජනා කරනවා. දැන් ඔබ ගන්නා සේයාරුවේ මල් වෙත ඔබේ කැමරාවේ තීව්‍රතාව යොමු කොට පුද්ගලයා මදක් හෝ බොඳවූ ස්වභාවයෙන් යුතුවත් පසුබිම තවත් බොඳ වූ ස්වභාවයෙනුත් දිස්වන්නේ නම් ඔබ ඒ සේයාරුව ගැන නැවත සිතනවා නේද?

වර්ණ. වර්ණ සහ හැඩතල යනු ජායාරුප වලදී නිතරම දකින්න තියන දෙයක්. එතැනදී වර්ණයන් තද හෝ වඩා තීව්ර වන විට දී ඇස  හැඩතල වලින් වර්ණ වෙත ද වර්ණයක් වඩා ලා පැහැයන් හෝ අඩු වශයෙන් තීව්ර වන විට දී වඩාත් ඇස වර්ණ වලින් හැඩතල වෙත ද ගමන් ගනු ලබයි.

ඉතිං මේ කතා කලේ සේයාරුවක් තැනෙන මුලිකාංග ටිකක් ගැන. පුංචි ඇඩ් එකකුත් දාන්නං කෝ මේ ගමන් ම. ඔන්න මගේ ම සේයාරූ පිටුවක් තියනවා මුණුපොතේ. කැමති කෙනෙක් ඉන්නවා නං එතනට ඇවිත් මගේ එක්ක එකතුවෙලා සේයාරූ රසවිඳින්න පුළුවනි. එහෙනම් නැවත හමුවෙමු. එතකං ඔබට මෙන්න දෝහා නගරයෙන් මතක සටහනක්.



Sleeping in Peace - Doha from the Parcel one - The Pearl.

Wednesday, November 19, 2014

දෙවොල් කවි.

Picture by Google Search. All rights are on original photographer/website.


පුරා තෙවසර වෙහෙසිලා මා

තැනුවෙමි දෙවොලක්

තනා මලසුන් පුදන්නට එහි

තැබුවෙමි එක පුදසුනක්

තනා එ දෙවොල තබන්නට එහි

වෙහෙසවුවෙමි දෙව් රුවක්

තබා දෙව්රුව පුදන්නට එහි

පැමිණි විට මා එක දිනක්

දෙවිඳු පැනගොස්

දෙවොල පාළුය

මලසුනේ ඇත


මල් ටිකක්...

Friday, August 1, 2014

ජායාරුපකරණය සිංහලෙන් - 4 - ලෙන්සයක් මිලදී ගනිමු.



මොකක් හරි හේතුවක් හින්ද මට පේන්නේ මේ පෝස්ට් එක කොහෙවත් අප්ඩේට් වෙන්නේ නෑ වගේ. ඒ නිසා රී පෝස්ට් කරන්නත් බැරි එකේ, ඔන්න මම ආයෙම ලින්ක් එකක් විදියට දානවා.. 

ජායාරුපකරණය සිංහලෙන් - 4 - ලෙන්සයක් මිලදී ගනිමු.



Monday, July 28, 2014

ජායාරුපකරණය - 4 ලෙන්සයක් මිලදී ගනිමු.

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෙන්ස් එකක් මිලදී ගන්න විදිය..

කලින් කොටසේ දී අපි කැමරා බොඩි එකක් ගන්නේ කොහොමද කියල කතා කළා ඔබට මතක ඇති. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කැමරාවට කොහොමද හරියන ලෙන්ස් එකක් ගන්නේ කියලා..

ලෙන්ස් ගැන කතා කරනකොට අපිට ලෙන්ස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩා වෙන් කරන්න පුළුවන්. එකක් ක්‍රොප් මෝඩ් ලෙන්ස් එහෙමත් නැතිනම් DX (නිකොන්) හෝ EF-S (කැනොන්) ලෙන්ස් සහ ෆුල්ෆ්‍රේම් FX නිකොන් සහ EF (කැනොන්) ලෙන්ස් විදියට මේ වර්ග හඳුන්වන්න පුළුවන්. 
මීට අමතරින් තවත් ලෙන්ස් වර්ග තිබෙනවා. ලෙන්ස් මම මේ ආකාරයට බෙදා වෙන් කලද ඔබ තවදුරටත් හදාරන විට දී මීට වඩා වෙනත් වර්ගීකරණයන් දකින්නට ලැබේවි.

මිල අනුව ගත්විට සාමාන්‍ය EF හෝ FX ලෙන්ස් මිලෙන් ඉතා අධික බව නම් කියන්නම ඕනේ. හේතුව මේ ලෙන්ස් වෘත්තිමය අවශ්‍යතා සඳහා ඉතාම සීරුවෙන් නිපදවූ ඒවා වීමත් ඒ සදහා භාවිතා කරන වීදුරු සහ අනිකුත් දෑ ඉතාම උසස් ඒවා වීමත් කියන කරුණු.

ඉතිං මේ ලෙන්ස් ගැන කියද්දී ලෙන්ස් මවුන්ට් එක එහෙමත් නැතිනම් කැමරාවට ලේන්සය සවි වන කොටස ගැන පොඩි සඳහනක් කරන්න අවශ්‍යයි. ලෙන්ස් මවුන්ට් එක සෑදීම සඳහා කිසිදු අන්තර්ජාතික මිනුම් දඬු භාවිතා වන්නේ නෑ. මේ නිසා ඔබට කැනොන් හි දී EF-S ලෙන්සයක් කැනොන් ෆුල් ෆ්‍රේම් බොඩි එකක දී භාවිතා කරන්න බැහැ. එසේ සවි කල හැකි වීම වළකාලන්න ෆුල් ෆ්‍රේම් කැමරා සකස්කරන්න කැනොන් සමාගම කටයුතු කරනවා. ඒ EF-S ලේන්සයක් ක්‍රොප් බොඩි එකක සවි කල විට ලෙන්ස් මවුන්ට් එක කැමරා බොඩි එක ඇතුලට යන ප්‍රමාණය වැඩි නිසා කැමරාවට හානි සිද්ධ වීම වළකාලීම පිණිසයි. නමුත් කැනොන් ක්‍රොප් බොඩි කැමරාවකට කැනොන් ෆුල්ෆ්‍රේම් ලෙන්ස් (EF-S ) ලෙන්ස් සවි කිරීමට හැකියාව තියනවා.
නිකොන් වලදී මේ ගැටළුව නෑ. ඔවුන් සතුව තියෙන්නේ නිකොන් F මවුන්ට් නම් එකම ලෙන්ස් මවුන්ට් එකක්. මේ නිසාම නිකොන් වලදී ඔබට ඔබ සතු DX ලෙන්ස් භාවිතා කල හැකිවාක් වගේම ඒ සඳහා ෆුල් ෆ්‍රේම් බොඩි සහය දැක්වීමක් ලෙස ලෙන්ස් ඉබේම අඳුනාගෙන ඒ සඳහා කැමරාව සකස්කර දෙන්න DX මෝඩ් එකකුත් ඇතුලත් කරන්නට නිකොන් සමාගම පියවර ගෙන තියනවා. හැබැයි DX මෝඩ් එක සහය දක්වන්නේ කුඩා මෙගා පික්සෙල් ප්‍රමාණයක් සඳහා පමණයි. (D610 ෆුල් ෆ්‍රේම් කැමරාවේ මෙය මෙගාපික්සල 10ක අගයක්.)

නිකොන් කැනොන් වර්ග දෙකට අමතරව ඔබට ටොකිනා (Tokina), සම්යන්ග් (Samyang), සිග්මා (Sigma) ටැම්රෝන් (Tamron) යන වර්ග වලින් ලෙන්ස මිලදී ගන්නට පුළුවන්. මේ ලෙන්ස ඇතැම්විට නිකොන් හෝ කැනොන් සමාගම් වල ලෙන්සයන් අභිබවා යන මට්ටමේ හෝ ඊට සමාන මට්ටමේ දක්ෂතා පෙන්වනවා.

හොඳයි, ඉතිං අපි බලමු මොනවාද ලෙන්ස් එකක් ගන්නා විට සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු කාරනා කියල.

මුලින්ම බ්‍රෑන්ඩ් නිව් එහෙමත් අලුත් ම අලුත් ලෙන්ස් එකක් ගන්නා විට, ඔබ සතුව ඇති කැමරාව කුමක්ද යන්නත් ඔබේ අවශ්‍යතාව කුමක්ද යන්නත් තෝරා බේරා ගතයුතු වෙනවා. ඒ කියන්නේ ඔබ සතු කැනොන් හෝ නිකොන් කැමරාවක් නම් ඉහත සඳහන් කල විස්තරය ඔබට ප්‍රමාණවත්. ඉන් අමතරව වගකීම් කාලය සහ වගකියන්නේ කුමන අවස්ථා වලද කියා පැහැදිලිව විමසන්න. ඊට එහායින් නම් ඔබට බලන්නට ඇත්තේ මිල ගැන පමණයි. ඇතැම් ලෙන්සයන් ද ඔන්ලයින් මාර්ගයෙන් අඩු මිලට මිලදී ගත හැකියි (භාණ්ඩ ගෙන්වාගැනීමේ ගාස්තු සමගින්ම) ඒ නිසා වෙළඳපල රවුමක් ගිහින් ගන්නවා නම් හොඳයි.

ඔබේ අවශ්‍යතාව වන්නේ පවුලේ සේයාරූ ගැනීම සඳහා නම් ඔබට මිලෙන් අඩු DX ලේන්සයක් තෝරාගත හැකියි. එසේ නොවී ඔබට වෘත්තිමය සේයාරූ සඳහා (උදා: මංගල සේයාරූ වැනි) කටයුත්තක් සඳහා නම් FX ලේන්සයක් මිලදී ගැනීම සුදුසුයි කියා මම යෝජනා කරනවා. නමුත් මෙවැන්නක් අත්‍යාවශ්‍ය නෑ. DX ලෙන්ස් වලින් මෙන්ම සමහර පොයින්ට් ඇන්ඩ් ෂුට් වලිනුත් දක්ෂයා වැඩ ගන්නවා මම දැකල තිබෙනවා.
ලෙන්ස් එකක් සෙකන්ඩ් හෑන්ඩ් එහෙමත් නැතිනම් නැවත මිලදී ගන්නවා නම් ඔබේ සැලකිල්ල ඉතාම අවශ්‍ය වන කරුණු පහත දක්වා තිබෙනවා.

දුවිලි සහ පුස් බැඳුනු ලෙන්ස.

ලෙන්ස් නිසිපරිදි ගබඩා කොට නොතිබීම නිසා පුස් බැඳීමට හැකියාව තිබෙනවා. ඒ ලෙන්ස් නිරතුරුවම තෙත් පරිසරයකට ආවරණය වී තිබීම මගින්. මේ පුස් ඔබේ පින්තුරු මත රටා ලෙස දිස්වන අතර ඒවා සුද්ධ කිරීම ඉතා අසීරු කටයුත්තක් වෙනවා. මේ තියෙන්නේ ලෙන්ස් එකක් මත වන පුස්. ඔබ මිලදී ගන්නා ලෙන්සය ඉතා පරිස්සමට පිරික්සා බලන්න එහි ඇහැට පෙනෙන පුස් තිබේ ද කියා.

ලෙන්සයේ ඇති පුස් ආලෝකයේ දී දිස්වන අයුර

 වැටීම් සහ පලුදු වීම ඇති ලෙන්ස 

මේවා පියවි ඇසට නොපෙනෙන නමුත් විපරම් කල විට දැකගත හැකි දෝෂ සහිත ලෙන්සයන් වේ. ලෙන්සය ගෙන එහි සූම් කරන්නට පහසුකම ඇතිනම් සූම් කර බලන්න. ඒකාකාරී ලෙස ලෙන්සය එහිදී හැසිරිය යුතුයි. එහි යම් ගැප් එකක් එහෙමත් නැතිනම් හිරවීමක් දැනුනොත් ලේන්සය සියුම් ව පිරික්සා බලන්න එහි යම් තැලීමක් දකින්නට හැකිද කියා. බොහෝවිට මෙවැනි ලෙන්සයන් වැටීම් නිසා වන හානි සහිත ඒවායි. මේ දෝෂ සමනය කල හැකි සහ නොහැකි ලෙස තිබෙන නිසා පරිස්සම් වීම වඩා හොඳයි නේද? මොකද මෙවන් ලෙන්සයන්ගේ අභ්‍යන්තර දෝෂ පවතිනවා.

මෙන්න මේවටයි හානි වෙන්නේ. ඒවා පිටට පේන්නේ නෑ.


ලෙන්සය මත වන හීරීම් සහ තුවාල වීම

ඔබේ පින්තුරු සඳහා කෙලින්ම බලපෑම් කල හැක්කේ ලේන්සයේ වීදුරු මත වන සීරීම් සහ පලුදු වීම් වලටයි. ඒ නිසා ඒවා විපරමින් බලන්න.

පේනවාද පොඩි සීරුම? පොඩි වුනත් පින්තුරේ හරි මැදින් ඉරක්??


අද වෙළඳපොලේ භාවිතා කල ලෙන්ස මිල අඩුවෙන් සොයාගන්න හැකියාව තියනවා. මමත් එවැනි ලෙන්සයන් දෙකක හිමිකරුවෙක්. ඒ කිසිවක දෝෂ නෑ. ඔබ කලින් දුටු සේයාරූ සහ අද ඔබට තිලිණ කරන සේයාරුව ඒ ලෙන්ස භාවිතා කර ගත්තු ඒවායි. භාවිතා කල ලෙන්සයක් මිලට ගන්නට යන සෑම විටකම ඔබේ කැමරාව රැගෙන යන්න. ඉර එලිය හොඳින් පවතින විටක යන්න. ඔබට බොහෝ දෑ එවිට පෙනේවි. හැකි නම් ලැප්ටොප් පරිඝනකයක් රැගෙන යන්න. එය ඔබට විශාල උදව්වක් වේවි පින්තුරු සියුම්ව නිරීක්ෂණය කරන්න.

මීට වඩා තවත් බොහෝ කරුණු ඇතත්, ඔබේ ඉල්ලීම මත ලියන්නට ඉඩ තබානැවත හමුවන තෙක් දෝහා නගරයට හිරු බසින දර්ශයනක් ඔබට තිලිණ කරමින් අදට සමුගන්නවා....

දෝහා නගරයේ සැන්දෑ හිරු රැස් පතිතවන ආකාරය MIA පාක් හි සිට - සේයාරුව මගෙන් :)
ලෙන්ස් සඳහා සේයාරූ ගූගල් වෙතින්..